විදුර ගැන හාංකවිසියක හෝඩුවාවක් නො මැති ව දවස් ගෙවෙමින් තිබිණ. බලා හිඳීම මිස තව දුරටත් මට කරන්නට යමක් තිබුණේ නැති තරමි. ඔහු ගේ දුරකතනය අවදි නොවන්නට සිතා දෝ දීර්ඝ නිද්‍රාවකට එළඹ තිබුණේ ය. මනසින් අන්තයට ම වැටී, විලාප තබා හඬන්නට ඕනෑ වූ මොහොත වල මම ඔහු ගේ වට්සැප් අංකයට පණිවිඩ ලීවෙමි. ඒවා කවදා හෝ ඔහු දකිනු ඇත්දැයි නිශ්චිත බවක් නොවී ද මා හිත නිදහස් කර ගත්තේ එහෙම ය.
එක අරමුණක් වෙනුවෙන් බෝ දිනක් එක ම අපේක්ෂාවකින් බලා හිඳ, එය සිහිනයෙන් හෝ ඉටු වෙනා බවක් නො පෙනෙත්දී මිනිස් සන්තානය සුසානයක තත්වයට පත් වෙනා බව දන්නේ එහෙව් කුණාටු සමයක් හරහා ගමන් කළ මිනිසුන් ය. විදුර ගේ ගෙදර අය ද එහෙම නිෂ්ක්‍රීය බවකට කාල තරණය කරමින් ද රූපාන්තරණය වෙමින් ද සිටියා කියා මම සිතමි. ඔවුන් ගේ මුහුණු වලින් පෙනුණේ ආත්මීය සෝදාපාළුවකි. සුදු කොඩියක් වැනුවා වන් සුදුමැළි බවකි. එළඹෙන දීර්ඝ වූ ශිශිරයකට සූදානම් වෙනවා බඳු හෝන්දු මාන්දු ගතියකි. මළ සොහොන් පිටියක් වාගේ ගේ දොර මූසල වී ගියේ ය. ගෙයක් මිදුලක් අස්පස් කෙරුණේ අතුගෑවුණේ නැත. විදුර යළි නො එතැයි ඔවුන් ඇතුළාන්තයෙන් තීරණයකට එමින් සිටියා සේ ය.
“අපි බලාපොරොත්තු අත්ඇරගන්න නරකයි. මේක ඕන දෙයක් සතියකට වඩා මතක තියා ගන්නැති මිනිස්සු ඉන්න රටක්. ඒ අයට විදුර වරදත්ත ගැන කතා කරන්න මතක තියෙන්නෙ වෙන මාතෘකාවක් හම්බ වෙනකල් විතරයි. ඒත් අපිට විදුර කියන්නෙ පුරාවෘත්තයක් වෙන්න අරින්න බැරි මනුස්සයෙක්. බුදු නොවුණට එයා මිනිස්සු ගැන මහා කරුණාවකින් හිතපු මනුස්සයෙක්. අයුක්තිය අසාධාරණය ඉස්සරහ එයාගෙ පෑන කඩුවක් කියල හිතපු රත්තරං මනුස්සයෙක්. එයා අතුරුදහන් කියල කවුරු අත්ඇරල දැම්මත් අපිට අත්ඇරල දාන්න බෑ. එයා හම්බ වෙනකල්ම අපි ෆයිට් කරන්න ඕනෙ”
මම විදුර වෙනුවෙන් උගුරේ ලේ මතු වෙනකල් කතා කළෙමි. ඔහු සොයා ගැනීම මගේ ඒකායන අරමුණ වූයේ ය. මගේ ජීවන පරමාර්ථය ඔහු වූයේ ය.
“මට තියෙන ලොකුම බලාපොරොත්තුව ඔයයි මැණික් කැටේ”
විදුර ගේ මව් සිය කෘශ වූ අතැඟිලි වලින් මගේ අතක් පිරිමදිමින් බලාපොරොත්තු සහගතව කියයි. නො වෙනස් බලාපොරොත්තුවක් වූයේ ඇගේ ඇස් වල විතර ය. එය මට මහත් ශක්තියක් විය.
“මගෙ කොල්ලව මට කොහොම හරි ගෙනත් දෙන්න පුතේ. මේ අම්ම ඇස් පියාගන්න කලින් ඒක කරන්න”
“කරන්න පුළුවන් හැම දේම මං කරනව අම්මෙ. මාව විශ්වාස කරන්න. අම්මට වගේම මටත් එයාව ඕනෙ. මං මේ හුස්ම ගන්නෙ එයාව හොයා ගැනීම වෙනුවෙන්…”
“පුතා කවදාවත් වෙනස් වෙන්නෑ නේද…”
අම්මා ගේ වියපත් බොර පැහැ ඇස් වල බොඳ කඳුළක් විය. මම ඇගේ අළුවන් කෙස් රොද සකසමින් හිස පිරිමැද්දෙමි.
“අම්ම වීරයෙක් බිහි කරපු අම්ම කෙනෙක්. ඒ ගැන ආඩම්බර වෙන්න. වීරයො මැරෙන්නෑ අම්මෙ”
එසේ කියත්දී මට මඳ ක්ලාන්ත ගතියක් දැනිණ. මම ඇඳ විට්ටමට හේත්තු වීමි. මගේ අත අල්වා ගෙන උන් අම්මා ගේ අතට වෙනසක් දැනෙන්නට ඇත.
“පුතේ…දුව…ලොකු දුව මෙහෙ එන්නකො..”
අම්මා ගේ කෑගැසිල්ල ඇසිණ. ඇඳ විට්ටම දිගේ පැත්තතට මා රූරා යන බව ද මට දැනිණ. එය ක්ෂණික ක්ලාන්තයකි. අක්කාත් නංගීත් මා දෙපසින් මට පවන් සලමින් සිටියදී මම යළි අවදි වීමි. මා යහනේ හිඳ ගත්තේ ම සිනහවකිනි.
“මට සිහි නැති වුණාද…එක පාරටම කළුවර වෙලා වගේ කැරකිල ගියා”
“දැන් ඔයාට කොහොමද තිසූ…”
“දැං අවුලක් නෑ අක්කෙ”
“මේ දරුව හරියකට කෑමක් කන්නෙත් නෑනෙ. නින්දක් ඇත්තෙත් නෑ. හිතට කියලත් නිවනක් නෑනෙ. හිතේ හයියට ඔහොම උහුලගෙන හිටියට අපේ සරීරෙට ඔරොත්තු දෙන තරමක් තියනව. දැන් අපි ඊට එහාට ගිහිං ඉන්නෙ”
අම්මා මහිස පිරිමදිමින් මිමිණුවා ය.
“ඔව්. නංගි දැන් ටිකක් රෙස්ට් කරන්න. දවසක් දෙකක් මෙහෙ නෑවිත් ගෙදරට වෙලා හරි රෙස්ට් කරන්නකො”
“විදුර හම්බ වෙනකල් මට මොන විවේකයක්ද අක්කෙ…විවේක ගන්න පුළුවන් වෙන්නෙ එයා ආවට පස්සෙ තමයි”
මගේ සිනහවෙහි මට ම පුදුම හිතෙනා ප්‍රාණයක් වූයේ ය. ඔහු ජීවත් වෙන බවට මගේ සිරුරේ සෑම සෛලයක් ම බලාපොරොත්තු සහගත විශ්වාසයක ඉන්නට ඇත. නමුත් දේශපාලනයේ කට්ට කළු පාට ගැන හොඳ අවබෝධයක් ඇති මගේ හිත මට අනතුරු ඇඟෙව්වේ ය. එතැන්හිදී මා පසු වූයේ මානසික දෝලනයක ය. එවැන්නකට ඍජුව නිරාවරණය වෙමින් දිගින් දිගට මුහුණ දීම පහසු අත්විඳීමක් නොවේ.
යළිත් මට එවැනි ම කැරකිල්ල ගතියක් එදා හැන්දෑවේ ද ඇති විය. ඒ වෙලාවේ විදුර ලාගේ ගෙදර ආලින්දය හරහා ගමන් කරමින් සිටියදී ඒ තත්වය ඇති වූයෙන් මම වහා බිත්තියක් අල්වා ගෙන නතර වී බිත්තිය දිගේ ම රූටා බිම හිඳ ගතිමි. මා නො වැටී බේරුණේ එනිසාවෙනි. මගේ ප්‍රතික්ෂේප කිරීම මැද ම විදුර ගේ ලොකු නංගී හා පොඩි නංගී මා කැටුව ආසන්නයේ පිහිටි වෛද්‍ය ශාලාවක් වෙත ගෙන ගියේ ඉනික්බිති ය.
“එපා කියල බෑනෙ. ඔයාගෙ ඇඟ දුර්වල වෙලා ඇති. ඩොක්ටර් බලල විටමින් එකක් හරි දෙයිනෙ. ඔයාව මෙහෙම තනියම ගෙදර යවන්නත් බෑ වගේ. ඩ්‍රයිව් කරද්දි ෆේන්ට් වෙන්න ආවොත්…”
ඒ බිය නම් මටත් දැනිණි. කෝකටත් බෙහෙත් ටිකක් ගන්නා එක හොඳ යයි ඉන් පසු හිතුවෙමි. වෛද්‍යවරයා මා පරීක්ෂා කරමින් නොයෙකුත් ප්‍රශ්න ඇසුවේ ය. අවසන කල්පනා කරමින් හිඳ මගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරන්නයි හෙදියට දැනුම් දුන්නේ ය.
