පරන යකඩ හට්ටි මුට්ටි – අවසාන කොටස

බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල…
හොදට හැපෙන්න ඕනා කියලා  අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා.

පරණ යකඩ හට්ටි මුට්ටි එකතු කරපු මම.. කුඩු පැකට් තොගයකට හිරේ ගිය මම.. අම්මා අප්පා  අන්දෝ සංසාරයක් නැති මම…
එදා මේ වගේ ගෙදරක ගේට්ටුවෙන් ඇතුළට නොගත්ත මම…

ඇත්තටම මේ රටේ මිනිස්සු ගැන හිතනකොට මට හරි පුදුම හිතුනා.
ගේබ්‍රියල් පාදර් කාරයා තමා මරු කතා කියන්නේ..

අයිසේ සදිස…
දැන් බලනවා…මේ රටේ මිනිස්සු සෝයාමීට් පැකට් එකක් ගන්න ගියත් මිල බලයි..ඉකුත් වෙන දිනය බලයි…
ඒ සාමාන්‍ය මනුස්සයෙක්..
ඊට වඩා ටිකක් දැන උගත් මනුස්සයෙක් ගියොත් මිල ..
කල් ඉකුත් වීම ..නිෂ්පාදිත දිනය.. අඩංගු ද්‍රව්‍ය වගේම සෝයා මීට් එක ගහලා තියෙන්නෙ පිළිගත්තු නිෂ්පාදන ආයතනය කින් ද කියන එකත් බලයි..
වැඩිය ඕන්නෑ අයිසෙ.. පොඩි එකෙකු ගේ හුජ්ජ වලට අන්දන පැම්පස් පැකට් එකක් ගන්න ගියාම අම්මලා හොයන ජාති..
ඔය දක්වන සැලකිල්ලෙන් දසම කාලක් මේ රටේ පාලකයෝ පත්කරගන්න සැලකිලිමත්  වුනානම්…
අද මෙහෙම වෙයිද…
සදිස හිතනවද තව අවුරුදු විස්සක් ගියත් මේ රටේ මිනිස්සුන්ට ඕක තේරුම් කරවන්න පුළුවන් කියලා…
ඒකටත් ප්‍රධාන හේතුවක් තියෙනවා.මම කියපු දැන් ඔය කතාව තේරුම් ගන්න පුළුවන් හුඟක් මිනිස්සු මේ රටෙන් යනවා.මොකද කියනවනම් රට හදනවට වැඩිය ලේසියි හදලා  තියෙන රටකට යන එක..
භාගෙට භාගයක් මේ රටේ ඉතුරු වෙන්නේ දලං කෑලි…
ඒ වගේ එවුන්ට කවදාවත් තමන්ගේ කතිරේ වටිනාකම තේරුම් ගන්න බෑ..තමන්ගෙ කතිරය පාවිච්චි කරලා තෝරන පාලකයා තමන්ගේ මුණුබුරාගෙත් අනාගතය තීරණය කරනවා කියන එක උන්ට තේරුම් ගන්න බෑ…හැබැයි ඒක තේරුම් ගත්තු දවසට.. මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් පත් වෙන්න විදිහක් වෙන්නෙත් නැහැ…

ගේබ්‍රියල් ෆාදර් කතාව සහතික ඇත්ත කියලා මට හිතුණා. සෝයාමීට් පැකට් එක විදිහට මේ රටේ කතිරය ගහපු හුඟක් එවුන් මං ගැන  හෙවුව නම්…
අඩුම තරමේ මගෙන් ඇහුවා නම් ඔහේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා…
ඇත්තටම මට දෙන්න උත්තරයකුත් නැතුව යනවා..
සමහර  වෙලාවට පණ්ඩිතයෙක් වගේ මම ඒ වෙලාවට උත්තර දෙයි.. පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති ටික ගිරවෙක් වගේ මමත් කියයි..ඒත් ඒවා වචන විතරයි..ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති බව  මෙච්චර අවුරුදු ගාණක් තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන  මිනිස්සුන්ට නොතේරෙන එක ගැන මට හරි පුදුමයි. මම පාර්ලිමේන්තුව ඇතුලට ඇවිල්ලා ඉන්නේ පේදුරු ජුදාස් ගේ ව්‍යාපාර ටික හරියට කරගන්න ඕනේ හින්දා කියලා  විපක්ෂයෙන් කොයිතරම් කෑගහල කිව්වත් මගේ ඡන්ද දායකයෝ ටික ක්‍රිකට් කියන කං ඇබයෙන් බීරි වෙලා හිටියා.

