ඒ වූ කලී සව්මිය වූ චමත්කාර හීනයකි. විදුර වරදත්ත විසින් නො කියා කියන්නට යෙදුණේ මා ඔහු ගේ ජීවිතයට දුරින් සිටිත යුතු බව වී ද මට ඔහු මොනවා කීවත් කමක් නැත. මම දෙතුන් දිනක් ම වලාකුළුමය හැඟීමක පා වෙවී සිටියෙමි. විදුර ට කතා කිරීමේ උවමනාව උමතුවක් සේ මා තුළ ඔඩු දුවන්නට වූයේ ය. නමුත් පත්තර කන්තෝරුවට කතා කොට නිතර ම සූරි ගේ නම කියා ඔහු ඉල්ලන එක අප දෙදෙනා ගේ ම අභිමානයට කැළලක් ඇති කළ හැකි යයි ඒ පිස්සුව අතරේ ම මට කල්පනා විය. ඒ නිසා ම මම පුළුවන් තරම් අධ්‍යයන කටයුතු ගැන අවධානය යොමු කළෙමි.
තාත්තා විශ්‍රාම ගැනීමට තීරණය කළ බව ඔහු මට කීවේ මේ අතරේ දිනෙක ය. ලස්සන හීන අතරේ නරක ආරංචි ද පැමිණිය හැකි ය. තාත්තා විශ්‍රාම ගන්නට හදනවා ය යන ආරංචිය ඒ තරම් මා දෙදරවාවියි මා සිතා තිබුණේ නැත. එය ඔහු ට විවේක සුවයෙන් ඉන්නට අවස්ථාවක් බව සැබෑ මුත් විශ්‍රාම යනවා කියන්නේ වයසට යාම ඇරඹුණ බව පිළිගැනීමේ සාධකයකි. අපේ මනසේ පරම්පරා ගණනක් තිස්සේ තැන්පත් වී තිබෙන්නේ එහෙම අදහසකි. සේවයෙන් විශ්‍රාම ගන්නේ තව දුරටත් ජව සම්පන්න ව වැඩ කළ නො හැකි මිනිසුන් ලෙසට ය. තාත්තා වයසට යාම ගැන හදිසි බියක් අදිසි ලෙස මා තුළට රිංගා ගත්තේ ය.
“අනේ ඇයි තාත්තෙ…තාත්තට තව වැඩ කරන්න පුළුවන්නෙ”
ඔහු ළඟින් හිඳ මා විචාලේ කම්පිතව ය. තාත්තා උපේක්ෂා සහගත සිනහවක් පෑවේ ය.
ඒත් දැං මට හරියට දේවල් අමතක වෙනව පුතා. එහෙම තමයි ඉතිං වයසට යනකොට. අපි සොබා දහමට අවනත වෙන්න ඕනෙ. අනික කාලයක් තිස්සෙ වැඩ කරපු අපි තරුණ ළමයින්ට ඉඩ දීල දැන් පොඩ්ඩක් අයින් වෙන්න ඕනෙ. ගොඩක් තැන් වල හම්පඩ වයස උන්දැලත් බහිරවයො වගේ ඒ පුටු අල්ලගෙනම ඉන්නව. මට ජීවත් වෙන්න පෙන්ශන් එක තියෙනවනෙ පුතා. දැන් අක්කත් බැඳල…මං අකමැති මනුස්සයෙක්ව වුණත් අම්ම අක්කව එයාට ඕන කෙනාට බන්දල දුන්නනෙ. දැන් ඔයාගෙ ඉගෙනීමේ මූලික වැඩත් ඉවරයි. ඒක නිසා ලොකු බරක්වත් බයක්වත් මගෙ හිතේ නෑ”
තුවාලයක් සේ මගේ උගුර රිදුම් දෙන්නට විය. තාත්තා අධ්‍යාපන පරිපාලන අංශයෙහි දිගට ම සේවය කළේ ය. ඔහු දේශපාලන වාසි නොලැබූ, අනීතික ලෙස වංචා දූෂණ වලට සම්බන්ධ නොවූ අවංක රාජ්‍ය නිලධාරියෙකු ලෙස සිය සේවය නිමා කරන්නට හදයි. ඒ කියන්නේ මගේ තාත්තා වයසට යන්නට හදයි. කුඩා සාවියේ පටන් මේ ගෙදර ඇතුළේ මා දුටු වීර චරිතය තාත්තා ය. ඔහු නිතර ම අසාධාරණයට විරුද්ධ වූයේ ය. වංචා දූෂණ හෙළා දුටුවේ ය. තක්කඩි මැර දේශපාලනය අවඥාවෙන් බැහැර කළේ ය. ඒ සියල්ල නිසා අම්මා ට ප්‍රතිවිරුද්ධ වූ මාවතක ගමන් කළේ ය. අම්මා හා තාත්තා අතරේ මත ගැටුම් වලදී මා හැම විට ම ගත්තේ තාත්තා ගේ පැත්ත ය. ඒ ඇතැම් අවස්ථාවක අම්මා මට ද දොස් කීවා ය. අප දෙදෙනා එක ළඟ හිඳියදී අම්මා හා දුව නොව නැන්දම්මා හා ලේලිය තරමට අප අතරේ විරසක ඇති විය. එනමුදු තාත්තා හැමදාමත් හදවතේ රැඳී සිටියේ සෞම්‍ය ආලෝක දැල්ලක් සහිත මැටි පහනක් සේ ය.
“තාත්තට පෙන්ශන් එකක් නැති වුණත් මට පුළුවන් තාත්තව බලා ගන්න. ඒක ගැන නෙවේ මං කිව්වෙ. පෙන්ශන් ගියාම හුඟක් අය ඉක්මනට වයසට යනව. ලෙඩ වෙනව. අර පුරුදු මිත්‍ර සමාගම් වලිනුයි වැඩ වලිනුයි ඈත් වෙලා හුදෙකලා වෙන නිසා. ඒ වගේම දැන් ඉතින් වයසයි කියල ෆීලින් එකක් ඔටෝමැටිකලි හිතේ පැලපදියං වෙන්න ගන්න නිසා. ඔන්න තාත්ත එහෙම වෙන්න බෑ හරිද…පෙන්ශන් ගත්තට කොල්ල වගේ ඉන්න ඕනෙ. ලස්සනට නීට් එකට වෙනද වගේම ඇඳල කරල ඇවිදින්නයි යාළුවො හම්බ වෙන්නයි යන්න ඕනෙ. ඉඳහිටල කට්ටිය සෙට් වෙලා පොඩි ඩ්‍රිංක් එකක් ගත්තට කමක් නෑ. හැබැයි බේබද්දෙක් වගේ බොන්න ඔට්ටු නෑ ඔන්න. එක්සර්සයිසස් කරන්න ඕනෙ. ජොගින් යන්න ඕනෙ. ඩොක්ටර් මීට් වෙන්න ඕනෙ. වවන්න පුළුවන්නං ඒකත් ශෝක්. අපි එළවළු පළතුරු ටිකක් වවමු එහෙනං. තාත්ත වවන්න මං තමයි අස්වනු නෙලන්නෙ හැබැයි”
“මගෙ පිස්සු කෙල්ල”
තාත්තා සිනහ වූයේ ය. මා ද සිනහ වෙස් මුහුණකින් හැබෑ මූණ වසා ගත්ත ද සැබවින් ම නාඳුනන වේදනාවක් මට වද දුන්නේ ය. තාත්තා වයසට නොයා සිටිය යුතු ය!
ඒ ශෝකාකූල චිත්ත තරංග වලින් එතෙරට පිහිනා යන එක පහසු වූයේ නැත. කවියක් ලියන්නට තියා පත්තරය බලන්නටවත් මට හිත එකලාස කර ගත නො හැකි විය. කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් ද යහනට වැටෙමින් ද යළි නැගිටිමින් ද මම හිතත් එක්ක නො සන්සුන් සටනක් කරමින් සිටියෙමි. මට ඕනෑ වූයේ සන්සුන් වන්නට ය. නමුදු මා සන්සුන් කරවන මං පෙතක් පේන මානයක නොවිණි. වෙන දෙයක් වුණාවේයි සිතා ගෙන මා ජනරාව පුවත්පතට දුරකතන ඇමතුමක් ගත්තේ මගේ සිතිවිලි රළ එක්ක පොර බැඳීම තව දුරටත් කළ නොහැකි වූ යාමයේ ය.
“මිස්ට විදුරනං එළියට ගියාද මන්ද. පොඩ්ඩක් ඉන්න බලන්න”
කියා ඉලෙක්ට්‍රෝනික කටහඬ දැනුම් දෙත්දී අවසාන බලාපොරොත්තුවත් උඩු සුළඟට හසුව ගසා ගියා වන් අපේක්ෂා භංගත්වයක් දැනිණ. කෑ ගසා අඬන්නට හිතෙනා තරමට ඒ පීඩනය දැඩි වූයේ ය. මම ඇස් දෙක පියාන, කාන්දු වෙමින් තිබි කඳුළු වල මග අවුරා ගෙන සිටියෙමි.
“හෙලොහ්”
මියෙන්නට පණ ගැහෙමින් සිටි වෙලාවක ජීවිතය පැත්තෙන් කැඳවීමක් ලැබුණ සෙයින් තිගැසසී ගෙන මම නැගී සිටියෙමි.
“අනේහ්. තෑන්ක් ගෝඩ්”
මට එහෙම කියවිණ. ඒ හිතා මතා කියූ දෙයක් නොවේ.
“තිසුරි….”
ඒ ස්වර අතරේ ප්‍රශ්නාර්ථයක් ලියැවී තිබිණ.
“මං බය වුණා ගිහින් කියල”
“යන්න ලෑස්ති වෙලා තමයි හිටියෙ. තව විනාඩියෙන් මිස් වෙන්න තිබුණ”
“අනේ මං හරී දුකෙන් ඉන්නෙ. ඒකයි කතා කළේ”
බොරු කියන්නට මට ඕන වුණේ නැත. කිසිත් මවා පාන්නට මට ඕන වුණේ ම නැත. හැබෑ තිසුරි බණ්ඩාරනායක ලෙස ඔහු අභියස පවතින්නට දැඩි ලෙස මට ඕන විණි.
නමුත් ඔහු යම් කිසි නිහඬ බාවයක් දරා සිටියේ ය.
“අපේ තාත්ත පෙන්ශන් යන්න ඩිසයිඩ් කරල”
එතෙක් දරා ගෙන උන් කඳුළු දෙපෙළ කම්මුල් දිග පහලට ගලා යන්නට පටන් ගත්තේ ය. ක්ෂණික ව ශ්වසන පද්ධතිය අවහිර විය. මා හුස්ම ගත්තේ මුව මඳක් විවර කොට ගෙන ය.
“හ්ම්..”
විදුර මට කතා කරන්නට අනුබල දුන්නේ කල්පනා කරමින් කියා සිතමි.
“මට දුකයි. තාත්ත වයසට යනව කියල හිතන්න ඕන්නෑ මට. තාත්ත වයසට යනව බලන්න ඕනත් නෑ මට”
වේදනාවේ බර හැම වචනයක් ගානේ ම, හැම අකුරක් ගානේ ම, හැම නැවතුමක් ගානේ ම විය. අන්තිමට මම කඳුළු වලට ඕනෑ දෙයක් කර ගන්නට හැරියෙමි. ඒවා හිර කර ගෙන ඉන්නට ඉන්නට හිත බර කරනවා වැඩි ය.
“අනේ කෙල්ලෙ”
ඔහු සිය විධායක අසුනේ හරි බරි ගැහෙනා හැටි මම හිතෙන් මවා ගතිමි.
“මං ලියන පොලිටිකල් ආටිකල්ස් වලට හුරේ දාන කෙල්ලද එතකොට මේ තාත්ත පෙන්ශන් යනව කියල හොටු පෙර පෙර අඬන්නෙ…ආ…”
ඉසිහින් සිනහවක සර මට දැනිණ. බෙල්ල බදා ගෙන ඔහු ට තුරුලු වී හොඳට ම අඬන්නට මට ඕනෑකමක් දැනුණේ ය.
“අනාගත ලෝයර් නෝන කෙනෙක් නේද මේ…ලැජ්ජයි අප්ප අපිටත්. සූරි කියල ලොකු ටෝක් දීල කවි ලියන චූටි කෙල්ලගෙ ඇත්ත තත්වෙ තමයි ඔය නේ…”
“ඉත්…තිං…”
“මේක ඉපදෙන මැරෙන ලෝකයක් තිසුරි. ඒ අතරෙ තමයි හැම දේම වෙන්නෙ. වයසට යන එක ලෙඩ වෙන එක මැරෙන එක අපිට නවත්තන්න බෑ. ඔයා බුද්ධාගමේ වෙන්න ඇතිනෙ. මන්නං ඉතිං ආගමික මිනිහෙක් නෙවේ. ඒ කොහොම වුණත්..ජීවත් වෙන ටිකට සිද්ද වෙන ඕන ම දෙයක් දිහා අකම්පිතව බලං ඉන්න පුළුවන් තරමට අපි යථාර්ථවාදී මිනිස්සු වෙන්න ඕනෙ”
“මං දන්නව ඉතිං…ඒත් හිත හදාගන්න හරි අමාරු වුණා”
“හිත් හදාගන්න දුක කියන්න නාඳුනන පිරිමි දේවාල කර ගන්න එපා..තේරුණාද ඔයාට…”
“මං දේවාල වන්දනා කරන ළමේක් නෙවේ අප්ප”
මා එහෙම කීවේ තරමක ලැජ්ජාවක් ද ඇතිව ය.
“තාත්ත ඇරුනම වෙන කිසි පිරිමියෙක්ට මං දුකක් කියල නෑ. මේ අවුරුදු විසි එකට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලත් නෑ. ඒත් මට දැනෙනව…විදුර වරදත්ත කියන්නෙ වඳින්න ගියාම ඔළුව උඩ කඩං වැටෙන දේවාලයක් නෙවේ කියල”
මම මගේ සීමාව අතික්‍රමණය කරමින් සිටියෙමි. ඒ ගැන මට කිසිදු ප්‍රශ්නයක් නැත. මම මෙතුවක්, වසර ගණනාවක් මගේ හැඟීම් හදවත් සිපිරි ගෙහි හිර කොට ගෙන සිටියෙමි. ඊට හේතුව නම් විදුර වරදත්ත ලෙස මගේ හිතේ මැවී තිබූ පිළිරුව මට ළඟා විය හැකි සීමාවක කෙනෙකු නොවේ ය යන සිතිවිල්ලයි. ක්‍රියාවට නො නංවන තාක් කල් හැඟීම් වලට කිසිදු වටිනාකමක් නැත්තේ ය. තව දුරටත් මට මගේ හැඟීම් අක්‍රියව පවත්වා ගන්නට උවමනා නැත.
“මොනාද කරන්නෙ…”
සිය ප්‍රකාශයෙන් මා අපහසුවට පත් වී යයි සිතා දෝ විදුර මාතෘකාව වෙනස් කළේ ය. සැබවින් මට එය පහසුවක් විය.
“තාත්ත මේක කිව්ව වෙලාවෙ ඉඳන් හුස්ම ගන්නත් බෑ වගේ දැනි දැනි කාමරේට වෙලා ඉඳල මේ කෝල් එක ගත්තෙ. එළියට ගියාද කොහෙද කියල ෆෝන් ඔපරේටර් කියද්දි ඒ බලාපොරොත්තුවත් කඩං වැටිල ගියා. අනේ මට මොබයිල් නම්බර් එක දෙනවද…ප්ලීස් ප්ලීස්…හැම තිස්සෙම කතා කරල කරදර කරන්නෑ. අයි ප්‍රොමිස් යූ”
ඔහු ගේ සිනහසර ඇසිණ. අඳුරු වලාකුළු ඈත දුර ඈතකට පලා ගියා සේ මගේ සිත් අහස එකළු වන්නට විය. සිය ජංගම දුරකතන අංකය කිසිවෙකුට නොදෙනා බවක් ඔහු කීවේ ය. එය ඔහු ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවරකි. දේශපාලන සතුරන් බහුල ඔහු වැනි මාධ්‍යවේදියෙකු සමග ගනු දෙනු කළ හැකි සීමාව පිළිබඳව මම මගේ පෙම් හිතට වාරණ පනවා ගතිමි.
“සොරි…මං එහෙම දෙයක් හිතුවෙ නෑ. ඒක ඇත්ත. පරිස්සමට ඉන්න ඕන කෙනෙක් ගොඩක් පරිස්සං වෙන්න ඕනෙ”
“හරි හරි ආච්චි. ඔයාගෙ නම්බර් එක කියන්නකො”
මා අංක ටික කියත්දී හූමිටි තබමින් ඔහු එය ජංගම දුරකතනය මත සනිටුහන් කර ගත්තේ ය.