“ඔයා ප්‍රෙග්නන්ට් වෙලා. මම දැනට ෆෝලික් ඇසිඩ් විතරක් දෙන්නං. ගමේ මිඩ්වයිෆ්ට දැනුම් දෙන්න”
‘පොසිටිව්’
යනුවෙන් ඉංග්‍රීසි අංකුරෙන් ලියා වෛද්‍ය සලකුණ තබන ලද තුණ්ඩුව, වෛද්‍යවරයා මවෙත දිගු කළේ ය. එය අතට ගනිමින් මා නැගී සිටියේ මහමෙර හිස මත තබා ගෙන ය. අක්කා ගේත් නංගී ගේත් ඇස් ලොකු වී තිබිණ.
“එහෙනං එයා ඇවිත්…විදුරගෙ ආදරේ…”
මගේ දෙතොල් අතරේ මන්දහාසයක් නළියෑවේ ය.
“කොහොමද නංගි දැන් ඔයා මේවට තනියම මූණ දෙන්නෙ..”
අක්කා ගේ හඬ භීතියෙන් වෙව්ලා ගියේ ය.
“විදුර වෙනුවෙන් මං ඕන දේකට මූණ දෙනව අක්කෙ…එයාවත් එයාගෙ දරුපැටියවත් මට බරක් නෙවේ”
“අනේ දෙයියනේ මේ මොනා වෙන්න යනවද කියල හිතා ගන්න බෑ”
විදුර ගේ ප්‍රේමය මගේ කුසෙහි කළලයක් ව මෝරන්නට පටන් ගෙන ඇති බව දැන ගත් වෙලේ ඔහු ගේ අම්මා මා බදා ගෙන හොඳට ම හැඬුවා ය. එක වචනයක්වත් කතා කර ගත නො හැකි ව ඒ හැඬුම විනාඩි ගණනාවක් ම ඕ තොමෝ දරා ගත්තා ය.
“අනේ දෙයියනේ මේ වෙලාවෙ මගෙ පුතා හිටියනං මං කොයි තරං සන්තෝස වෙන අම්ම කෙනෙක්ද…මැරෙන්න කලින් පුතාගෙ දරුවෙක් බලන ආසාව කොයි කාලෙ ඉඳල මගෙ පපුවෙ තිබුණ දෙයක්ද…විදුර ඒක හොඳටම දැනගෙන හිටිය. එදා මේ දුවව ගෙදර එක්කං ආපු වෙලාවෙ…යන්න කලින් මගෙ කනට කරල කියල ගියේ…ඔන්න ඉක්මනට අම්මගෙ ආසාව ඉෂ්ට කරල දෙන්නං කියල. මගෙ පුතා නැතුවද මට මුණුපුරෙක්ගෙ මූණ දකින්න වෙන්නෙ…”
ඒ වදන් මගේ ආත්මය ම කීරි ගැස්වී ය. නමුත් වඩ වඩාත් මා සවිමත් වන බවක් මට දැනිණ. පොඩි අක්කා මට තනිව ගෙදර යන්න ඇරියේ නැත. ඇය සිය සැමියා සමගින් මගේ මෝටර් රථයෙහි අපේ ගෙදර සීමාව තෙක් ම පැමිණියා ය. ඉන් පසු ඔවුහු කැබ් රියක නික්ම ගියහ.
මා කාමරයට පිවිසියේ පුදුම හැඟීමකිනි. සැබවින් ඒ වූ කලී වචන කෝටි ගණනකින්වත් විස්තර කළ නො හැකි විදිහේ හැඟීමකි. යහන මත සීරුවට වැතිරුණ මම සුරත කුස මත තියා ගෙන ඇස් දෙක පියා ගතිමි.
ප්‍රේමයෙන් බැඳුණා වූ ප්‍රේමීන් දෙදෙනෙකුට පමණක් දැනෙන්නා වූ සංකීර්ණ හැඟුම් සමුදායක් ලෙස මම මෙය දකිමි. මම ඉතා හෙමිහිට දීර්ඝ වූ හුස්ම ගනිමින් සව්මිය ලෙස පෙනහලු පිරෙන්නට හැරියෙමි. මගේ හුස්මකිනිදු මගේ විදුර ගේ ලේ කැටියාට රිදුමක් නො දනවන්නට මට ඕනෑ විය. මහාමායාවක ගේ මරියාවක ගේ මව්වත් ස්නේහය හෙමි හෙමිහිට මගේ ළැමට කාන්දු වන්නට පටන් ගති. විදුර කවදා දකීවි ද කවදාවත් නො දකීවි ද යන ප්‍රශ්නය නො නගා ම, යහනේ වැතිර ගෙන ම මම ඔහු ගේ වට්සැප් අංකයට ලියුමක් ලියන්නට ගතිමි.
“මගේ ආදර ම විදුර, සුදු ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් අරං පැදකුණු නො කර ම, මගේ කුස යහනට ඔයාගෙ කිරිකැටි පුතා ඇවිත්..මට හරී සිනිඳු සව්මිය හැඟීමක් දැනෙනව. චූටි සමනල පැටියෙක් හෙමි හෙමිහිට හුස්ම ගන්නව දැනෙනව.
මේක ශුභාරංචිකරුවන් විරල භීම සමයක් බව ඇත්ත. ඒත් උන්මාද චිත්‍රා අභය කුමාරයව රැක ගත්ත වගේ ඔයාගෙ චූටි කුමාරයව පරිස්සමට බලා ගන්නව කියල මං ඔයාට පොරොන්දු වෙනව. ඔයාට දිව්රල කියන්නං. ඔයාගෙ අම්මගෙ හිතේ ඔයා වෙනුවෙන් ඇවිළෙන ගින්දර වෙන කවදාටත් වැඩිය හොඳින් මේ මොහොතෙ මට දැනෙනව. මෙයත් ඔයා වගේ ම රත්තරං පුතෙක්.
ඔයාට එන්න ම වෙනව විදුර. මේ චණ්ඩියා බණ්ඩිය ඇතුළෙ දඟ කරන්න ගත්තහම අම්මට විතරක් බලා ගන්න බැරි වෙයි. කොහොමත් පුතාල හැදෙන්න ඕන තාත්තගෙ හෙවනැල්ල යට. ඔයා එනකල් පුතා වෙනුවෙන් මං හොඳට කෑම බීම ගන්නං. මුණුපුරෙක් එනව කියල කිව්වහම ඔයාගෙ අම්මගෙ ඇස් දිළිසුණා. අක්ක හෙට පොළොස් මාළුවක් උයල තියන්නං කිව්ව. ෆේන්ට් වෙන ගතියක් දැනෙන නිසා මට ඩ්‍රයිව් කරන්න එපා කිව්ව. ඒ වුණාට ඔයා එනකල් මං ඔයාගෙ ගෙදර යනව. මෙයා නිසා ඒගොල්ලොන්ට ආයෙමත් බලාපොරොත්තු ඇති වෙලා වගේ. බට් ඇඹරැල්ලා ගහේ ගෙඩි කඩල නංගි අද ම මට අච්චාරුවක් හදල දුන්න. ඒගොල්ලො ඒ ටිකට අපි ගැන හුඟාක් හිතන්න අරං.
මේ අවේලාවෙ මෙයා නිකංම ආවයි කියල මට හිතෙන්නෑ. ලොකු හේතුවකට එයා එන්න ඇත්තෙ. විශ්වය ආශ්චර්යයන් කරනව. ප්‍රාතිහාර්ය පානව. මං බලං ඉන්නව මොකද වෙන්නෙ කියල. ඔයාගෙ බබා එන්නෙ හිස් අතින් නෙවෙයි, සුබ පණිවිඩයක් අරගෙනයි කියල හිතන්න මං කැමතියි. දුෂ්කර වුණත් මේ මොහොතට මං හරි ආසයි විදුර. ඔයා ළඟ ඉන්න තිබුණනං ඊටත් වැඩිය ආසයි. එහෙනං ඔයා මට බල කරල කෑම කවයි. බබා ලස්සන වෙන්න කියල ෆෘට් ජූස් බොන්න කියයි. වරද්දන්නැතුව කැල්සියම් විටමින් ගන්න බල කරයි. කොන්ද රිදෙනකොට පිරිමැදල සුවපත් කරයි. කකුල් රිදෙනකොට ක්‍රීම් ගාල මසාජ් කරයි. හැන්දෑවට මාව අල්ලගෙන පාරෙ ඇවිද්දවයි.
මං ඇස් පියාගෙන හීනෙක ජීවත් වෙනව. අහිංසකයන්ගෙ හීන කුඩුපට්ටං කරල, මිනිස්සු පාරට දාල, රට අනාථ කරපු දේශපාලකයන්ගෙ හෙවනැල්ලක්වත් නොවැටෙන රටක ඔයාගෙ පුතා හැදෙනවනං මං කැමතියි. ඒත් ඔයාට ඕනෙ මේ මිනිස්සු වෙනුවෙන් මේ බිමේ ම හැප්පි හැප්පි ඉන්නනං මං ඒත් කැමතියි. ඔයා ඉන්න තැනක තමයි මගෙ නිවන මැවෙන්නෙ. ඔයාගෙ හිනාව ළඟ තමයි මගේ සදාකාලික නවාතැන හැදෙන්නෙ. මගෙ රත්තරං. මේ දවස් ලස්සන කරන්න ඔයා එනකල් මං පුතා එක්ක බලං ඉන්නව. ඉන්න තැනක පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න! මං ඔයාගෙම තිසූ.