පෙමාතුර -8

ඉරිදා දහවල මා කාමරයේ යහනෙහි වැතිර පොතක් කියවමින් සිටියදී සනෝජා පුංචි එහි ආවා ය. මම පොත පසෙකට කොට ඇදෙස බැලුවෙමි.

“මේ…අර කොල්ල ඇති නේද..”

ඇය කොල්ලා කියා කීවේ ආදරය තැවරි ස්වරයකිනි. ඔවුන් අතරේ මීට පෙර කිසිදු සබඳකමක් වූයේ නැත. දැන හැඳින ගෙන සිටියේත් නැත. කතා බහ කළේත් එදා රෝහලේ දී වචන කිහිපයක් පමණකි. නමුත් සමහර අය නො සිතන ලෙස නො සිතූ මොහොත වල හිත් වලට සමීප වෙති. විසල් නො දැන ම ඔහු අපේ ගැහැනු ගෙදර ගැහැනුන් ගේ ආදර ගෙීරවයට පාත්‍ර ව සිටියහ. ඔහු වූ කලී ජීවිතයක් ගලවා ගත් වීරයෙකි. ඒ ගෞරවය සදහට ම අපගේ හදවත් වල ඔහු වෙනුවෙන් පවතිනු ඇත.  

මගේ හදවතේ ඔහු වෙනුවෙන් වෙන් වී තිබූ ඉඩ හෝ  ප්‍රේමයෙන් ඔහු නිසා ආතුර වීම වෙන ම දෙයකි. එය පෙර කී ගෞරවයට කිසි සේත් අදාල නොවන්නකි. 

“ඉන්නවද කියල මන්නං දන්නෑ පුංචා…බලමු”

කියාගෙන මම ඇඳෙන් නැගිට ගතිමි. අප සඳැල්ලෙහි වීදුරු දොර හැර ගෙන එහි යත්දී ඔහු ගේ දොර හැර දමා තිබිණි. නමුත් කිසිවෙකු පේන්නට හිටියේ නැත.

“මොකද්ද කොල්ලගෙ නම…මට මතක නෑ”

“ම්…විසල් නේ…”

“විසල්…විසල්..”

පුංචී තරමක් හඬ නගා කතා කළා ය. ඔහු ඇතුළත සිට සඳැල්ලට ආවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි.

“කොහෙ හරි යන්න වගේ..”

පුංචි සිනා සී විමසුවා ය. ඔහු කළු ලිනන් අත් කොට කමිසයක් හා තද නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටියේ ය. රැවුල් කොට මුහුණ පුරා ඉහිරෙන ලෙස වැවෙමින් තිබිණි. මට ඔහු ගෙන් නෙතු මුදා ගන්නට සිහි වූයේ නැත. කමිසයේ බොත්තම් පෙළ විවර වන තැන අව් කණ්ණාඩියක් එල්ලී තිබිණි. බැල්කනි වැට අල්ලා ගත් ඒ වමතෙහි ජීශොක් වර්ගයේ අත් ඔරලෝසුවක් විය. 

“ගෝල්ෆේස් පැත්තට යන්න කියල”

මට ක්ෂණික ව ඇය සිහි විය.

“ආ…ප්‍රොටෙස්ට් එකට…”

“යාළුවො සෙට් එකක් එක්ක”

මදෙස බලා යළි පුංචි දෙස බලමින් ඔහු එසේ කීවේ ඇයි ද කියා නම් මම නො දනිමි.

“ඩිනර් එකකට ඉන්වයිට් කරන්නයි කතා කළේ”

මුලින් ම ඒ මුහුණේ ඇඳුණේ ආකර්ෂණීය සිනහවකි. සැබවින් එය වූ කලී කෙල්ලකට ඉවත බලන්නට නො හිතෙන විදිහේ සිනහවකි.

“බර්ත් ඩේ පාටි එකක්ද…”

නැවත ද ඒ දෙනෙත් මවෙත යොමු විය. මම දෙතොල් තද කර ගෙන සිනහවක් පා බිම බැලුවෙමි.

“එහෙම දෙයක් නෙවෙයි විසල්. මේක ඔයාට දෙන ට්‍රීට් එකක්. ඔයා එදා කරපු උදව්ව නිසා අපිට ඒක සෙලිබ්‍රේට් කරන්න වුණත් පුළුවන් වුණේ…”

“ඒකනං එහෙම ලොකු දෙයක් නෙවෙයි. මනුස්සයෙක්ට උදව්වක් ඕන වෙලාවට මනුස්සයෙක් මිස කවුද ඉන්නෙ…හැබැයි ඉතිං ඩිනර් එකක් දෙන්න හිතපු එකනං හොඳයි”

එසේ කියා ඔහු හඬ නගා සිනහ වූයේ ය. 

“මෙහෙම බොඩ් වෙලා කඩ කෑම කකා ඉන්න අපිට ගෙදරක උයන කෑම ටිකක් කනව කියන්නෙත් ලොකු දෙයක්නෙ”

පපුවේ යම් කිසි තැනක දැවීමක් ඇති විය. නමුත් ඒ වෙනුවෙන් කිසිත් කළ නො හැකි බව මම දැන සිටියෙමි.

“එහෙනං රෑට එන්න. එළියෙන් කෑම ගෙන්නන්නයි හිතුවෙ. ඒත් ඉතිං විසල් කැමති ගෙදර උයන කෑම කන්නනං අපි හදන්නං. රසනං කොහොම වෙයිද කියන්න බෑ”

“රස වෙයි රස වෙයි”

ඔහු ත් පුංචි ත් දෙදෙනා ම එක වර සිනහ වූහ. නමුත් මගේ ඇස් පමණක් සිනහ වෙමින් සිටියේ ය. 

අප යළි ගෙතුළට ආවේ මගේ හිත සඳැල්ලේ තබා විය යුතු ය!

ආදරය මිනිස් ජීවිත මත ක්‍රියා කරන ආකාරය නිවැරදි ව හැඳින ගන්නට තවමත් මම අපොහොසත් ව හිඳිමි. ඔහු ට පෙම්වතියක හිඳින බව දැන දැන වුව මගේ හදවතේ ඔහු නිසා උපන් ගැස්ම තුනී ව ගියා නොවේ. අනිත් අතට ඒ ප්‍රේමය හද ගුහාවේ හංගා ගෙන නතර වෙන්නට තනත්දී ම ඔහු ව තවත් ලං කරනා හේතු ඇති වෙමින් පවතී. ඒ නිසා හමන සුලං මකුළු දැල් බැඳ නවතා ලන්නට නො වෙහෙසී සිද්ද වෙන දෙයක් දෙස නිසොල්මනේ බලා හිඳිනු මනා යි මම සිතා ගතිමි.

“මං හිතන්නෙ කොල්ල දුර ගමක..මෙහෙ බෝඩ් වෙලා කඩෙං කන්නෙ. රහට කෑම ටිකක් හදල දෙන්න ඕන”

පුංචී අන්තර්ජාලයෙන් කෑම වට්ටෝරු පිරික්සන ගමන් කීවා ය.

“මං කියන්නද…අපිට හොඳටම හදන්න පුළුවන් ඒව වෙන වෙනම හදමු. එතකොට එ් ඔක්කොම රස වෙයිනෙ”

“අක්කට බෑ ඕව කරන්න”

“අක්ක ඕන නෑ. අපි හදමු”

“මන්නං උයන ඒව දන්නෑ හොඳේ. මං ඉතිං ඔය මොනාහරි අමුවෙන් කපල සැලඩ් කරං කන එක්කෙනානෙ”

මම කල් ඇතිව ම කීවෙමි. ඒ අනුව සැලඩ් එක හා තක්කාලි සුප් එක තනන්නට පැවරුණේ මට ය. පුංචි හා නදීරා හැන්දෑවේ සිට ම කෑම පිසීමේ අරගලයක් කළහ. අම්මා පුටුවක හිඳ ඔවුන් ට අත් උදව් දුන්නා ය. උයන්නට ඔවුන් යොදනා ශිල්ප දෙස මම පසෙකට වී සිනහ වෙවී බලා සිටියෙමි.

“ඉස්සර සමහර දවස් තිබුණා මං මාර විදිහට මහන්සි වෙලා උයනව. මනුස්සයට කාල යන්න. ඒත් සත පහකටවත් ඒ මහන්සිය ගණං ගන්නැතුව කන්න බෑ කියල මේ මනුස්සය ගෙදරින් යනවනෙ. මං පස්සෙ දන්නෙ. එහෙම ගිහිං අර අනිත් ගෑනිට කියන්නෙ මං උයන්නෑ…මං එයා ගැන බලන්නෑ…අරව මේව…එහෙම කියල ඒ ගෑනිගෙ අනුකම්පාව දිනා ගෙන තමයි එතනත් පවුලක් නඩත්තු කරන්න ගත්තෙ”

නදීරා ව්‍යාංජනයක් ඒදන ගමන් කීවා ය. කෙතරම් අතීතයට එක් වූ සිදුවීම් වී ද ඒවා ඔවුන් ගේ මතකයන් ගෙන් ඈත් වී නොමැත්තේ ය. රබර් බෝල බලහත්කාරයෙන් දිය යට ඔබා ගෙන සිටියේ වී ද ඒවා ස්වභාවික ව ගිලී යන්නේ නැත.

“පස්සෙ ඒ ලේඩිම තමයි මට ඒ දේවල් කිව්වෙ. සමහර විට ඒ වෙනකොට එයාත් මේ මිනිහගෙ තරම තේරුං අරං ඉන්න ඇත්තෙ. අවාසනාවකට ඒ වෙද්දිත් එයාට පුළුවන් වුණෙ නෑ ළමයෙක් එක්ක තනියම ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න”

නමුත් නදීරා එය කළා ය. ඇය  කලක් විදෙස් ගත ව රැකියාවක් කොට දියණිය ව උසස් අධ්‍යාපනය සඳහා යොමු කොට යළි ලංකාවට ආවා ය. ඉදිරිය ගැන ඇගේ දියණිය බලා ගනු ඇත. පිරිමින් ගේ වංචනික ප්‍රතිපත්ති නිසා දිගින් දිගට ම අසරණ වෙමින් හිඳින්නේ අනාගතය දෙස ශුභවාදී ව බලන්නට හයියක් නැති දුර්වල ගැහැනුන් ය. ඔවුන් සිතන්නේ කූඩැල්ලන් සේ පිරිමියෙකු ගේ ඇඟේ එල්ලී සිටිනු විනා ජීවත් වන්නට විකල්ප මාර්ගයක් සොයා ගත නො හැකි වනු ඇත කියා ය.

“හොඳ වෙලාවට මන්නං කලින්ම මනුස්සයගෙ හැටි දැන ගෙන අයින් වුණා. මට තියන දුක ඒ යකාට පේන්නම ඒ කාලෙ හොඳ කසාදයක් කර ගත්තෙ නැති එකයි. අපිට කරුණාව නොදක්වන අය නිසා අපි කවදාවත් ජීවිත පරිත්‍යාග කරන්න ඕන නෑ”

ඔවුන් ගේ කතා අසා ගෙන මා එළවළු සලාදය හා තක්කාලි සුප් එක තැනුවේ අන්තිමට ය. කෙසේ හෝ අපි සාරවත් රෑ කෑම මේසයක් සූදානම් කොට ගතිමු.

“අපරාදෙ. සිදත් අයියටත් ඉන්වයිට් කරන්නයි තිබුණෙ”

මුළුතැන්ගේ අස් පස් කරමින් නදීරා කීවා ය.

“නෑ…ඕන නෑ”

අම්මා ඍජු ව කීවා ය.

“මේක අර ළමයට තෑන්ක් කරන්නයි අඳුර ගන්නයි ඇරේන්ජ් කරපු ඩිනර් එකක්නෙ”

රාත්‍රී හත වන විට විසල් මල්වැන්න අපේ දොරකඩ ප්‍රාදූර්භූත වූයේ ය. ඔහු දෙස ඇස් පිය නො හෙළා බලා සිටියා යි දැනුණ ගමන් මම ඔහු ට ඇතුළට ඇරයුම් කළෙමි.

“පුංචා..”

ඔහු සියතෙහි වූ කේක් පෙට්ටිය මගේ අතට දුන්නේ ය.

