ඔබේ දත් ටික පරිස්සන් කරගන්නෙ කොහොමද දන්නවද?

ඔබේ සිනා ලඟ සිත නැවතුනදා… කියල ජගත් වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන සුන්දර ගීතය ඔබ අහල තියනවනෙ. 

අන්න ඒ වගේ සුන්දර සිනහවක හිනාවක හිමිකාරයෙක් වෙන්න ඔබත් කැමතිද? කවුද අකමැති නේද?

ඒත් දත් පෙන්නලා හිනාවෙන්න ඔබත් බයයිද? දත්වල විවිධ ගැටළු නිසා ඒම බයක් එහෙමත් නැත්නම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ විවිධ ගැටළු ඇති නොවෙන්න ඔබේ දත් ටික පරිස්සම් කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමුද ඒ කොහොමද කියල?

දවසකට දෙපාරක් දත් මදින්න.

මෘදු දත් බුරුසුවක් සහ ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කරල දිනකට දෙවරල් විනාඩි 02 ක කාලයක් ඔබේ දත් සහ දිව මැඳීම නම් අනිවාර්‍යයි. 

ඔබේ දත්වලට හොඳ පෙනුමක් ලබා දෙන්න වගේම දත් සහ විදුරුමස් අතර රැඳී ඇති ආහාර කැබලි සහ බැක්ටීරියා ඉවත් කරන්නත් එය හොඳ උදව්වක් වෙනවා.

උදේට කට ගඳයිද?

අපේ මුඛයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් පමණ වෙනවා. එය ආහාර කැබලි සහ බැක්ටීරියා වලින් පිරී පවතින උණුසුම් වගේම තෙත ඉන්ද්‍රියක්. 

මේ ආහාර කැබලි සහ අහිතකර බැක්ටීරියා දීර්ඝ කාලයක් මුඛයේ තැම්පත් වීම මඟින් සවිමත් කැල්සියම් මඟින් නිර්මාණය වන ස්ඵටික වැනි දත් මැලියම් දත් සහ විදුරුමස් අතර ඇතිවෙනවා.

මේ නිසා විදුරුමස් වලට හානීවීම සිදුවෙනවා වගේම හානිවූ විදුරුමස් නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇතිවෙනවා.

ඒ නිසා රාත්‍රී නින්දේදී එකතුවෙන මේ බැක්ටීරියා ඉවත් කරන්න උදේට දත් මැදීමේ පුරුද්ද ඔබ ඇතිකර ගන්නම ඕන.

ඕනෑවට වඩා ඕනෑම නෑ

දිනකට දෙවරකට වැඩි වාර ගණනක් වගේම වරකට විනාඩි 4 කට වැඩි වේලාවක් දත් මැඳීම දත් ආරක්ෂා කරන්න දත් වටා පිහිටන ආවරණයක් ලෙස පිහිටන දන්ත එනැමලයට හානි වීමට හේතුවක් වෙනවා.

දන්ත එනැමලට හානී වීමෙන් දන්ත ස්නායු අවසන් වන කුඩා සිදුරු වැනි ස්ථාන පිටතට නිරාවරණය වීම සිදුවෙනවා.

මෙය දන්ත සංවේදිතාව ඇති කරන්න හේතුවන අතරම එනිසා ඔබට ශීතකළ හෝ රස්නෙ ආහාර ගන්නා විට දත්වල ඇතිවෙන වේදනාව හෝ හිරිවැටීම වැනි අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා අනවශ්‍ය විදිහට දත් මදීමත් අනවශ්‍ය දෙයක් බව ඔබ හොඳින් මතක තබාගත යුතුමයි.

බුරුසුව දිහා බලන්න.

ඔබේ බුරුසුවෙ කෙඳි හරියට කවුරු හරි ඔබේ බුරුසුවේ කෙඳි උඩ වාඩිවෙලා ඉඳලා වගේ තැලිලා ගිහිල්ලද?

අන්න එහෙනම් ඔබ දත් මඳින විදිහ වෙනස් කරගන්නම වෙනවා. දත් බුරුසුව මත අනවශ්‍ය පීඩනයක් යොදල දත් මැදීම අනවශ්‍ය වගේම ඔබේ එනැමලය හානි කරන්න සෘජුවම බලපාන ක්‍රියාවක්.

