බත් පතට වෙනසක් එක් කරන රසවත් බතල කරියක්

කෙඳි බහුල හා කැලරි අඩුවෙන් අඩංගු ගුණදායක ආහාරයක් වන බතල හරිම රසවත්. බොහෝ විට තම්බා ආහාරයට ගන්නා බතල, කරියක් ලෙසත් සකස් කල හැකියි.  අර්තාපල් කරි වෙනුවට දවල් බත් පතට වෙනසක් එක් කරන මෙම බතල කරිය, සැරට කන්න අකමැති අයට ගැලපෙනම කරියක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බතල ග්‍රෑම් 500
  • කුඩාවට කපා ගත් රතු ළූණු 3
  • තලා ගත් සුදු ළූණු බික් 2
  • දිග අතට කපා ගත් අමු මිරිස් කරල් 2
  • අබ ඇට තේ හැඳි 1
  • අවශ්‍ය ප්‍රමාණයට රම්පේ සහ කරපිංචා
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • අමු තුනපහ කුඩු තේ හැඳි 2
  • කහ කුඩු තේ හැඳි ½
  • උකු පොල් කිරි කෝප්ප 1 1/2
  • පොල් තෙල් මේස හැඳි 1
  • රස අනුව ලුණු

සාදන අයුරු:

පළමුවෙන්ම බතල වල පොතු යවා හොදින් සෝදා එය සාමාන්‍ය ප්‍රමාණයේ රවුම් කැබලි වලට කපාගන්න. දැන් ඇතිලියක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා රත් වූ පසු එයට අබ ඇට, කුරුඳු පොතු කැබැල්ල සහ තලා ගත් සුදු ළූණු එක්කර බැදෙන්නට හරින්න. එයටම කහ, අමු තුනපහ හා ලුණු එක් කර හොඳින් කලවම් කර ගන්න. අනතුරුව එයට කපා ගත් රතු ළූණු, අමුමිරිස්, රම්පේ සහ කරපිංචා එක්කර හොඳින් තෙම්පරාදු වෙන්නට හැර එයටම බතල ටික එක්කර හොඳින් මිශ්‍ර කර ගන. ඉන් පසුව අවශ්‍ය ප්‍රමාණයට ජලය එක්කර බතල ටික‍ තැම්බෙන තුරු පියනකින් වසා උයා ගන්න. අවසානයට පොල් කිරි ටික එක්කර කරිය හොඳින් උකුවන තුරු උයා ගන්න.

මෙයට කරවල හෝ උම්බලකඩ වූවත් එක් කර ගත හැක. බතල කරිය සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් එක් කර ගන්නට පුළුවන්.  නිර්මාංශ ආහාර ගන්න අයට මෙය ඉතා රසවත් එකතුවක් වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles