තාත්තා ගැන කිසිදු ඉඟියක් හමු වූයේ නැත. කණිපින්දම් කියමින් වුව අම්මා ද ඇයට කළ හැකි සියල්ල කළා ය. දිවයිනේ සෑම පොලිස් ස්ථානයකට ම තාත්තා ගේ අතුරුදන් වීම ගැන දැනුවත් කොට තිබිණ. රූපවාහිනියේ ද පුවත්පත් වල ද දැන්වීම් පළ කෙරිණි. නමුත් අම්මා විදුර ගේ පුවත් පතෙහි දැන්වීමක් පළ නොකරන්නට වග බලා ගත් අතර, ඔහු එය ස්වේච්ඡාවෙන් සිදු කොට තිබිණි. එය දුටු අම්මා ආවේශ වූවා ය.
“කවුද මේ ජනරාව එකට ඇඩ් එක දාල තියෙන්නෙ..මුංගෙ පත්තරේට මං එක සත පහක් දෙන්නෑ ඇඩ් වලට”
ඇය වෙත වූ ද්වේශය තාත්තා සොයා ගැනීමේ උවමනාවට හෝ දෙවැනි වූයේ නැත.
“මමයි දැම්මෙ”
මම ද අම්මා ට නො දෙවෙනි මුරණ්ඩු කමකින් කීවෙමි.
“පෞද්ගලික හේතු නිසා තෝර තෝර තමන්ට හිතවත් පත්තර වල විතරක් ඇඩ් එක දාල වැඩක් නෑ අම්මෙ. අනික තාත්ත කියවන්නෙ ජනරාව. කොයි විදිහකින් හරි තාත්තව හොයා ගන්නයි අපිට ඕනෙ”
මගේ වචන රතිඤ්ඤා වාගේ පිපිරූ නිසා අම්මා ඊට වඩා දෙයක් කියන්නට ඉදිරිපත් වූයේ නැත.
තාත්තා ගේ අතුරුදන් වීම ගැන එක එක්කෙනා එක එක කතා කීවෝ ය. අම්මලා ගේ විරුද්ධ පක්ෂයේ දේශපාලකයෙක් ඡන්ද රැස්වීමක කියූ කතාවක කොටසක් රූපවාහිනියේ අහම්බෙන් මම දුටිමි. ඔහු කීවේ මෙය අම්මා සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගන්නට කළ උපායක් බවයි. තාත්තා ව කොහේ හෝ සඟවා ඇය මේ වෙලාවේ අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇතැයි ඔහු කීවේ ය.
“අනේ ඔයා එහෙම කළාද අම්මෙ…”
අම්මා ඉදිරියේ දී මට ඒ හැඬුණ ප්‍රථම වතාව විය යුතු ය.
“පිස්සුද ළමයො…”
ඇය මගේ ඇඟට කඩන් පැන්නා ය.
“ඉතිං අර මනුස්සය එහෙම කිව්වෙ…”
“ඒක දේශපාලන රැස්වීමක්. එහෙම තැන් වල උන් මොනාද නොකියන්නෙ…කටක් තියෙනවනං ඕන බ ලු කතාවක් කියල අනික් එකාගෙ ඡන්ද ටිකක් කඩල දාන්නයි තමන්ගෙ ඡන්ද ටික වැඩි කර ගන්නයි තමයි බලන්නෙ. ඕනම කෙනෙක්. හරි මොකද්ද වැරදි මොකද්ද කියල දැනගෙන හිටිය වුණත් දේශපාලන රැස්වීමක වචන පාවිච්චි කරන්නෙ තමුන්ට වාසි වෙන විදිහට”
“ඔයා එහෙම කළානං…ඔයාම ඔය කියන විදිහට තමුන්ට වාසි වෙන හැටියට ඕගොල්ලොන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්නෙ. අනේ එහෙනං අම්මෙ…හරි කමන්නෑ ඔයා තාත්තව එහෙමම හංගගෙන ඉන්න. ඒත් මාවයි අක්කවයි විතරක් එයා ළඟට එක්කං යන්න. ඔයා තාත්තව හංගං ඉන්නතාක් කල් අපි දෙන්න එතනට වෙලා තාත්ත එක්ක ඉන්නං. ඔයා කැමති දවසක එළියට දාන්න. අනේ පව් අම්මෙ තාත්ත. එයාට තනියම ඉන්න බෑ. අනික එයාගෙ බේත් ටික නෑ. තාත්තගෙ මතකෙ අඩු වෙන එක බේත් වලින් කන්ට්‍රෝල් කරන්නෙ. බෙහෙත් නැති වෙනව කියන්නෙ..එයාගෙ මතකෙ හොඳටම නරක අතට හැරෙයි. අපි කාටවත් කියන්නෑ. අනේ අපිට තාත්තව පෙන්නන්න අම්මෙ”
මී දෙනක වාගේ මම ඉකි බිඳ හැඬුවෙමි.
“අමු කැවිලද තිසුරි. මං ඕගොල්ලොංගෙ තාත්තව කොහෙවත් හැංගුවෙ නෑ”
අම්මා තරයේ මා ප්‍රතික්ශේප කළා ය. එවර මගේ ඉකිළුම විලාපයකට ද ශාපයකට ද හැරිණි.
“එහෙම කළානං හොඳක් වෙන්නෑ ඕගොල්ලන්ට. මගෙ අහිංසක තාත්ත. ඔයා කවදාවත් එයාට සැලකුවෙ නෑ. අන්තිමට ඡන්ද ටිකක් වෙනුවෙන් ඒ තරං පහත් වැඩක් කරලනං ඔයා…ඇත්තමයි ඒක ඔප්පු වුණ දවසට පස්සෙ මං ඔයාට අම්මෙ කියල කතා කරන්නෑ. ඊට පස්සෙ ඔයා මගෙ අම්ම නෙවෙයි. අන්න ඒක දැනගන්න”
මගේ හිස සිය ළයෙහි සතපා ගෙන අක්කා ද හැඬුවා ය. නමුත් අපේ ගෑනු කඳුළු වලට කළ හැකි දෙයක් වූයේ නැත. කාලය හා අවකාශය අතරේ අපමණ දේ සිදු වේ. නමුත් මට කාලය නතර වී වාගේ දැනිණ. හඬා වැටීම හැරුණ විට මගේ ජීවිතයේ විශේෂ යමක් සිදු වූයේ නැත. දෙවතාවක් ම පොලීසිය අම්මා ට කතා කොට මහ මගින් සොයා ගත් පිරිමි පුද්ගලයෙකු තාත්තා දැයි හඳුනාගන්නට එන ලෙස දැනුම් දිණි. නමුත් ඒ තාත්තා නොවේ.
“මොන නාඩගමක්ද මේ මනුස්සය මේ නටන්නෙ…මගෙ වැඩ ඔක්කොම නවත්තල ඒ ගමන මට පොලීසි ගානෙ දුවන්න වෙලා එයාව අඳුරගන්න”
අම්මා තදින් නො රිස්සුම් වී සිටියා ය. නමුත් මේ සිදුවීම වක්‍රාකාරයෙන් හෝ ඇගේ මැතිවරණ ව්‍යාපාරයට වාසියක් වූ බව පසුව මට විදුර කීවේ ය.
