මා රිය පැදවූයේ ඉතාමත් හෙමිහිට ය. මගේ මුවග දිගට ම මඳහසක දඟය විය. ඒ වෙලාවට පාර ඒ තරම් තදබදයකින් තොර වී ද මා මඟ ගාටනු නො ඉවසූ ඇතැම් රියදුරෙක් හෝන් ගසා මදිවාට මා පසු කර ගෙන ගියේ හොඳින් මදෙස බලා රවමින් වාගේ ය. එනමුදු ම’මුවග වූ මඳහසට නම් අල්ප මාත්‍රික හානියක් සිදු වූයේ නැත.
මට ඕනෑ වූයේ ලියන්නට අවස්ථාවක් ගන්නට නොව ඔහු දකින්නට යයි කී වෙලේ, මේසයට නැඹුරු වී සුරතේ ඇඟිලි වලින් මුව වසා ගෙන විශ්මිත දෑසකින් මදෙස බලා සිටි විදුර වරදත්ත සපුතන්ත්‍රි ගේ බැල්ම සිහි වන විට මගේ මඳ සිනහව ලොකු සිනහවකට පෙරළිණ. සැබවින් මා රිය පදවන්නට වූයේ තනිව සිනහ වෙමිනි. ඒ සිනහව නවතා ගෙන ආරක්ෂිත ව රිය පදවන්නයි යටි හිත මට අනතුරු අඟවන තුරු මම පිස්සියක සේ සිනහ වීමි. ඒ බැල්ම ඉදිරියේ ඒ වෙලාවේත් මට සිනහ යන්නට ආවේ ය. නමුත් මම අසීරුවෙන් එය පාලනය කොට ගෙන සිටියෙමි.
“සර් වැරදියට හිතන්නෙපා”
සිනහව මා තුළ ගිලගෙන ම මම මගේ වචන නිවැරදි කිරීමේ උත්සාහයක් දැරුවෙමි.
“මං එහෙම කිව්වෙ…ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මගෙ ලෝකෙ හිටිය එකම වීරය සර් නිසා…කවදහරි දවසක කෙනෙක් ඉස්සරහට ගිහින් කතා කරන්න ඕන කියල හීනයක් මගෙ ජීවිතේ තිබුණනං…මං මේ අද හැබෑවක් කර ගත්තෙ ඒ හීනෙ. ඒත් මං හිතුවෙ මේ සීට් එකේ ඉන්න කෙනා දැං මං ඉස්සරහ ඉන්න කෙනාට වඩා වැඩිහිටි පෙනුමක් තියන කෙනෙක් කියල. මං දන්නෑ සර් විශ්වාස කරයිද කියල…ඒ කාලෙ ඉඳලම සර් ලියපු ආටිකල්ස් මං එකතු කළා. අදත් ඒව බයින්ඩ් කරල ලස්සන පොතක් හදල මං ළඟ තියනව. කවුරු හරි දැක්කනං මට පිස්සු කියල හිතයි. තාම අවුරුදු විස්සක ගෑනු ළමයෙක් ඒ වගේ පොලිටිකල් ආටිකල්ස් වලට වහ වැටෙන්නෙ ඇයි කියල මංවත් දන්නෑ. සමහර විට…සර් වගේ සීනියර් ජර්නලිස්ට් කෙනෙක්ට මේව හරි සාමාන්‍ය දේවල් වෙන්නැති. ඒත් මට මේක විශේෂයි. හැම වීකෙන්ඩ් එකක් ගෙවෙද්දිම මං හරි බයේ හිටියෙ ඒ ආටිකල් එකකින් කේන්ති ගිය පොලිටීශියන් කෙනෙක් මොන කරදරයක් කරයිද කියල. අනේ පරිස්සමෙන් සර්”
කවදාවත් නාඳුනන මිනිසෙකු ඉදිරියේ කතා කොට නැති ආවේගයකින් මම නො නවත්වා කියවා ගෙන ගියෙමි. එසේ කළ පසු මගේ හදවත නිදහස් වූයේ ය. මා ඉදිරියේ හිඳ ඉන්නා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ඉතා සන්සුන් මුණිවර විලාශයකින් මදෙස බලා ගෙන ම සිටියේ ය.
“තෑන්ක් යූ මට මුණගැහෙන්න චාන්ස් එකක් දුන්නට. සර්ගෙ අකුරු වලටයි ඒ අකුරු ලියන දේශපාලන යක්කුන්ට බය නැති හිතටයි හරිම ආදරේ ගෑනු ළමයෙක් මේ ලෝකෙ කොතනක හරි ඉඳල හැමදාම සර්ට බ්ලෙස් කරනව. මං යන්නං”
මම හෙමිහිට අසුනෙන් නැගිට ගතිමි. ඒ වෙලාවේ විදුර වරදත්ත ගේ ඇස් වල තිබූ බැල්ම ගැන කිසි ම කිසිවක් කියන්නට මට තේරෙන්නේ නැත. ආලෝක වර්ෂ ගණනකට පෙර මිය ගිය, ඈත මන්දාකිණියක කෙළවරක උන් තාරකා යුග්මයක දුක්බර මන්දාලෝකයක් ඒවායින් වෑහිණි. ඔහු දෙතොල් තද කොට පියා ගෙන සිටියේ ය. නමුත් කියන්නට හුඟක් දේවල් ඒ හිතේ පොර බදමින් තිබුණා සේ ය මට දැනුණේ. ආපසු එන්නට වීදුරු දොරට අත තබද්දීත් ඔහු “තිසුරි” කියා ම අමතනු ඇතැයි මට සිතිණ. නමුත් එවැන්නක් වූයේ නැත. මා පිටුපසින්, ඔහු ගෙන් මිදුණු හුස්මක් සුළි කුණාටුවක්ව හමා එන සෙයක් මට දැනිණ.
සමහර මොහොතවල් එහෙම ය. කොයි තරම් තදින් බදා වැළඳ ගෙන ඉන්නට ඕනේ කියා සිතුණත් අත් හැර එන්නට සිදු වේ!
තාත්තා ගෙදර පැමිණ සිටි බව මා දැන ගත්තේ ඔහු ගේ මෝටර් රථය නැවතී තිබීම නිසා ය. එක ම ගෙදරක ජීවත් වුණත් තාත්තා හා අම්මා වෙන් වී සිටිති. වෙන් වීමක් කියන්නේ එය නීත්‍යානුකූල දික්කසාද වීමක් නොවේ. ආත්මීය වෙන් වීමකි. අම්මා දේශපාලනයට විත් ඇති කර ගන්නට වූ පටලැවිලි වල ඇරඹුමේ දී ම මේ වෙන් වීම සිදු විය. තාත්තා ගෙදර උඩු මහල වාසභූමිය කර ගෙන තනිව ජීවත් වූයේ ය. ඔහු උයා පිහා රෙදි සෝදා ගත්තේ ද තනිව ය. අම්මා කිසි සේත් උඩු මහලට නො ගිය අතර ඇගේ නිත්‍ය පදිංචිය පහළ මහළේ විය. පහළ ගෙදර සේවයට මෙහෙකරුවෝ කිහිප දෙනෙක් ම සිටියහ. ගෙදර ගැන බලන්නට ඇයට වෙලාවක් වූයේ ද නැත. ගෙදර ඉන්නා වෙලාවටත් ඇගේ දේශපාලන චක්ගෝලයන් සමගින් කෙරෙනා ඝෝෂාකාරී නීරස කතා බහ නිසා මට නම් පහළ මහල අපුල ය. මගේ කාමරය වන්නේත් මා වැඩිපුර ගැවසුනේත් සන්සුන් වූ උඩු මහළේ ය. පහළට ආවොත්, අම්මා ගෙදර සිටිනා වෙලාවක නම් අප අතරේ වචන හරඹයක් නොවී තිබුණේ කලාතුරකිනි.
“පුතා කැම්පස් ගිහින් එන ගමන්ද..”
කවිච්චිය මත හිඳ ජනරාව පුවත්පත කියවමින් සිටි තාත්තා මගේ පියවර හඬට හිස එසවී ය.
“අද ලෙක්චර්ස් නෑ තාත්තෙ. වැඩ වගයක් තිබුණ. බුක් ශොප් එකට ගිහින් පොත් වගයක් ගන්නත් තිබුණ”
එය අර්ධ සත්‍යයකි. මගේ ප්‍රධාන ගමන වූයේ විදුර වරදත්ත හමු වීම යයි මම නො කියා සිටියෙමි.
