දෙසැම්බර් සීතලට Hot chocolate බොමුද?

දෙසැම්බර් මාසෙත් ලැබුව නේද ? 

මේ දවස්වල තියෙන වැසිබර කාළගුණෙත් එක්ක දෙසැම්බර් සීතල කලින්ම අපිට අත්විඳින්න ලැබුණනේ. 

දෙසැම්බර් සීතලේ හවස විවේක ඒමත් නැත්නම් නිවාඩු පාඩුවෙ ඉන්න ගමන් උණුසුම් චොකලට් පානයක් බොන්න ලැබුනොත් ? 

කවුද අකමැති නේද ? 

චොකලට් කියන්නෙ පොඩි ප්‍රමාණයකින් අපි නොසිතන පෝෂණයක් ලබාදෙන වගේම මානසික සෞඛ්‍ය ඉක්මනින්ම නිරවුල් කරන්න උදව් වෙන රසවත් ආහාරයක්නෙ. 

ඇන්ටිඔක්සිඩන්ට් වලින් සංතෘප්ත චොකලට් ඔබේ රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කරන්නත් මතක ශක්තිය ඉහළ දමන්නත් උපකාරී වෙනව කියලයි පරේක්ෂකයන් සඳහන් කරන්නෙ. 

ඒ වගේම හොඳ තත්වයේ ඩාක් චොකලට් (dark chocolate) වල ෆයිබර් මැග්නීසියම් සහ හොද කැලරි ප්‍රමාණයකුත් අන්තර්ගතයි. 

ඒනම් මේ රස ගුණ පිරුණු චොකලට් වලින් රසවත් හොට් චොකල්ට් පානයක් හදාගන්න පුළුවන් ක්‍රම 03 ක් ගැන ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

Hot chocolate (හොට් චොකලට්)

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

  • කිරි කෝප්ප 02 ක් 
  • චොකලට් කුඩු මේස හැඳි 02 ක් 
  • සීනි කෝප්ප මේස හැඳි 02 ක් 
  • සිහින්ව කපාගත් චොකලට් කෝප්ප ¼  ක් (මේ සඳහා ඔබට ඩාක් චොකලට් හෝ සාමාන්‍ය චොකලට් කැබැල්ලක් භාවිතා කරන්න පුළුවන්) හෝ චොකලට් චිප්ස් කෝප්ප ¼  ක් 
  • වැනිලා තේ හැඳි ⅛ ක් 

සාදාගන්නා ආකාරය 

සාමාන්‍ය ප්‍රමාණයේ සාස්පානක් ගෙන එයට කිරි, චොකලට් කුඩු සහ සීනි දමා සාමාන්‍ය අඩු ඌෂ්ණත්වයේ හැඳි ගාමින් රත්කරගන්න. 

(උතුරන තුරු රත්කරන්න එපා) 

කිරි මිශ්‍රණය රත්වූ පසු චොකලට් කැබලි හෝ චොකලට් චිප්ස් එක්කර ඒවා දියවන තෙක් හැඳිගාමින් රත් කරන්න. 

චොකලට් කැබලි හොඳින් දියවූ පසු වැනිලා එකතු කර කලවම් කර උණුසුම්වම පිළිඟන්නවන්න. 

ඔබ කැමති නම් උඩින් චොකලට් කුඩු ස්වල්පයක්, කෝපි කුඩු ස්වල්පයක්, සීනි කූරක් හෝ මාෂ්මෙලෝස් කැබලි කීපයක් එකතු කරගන්නත් පුළුවන්. 

Hot white chocolate (හොට් වයිට් චොකලට්)

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

  • කිරි කෝප්ප 02 ක් 
  • හොඳ තත්වයේ සුදු චොකලට් සිහින්ව කපාගත් කැබලි හෝ සුදු චොකලට් චිප්ස් කෝප්ප ½ ක් 
  • වැනිලා තේ හැඳි ½ ක් 
  • ලුණු ස්වල්පයක් (අත්‍යාවශ්‍ය නැත) 

සාදාගන්නා ආකාරය 

සාමාන්‍ය ප්‍රමාණයේ සාස්පානක් ගෙන එයට කිරි, සුදු චොකලට්, වැනිලා සහ ලුණු බිඳක් එක්කර හැඳිගාමින් සාමාන්‍ය ප්‍රමාණයේ ඌෂ්ණත්වයේ රත්කර ගන්න. 

(උතුරන තුරු තබන්න එපා)

සුදු චොකලට් දියවන තුරු රත්කර උණුසුම්වම පිළිගන්වන්න.

ඔබ කැමති නම් චොකලට් කුඩු, මාෂ්මෙලෝස් කැබලි හෝ සීනී කූරක් සමඟ වුනත් පිළිගන්වන්න පුළුවන්. 

Nutella hot chocolate (නියුටෙලා හොට් චොකලට්) 

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

  • කිරි කෝප්ප 02 ක්
  • නියුටෙලා කෝප්ප ⅓ ක් 
  • චොකලට් කුඩු 02 ක් (අත්‍යාවශ්‍ය නැත. ඔබට වැඩි චොකලට් රසක් අවශ්‍ය නම් එකතු කරන්න පුළුවන්) 

සාදාගන්නා ආකාරය 

සාමාන්‍ය ප්‍රමාණයේ සාසසාස්පානක් ගෙන එයට කිරි,නියුටෙලා සහ චොකලට් කුඩු එකතු කර සියල්ලම හොඳින් කලවම් වනතුරු හැඳිගාමින් රත් කරන්න. 

උණුසුම්වම පිළිඟන්වන්න.

ක්‍රීම්, චොකලට් කුඩු, චොකලට් සිරප්, මාෂ්මෙලෝස් හෝ සීනි කූරු යොදා පිළිඟන්වන්නත් ඔබට පුළුවන්. 

ඉතිං ඔබ හොට් චොකලට් බොන්න කැමති මොන විදිහටද ?

හදල බලල අපිටත් කියන්නකෝ. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles