නික්ම යාම

ගංගා ඇහැරුනේ තද හිසේ කැක්කුමක් එක්ක.කණ්නාඩිය ඉස්සරහට ගිය ඇයට දකින්න ලැබුනේ නින්දට යන්න කලින් හඬපු නිසා තවත් ඉදිමිලා තියනවා ඇස් දෙකයි.ඔරලෝසුවේ වෙලාව දවල් එක විදියට සටහන් වෙලා තිබුනා.ගංගා හිමින් හිමින් ගිහින් ඉස්තෝප්පුවේන් වාඩිවුණා.

කල්පනා කර කර ඉන්නකොට වෙලාව යනවා ගංගාට දැනුනේ නැහැ.ගේට්ටුව ගාව නතර කරපු වෑන් රියෙන් බැහැලා ආවේ ගංගාගෙ එකම පුතා සදෙව්

” අම්මා “

සදෙව් කෑ ගහගෙන දුවගෙන ඇවිත් ගංගාගේ ඇඟේ එල්ලුනා

” අම්මට සනීප නැද්ද ? “

” නෑ පුතේ. අම්මා දැන් ඇහැරුනේ “

” එහෙනම් කාලා ආපහු නිදා ගමුද? “

සදෙව් ඇහුවේ හුරතල් හඬින්.සදෙව් එක්ක ගෙට යන්නත් කලින් ගේට්ටුව ඇරගෙන ආවෙ විමලා

” අන්න ආච්චි අම්මා එනවා “

සදෙව් දුවලා ගිහින් විමලා අතේ තිබුණ පාර්සලය අතට ගත්තා

” දරුවා එන්න ඉස්සෙල්ලායි මම එන්න හැදුවේ.කොහෙද ඉතින් මේ පාරේ බස් ගාටනවානේ ළමයෝ “

විමලා කිව්වේ ගංගගෙ කනට කරලා.ගංගා ගෙට ගිහින් සදෙව්ට බත් බෙදන අතරේ විමලා කුස්සියේ පුටුවකින් වාඩි වෙලා ගංගා දිහා බලාගෙන හිටියේ ආපු කාරණාව කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිවයි

” ආකාශ් යනවා කිව්වට මෙච්චර ඉක්මනට යයි කියලා මම හිතුවේ නැහැ අම්මේ “

සාලෙ හිටපු සදෙව් ට බත් එක දීලා ඇවිත් ගංගා ම කතාවට මුල පිරුවා

” වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ නේ පුතේ.මේ පොඩි එකා තාත්තා නැති අඩුව කොහොම දරා ගනීද කියලයි මට බය “

තමන්ගේ හිත හදාගන්න එකට වැඩිය පුංචි පුතාගේ හිත හදන්නේ කොහොමද කියලා ගංගා කල්පනා කළා.ආකාෂ් ගෙදරින් නික්මිලා ගිහින් ඒ වෙනකොට ගෙවිලා තිබුණේ පැය කීපයක් විතරයි

” යන්න හදනකොට ඔයා නැවැත්තුවේ නැද්ද ?”

විමලා ආයෙමත් හඬ අවදි කළා

” එයා කවදාවත් මම කියපු එකක් ඇහුවද අම්මේ ?”

” අරක දෙන්නම් මේක දෙන්නම් කියලා උඹ රස්සාවට යන එකත් නතර කරලා මදැයි ආකාශ් අන්තිමට කරපු හරිය “

ගංගා ගේ කඳුළු අලුත් වුණා.ආකාශ් තවමත් තමන්ගේ නීත්‍යානුකූල සැමියා වුණත් , ඔහු හිතින් වෙන කෙනෙකුට අයිති වෙලා තිබුනේ ගංගාටත් හොරෙන්මයි.

” ආකාශ් එයාගේ කාර් එකේ වෙන ලේඩි කෙනෙක්ව දාගෙන යනවා මම දැක්කා “

එක දවසක් ගංගාට ඇමතුමක් ගත්ත ඇගේ පරණ කාර්යාල මිතුරියක් වුණ හර්ශනි කිව්වා

” එයා ඔෆිස් එකේ කාට හරි ලිෆ්ට් එකක් දෙන්න ඇති හර්ශනි “

” ලිෆ්ට් එකක් දෙන බවක් නම් පේන්න තිබුනේ නෑ ගංගා. කෝකටත් ඔයා හොයලා බලන්න.මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට.ඔෆිස් ආව කාලේ ඔයා හැමෝටම උදව් කරගෙන හිටපු හොඳ කෙනෙක් නිසයි මම ඒක ඔයාට කිව්වේ “

පළවෙනි රතු එළිය ඒ විදිහට දැල්වෙන කොටත් ගංගා ඒ ගැන තැකීමක් කළේ නැහැ.තමන්ගෙ ආදරණීය සැමියාව ගංගා ඒ තරමටම විශ්වාස කළා

” ඔයාට අද කලින් එන්න පුලුවන්ද ආකාශ් ? “

” ඒ මොකටද ? “

ආකාෂ් කතා කළේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ටයි පටිය සකස් කරන ගමන්

” පුතාව පාක් එකට එක්කගෙන යන්න .ගොඩ දවසකින් එයා එලියට ගියේ නැහැ නේ”

” අද මට වෙලාවක් නැහැ.ඔයා එක්ක එක්කගෙන යන්න. මම සල්ලි දෙන්නම්”

රුපියල් දාහේ කොළ දෙකක් කන්නාඩි මේසෙ උඩින් තියලා ආකාශ් යන්න ගියා.දවල් ඉස්කෝලේ ඇරිල ආව සදෙව් ව සූදානම් කරගෙන ගංගා හවස පාක් එක පැත්තට ගියේ පයින්මයි

” අම්මා මට අයිස්ක්‍රීම් අරන් දෙන්නකෝ”

සදෙව්ගේ ඇස් නතර වෙලා තිබුණේ පාරෙන් එහා පැත්තේ පෙනෙන නගරයේ ජනප්‍රියම අයිස්ක්‍රීම් සහ පලතුරු බීම හල ගාවයි.ඔහුගේ අතින් අල්ලගත්ත ගංගා පාර මාරු වෙලා ආවේ සදෙව්ට අයිස්ක්‍රීම් අරන් දෙන්න හිතාගෙනයි.කවුන්ටරය ළඟ තියෙන බැංකුවකින් සදෙව් ව වාඩි කරපු ගංගා කවුන්ටරය වෙත ගියා.

තමන්ගේ ඇනවුම් ලබාගන්න තවත් දෙන්නෙක් පෝලිමේ හිටපු නිසා ගංගා වටපිට බලමින් හිටියා.හදිසියේම දුටු දෙයින් ගංගා ගේ දෙපා සීතල වෙලා ගියා.ඇය වෙව්ලමින් සදෙව් ළඟට ගිහින් ඔහුගේ අත් දෙක අල්ල ගත්තා

” පුතේ අපි යමු “

” ඇයි අම්මේ ? “

” පුතා ආස අයිස් ක්‍රීම් එක ඉවර වෙලා. අපි වෙන කඩේකින් අර ගමු “

එහෙම කියපු ගංගා බලෙන්ම වගේ සදෙව් ව අරගෙන අයිස්ක්‍රීම් හලෙන් එළියට ආවා.වෙනත් වෙළඳ සැලකින් සදෙව්ට අයිස්ක්‍රීම් අරගෙන දීපු ගංගා ඔහුව පාක් එකටත් එක්ක ගෙන ගිහින් පොඩි වෙලාවක් ඉඳල ආපහු ගෙදර ආවා .

” හවස මම දැක්ක දේ ගැන ඔයාට මොනව මොනවා හරි කියන්න තියනවද ආකාශ් ? “

ගංගා කඳුලු තද කරගෙන කතා කරේ ආකාශ් හවස ගෙදර ආපු වෙලාවෙ

” මම මොකටද ඒක ඔයාට කියන්න ඕනේ ගංගා ?”

” මම ඔයාගේ වයිෆ් .ඔයා වෙන ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා මගේ ඇස් දෙකෙන්ම දැක්කම ඒ ගැන දැනගන්න මට අයිතියක් නැද්ද ? “

” ඒ අයිතිය මම ඉක්මනට නැති කරන්නම්කෝ “

දැඩි හඬකින් එහෙම කියපු ආකාශ් තුවායත් අරගෙන නාන කාමරයට ගිහින් දොර වහගත්තා.තමන්ගේ මිතුරිය කියපු කතාව ඇත්ත කියල ගංගාට හරියටම වැටහුනේ ඒ වෙලාවේයි.

” මෙච්චර රෑ වෙනකම් කොහෙද ආකාශ් ඔයා ගියේ ? මම ඔයාට කීපාරක් නම් කෝල් කරා ද? “

දවසින් දවස ආකාෂ් වැඩ ඇරිලා ඇරිල ගෙදර එන වෙලාව පහු වෙන්න පටන් ගත්තා.

” මම කොහේ ගියාම තමුසෙට මොකද?”

” දරුවා බලාගෙන ඉන්නවා ඔයා ගෙදර එනකන්”

” අනේ මේ බොරු කියන්නැතුව ඉන්නවා ගංගා “

” ඔය පැටලිලා ඉන්න ගෑණු මනුස්සයා දන්නෙ නැද්ද ඔයාට දරුවෙක් ඉන්නවා කියලවත් ? “

ගංගා කතා කළේ කඳුලු පිහිදන ගමන්

” ගංගා මේ ? මගේ යකා අවුස්සගන්න හදන්න එපා ගෙදර ආපු ගමං “

ඊලග දවසේ ඉඳලා ආකාශ් නිදා ගත්තේ සදෙව්ගෙ කාමරේ.ගංගාට රිදවන්න පුළුවන් හැම විදියකින්ම ආකාශ් රිදවනකොට ගංගා සදෙව් නිසා ඉවසන්න පුරුදු උනා.

එක දවසක සදෙව් ඉස්කෝලේ ගියාටත් පස්සේ ආකාශ් ගංගාත් එක්ක හිටපු නිදන කාමරේට වෙලා ඉන්නකොට ගංගා හෙමින් සීරුවේ කාමරේට ගියා.

” ඔෆිස් යන්නේ නැද්ද ආකාශ් ? ඔයාට මුකුත් අසනීපයක්වත්ද ? “

” මට ඇති අසනීපයක් නැහැ “

” මේ ඇඳුම් සේරම ඇඳ උඩට දාලා ඇයි ? මම අස් කරන්නද ? “

” ඕන්නැහැ. මේව මම අරන් යනවා සේරම “

” අරන් යනවා කිව්වේ ? “

” තමුසෙගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න තවත් මං මෙහේ ඉන්නේ නැහැ “

“අ.. අනේ ආකාශ් “

” නහයෙන් අඬන්න නම් ලෑස්ති වෙන්න එපා ගංගා මෙතන.අපිට තවත් එක වහලක් යට ජීවත් වෙන්න බෑ.ඒ නිසා මම යනවා.ඉක්මනින් ඩිවෝස් එකට ඕන දේවල් මම ලෑස්ති කරන්නම් “

ආකාශ්ගේ රලු වචන ගංගාගේ පපුව පසාරු කරගෙන යද්දි , තමන්ගේ කිව හැකි හැමදේම අරගෙන ආකාශ් යන්න ගියා.

” මොකද්ද පුතේ ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ ?”

ගංගාගේ කල්පනා ලෝකය බිඳුනේ විමලාගේ හඬින්.

” මෙච්චර කල් මට නැති වෙච්ච ජීවිතේ හොයාගන්න ඕනේ අම්මේ “

ගංගා කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්

More Stories

Don't Miss


Latest Articles