“අර ජර්නලිස්ට් රෙදි ගැලවෙන්න ලියල තියෙන්නෙ”
තාත්තා එහෙම කියමින් පුවත්පත පසෙක දමත්දී මගේ පපුව සුසුමකින් පිරී ගියේ ය. විදුර වරදත්ත ගැන වෙන කිසි දාක නො දැනුණ ආඩම්බරයක් අද මට දැනේ. පෙර කිසි දාක නො දැනුණ සමීප බවක් අද මට ඔහු ගැන දැනේ. මේ මොහොතේ මට ඔහු දුර නැත. ඔහු වූ කලී නමින් හා ලියවිලි වලින් පමණක් මා දැන උන් මාධ්‍යවේදියා නොවේ. තිසුරි කියා ඔහු මට කතා කළ හැටි සවන් ළඟ පිළිරැව් නැගේ. අද ඔහු වෙනදාටත් වඩා හදවතට ළඟ ය. ඒ නිසාමදෝ මට මගේ අම්මා ගැන දුකක් ද දැනේ. බුද්ධිමත් මිනිසුන් ඉදිරියේ දේශපාලකයන් යනු හාස්‍යයක් බව මා නො දන්නවා නොවේ. නමුත් මා හදවතින් ප්‍රේම කළ මිනිසා ඉදිරියේ අම්මා ගේ දේශපාලන නිරුවත හෙළිදරව් වී තිබීම හදවතට වේදනා දනවයි.
“මේ දේවල් වලින් තමුන්ගෙ තරුණ ළමයින්ගෙ අනාගතේටත් කැළලක් වෙයි කියල හිතන්න බැරි තරමට මේ මනුස්සයගෙ මොළේ මකුළුදැල් බැඳුනනෙ ඇත්තට…”
“කැම්පස් එකේවත් මං කිසි කෙනෙක්ට කියන්නෑ තාත්තෙ…අම්ම මිනිස්ට්‍රස් වජිරපාණි කියල. දන්න අය ඇති ඉතිං. වැඩක් නෑ අප්ප ඕව කතා කරලත්. මං තාත්තට තේ එකක් හදන්නං”
විදුර වරදත්ත ගෙන් ජංගම දුරකතන අංකය ඉල්ලා නො ගත් මෝඩ කම යයි පසුතැවීමක් මා තුළ විය. ඒ වෙලාවේ මා ඊට පසු බෑවේ තව දුරටත් ඔහු මා ගැන වරදවා සිතනු ඇතැයි බියෙනි. නමුත් අම්මා ගේ සහචරයන් අතින් ඔහු ට යම් අනතුරක් වන්නට නියමිත යයි ඉව වැටුණොත් හෝ දැනුම් දෙන්නට එය මා සතුව තිබුණා නම් හොඳ ය යන හැඟීම හදවතේ තුනී සංකාවක් ඇති කරවන ලදී.
දවසේ ඉතිරි කාලය මා ගත කළේ කාමරයේ යහන මතට වී ලියුම් කවර සාදන්නට ය. මා තුළ සිටි හුරුබුහුටි දඟකාර ගෑනු ළමයා අවදි වී සිටියා ය. විවිධ වර්ණ වල කඩදාසි වලින් ලියුම් කවර සාදා, ඒවා මත පාට පෑන් වලින් මෝස්තර සිතුවම් කොට හෝ වියළි මල් අලවා හැඩ කළෙමි. ඒ කවර මත පුළුවන් උපරිම ලස්සන ට විදුර වරදත්ත සපුතන්ත්‍රී යන නම ලියා ජනරාව පුවත්පතේ ලිපිනය ලීවෙමි. නමුත් ආපසු ලිපිනයක් එහි නොවී ය. අලුත් කවිත් පරණ කවිත් මුතු කැට අකුරෙන් ලියා ඉතිරි දින කිහිපය පුරා ම ඒවා තැපැල් කරමින් අමුතු විදිහේ චමත්කාර හීනයක පා වෙවී සිටියෙමි. සැබවින් මෙය අනපේක්ෂිත සිහිනයකි. වසර ගණනාවක් තිස්සේ හිත අස්සේ රබර් බෝලයක් සේ යටපත් කර ගෙන උන් පරණ ප්‍රේමයක් හරි හදිස්සියෙන් සියල්ල පෙරලා ගෙන ඉහළට ඇවිත් තිබිණ. ඒ පරණ ප්‍රේමයේ ප්‍රේමවන්තයා කොයි වගේ දැයි චිත්ත රූපය හෝ දැන් මවා ගත නො හැකි ය. විදුර වරදත්ත ගේ කඩවසම් පිරිමි රුව දැවැන්ත ප්‍රතිමාවක් සේ දැන් මා ඉදිරිපිට විරාජමාන ය.