තාත්තා ට ඩිමෙන්ශියාව සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරයා මා සන්සුන් කිරීමටත් පවතින තත්වය ගැන අප දැනුවත් කිරීමටත් ඉතා සන්සුන් ව හා බුද්ධිමත් ව කටයුතු කළ බව නො කියා ම බැරි ය. ඔහු පැවසූ පරිදි ඩිමෙන්ශියාව යයි හඳුනා නොගත් රොගීන් ද සමාජයේ ඕනෑ තරම් සිටිති. ඇතැම් වැඩිහිටියන් උන්හිටි ගමන් ආ ගිය අතක් නැති වීමට හේතුව, හදිසියේ යම් තැනක දී ඇති වන අමතක වීමක් විය හැකි ය. විශේෂයෙන් කාලය ගැන ද ඉන්නා ස්ථානය ගැන ද නිනව්වක් උන් හිටි ගමන් නැති වී යාමට පිළිවන. අනන්‍යතාව හඟවන සාධක ඔවුන් ළඟ තිබිණි ද බාහිරයෙන් ඔවුන් රෝගීන් ලෙස නො පෙනෙන නිසා හා තමන්ට දේවල් අමතක බව රෝගියා නො දන්නා නිසා ඇතැම් විට මෙසේ අතුරුදන් වන වැඩිහිටියන් යළි කිසි දා පවුලේ අයට සොයා ගත නො හැකි වීමේ සම්භාවිතාවයක් තිබේ. එසේ වූ බවට නිදසුන් ඕනෑ තරම් වෛද්‍යවරයා සතු විය. ඇතැම් විට දින කිහිපයකට හෝ දින ගණනාවකට පස්සේ ද රෝගියා හමු විය හැක.
“මං සාස්තර කියන තැනකටත් ගියා තාත්ත ගැන දැනගන්න”
දවසක් අම්මා අප වෙත විත් කීවා ය. ඇගේ ඇස් වල බොරුවක වංචාවක සලකුණක් නොවූ බව මට විශ්වාස ය. නමුත් මගේ කට කොනකට සමච්චල් සිනහවක් එන්නට ඇත.
“ඇයි තිසුරි හිනා වෙන්නෙ…ඔයා තාමත් හිතන්නෙ මං තාත්තව හංගල ඡන්ද ගන්න හදනව කියලද…”
“ඒක මං දන්නෙ නෑ. හැබැයි ඔය සාස්තර කාරයංවනං මං විශ්වාස කරන්නෙ නෑ. උං හදන්නෙ කවුරුහරි මනුස්සයෙක් අසරණ වුණ වෙලාවට තමුන්ගෙ බඩගෝස්තරේ හොයා ගන්න. ඔච්චර දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට බැරියෑ තමුන්ට හොඳ ඉන්කම් එකක් හදාගන්න වෙන විදිහකට”
“ඕගොල්ලො මාව විශ්වාස කරන්නැති එකේ රටේ මිනිස්සු විශ්වාස කරයිද…ඔය දෙන්නට විතරක් නෙවෙයි…රණ්ඩු කළාට බැන ගත්තට කතා නොකර හිටියට තාත්ත ගැන මටත් හැඟීමක් තියනව. ඒ මගෙ මනුස්සය. මට කරන්න තේරෙන දේවල් තමයි මං කරන්නෙ”
අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගතිමු. අම්මා ගැන ඇත්තට ම අපට තේරුණේ ම නැත. ඇය තාත්තා පිළිබඳව සැබවින් ම කණගාටු වෙනවා දැයි පැහැදිලි කර ගත නො හැකි තරමට ඇගේ ව්‍යාජයෙන් හැබෑව වෙන් කර ගත නො හැකි තැනක අපි සිටියෙමු. මිනිස්සු බොරුව පදනම් කර ගෙන ජීවත් වෙන්නට ඇබ්බැහි වූ කල ඇත්ත කියන දේ ඔවුන්ට පවා ආගන්තුක වී යනවා විය හැක.
“මේක වජිරපාණි වික්‍රමබාහුගෙ වැඩක් කියල මන්නං හිතන්නෑ තිසූ”
ඒ ගැන විදුර ගේ අදහස එබඳු ය. මගේ අම්මා නොව ඊට වඩා ඉහළින් සිටි දේශපාලකයන් ව පවා ඔහු ආමන්ත්‍රණය කළේ නමිනි. ඒ නමට ගරු බුහුමන් කෑලි නො එල්ලීමට ඔහු වගබලා ගත්තේ ය.
අම්මා සම්බන්ධව විදුර ගේ ඒ ප්‍රකාශය මට සැනසිල්ලක් හා අලුත් බලාපොරොත්තුවක් විය. සැබවින් මේ වන විට බලාපොරොත්තු අත් හැරී අපමණ වෙහෙසකින් අප හෙම්බත්ව සිටි කාලය ය. කළ යුතු සියල්ල අඩුවක් නෑර කළ පසුත් තාත්තා ගැන කිසිදු හෝඩුවාවක් නොවන තැන මම මානසික වශයෙන් ගරා වැටී සිටියෙමි. විභාගය නිමා වීමේ සතුට හෝ විදුර ට වැඩි නිදහසක් ලැබී තිබීමේ සතුට උර ගා බලන්නට බැරි තරමට සැනසිල්ල මගෙන් ඈතට ගියේ ය. ඔහුත් එක්ක හැම තැන ම මෝටර් රථයෙන් යමින් තාත්තා ගේ පින්තූරයක් පෙන්වා අපි විපරම් කළෙමු. මා පත් ව සිටි හිස් බවේ තරමට කෙසේ හෝ මට තාත්තා සොයා දීම විදුර ගේ එක ම අභිප්‍රාය වන්නට ඇත. මෙසමයෙහි ඔහු මට වඩ වඩාත් ලං වූවා කීවොත් නිවැරදි ය. ගැහැනු හදවතකට ඇතුළු වී එහි පදිංචි වෙන එක පිරිමියෙකුට පහසු කාරියක් නොවේ. කායික වශයෙන් ඇගේ ශරීරයට ඇතුළු වූවා කියා වුව කෙනෙකුට ඇගේ හදවතට ඇතුළු විය නො හැකි ය. ඒ සඳහා වන විශේෂ ද්වාරයේ යතුර සොයා ගන්නට හැකි වන්නේ සියුම් බුද්ධියක් හා සංවේදීතාවයක් ඇති පිරිමියෙකුට පමණකි. ඇය වඩාත් ආදරය කරන හා රිසි වන්නා වූ දේ හඳුනා ගෙන ඒවා ගැන සැලකිලිමත් වීමට තරම් සියුම් වන්නා වූ පිරිමියාට ඔහු ආදරය කරනා ස්ත්‍රිය ගේ හදවතේ කොටසක් විය හැකි වනු ඇත. වැඩ පාඩු කර ගෙන, නිවාඩු දමා ගෙන විදුර මා සමග තාත්තා හොයන්නට යත්දී මම තව තවත් ඔහු වෙත බන්ධනය වෙමින් සිටියෙමි.
“ඔයාට හිතෙන්නැද්ද නංගි…අපි තවත් තාත්තව හොයල වැඩක් නෑ කියල”
දවසක් අක්කා පවා ඇගේ දරා සිටීමේ සීමාව කෙළවරට විත් ඇසුවා ය. මට හීල්ලිණ.
“ඒත් අපි තාත්තව හොයා ගන්න ඕනනෙ අක්කෙ”
“හොයා ගන්න ඕන තමයි. ඒත් ඔයා දැන්වත් මෙහෙම තැවෙන එක නතර කරන්න මගෙ නංගි. අඬන එක නතර කරන්න. මට බය…ඊළඟට ඔයා ලෙඩ වෙයි කියල. මේක මහ නරක කාලයක් නංගි. අපි හිත් හයිය කර ගෙන මේ සිද්ද වෙන දේවල් වලට මූණ දෙන්න ඕනෙ. මෙහෙං මගෙ ඩිවෝස් එක. එහෙං තාත්ත නෑ. තව..විදුර ගැන බයකුත් අපිට තියනව. ඒ සේරම අස්සෙ ඔයත් අසනීප වුණොත්…මං කියල මොනා කරන්නද…”
“අනේ අක්කෙ…මට බෑ…තාත්ත නෑ කියල හිත හදා ගන්න මට බෑ. තාත්ත ඉන්න ඕනෙ. අසනීප වුනත් එයාව රජෙක් වගේ බලාගන්න අපි දෙන්න ඉන්නවනෙ අක්කෙ. එයා අතුරුදහන් වෙලා කියල නිකංම අමතක කරල දාන්නෙ කොහොමද අපි…”
“නිකංම අමතක කරමු කියල නෙවේ මං කියන්නෙ. අපි හොයමු. ඒත් දුර්වල නොවී. අපිට කොයි විදිහෙ ආරංචියක් අන්තිමට තාත්ත ගැන ලැබෙයිද කියන්න බෑ. එයා කොහේහරි අතරමං වෙලා ඉන්නව වෙන්න පුළුවන් පාර හොයා ගන්න බැරුව…ඒත් නැත්තං තාත්තට එක පාරටම සම්පූර්ණ මතකයම අමතක වෙලා ගිහින්ද කවුද දන්නෙ…එයාට කරදරයක් වෙලාද…”
“නෑ නෑ එහෙම වෙන්නෙ නෑ අක්කෙ…අපේ තාත්ත හිඟන්නෙක් වගේ පාරෙ මැරිල යන්න විදිහක් නෑ”
“නං…ගි. ඒ මගෙත් තාත්ත. ඒත් අපි ඇත්තට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. අනිත් හැම දේටම වඩා දැන් මට බය ඔයා ගැන නංගි”
ඒ දවස් හරි දිගු ය. මූසල ය. පාළු ය. කළුවර ය. හිස් ය. ඇතැම් වෙලාවක මම ඔහේ හැඬුවෙමි. ඒ වෙලාවට හැඬුම නතර කර ගැනීම පහසු වූයේ නැත. එහෙම කරන්නට මට ඕන වුණේත් නැත. ඉතින් මම ඔහේ හඬා වැටුණෙමි. සමහර විටෙක අරමුණකින් තොර ව බලා සිටියෙමි. ඇහේ එක කඳුළක් හෝ නැතිව, කම්මුල් ඉරිතලා යන සේ වියළී යන තෙක් ඉබාගාතේ බලා සිටියෙමි. සුසුම් හෙළුවෙමි. මා දැවී යන ගින්නෙන් මඳක් හෝ නිවී යනු වස් සුසුම් හෙළුවෙමි. එහෙම ශෝක කලාපයක වියරු අනෝරාවේ තෙතබරිත ව සීතලෙන් ගැහි ගැහී ඉන්නා වෙලාවක විදුර කතා කළේ ය.
“ඔහොම හූල්ලන්නෙපා. මං දැන් බෝඩිමේ ඉන්නෙ. ඔයා එන්න. ම්…කැබ් එකක් දාං එනවද…”
“හ්ම්. මං මැරෙන්න යනව වගේ මට දැනෙනව”
“ඒත් ඔයාට පුළුවන්ද මං නැතුව තනියම මැරෙන්න…දවසක් ඔයා බෑ කිව්ව නේද…”
“මට මැරෙන්න දෙන්නැත්තෙ ඔයාගෙ ආදරේ තමයි විදුර”
කම්මුල් වල පරණ කඳුළු පැල්ලම් ද අලුත් කඳුළු සලකුණු ද එක්ක ම මම එහි ගියෙමි. විදුර පෙරට ආවේ ය. මම ඔහුගේ පපුතුර හිස හොවා ඉකි බින්දෙමි. ඔහු මුදු ස්නේහයකින් මහිස පිරිමදිමින් ඉකිළුම සන්සුන් වන තුරු ම සිටියේ ය.