“ආ…තෑගි උස්සගෙන ඇවිත් ඇයි…අපිටයි ඕන වුණේ ඔයාට තෑන්ක් කරන්න”

ගැහැනු ගෙදරට ඔහු ව උණුසුම් ලෙස පිළිගැනිණ. අරගලය ගැන කතා බහ කිරීමෙන් පසු මා හැරෙන්නට අනිත් ගැහැනු තිදෙන ඔහු ට කෑම මේසයට ඇරයුම් කළහ.

“අපිට කන ගමන් කතා කරන්න පුළුවන්නෙ. නැත්තං අපි පැය ගාණක් තිස්සෙ උයපු කෑම විනාඩි දහයකින් කාල ඉවර කරල මේසෙන් නැගිටින එක අපරාදෙ”

“ඒක ඇත්ත. හරිනං විනාඩි පහලවකින් උයල පැයක්වත් ඒ කෑම රස විඳින්න ඕන”

මුලින් ම පිළිගැන්වුණේ තක්කාලි සුප් එක ය. 

“ම්..නියමයි”

ඔහු එය ට සැබවින් ම කැමති බව ඔහු ගේ ඉරියව් වලින් ම පෙනිණ. ඒ මා සැදූවක් බව කිසිවෙකු නොපැවසීම ගැන මට පහසුවක් දැනිණ.

“මොකද පුතා ඉතිං ප්‍රොටෙස්ට් එකේ තත්වෙ…”

අම්මා පරණ තැනින් ම යළිත් කතාවට මුල පිරුවා ය.

“මිනිස්සුන්ට ලොකු වෙනසක් ඕන කරල තියෙනව කියන එකයි හැමෝම ලොකු පීඩනයක ජීවත් වෙලා කියන එකයි තමයි ආන්ටි ඉතිං පේන්නෙ”

“අපේ පොලිටීශියන්ස්ල සුද්දංගෙන් රට බේර ගත්ත දවසෙ ඉඳලම කළේ ප්‍රභූ පන්තිය කියලයි සමොන්‍ය මිනිස්සු කියලයි සමාජය කොටස් දෙකකට බෙදල සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැත්තට ප්‍රෙශර් එක දාපු එක තමයි පුතා”

“මේ දේශපාලන ක්‍රමය කියන්නෙම ප්‍රෝඩාවක්. දේශපාලකයො පරම්පරා ගාණක් තිස්සෙ මිනිස්සුන්ගෙ ඇස් අන්ද කරගෙනයි මේ ගේම් එක ගහන්නෙ. පොලිටික්ස් කියන්නෙ මඩ වගුරක්. කිසි කෙනෙක් ඔය මඩ වගුරට එන්නෑ මිනිස්සුන්ට සේවය කරන්න බලාගෙන. එහෙම ආවත් පස්සෙ සේවය කර ගන්නෙ තම තමන්ට. අන්න ඒ සිස්ටම් එකයි විසල් වෙනස් වෙන්න ඕනෙ”

“ඒක ඇත්ත”

“ඔය දූෂණය වෙච්ච දේශපාලකයො බලයට ගේන්න මන්නං මතක ඇති කාලෙක මගෙ ඡන්දෙ පාවිච්චි කරල නෑ. එතකොට සමහරු දොස් කියල තියෙනව. ඒක අපේ අයිතිය කියල. අපේ අයිතිය පාවිච්චි කරල දූෂකයන්ට බලේට එන්න කතිරෙ ගහපු නැති එක ගැන මටනං මාර සතුටුයි”

සනෝජා පුංචි තුළ එහෙව් දේශපාලන අවබෝධයක් ඇතැයි මම දැන නො සිටියෙමි. ඇගේ දේශනය අතරේ ඔහු තක්කාලි සුප් රස වින්දේ හැබෑ රසවතෙකු සේ ය. කාටත් රහසේ ඔහු වෙත දැල්වී ගෙන තිබි මගේ ඇස්, එක මොහොතක විසල් ට හසු වූයේ ය. කර කියා ගත හැකි කිසිත් නොමැති ව මම බිම බැලුවෙමි. 

“ඉතිං ඉතිං…අපි විසල් ගැන මොනාත් දන්නෙ නෑනෙ. අපි අඳුරගමු නේද…”

නදීරා වහා ඒ තත්වය සමනය කරනු වස් ඉදිරිපත් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...