මනුෂ්‍යත්වය මානවහිතවාදය මේ වචනවල තේරුමවත් නොදන්න ලංකාවේ මිනිසුන්ට දේශපාලනේ කියන්නේ හරි බොහොම ඉහළ දෙයක් කියල තමයි හිතාගෙන ඉන්නේ. කලාව සෞන්දර්ය බින්දුවක් හරි ඇගේ තියෙන මනුස්සයෙක් නම් මේ තරම් මනුස්සකම අඳුරන්නෙ නැති සමාජය ක් ඇතිවෙයිද..

ඔය හැමෝම කියනවා වගේ විද්‍යාවෙන් ලෝකය දියුණු කරන්න පුළුවන්ද..
අපේ ඇමැති දොස්තර රසාංග නං කියන්නෙ විද්‍යාව හින්දලු මාතෘ මරණ අඩුවෙලා උපත් ප්‍රතිශතය වැඩි වෙලා ජීවන ආයුකාලය වැඩි වෙලා තියෙන්නේ.. ඒ කතාව හරි තමයි.. ඒවා ඉතින් ඉලක්කම් විතරයි..
මිනිස්සුන්ගේ සංවේදීකම සහකම්පනය මනින්න එකම මිම්මක්වත් තියෙනවද..අපි වගේ දේශපාලනඥයින්ට කවදාවත් මිනිස්සුන්ගේ හැඟීම්වලට ළං වෙන්න පුළුවන් උනාද..
මේ දේවල් මට දැනෙන්න පටන් ගත්තේ මෙලනි ව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ.පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් දෙනා එක්ක කතා කරන හැම වෙලාවකම උන්ගේ කටවල් වල තිබුනෙම අර ටෙන්ඩර් එක මේ ටෙන්ඩර් එක පාස් කර ගන්නේ කොහොමද අර වැඩේට කොමිස් එක කීයද මේ වැඩේට කොමිස් එක කීයද.. ඩුබායිවලට ආයෝජනය කරනවා නම් කීයද සිංගප්පූරුවට ආයෝජනය කරනවා නම් කීයද වගේ දේවල් තමයි.

මම ඉතින් ඕවා නොදන්නවා වගේ අහගෙන ඉන්නවා.අපි ආයෝජනය කරලා තියෙන ඒවා කාටවත් කියන්න යන්නේ මොකටද කියලා මට ඒ වෙලාවට හිතෙනවා.මැතිවරණ දෙක ඉහලින්ම දිනවල දීපු හින්දා ජයසංඛ ලොක්කා මොනවා ද මට නොදුන්නෙ…
පේදුරු ජුදාස් දෙන මාසික ගතමන්ට් කවුද දන්නේ..
රජයෙන්  කෙරෙන ව්‍යාපෘතිවලට හදන වෙළඳ දැන්වීම් වලට ලංකා ඇඩ්ස් වල ටෙන්ඩර් එකම පාස් කරන හින්දා  උන්ගෙන් මොනවද නොලැබෙන්නේ..
අසරණ සරණ හා යළි නගා සිටුවීමේ අමාත්‍යාංශයට පිටරට නිල නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර නූලට මිම්මට ගිණුම් කටයුතු වලට නොදාන බව කවුද දන්නේ.. කවුද හොයන්නේ..

මට මං ගැනම පුදුම හිතුනා.
රටේ ජනාධිපතිත් එක්ක හිත ගත්තු ගෑනු ලමයගෙ දෙමව්පියන් බැහැ දකින්න යන මම..
විශ්වවිද්‍යාල ආචාර්යවරියක ගේ ආදරය දිනාගත්තු මම..

මේ අපේ නායකතුමානේ..

මෙලනිගේ තාත්තා  නානායක්කාර කිව්වා.

ආ.. එතකොට මේ අපේ හිටපු බන්ධනාගාර ඇමති නානායක්කාර ගේ….

මල්ලි …

අහ්.. හොඳයි .. බොහොම සතුටුයි අඳුනගන්න ලැබීම ගැන.

ඉඳගන්න..ඉතින් ඉතින් මොකද මේ පැත්තෙ…

ඔන්න නානායක්කාර මහත්තයා අද ආවෙ දේශපාලනය කතා කරන්න නෙවෙයි.. ඊට වඩා බොහෝම වැදගත් දෙයක් කතා කරන්න..
මේ ඉන්නේ මගේ කණ්ඩායමේ ඉන්න දක්ෂම කෙනා.මිනිහා පාර්ලිමේන්තුවට අලුත් උනාට පරිපාලනයට උපන් හපන්කම් ඇති මිනිහා..
සදිස අතපත්තු.
අසරණ සරණ හා යළි නඟාසිටුවීමේ අමාත්‍යාංශයේ අලුත් ඇමති… ඔබතුමාගේ දෝණිට මනාපෙන් ඉන්නවා. අද ආවෙ ඒ මනාපෙ ඉල්ලන්න..

එහෙම කියලා ජයසංක හිනා උනා..

එදා නානායක්කාරට වචනයක්වත් කතා කරගන්න බැරුව ගොලු වුණා. ඒ වෙනකොට මෙලනිගේ මහප්පා  මගේ විස්තර හැම එකක්ම මෙලනිගේ පවුලේ අයට කියලා තිබුණා.දේශපාලනයේදී සදාකාලික මිතුරන්වත් සදාකාලික හතුරන් වත් නොමැති බව නානායක්කාර ට මතක් වෙන්න ඇති.රටේ ජනාධිපති ඇවිල්ලා කතා කරනකොට සමහර විට ගොලු වෙන්න ඇති.ජීවිතේ සමහර සිද්ධි වලට තමන්ට උනත් අතපොවා ගන්න පුළුවන් වෙන්නේ සීමාසහිතව කියන එක තේරුම් යන්න ඇති..

ඒ ගෙවුණු අතීතය ….
හෙට මෙලනිගේයි මගෙයි කසාදේ..මගේ පැත්තේ සාක්ෂියට අත්සන් කරන්න උන්නෙත් ජයසංකමයි..ඒ හෙට කියන දවස එනකම් මම අවුරුදු කීයක් බලාගෙන හිටියද… කොයි තරම් ජීවිතයේ බාධක වලට මුහුණ දුන්නද..

කාලය හැමදාම  එකම වේගයකින් ගලාගෙන ගියාට මෙලනි ගෙයි මගෙයි මගුල් දවස එනකම් මම බලාගෙන හිටියේ හරි අමාරුවෙන්.මට හිතුනා ඒ දවසට පැය ගණන වැඩියි කියලා.

මිරාල් අයියා නැහීගෙන වැඩ කළා.

මල්ලියේ අලුත්ම පොල් ගෙඩියක් ගෙනාවා. කැත්ත පණ පෙව්වා නුලට..ඔන්න මමයි පොල් ගෙඩිය බිඳින්නේ..ඔය එක එකාට ඕක බාර දෙන්න එපා.

මිරාල්  අයියා එහෙම කියනකොට මගේ ඇස් දෙකට කඳුළු පිරුණා.
ඒ වෙනකොට මම මගෙන් මිරාල්  අයියට අහිමි වෙලා තිබිච්ච බට්ටා වෙනුවට රෝසා බස් එකක් පර්මිට් එකත් එක්කම අරන් දීලයි තිබුනේ..

පේදුරු ජුදාස් ට ආරාධනා කලාට මගේ හිත යටින් කිව්වෙම ඒක මහ කරදරේක පෙරනිමිත්තක් කියලයි.

මං උඹට හදවතින්ම සුබ පතනවා සදිසො..ඒත් ඔතන මාද්‍යකාරයො  පිරිලා නේද… මං ඔතනට ආවොත් ඊළඟ පාර උඹ චන්දෙ  ඉල්ලලත් හමාරයි… කිව්වා .

ඉන් එහාට මට වචනයක්වත් කියන්න හිතුනෙ නැත්තේ හරියට ජුදාස් අයියා මගේ හිත කියෙව්වා වගේ ප්‍රශ්නය තේරුම් ගත්තු හින්දයි.

චාම් මල් වැල් දෙකකින් මෙලාගෙ කොණ්ඩය සරසලා තිබුණා. ජයසංක එක්ක ආන්ඩුවේ වැඩකට දකුණු අප්‍රිකාවට ගියපු වෙලේ මම අරගෙන ආපු සුදු පාට කපු රෙද්දෙ අතින් මහපු  පුංචි රෝස මල් වැටිච්ච
සාරිය මෙලාට නූලට කැපුනා.
මට නිකමට හිතුනා..මේ සාරියම සඳමාලි ඇන්දනම්.. ආයිත් මට මං ගැනම ලැජ්ජ හිතුනා..ලක්ශ්මී දේවතාව ඉස්සරහ මොනවටද මම… මොනවටද මම සඳමාලි ගැන කල්පනා කරන්නේ..

කාටවත් නොකිව්වට ග්‍රෑන්ඩ්බෙල් එකට සඳමාලි එයි කියලා මගෙ හිත යටින් බය උනා. විරුද්ධ පක්ෂයේ උන් නිකං හරි ඔය ගැන දැනගෙන තිබුණනම්  සඳමාලි ව හොයාගෙන ගිහිල්ලා එක්කගෙන එයි කියලා හිතුනා. මොනවා උනත් ඡන්ද දෙක දිනන්න ක්‍රිකට් අල්ලලා කරපු මගඩිය මගඩියක් ම බව විරුද්ධ පක්ෂයේ අය හොඳටම දැනගෙන හිටියා.
උන් බලාගෙන හිටියෙ වැඩේ පත්තු වෙනකන්.හෝටල්  පරිපාලනයට මම දැනුම් දීලා තිබුණා මගුල් ගෙදරට අදාළ මිනිස්සුන්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ඇතුලට එන්න දෙන්න එපා කියලා.

අපි දෙන්නා අපේ මදුසමයට යන්න දාගෙන තිබුණේ නුවරඑළියට..මෙලනි මීදුමට සීතලට කඳු වලට හරි ආසයි.මීදුමෙන් වැහීච්ච හෝටලයේ උද්‍යානයේ බංකුවක් උඩ මෙලනි  මගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන හිටියා. එදා දවස මට කිසිම මහන්සියක් දැනුනේ නැහැ.මෙලා නං කිව්වා එයාට අඩි උස සපත්තු දාගෙන ඉඳලා කකුල් දෙක රිදෙනවා කියලා .
මම එතකොට හිනා උනේ මෙලා ගොඩෙ කෙල්ලෙක් වගේ අඩි උස සපත්තු වලට කකුල් රිදෙනවා කියපු හින්දයි.
මම මෙලාගේ කකුල් දෙක මගේ ඔඩොක්කුවට අරගෙන අතගෑවා.
මගේ ජීවිතේ මෙලා දන්නෙ  හරියටම බාගයයි. ඉතුරු භාගය දැන ගත්තු දවසට මට මොකක් වෙයිද…

සීතලද…

ම්ම්…

යං ඇතුළට ….

මෙලනි හිනාඋනා ..ඒ හිනාවට සමහරවිට මං මැරෙනකම්ම ආදරය කරයි..

