අපේ විවාහය, පවුල් දෙකේ අය පමණක් සහභාගී වූ ඉතා සරල උත්සවයකි. සැබවින් එයට උත්සවයක් යයි කියන්නට ද බැරිය කියා මම සිතමි. විවාහ ලියාපදිංචිය සිදු කොට පවුල් දෙකේ අය හොඳ ම භෝජනාගාරයක දිවා ආහාර ගෙන නික්ම යාමක් පමණක් සිදු විය. ඇමතිවරියක ගේ දියණියක එසේ නිහඬ ව විවාපත් වීම ප්‍රශ්නයක් කර ගත් බොහෝ අය සිටින්නට ඇත. නමුත් හැමදාමත් ලොකු විවාහ උත්සව ගැන මා පැහැදීමකින් හිතුවේ නැති බව ඇත්ත ම ඇත්ත ය. අනිත් අතට විදුර ද රටට අඬබෙර ගසා මහ පිරිසක් මැද විවාහ වීම විහිළුවක් කොට සිතූ කෙනෙකි.
“ජාඩියට මූඩියනෙ සෙට් වෙලා තියෙන්නෙ. ඉතිං තකට තක”
විදුර ගේ සොයුරියන් ද මගේ අක්කා ද ඒ ගැන කීවේ එසේ ය. නමුත් කිසිවෙකු අපේ අදහස ගැන බලපෑමක් කරන්නට උත්සුක වූයේ නැත. කොහොමටත් අපට උවමනා වූයේ හැකි තරම් ඉක්මනින් විවාහය ලියාපදිංචි කොට එක වහලක් යටට වන්නට ය. දෙපසක හිඳ කෙටි කාලයක් තුළ විඳ ගත්තා වූ අසීරු මානසික තත්ව හමුවේ අප දෙදෙනාට ම උවමනා වී තිබුණේ අපේ ම ඇල්ම බැල්ම ඇති තැනක හැල්මේ නොදුවන ජීවිතයක් මැද්දේ නතර වන්නට පමණකි.
අනිත් අතට අපේ අම්මා තව දුරටත් බල පරාක්‍රමයැති වජිරපාණී වික්‍රමබාහු නොවූවා ය. ඇය පසු වූයේ අංශභාග තත්වයක ය. සිරුරේ එක් අංශයක් පණ නැතිව ගිහින් ඇය ගිලන් යහනටත් රෝද පුටුවටත් සීමා වී සිටියා ය. නමුත් ප්‍රතිකාර නො කඩවා සිදු විය. අප්‍රාණික වූ ස්නායු සෛල යළි පණ ගැන්වීමේ ලා සිංහල වෙදකම ගැන බොහෝ අය ප්‍රසාදයෙන් කතා කළ නිසා අපි අම්මාට සිංහල බෙහෙත් කරන්නට පටන් ගතිමු. තාත්තා ගේ විශ්වාසය තිබුණේ ද සිංහල බෙහෙත් ගැන ය. අම්මා ගේ කටහඬ පවා පෙර තිබූ ගාම්භීර තත්වයෙහි නො විණ. ඇය කතා කළේ අසීරුවෙන් ගොත ගසමිනි. කලින් සිටි අම්මාත් දැන් සිටින අම්මාත් සසඳන කල ඇස් තෙත් වෙන එක වැළකිය නො හැකි ය. ජීවිතය කෙතරම් අස්ථිර හා නිස්සාර වූවක් ද කියා අම්මා දකිත්දී සිතේ. ඉතින් අම්මා ඒ තත්වයේ සිටියදී කොහෙත්ම ලොකු මගුලක් කා විවාහ වන්නට මට ඕනෑ වූයේ නැත.
මා විවාහ වන දා තාත්තා සතුටෙන් සිටියේ ය. පෙර ඇතැම් මතක ඔහු ට සදහට අහිමි වී තිබිණි ද තාත්තා මේ මොහොත තුළ සතුටෙන් ජීවත් වෙන්නට පටන් ගෙන තිබීම මගේ ලොකු ම සැනසිල්ල විය. දැන් අපේ ගෙදර රෝගීන් දෙදෙනෙකි. අම්මා හා තාත්තා යන දෙදෙනා ම ගිලන් වී තිබේ. කලෙක මහත් අභිමානවත් යුවති පතීන් දෙදෙනෙකු ව සිටි ඔවුන් දෙස බලත්දී ජීවිතය යනු කුමක් ද කියා වටහා ගන්නට පිටින් උදාහරණ සෙවිය යුුතු නැත.
පසු දිනෙක සිය මිතුරන් වෙනුවෙන් සංග්‍රහයක් කරන්නට විදුර බලාපොරොත්තු වූයේ ය. මට හොඳම යහළුවන් කියා අය කවදත් සිටියේ නැත. ඒ ඒ අවස්ථාවේ දී මා ඒ ඒ අයව ඇසුරු කළා පමණකි.
මා ඇන්දේ සුදු පාට දිග ගවොමකි. සුදු පාටට ද දිග ගවොම් වලට ද කවදත් මා ආස ය. සුදු රෝස මල් යොදා ඉතා ම සරල මල් මිටියක් මගේ හැඩගන්වන්නිය අපේ අවස්ථාවට ගැලපෙන සේ සැකසුවා ය. විදුර සුදු කමිසයත් කළු කලිසමක් හැඳ සිටියේ ය. ඔහු කෝට් එක පැළැන්දේ ඡායාරූප වෙනුවෙන් පමණකි. සුදු කමිසයේ දිග අත්, නිතර ම ඔහු ට පුරුදු ලෙස වැලමිට ළඟට ඇද ඔසවා ගෙන සිටියේ ය. ඉතා කඩවසම් මනාලයෙකු ලෙස විදුර ව මම දුටිමි. මා වැඩිපුර කළේ ඔහු දෙස බලා සිටිනා එක ය. ඒ ඇස් වෙන කවදාටත් වඩා දිළිසිණි. ඔහු නිතර ම මන්දහාසයකින් සිටියේ ය. ඒ වූ කලී තෘප්තිමත් පිරිමියෙකි.
එදා සතුටු මුහුණක් නැතිව සිටි එක ම කෙනා අම්මා ය. ගිලන් බව නිසා පමණකුදු නොව ඇය පරාජය ගැන හැඟීමකින් පීඩා වින්දා ය කියා සිතමි.
දිවා භෝජනයෙන් අනතුරුව අපේ ගෙවල් දෙකේ අය දෙපසට ගිය අතර අපි, මනාල යුවල විදුර ගේ බෝඩිමට ගියෙමු. අපේ මධුසමය ගත කරන්නට හොඳ ම නවාතැන එය බව තීරණය කළේ අප දෙදෙනා ම ය. විශේෂයෙන් ම මගේ ගැබිණි සමය මුළුමනින් සිය ඇල්ම බැල්ම හා ඉහුම් පිහුම් වල පෝෂණය සමග මුහු කරන්නට විදුර ට තදින් ම ඕනා වී තිබිණ.
තාත්තා අම්මා ගෙන් හා අක්කා ගෙන් සමු ගැනීම ඒ තරම් වේදනාවක් වේවියි ඊට පෙර මා සිතා හෝ තිබුණේ නැත. තාත්තා සේ ම අම්මා ද මේ මොහොතේ සිටිනුයේ ගිලනුන් සේ ය. මට ඔවුන් දමා යන්නට සිදු වන්නේ නිරෝගී හා ශක්තිමත් මිනිසුන් ලෙස නොවේ. හදවත වඩාත් දුක් ගත්තේ ඒක ය. අක්කා විවාහ කොට දෙත්දී එක කඳුළක් හෝ නො හෙලා උජාරු බැල්මකින් ඔබ මොබ සැරූ අම්මා පවා හැඬුවා ය. මට වඩාත් දරා ගත නො හැකි දෙය වූයේ එයයි.
“අනේ මං ඔයාගෙ ඔළුව උඩ තාත්තගෙයි අම්මගෙයි බර පටෝල යනව නෙවෙයි අක්කෙ”
මා අක්කා වැළඳ ගත්තේ එහෙව් විලාපයකිනි. අක්කා කතා කර ගත නො හැකි තරමට ඉකිළුමක් දරා ගෙන සිටියා ය. නමුත් ඇය හිස දෙපසට සලමින් ද මගේ මුහුණ පිරිමදිමින් ද මට හඬන්නට එපා යයි ඇවිටිලි කළා ය.
“හැම වෙලේම හැම දේකදිම අපේ පවුල වෙනුවෙන් මං ඉන්නව. මං මේ බැන්ද කියන්නෙ අම්මගෙයි තාත්තගෙයි වගකීමෙන් නිදහස් වුණා නෙවෙයි. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අරං යන තැන ඉඳන් හැම දේකටම ඔයත් එක්ක මං එනව”
“හරි පැටියො හරි. පොඩි කාලෙ ඉඳලම අපිට බෙදා ගන්න බැරි වුණේ මොනාද…මගෙ ප්‍රශ්න වලට පවා මං මෙච්චර සැහැල්ලුවෙන් මූණ දුන්නෙ මගෙ නංගි නිසානෙ. මේක ඔයාගෙ ලස්සන දවස. අඬල මූණ නරක් කර ගන්න එපා. අනික කලින් අපි දෙන්නට හිටියෙ අපි දෙන්න විතරයි. දැන් මට මස්සිනා කෙනෙකුත් ඉන්නවනෙ”
“ඇයි අනේ තව අක්කල නංගිල තුන් දෙනෙකුත් ඉන්නෙ”
කියමින් විදුර ගේ පොඩි නංගී අප දෙදෙනාව ම දෑතින් වැළඳ ගත්තා ය. කඳුළු අතරින් හැම මුහුණක ම සිනහ දේදුනු මැවිණ.
අප ඉදිරියේ අලුත් ම ජීවිතයක් බලා සිටිනා බව වඩාත් ම බරපතල ලෙස අපට දැනෙන්නට ගත්තේ විදුර ගේ බෝඩිමට ගියාට පස්සේ ය. මීට පෙර ගෙදරට බොරු කියා ඔහු ගේ බෝඩිමේ හෝරා ගෙවන්නට බලා උන් මට කඳුළු නතර කර ගත හැකි වූයේ නැති තරමි.
“අම්ම අඬනව මීට කලින් කවදාවත් මං දැකල නෑ. මොනා වුණත් එයා යකඩ ගෑනියෙක්. දැං එයා ඇඬුවෙත් දුකටද තරහටද කියන්න මං දන්නෑ. ඒත් අම්මගෙ කඳුළු මට දරා ගන්න බැරි තරං විදුර”
ඔහු මා තුරුලු කර ගෙන මට ඕනෑ තරම් නිදහසේ හඬන්නට ටික වෙලාවක් ඉඩ හැරියේ ය. ඊළඟට මා තේරුම් ගත් මුදු භාෂිතයකින් සැනසිලි බස් දෙඩුවේ ය.
“මේ අහන්නකො. මං දන්නව ඔයාට දුකයි කියල. අනිත් එක ඔයා තමන්ගෙ අයට ඇත්තටම ආදරේ වෙන අවංක ළමයෙක්. ඔයාගෙ ඇහෙන් වැටෙන හැම කඳුළක් ම ඇත්තටම හැඟීමෙන් වැටෙන කඳුළක් කියල ඔයාව දන්න ඕන කෙනෙක් දන්නව. ඒත් තිසූ…ඔයා දැං ඉන්නෙ ඔහොම අඬන්න හොඳ තත්වෙක නෙවෙයි නේද…ම්…ඔයා තාම චූටිනෙ…ඒක නිසා මේව ගැන දන්නැතුව ඇති. මේ බණ්ඩිය ඇතුළෙ පැටියෙක් ඉන්නවනෙ මැණිකෙ. අම්මගෙ හැම ෆීලින් එකක්ම එයාට දැනෙනව වගේම එයාට බලපානව. අම්ම සතුටෙන් ඉන්නකොට එයා සතුටෙන් ලොකු වෙනව. අම්ම දුකෙන් ඉන්නකොට අඬනකොට පැටියත් දුකෙන්. නිතර දුකෙන් ඉන්න අම්මලගෙ බබාල දවසක ඉපදුණාට පස්සෙත් කණස්සල්ලෙන් ඉන්න බබාල වෙනව කියල රීසර්ච් වලින් හොයාගෙන තියෙනව. ඒක නිසා මේ ප්‍රශ්න අමතක කරල පුළුවන් තරං ඔයා සතුටෙන් ඉන්න බලන්න. එතකොට අපේ පුතා සතුටෙන් ජීවත් වෙන දරුවෙක් වෙයි. අපි මෙහෙම කරමු. හැමදාම ගෙදර ගිහිං අම්මයි තාත්තයි ගැන බලල කරන්න ඕන දේවල් කරල එමු. බෙහෙත් ගන්න යන දවසටත් ගිහිං ඒ දේවල් කරල දෙමු. මේ වෙලාවෙ කරන්න ඕන හොඳම දේ ඒකනෙ. අපි මීට වැඩිය ඉඩ කඩ තියන ගෙයක් ගත්තට පස්සෙ ඔයාගෙ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි මගෙ අම්මවත් ගෙනත් තියාගෙන අපිට පුළුවන් උපරිමෙන් ඒගොල්ලන්ව බලාගමු…එහෙම හොඳද…”
මා ඒ මූණ දෙස බලා සිටියේ පුදුම දයාවකිනි. ඔහු දෙඩූ හැම වදනක ම අවංකකම තැවරී තිබිණ. මගේ අම්මා ඔහු ට මොන තරම් අකාරුණික ලෙස සැලකී ද විදුර ගේ හිතේ ඈ ගැන වුව වෛරයක් තිබුණේ නැත.