“ඔය ඇලර්ට් එක එන්නෙ මගෙ නම්බර් එකෙන්”
දුරකතනය ඔස්සේ සිය ජංගම දුරකතන අංකය නො කියා ඉන්නට තරම් ඔහු ප්‍රවේසම් වූ බව මට වැටහුණේ පසුව ය. විදුර වරදත්ත ගේ පෞද්ගලික ජංගම දුරකතන අංකය පවුලේ අය හා අතිශය සීමිත විශ්වාසවන්ත කිහිප දෙනෙකු අත පමණක් පැවතිණ. පත්තරයෙන් සපයා තිබූ අංකයෙන්, ඔහු පිටත සිටියදී රාජකාරී ඇමතුම් ලබා ගත්තේ ය. නමුත් එය අනිත් වෙලාවට තිබුණේ ක්‍රියා විරහිතව ය. කාර්යාල සගයන් පවා නො දැන සිටි පෞද්ගලික දුරකතන අංකය මට ලබා දීම ගැන මගේ ගැහැනු හදවත උණුහුම් ව පැවතිණ. එය මට දෙන්නට තරම් විශ්වාසයක් සිය ඉවට දැනුණ බවක් පසු අවස්ථාවක ඔහු කීවේ ය. කෙසේ වෙතත් දින ගණනාවක් ඒ අංකය දෙස බලා ගෙන ද දුරකතනය පපුවට තුරුලු කොට ගෙන ද, ප්‍රේමය යනු කෙතරම් ගැඹුරු වූ හැඟීමක් දැයි මම උගෙනිමින් සිටියෙමි.
“මහ ලොකුවට ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තට මොකෝ සතියකින් කෝල් එකක් දුන්නෑ”
ඊට පස්සේ මා කතා කළ වෙලාවේ විදුර කීවේ ය. පපුවෙන් පදාසයක් නාය ගියා වන් සෝදා පාළුවක් මට දැනිණ. ඒ කියන්නේ මා කතා කරාවියි ඔහු බලා ගෙන සිටි බව ද? නමුත් ඔහු ළඟත් මගේ දුරකතන අංකය තිබිණි. අවශ්‍යතාවයක් වී නම් ඔහුට ද කතා කරන්නට තිබිණි. නමුත් ඔහු එහෙම නො කළේ මා සිය ජීවිතයට ලං කර ගෙන දුකට පත් නො කළ යුතු යයි හැඟීමෙන් ද?
“මං දන්නෝනෙ ඉතිං…කෝල් කරල කරදර කරන්න බෑ කියල”
කතා නො කළ ද ඔහු මගේ හදවතට ළඟින් ම සිටි බව නො කියා මම හුරතලයක් පෑවෙමි.
“මං හිතුව යුනි එකේ වැඩ වැඩිවෙලා ඇති කියල”
“වැඩත් තිබුණ ඉතිං”
මා එසේ කීවේ එක තත්පරයකට හෝ ඔහු මා ගැන හිතා ඇති බව දැන ගත් ප්‍රහර්ශයෙනි.
“අද කතා කළෙත් උදව්වක් ඉල්ලන්න”
“උදව්වක්…”
“හ්ම්…”
“කියන්න ඉතිං…ලෝයර් නෝන කෙනෙක්ට මේ මං වගේ පත්තර කාරයෙක්ගෙං ඕන උදව්ව මොකද්ද..”
මම ඇස් දෙක පියා ගෙන ඔහු ගේ හඬ මගේ හදවතට තුරුලු කොට ගනිමින් සිටියෙමි. ප්‍රේමය කියනා හැඟීම දුරට දැනෙනා තරම් චමත්කාරජනක වූ යමක් මේ විශ්වයෙහි වෙන නොමැති බව මට ඉඳුරා පැවසිය හැක. මම ඒ චමත්කාරය තුළ කිමිදෙමින් ද ගිලෙමින් ද ආදරයේ හතර මායිම් වල දිග පළල සෙව්වෙමි.
🩷’මා හිස පිරිමැද’ පිළිබඳව ඔබට දැනෙනා හැඟීම්, ඔබ එය කියවන තැනක ලියා යනවා නම් මට සතුටු ය. ඒ නැත ද ලයික් එකක්, රතු හදවතක් තියා යන්නට අමතක නොකරනු ඇතැයි සිතමි.