මට හිතුන අපේ ජීවිත නවතින්නේ නැති ඔරලෝසුවක් වගේ කියලා.ආපහු ඉර උදාවෙන දවසක මේ දූපත ඇතුලෙදි මට සඳමාලි ව මග අරින්න බැරුව යයි..
පේදුරු ජුදාස් සේදර් අතඅරින්න බැරුව යයි..
ගහපු ගේම් හැමදාම වැව්  පතුලෙම තියෙන  එකකුත් නැහැ.
අහුවෙන දවසකුත් එයි..
මගේ යටගියාවත් හැමදාම හංගන්න පුළුවන් වෙන එකක් නෑ.. ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අන්තිම මොහොත දක්වා ම රැඳිලා ඉඳලා බැරිම තැනක් ආවොත් මෙලනි වත් අරගෙන මේ රටෙන් යනවා කියලා මම හිතා ගත්තා. සීතලම සීතල නුවරඑළියේ මෙලනි ගෙයි මගෙයි ජීවිත පටන් ගන්න පළවෙනි දවස අද.නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් හිත හිතා මොකට දුක් වෙනවද කියල මට හිතුනා.මැතිවරණ දෙකක්ම උඩින්ම ජයග්‍රහණය කරවන්න පුළුවන් මොළයක් මට තිබුනනං..ඉතුරු ටිකත් මේ විදිහටම ගත කරන්න බැරිකමකුත් නෑ කියලා හිතුණා….
දරුවන්ගේ අනාගතය ගැන බිංදුවක්වත් හිතන්නේ නැති වැඩිහිටි පරම්පරාවක් අපේ වටේ ඉන්න තාක් කල් අපි බය නෑ. අපේ නායකතුමා නිතරම කියන්නේ මොලේ තියෙන මිනිස්සුන්ව කොහොමහරි මේ රටෙන් පන්නන්න ඕනේ කියන එකයි.
ඉතුරු වෙන දළං කෑලි පාලනය කරන්න ආගමානුකූලව පින් පව් ගැන කාවද්දමු කියලා තමයි  අරියධම්ම හාමුදුරුවෝ නිතරම කියන්නේ.
ඇත්තට ඒකෙත් හැටි …
මේ මිනිස්සුන්ට ටිකක් හරි කල්පනා කරන්න මොලේ තිබුණ නම්..හිතන්න එපායැ..අපි කරන දේවල් වල හැටියට ආගම ඇත්ත නම්..මේ විදිහට සැප ලබන්න හම්බවෙනවද කියන එක..  මැරුණායින් පස්සේ කොයි ලෝකෙ යනවද මොනවා වෙනවද කියන එක පොතේ පතේ මිසක් ප්‍රායෝගිකව අත්දැක්ක කෙනෙක් මේ කපේට හොයාගන්න නැති බව මේ ඉතුරු වෙලා ඉන්න දලන් කෑලි ටිකට තේරෙන්නෙ නැති හැටි…

සැප ලබන මිනිසුන්ට ඉරිසියා කරන්න එපා කියලා මිනිසුන්ගේ ඔලුවලට කාවද්දන්න බලන්න. එහෙම ඊරිසියා කළොත් තමන්ටත් ඒ දේවල් ලැබෙන්නේ නැහැයි කියලා නිතර දෙවේලේ ප්‍රධාන නාලිකාවල විකාශනය වන බණ වලින් දේශනා කරන්න ඕනේ කියලා අපේ ජයසංක ලොක්කා මීඩියා බණ කියන  හාමුදුරු ගොල්ලන්ව දැනුවත් කරලා.
තිබුණා.

ආගම කියන්නේ අපිට වඩා පල්ලෙහායින් ඉන්න මිනිස්සුන්ව හිර කරලා තියාගන්න පුළුවන් හොඳම වෙපන් එක කියලා  අපේ බ්‍රිගේඩියර් කරුණාතිලක නිතරම කියන කතාවක්.

සාදය හමාර කළ හැක්කේ පීඩිත ජනතාවට පමණක්ම බව තේරුම් ගන්නා තෙක් අපේ පන්දම දළු දදා ඇවිලෙනු ඇත.

නිමි…

තවත් ලස්සන කතාවක් සමඟින් ඉක්මනින් හමුවෙමු…
අදහස් දැක්වූ ඔබ සැමට ගොඩක් ස්තුතියි…

More Stories

Don't Miss


Latest Articles