ඔබ දත් මදින්න ඕන තම්බපු නැති බිත්තර ගෙඩියක් නොබිදෙන විදිහට බිත්ටර කටුව බුරුසුවකින් මදින තරම් හෙමින් සහ පරිස්සමට කියලයි වෛද්‍යවරු පෙන්වලා දෙන්නෙ. 

ආහාර ගැනීමෙන් සහ යම් යම් දේවල් පානය කිරීමෙන් පසුව ආරම්භ වන ආහාර ජීර්න ක්‍රියාවලියේදී මුල්ම අදීරය සිද්ධ වෙන්නෙ ඔබේ මුඛයේදිනේ. ඔබේ එනැමලයට මුඛය තුළ සිදුවෙන මේ අදිරයේදී දත්වලට සිදුවිය හැකි හානියෙන් දත් ආරක්ෂා කරන්න හොඳ හැකියාවක් තියෙනවා.

ඒ නිස එනමලට හානිවෙන්න නම් ඉඩදෙන්න එපා. 

Flossing කරනවද?

Dental floss නැමති සිහින් නූලක් භාවිතා කර නිවැරදි ආකාරයට දත් අතර රැඳෙන ආහාර කැබලි සහ දත් මලියම් ඉවත්කර ගන්න ඔබට පුළුවන්.

දත් මැදීමේදී මඟ හැරෙන ආහාර කැබලි ඉවත්කරන්න flossing කියන්නෙ හොඳ විසඳුමක්. විදුරුමසේ නොගෑවෙන විදිහට දත් අතර ඉදිරියට සහ පිටුපසට නූල ගෙනගොස් හරි ආකාරව දත් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා.

දත් මඳින්න කලින් හෝ දත් මැදීමෙන් පසුව හෝ මේ විදිහට දත් පිරිසිදු කරගන්න පුළුවන්.  

දවසම බොන්න, දිරාපත් වෙන්න

“Sip All Day, Get Decay” එහෙමත් නැත්නම් දවසම බොන්න දිරාපත් වෙන්න කියල කියන්නෙ මිනසෝටා දන්ත වෛද්‍ය සංගමය පැණි බීම පානය කිරීමේ ඇති අවදානම පැහැදිලි කරන්න ක්‍රියාත්මක කරන දැනුවත් කිරීමේ වැඩසටහන් වල තේමා පාඨයයි. 

පැණිබීම වල අඩංගු ඇසිඩ් වර්ග දත්වල තැම්පත් වීමෙන් එනමලයට සහ දත්වලට සිදුවන හානිය යථා තත්වයට පත්කරන්න හරිම අපහසු බව තමයි ඔවුන් පෙන්වල දෙන්නෙ.

පැණිරස කෑම ඔබට රස කෑමක් විතරක් නෙමෙයි මුඛයේ සිටින අහිතකර බැක්ටීරියා වර්ධනයටත් හොඳ තෝතැන්නක් වෙනවා. 

ඒ නිසා පැණිබීම සහ පැණිරස කෑම වලින් ඈත්ව සිටීම ලස්සන දත් පෙළක ඔබේ සිහිනයට හොඳ උදව්වක්.

අවුරුද්දට දෙපාරක් දත් බලන්න.

නිවසේදී ඔබ අනුගමනය කරන මේ හොඳ පුරුදු වගේම වසරකට දෙවරක්වත් ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවී දත් පරීක්ෂා කර ගැනීම දත්වල පවතින අපිට නොපෙනෙන ගැටළු වගේම මුඛ පිළිකා වැනි රෝග කල්තියා හඳුනගන්නත් හොඳ උදව්වක්.

ඒ නිසා නිරන්තර වෘත්තීය සහය අවතක්සේරු කරන්න එපා.

ලුණු මිශ්‍ර උණු වතුරෙන් මුඛය පිරිසිදු කිරීමත් දත්වල වේදනාවන් සහ අහිතකර බැක්ටීරියා වර්ධනය අවම කරන්න උපකාරී වෙනව.

ඉතිං මේ ලේසි පියවර එක්කම ලස්සන දත් පෙළක් ලබාගන්න ගමන පටන් ගමුද?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles