ඉෂිණි පික් මී එකෙන් බහිනකොටම දැක්කේ සැලූන් එක ඉස්සරහ බයික් එක නවත්තපු තනුකව. ඉෂිණිට ඉබේටම වෙලාව බැලුණා. මහ රෑ දොළහයි. ඉෂිණි තනුක ළඟට ඇවිදන් ගියේ අඩියට, දෙකට.
“ඔයා මොකද මේ වෙලාවේ ?”
“නිකන්…”
තනුක එහෙම කියාගෙන සැලූන් එකේ දොර දිහාවට හැරුණා. ඉෂිණි දොර ඇරියා. දෙන්නම ඇතුළු වුණා.
දික්කසාද වෙන්න තීරණය කරලා, දෙන්න වෙන වෙනම පාරවක් වලට වැටුනයින් පස්සේ මේ මුණ ගැහෙන්නේ පලවෙනි වතාවට. මාස දෙකකට විතර පස්සේ.
ඉෂිණිට හිතාගන්න බැරි වුණේ තනුක සැලූන් එකේ ඉස්සරහින් මතු වුන විදිය.
ඒත් ඒ ගැන අහන්නත් බැරි දෙගිඩියාවෙන් ඉෂිණි නිහඬවම උන්නා.
පුරුද්දෙන් වගේ ඉෂිණිට ඕනෑ කරන බඩු බාහිරාදිය ලං කරලා තනුක ඉහල මහලේ කාමරේට ගියා. විවාහ උත්සවයට අදාල පිරිස එන හඬත්, ඉෂිණි ඔවුන් එක්ක කතා බහ කරමින් මනාලිය හැඩ ගන්වන්න සූදානම් කරන හඬත් තනුකට ඇහුණා. දින කිහිපයක වෙහෙසත්,නින්ද නැති කමත් වෙනුවට කොහෙදෝ ඉඳන් ආව සැනසීමක් හිතට දැනෙමින් තිබුණ නිසා තනුකට එහෙමම නින්ද ගියා.
ඉෂිණි හැඩ ගැන්වීම් අවසන් කරලා පිරිස පිටත් කරනකොට උදේ හයට කිට්ටුයි. මනාලියගේ අම්මාලවත් හැඩ කරලා ඉවර වෙනකොට හතත් පහු වෙලා. තනුක උඩ කාමරේ බව සෑහෙන්නම වතාවල මතක් වුනත්, ඉෂිනිට උඩට යන්න ඉඩක් ලැබුණේ නැහැ.
ඉෂිණි උඩට ගියේ කළු කෝපි කෝප්ප දෙකක් හදාගෙන. ඒ වෙනකොටත් , සෙටියේ ගුලි වෙලා තද නින්දක උන්න තනුක ඉෂිණි කාමරේට එන සද්දේට ඇහැරුණා..
“වෙලාව කීයද ?”
“අටයි…”
“මං යන්නම්…”
“කෝපි…”
“එපා…දැන් බොන්නේ නැහැ…”
ඉෂිණි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉද්දී තනුක සමුගත්තා. ජීවිතේ සමහර දේවල් අතාරින්න වෙන්නේ මානසික සැහැල්ලුව වැඩිය වටින නිසා කියලා හිතුවට, ඒ අත් හැරීම් පරිපූර්ණ නොවුනාම මෙහෙම දේවල් වෙන බව තනුක යන ගමන් කල්පනා කරා.
ඉෂිණි තනුක එක්ක විවාහ වුණේ පාසැල් ප්‍රේමයකින් අවුරුදු අටකට පස්සේ. ඒත් යාලු වෙලා ඉන්න කාලේ නොතිබුණ පුරුද්දක් ඉෂිණි ටික ටික පුරුදුවුණා. ඒ තනුකව නිරපරාදේ සැක කරන එක. හැමදාම, හැම තත්පරේම මවාගත්ත හිතළු එක්ක ඉෂිණි තනුකට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි. තනුකගේ ව්‍යාපාරය ඇතුළේ, යන එන මඟ, අහල පහල විතරක් නෙවෙයි මුහුණු පොතේ තනුකගේ මිතුරු ලැයිස්තුවේ ඉන්න ගැහැණු පාවාදීදී ඉෂිණි නටපු නාඩගමේ ඉවරයක් තිබුණේ නෑ. අන්තිමේදී දෙන්නම තීරණය කලා වෙන් වෙන්න. ඉෂිණි අම්මලාගේ ගෙදර ගියා. තනුක ඇනෙක්ස් එකෙයි, තනුකගේ අම්මලාගේ ගෙදරයි මාරුවෙන් මාරුවට නැවතුණා .
මේ ඒ වෙන්විමෙන් මාස දෙකකට පස්සේ දවසක්. ඉෂිණි සැලූන් එකේ රෑ වැඩවලට එනකොට ඉෂිණිව තනියෙන් එවන්නේ නැති පුරුද්ද මඟෑරගන්න තනුකට බැරි වෙලා තිබුණා. ඉෂිණි තනුකගේ රස්නේ තිබුණ සෙටියේ ගුලි වුණේ තනුකව වටහා ගන්න බැරුව. තමන් තනුකගේ ජීවිතේ ට සාප කර කර කෑ ගහපු හැටි මතක් වෙනකොට ඉෂිණි තව තදට සෙටියේ ගුලි වුණා.
කාන්තා සමූහයකට තමන්ගේ හැසිරීම් එක්ක හිතේ කලබල ලීව ඉෂිණිට දරාගන්න බැරි තරමේ නරක පිළිතුරු වගේම ධනාත්මක එලියක් පෙන්නන යහපත් පිළිතුරු කිහිපයකුත් තිබුණා. ඉෂිණි ඒ උත්තර දිගේ උපදේශන සේවාවකට යොමු වුණේ ඒ අනුව. ඒ ගමන් ගැන විස්තර කීවේ එකම එක මිතුරියක ට විතරයි.
දවස් දෙකෙන් දෙක, දිගටම සති දෙකක් ඉෂිණි උපදේශකවරිය මුණ ගැහුනා. ජීවිතේ හිතාගන්න බැරි වෙනසකට ඇදෙන බව ඉෂිණිට තේරුණා. තමන්ගේ අතේ තිබුණ වැරදි වල දිග පළල ගැන වැටහෙන්න ගත්තා. ඔලුවට කුණු ගොඩවල් පුරවපු යාලුවෝ වේශයෙන් උන්න දෙන්නාගෙන්ම අයින් වුණා. ඉෂිණි පහු ගිය මාසේම උන්නාට වඩා සැහැල්ලුවකින් ඉන්න බව ඉස්සෙල්ලාම දැක්කේ ඉෂිණිගේ අම්මා.
“ඔහොම හිනා වෙලා ඉන්න පුතේ… “
අම්මා හවස් වරුවක් අල්ලලා ඉෂිණි ළඟින් ඉඳගත්තා. ඉෂිණි දවස් ගානක් තිස්සේ සූදානමින් උන්න දේ අම්මාට කීවා.
“මාව ඇනෙක්ස් එකට ඇරලවනවද අම්මේ?”
“තනියම කොහොමද ළමයෝ ?”
“මං තනුකට කීවා හවස එන්න කියලා .. එයා ශොප් එක වහලා ඒවි…”
ඉෂිණි අම්මයි , තාත්තා යි එක්ක ඇනෙක්ස් එකට යනකොටත් තනුක එහෙ හිටියේ. අම්මලා වැඩි වෙලා ඉන්නේ නැතුවම දෙන්නාට සමුදුන්නා. පුරවපු රෙදි බෑග් දෙක දිහා බලාගෙන හිටපු තනුක ඉෂිණිගේ කර වටේ අත දාලා කම්මුලක් ඉම්බා.
“මට ආයේ ඉඩක් ඕනි…”
ඉෂිණි හරි හෙමින් කීවා.
“වල් වැදෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. අස් පස් කරගෙන තමා එන්න වෙන්නේ…”
ඉෂිණි උපදේශන සේවාවකට යන බව ඉෂිණි ගේ මිතුරියගෙන් දැනගෙන, ඒ උපදේශකවරියව මුණ ගැහිලා ඉෂිණිගේ මානසික බිඳ වැටීම ගැන දැනගෙන උන්න තනුක හරි සැහැල්ලුවෙන් එහෙම කිව්වා. ඉෂිණි තනුකගේ කම්මුලක එල්ලිලා ආදරෙන් ඉම්බා. ජීවිතේ පුදුමාකාර තරමේ ලස්සනට පිපුම මල් යායක ආදරෙන් දැනෙන බව ඉෂිණිට විශ්වාසයි.
ජීවිතේ දෙවෙනි අවස්ථා කියන්නේ හැමකෙනෙක්ටම ලැබෙම දෙයක් නෙවෙයි. ඒ නිසාම , එහෙම දෙවෙනි අවස්ථාවක් වෙනුවෙන් ඉඟියක් ලැබුනොත් ඒ වෙනුවෙන් උත්සාහ කරන එකේ වරදක් නැහැ.
| අපේක්ෂා ගුණරත්න |