මම ඔහු ගේ ගෙල බදා ගතිමි.
“අනේ ඔයා කොච්චර හොඳ කෙනෙක්ද විදුර…මං ඔයාට හරිම හරිම ආදරෙයි”
කඳුළු කියන්නේ ගැහැනු ඇස් වලට ආගන්තුක වූවක් නොවේ. නමුත් ආදරණීය පිරිමියෙකු සිය ජීවිතයේ හිඳිනා ගැහැනිය ගේ ඇස් වලට කඳුළක් මෝදු වෙනවා දකින්නට කැමති නැත. කඳුළු අතරින් වුව ඇය සිනහ වී සිටිනවා දැකීම එවැන්නෙකු ගේ පැතුමයි. විදුරත් එහෙම පිරිමියෙකු වූයේ ය.
ඉන් පසු උදා වූයේ මගේ ගැන මා අංශු මාත්‍රයක් හෝ නො සිතිය යුතු වූ සමයෙකි. විදුර පොඩි දරුවෙකු සේ මා ප්‍රවේසම් කළේ ය. මා වෙනුවෙන් වෙහෙසී කෑම බීම පිළියෙල කළේ ය. නියමිත වෙලාවට මගේ ගර්භණී සමයට අදාල ඖෂධ ටික අතට ම දුන්නේ ය. මගේත් බබාගේත් පෝෂණය ගැන සිය උපරිම අවධානය යොමු කළේ ය. මගේ රෙදි ටික පවා මට සෝදා ගන්නට නොදී ඔහු ම සෝදා දැමුවේ ය. ලැබුණ අසීමිත ආදරය හා විවේකය හමුවේ මට කරන්නට තිබුණේ ගර්භණී සමය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙන එක පමණකි.
“බබෙක් හම්බ වෙන්න ඉන්නව කියන්නෙ අසනීපයක් නෙවෙයි. ඒ කාලෙට බබාගෙ තාත්තව මරෝල වැඩ ගන්න කියල මං කියෝපු කිසිම ආටිකල් එකක ලියල තිබුන්නෑ”
මා කුස්සියේ වැඩට අත පෙව්වේ එහෙම කියා ගෙන ය.
“අනිත් එක වැඩ කරල ඉන්නකොට ඩිලිවරි එකේදි ලේසිලු”
දෙවියනි ඒ මොන තරම් නම් ප්‍රීතිමත් වූ සමයක් ද? ඒ කුඩා බෝඩින් කාමරය සිසාරා ආදරය දෝරෙ ගලා ගියේ ය. අපේ ප්‍රීති සිනා කතා අසමින්, අත්වැට ආධාරකය කර ගෙන වැඩෙන මෝනිං ග්ලෝරියා වැලේත් ගිනිකූරු වැලේත් මල් වැඩි වැඩියෙන් පිපෙන්නට පටන් ගත්තේ ය.
“හරියට අපේ උඩ තට්ටුවෙ කුරුලු කූඩුවක් හදල වගෙයි දැන් දවස පුරාම කිචිබිචිය”
බෝඩිමේ ඇන්ටී දවසකට වතාවක් හෝ දොළදුක් කෑමක් ගෙන උඩට විත් කියයි. අක්කා ද විදුර ගේ ගෙදරින් ද නිතර ම රස කෑම වර්ග ලැබෙයි. වැඩිපුර ම ඒ දොළදුක් කෑමට වගකියන්නේ විදුර ය.
“මේ බබා ඉපදුන ගමන් තව එක්කෙනෙක් හදමු නේ…මොනා වුණත් එතකොට දිව්‍යලෝක රස කෑම වලින් කුස්සිය පිරිලනෙ අප්ප”
“හිතාගෙන ඇති මෙයා. මේකත් මේ නොදන්න කමට වෙච්ච දෙයක්”
“ආ දැං ඔයා හොඳට දන්නවද ඒ කියන්නෙ..”
විදුර හඬ නගා සිනහ වෙයි. මම බොරුවට ඔහු ට රවමින් මූණ නෝක්කාඩු කරගමි.
මධු සමයේ සතුටත් ප්‍රථම ගැබ් ගැනීමේ අසිරියත් අතරින් අනාගතය ගැන අවිනිශ්චිත බවක් ද විටින් විට අපේ හිත් වලට එබිකම් නො කළා නොවේ. අප සුරක්ෂිත වනුයේ මේ රටින් පිට වූ විට යයි මගේ සිත කීවේ ය. නමුත් ප්‍රායෝගිකව අපට රටින් පිට වී යාමේ හැකියාවක් ද නැති බව මට ඒත්තු ගැන්වූයේ විදුර ම ය.
“ඔයාගෙ අක්ක ඩිවෝස් වෙලා තනියම ඉන්නෙ. ඉතිං එයාට අසනීප අම්ම කෙනෙක්ගෙයි තාත්ත කෙනෙක්ගෙයි වගකීම දීල අපිට යන්න බෑ. අපේ අම්මවනං නංගිලයි අක්කයි බලාගනී. ඒත් අම්ම දැන් වයසයි. නිතර ලෙඩගානෙ. ගෑනු තුන් දෙනෙක්ට එයාව දාල පුතෙක් විදිහට මට රටින් පැනල යන්න බෑ තිසූ. ඒක නිසා අපි කාටත් සාධාරණ වෙන විදිහට අපේ මෑත අනාගතේ තීරණේ කරමු. අපේ දරුවො ලොකු වෙනකොට අපේ අම්මල තාත්තල ජීවිතේ අත්ඇරල ගිහිං තියෙන්න පුළුවන්. ඒ වෙනකල් එයාලට සලකගන්න බැරි වුණොත් ඒ පසුතැවීම සදාකාලිකව අපේ පස්සෙන් එයි. එතකොට තව ඉස්සරහට අපිට දුර හිතල තීරණයක් ගන්න පුළුවන්. දැනට මෙහේ ඉඳන් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන මං හිතනව. පෑන අත්අරින්න තීරණේ කළේ කැමැත්තෙන් නෙවෙයි තිසූ..මං දන්නව ඔයත් ආදරේ කළේ විදුර වරදත්ත ඇතුළෙ ඉන්න අපක්ෂපාතී ජර්නලිස්ට්ට. ඒත් මිනිස්සුන්ට ආදරේම දේවල් අතරින් තෝරගැනීමක් කරන්න වෙද්දි එතනිනුත් වැඩියෙන්ම ආදරේ දේවල් තෝරගන්න වෙනව. ඔයයි අපේ බබයි තමයි මේ වෙලාවෙ මට වටිනම දේ. බලමු. මං ඔය දෙන්නට සැප පහසු විදිහට අනාගතේ හදල දෙනව”
“අනේ ඔයා ළඟ ඉන්නවනං වෙන සැපක් මට මොකටද…ඔයා මොනා හරි කරනවනං මගෙ කා එකත් විකුණල සල්ලි ගන්න විදුර. දැන් අපි දෙන්නට කාර් දෙකක් ඕන නෑනෙ. ඉස්සරහට මං ප්‍රැක්ටිස් කරන්න ගත්තහම අපිට අමාරු වෙන එකක් නෑ”
“ගෑනිගෙං හම්බ කරගෙන කන්නෑ හරිද මං”
ඔහු ඉතා තදින් මගේ කොපුලක් සිප ගත්තේ ය. ඉතින් ඒ දවස් අතරේ හැම අහුමුල්ලක ම වන්නේ සතුට ය. සිනහව ය. බලාපොරොත්තු ය.