“එයාට මගෙ වයසෙ නැත්තං මට වැඩිය ටිකක් බාල ළමයිනුත් ඇති. ඒත් ඉතිං මට මොකෝ…මං එයාව කසාද බඳින්න අහන්නෑනෙ”
මම හිතත් එක්ක මුරණ්ඩුකම් කළෙමි. අපේ ඒ පළමු හමුවීමෙන් සතියක් ගෙවී අවසාන වී දෙවන සතියේ දින ද හෙමි හෙමිහිට පසුපසට යමින් තිබිණ. ඒ මුළු කාලය පුරා මා හිටියේ අප්‍රකට ව ය. පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති උපාධිය හදාරන සිසුවියක වශයෙන්, අධ්‍යයන කටයුතු ද හුස්ම ගන්නට බැරි තරමට පැටවී තිබුණේ ය. නමුත් සිඳු රළක් සේ ඔහු සිත් ඉවුරේ පෙනපුඬු නගමින් සිටියේ ය. අසීරුවෙන් දෙසතියක් ඉවසා ගත් මම විශ්ව විද්‍යාලයේ සිට ගෙදර එන අතරේ හවසක ජනරාව පුවත්පතට ඇමතුමක් ගතිමි. එදා පළමු දිනයේ ඔහු වෙත දුරකතන සම්බන්ධය යොමු කරත්දීටත් වඩා මගේ හෘද ස්ඵන්දනය උච්ච වී තිබි බව සහතික ය.
“කොහොමද…මදැයි ඉතිං අපිව මතක් වෙච්ච කල්…”
මා හෙලෝ කී ගමන් ඔහු කීවේ එසේ ය. හැම තත්පරයක ම ඔහු මගේ හුස්මත් සමගින් සිටි බව මට කියා ගත හැකි වූයේ නැත.
“යුනි එකේ වැඩ ටිකක් වැඩි වුණා”
උදම් රළ පහරක් සේ නැගී සිටි මගේ හැඟුමන්, මම සිනහවකින් දමනය කර ගතිමි.
“මොනාද ඔයාගෙ සබ්ජෙක්ට්ස්..”
“මං…ප්‍රයිවට් යුනි එකක ලෝ ස්ටුඩන්ට් කෙනෙක්”
“ඕ…ලෝයර් නෝනා කෙනෙක්නෙ. ඒක හොඳයි අඳුරගන්න ලැබුණ එක. අපි ඉතිං නිතරම නඩු දාගන්න මිනිස්සුනෙ”
“කොලිෆයි වෙච්ච දවසක කන්ඩිශන්ස් නැතුව ඕනම දේකදි මං සර් වෙනුවෙන් පෙනී ඉන්න ලෑස්තියි”
වචන පිට වූයේ හිර වූ උගුරෙන්, බර වී වාගේ ය. මොකක්දෝ රිදුමක් මට දැනෙමින් තිබිණි. එහා ඉම නිහඬ වූයේ ය. ඒ තත්පර වීම තුළ රිදුම් වල තියුණු බව වැඩියෙන් දනවන ලදී. මුතු බෙල්ලක කාලයක් තිස්සේ කැවි කැවී හද ගැබෙහි දරා ගෙන ඉන්නා වැලි කැටයක් වාගේ ප්‍රේමයක් මගේ පපුවේත් වේ. එය කාලාන්තරයක් තිස්සේ හදවත සූරමින් පාරමින් පවතින්නකි. මුතු බෙල්ලගේ වැලි ඇටය දිනෙක මුතු ඇටයක් වනු ඇත. මුතු ඇටයක් තනා දී ඇය සිය ජීවිතය නිමා කරනු ඇත. මටත් දැන් උවමනා හදවත මුතු ඇටයෙන් නිදහස් වන්නට ය.
“හෑන්ඩ් රයිටින් හරි ලස්සනයි”
ඔහු ගේ ගොරෝසු පිරිමිකාර හඬ සවන් තුළට රිංගුවේ මා අහසින් පොළොවට ඇද දමමිනි. මා මුදු ලෙස සිනහ වූයේ හරියට ඔහු ට පෙනෙනවා මෙනි.
“ඒ එන්වෙලොප් ටික මං තියාගත්ත”
අයිස් කුට්ටියක් උගුරේ සිට පහළට ගිලා බසින්නා බඳු සීතල සංවේදනයක් බඩ පපුව හරහා ඇදී ගියේ ය. කන් දෙකෙන් දුම් දමන්නා වාගේ මට දැනෙන්නට විය. ඒ අව් අස්සේ මට සිහි වූයේ යමා මහ පෙළහර ය. බුදුවරයෙකුට පමණක් පෑ හැකි ඒ ප්‍රාතිහාර්යයේ දී එක වර සිරුරෙන් ගින්දරත් වතුරත් නිකුත් කළ හැකි වේ.
“මං තව හදල දෙන්නං. සර්ගෙ බබාල මොන වයසෙ වගේද…”
එය නම් අවස්ථාව ලැබුණ ගමන්, ඇතැම් විට බලයෙන් ම අවස්ථාවක් උදා කර ගෙන යොමු කළ හරස් ප්‍රශ්නයක් ලෙස මම පිළිගමි. නීති සිසුවියක හරස් ප්‍රශ්න එල්ල කරන්නට දැන ගෙන සිටිත යුතු ය. ඔහු කොටු කර ගන්නට ලැබුණ ජයග්‍රාහී හැඟීමෙන් මගේ මුවට හිතුවක්කාර සිනහවක් ආවේ ය.
“බබාල ඉන්න ඉතින් පවුලක් පන්සලක් තියෙන්නෙපැයි තිසුරි”
හුම්මානය වාගේ සතුටු ප්‍රවාහයක් මා තුළින් ඉහළට විද්දේ ය. එතැන සතුටට හේතු දෙකක් තිබිණ. එකක් ඔහු අවිවාහකයි කියා වැරදීමකින් හෝ ඇසීම ය. දෙවැන්න සූරි යන දුරකතන ක්‍රියාකරවන්නිය කියනා මගේ නම වෙනුවට ඔහු ට මගේ නිවැරදි නම මතකයේ තිබීම ය.
“ඒකනං බොරුවක්”
මම සැහැල්ලුවක් මවා ගනිමින් කීවෙමි. විදුර තරමක් හඬ නගා සිනහ වූයේ ය.
“බැඳල නෑ කියල හුඟක් පිරිමි කියන බොරුවට ලෝයර් නෝනා කෙනෙක් අහු වෙයිද…නේද..”
ඒ සිනහව අතරින් ම ඔහු කීවේ ය. මේ වෙත්දී මා හිටියේ මගේ මෝටර් රථය පාර අයිනට කොට නවතා ගෙන ය. ඒ නිසා ඇස් දෙක පියා ගෙන ඒ හඬත් එක්ක චිත්ත රූප මවමින් ඒ තුළ මොහොතකට ජීවත් වන්නට මට හැකි විය.
“මං කරන ජොබ් එකේ හැටියට මගෙ ජීවිතේ කොයි මොහොතෙ කොයි විදිහට කෙළවර වෙයිද කියල මංවත් දන්නෑ තිසුරි. කොහෙවත් ඉන්න ගෑනියෙක් මගෙ ළඟට අරගෙන…දරු පවුලක් අවදානමේ දාල අතරමගදි ජීවිතේ අත්ඇරල යන්න ඕන්නෑ කියන එක හැමදාම මං හිතුව දෙයක්. ගෙදරින් කොච්චර ට්‍රයි කළාද කසාද හොයන්න. ඒත් මං කීයටවත් ඒකට ඉඩ දුන්නෑ. මෙහෙම ලේසියි. කොයි වෙලාවෙ යන්න වුණත් මට හිස් අතින් යන්න පුළුවන්. මං එනකල් නිදි මරාගෙන ගෙදර බලං ඉන්න ගෑනු නෑ. මං මැරුණත් තනි වෙන්න දරුවො නෑ. අම්ම තමයි දුක් වෙන්න ඉන්නෙ. අම්මත් දැන් පදං වෙලා ඉන්නෙ මේ දේවලට. දැනටමත් මං හින්ද එයා උහුලල තියන ගින්දර…මාව මරල කියල දැනගන්නවට වැඩිය අමාරුවක් ඇත්තටම දැනටම එයා විඳල තියෙනව. තවත් ගෑනියෙක්ව ඒ දුකට ඇදල දාන්න ඕන නෑ නේද…ම්…”
විදුර ඒ අන්තිම ටික කීවේ මට ද? ඔහු කෙරේ මා තුළ වන උන්මාදය තේරුම් ගන්නට බැරි තරමට ඔහු බබෙකු නොවේ. මගේ ඇස් වලින් ද මගේ හඬ තානයෙන් ද සන්නිවේදනය වන ප්‍රේමය හැඳින ගන්නට බැරි තරමට ඔහු අසංවේදී මිනිසෙකු නොවේ. එනයින් ඔහු ඒ කීවේ මා ඔහු ගේ ජීවිතයට සමීප වීමට උත්සාහ නොකොට දුරින් සිටිත යුතුයි කියා ද?