පාසල් පෙම නිසා බිඳ වැටුණ හිතක්

(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ඇයි පුතේ ඔයා විනාඩියෙන් විනාඩියට ගිහිල්ලා අත හෝදන්නේ? රිමෝට් එක ඇල්ලුවත් අත හෝදනවා, ඔයාගෙම ෆෝන් එක ඇල්ලුවත් අත හෝදනවා”

“මට නීට් එකට ඉන්න ඕන.ඒකයි මම අත හෝදන්නේ”

“නීට් එකට ඉන්න ඕන කියල ඔහොම අත හෝදනවද ළමයො, පිස්සුවක් නේ ඔහොම අත හෝදනව කියන එක මේ විනාඩියෙන් විනාඩියට”

“ඔව් මට පිස්සුවක් තමයි. අම්මට වැඩක් නෑනෙ මම අත හෝදන එක. මොන වදයක්ද මේ? පොඩ්ඩක්වත් මට නිදහසක් නෑනෙ, හැම එකටම ඇඟිලි ගහන්න එන්න එපා අම්මේ. ප්ලීස්”

මධුරිට හිතාගන්න බැරිඋනා ඇත්තටම හිරුජිතට මොකද මේ එකපාර වෙලා තියෙන්නෙ කියලා. ඉස්කෝලෙ වැඩත් හොඳට කරගෙන, යහපත් කල්ක්‍රියාවක් තිබුණ හිරුජිත දැන් මාස කීපෙක ඉඳල හරිම දරදඬු, ඉක්මණට තරහ යන දරුවෙක් උනේ ඇයි කියන ප්‍රශ්නෙ මධුරිට තිබුණා.

හිරුජිත කියන්නෙ බොහොම නිවිච්ච, සාමාන්‍ය දරුවෙක්. එහෙම දරුවෙක් මේ වගේ තරහ යන, පොඩි දේටත් කෑගහන දරුවෙක් වෙන්න මොකක් හෝ හේතුවක් තිබෙන බව තේරුම් ගත්ත නිසාමයි මධුරි මනෝ උපදේශකවරයෙක් ළඟට හිරුජිතව අරගෙන එන්න හිතුවේ.

“පුතා එහෙම කලබල දරුවෙක් නෙවෙයි. ඒ උනාට දැන් මාස කීපෙක ඉඳල එයාට හරියට තරහ යනවා. පොඩි දේටත් ගොඩක් තරහ අරගෙන කෑගහනව වගේම ඊටත් වඩේ හැම තිස්සෙම විනාඩියෙන් විනාඩියට එයා අත හෝදන්න පටන් අරගෙන.

ඉස්සර වගේ නෙවෙයි අපි දෙයක් ඇහුවත්, මොනවා හරි කිව්වත් එයා ඒ හැමදේකටම උත්තර දෙන්නෙ තරහෙන්”

මම හිරුජිතට කතා කරන්න පටන්ගත්තෙ හිරුජිතගෙ අම්මාගෙන් දැනගත්ත ඒ විස්තරත් එක්ක. මතුපිටින් පෙනෙනවට වඩා හිරුජිත මේ විදියට ඉක්මනට කෝප ගන්න, විනාඩියෙන් විනාඩියට අත හෝදන, තමන්ගෙ පිරිසිඳුකම, පිළිවෙල ගැන උවමනාවටත් වඩා හිතන කෙනෙක් වෙන්න හේතුවක් තිබෙන බව මට දැනගන්න ලැබුණෙ ඒ කතාබහෙන්.

“ටීශාව හම්බුනේ මට ඕලෙවල් ඉවරවෙලා රිසල්ට්ස් එනකම් ඒලෙවල් ක්ලාසස් වලට යද්දි. එයා ඉන්ටර්නැශනල් ස්කූල් එකකට යන්නෙ. හරිම පොෂ්. එයා මට හැමතිස්සෙම කිව්ව “ඔයා තව ස්මාට් වෙන්න, නීට් එකට අඳින්න, පිලිවෙලට ඉන්න” කියල”

ඇත්තටම හිරුජිතව දකිද්දිත් මට හිතුණ දෙයක් තමයි හිරුජිත හරිම පිළිවෙලට, නීට් එකට අඳින පළඳින ළමයෙක් බව. එයා මගෙ ළඟට ආවේ තමන්ට මානසිකව බලපාන ප්‍රශ්නයක් ගැන කතාකරන්න උනත් එයාගෙ හැම ඉරියව්වකම, වචනයකම පුදුමාකාරව පිළිවෙලක්, රටාවක් තිබුණා.

“මම එයා කියන විදියට තමයි ඇත්තටම ඒ කාලෙ ඇන්දෙ. ඒ වුනාට මම ඒ මොන දේ කරත් අපේ අෆෙයාර් එක තිබුනෙ මාස හතක් අටක් වගේ. එයා මාත් එක්ක බ්‍රේක් අප් උනේ මට කියන්නෙවත් නැතුව”

“ඔයා එයාගෙන් ඇහුවෙ නැද්ද ඇයි එහෙම එකපාර බ්‍රේක් අප් වෙන්නෙ කියල?”

“එයා මට පැහැදිලිව දෙයක් කිව්වෙ නෑ. ඒ උනාට එයා ඇඟෙව්වෙ මම එයාගෙ ලෙවල් එකට මැච් වෙන්න තරම් ස්මාට් මදි, නීට් මදි කියලා. මමත් මුලින් හිතුවෙ ඒ නිසා තමයි කියල. මම තව ටර්‍යි කරා නීට් එකට අඳින්න, ස්මාට් විදියට හැසිරෙන්න. ඒ උනාට ටික දවසක් ගියාට පස්සෙ තමයි මට දැනගන්න ලැබුනෙ එයා මාත් එක්ක බ්‍රේක් අප් වෙලා තියෙන්නෙ එයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුන නිසා කියල.

ඒ බෝයි මටත් වඩා නීට්. ඇත්තටම හරිම ස්මාට්. මට හිතුනෙ ටීශා මාව අතාරින්න ඇත්තෙ මම නීට්, ස්මාට් මදි කෙනෙක් කියල. මට හැමතිස්සෙම හිතෙනව පොඩි වැඩක් කරාම උනත් මා ක්ලීන් මදි කියල. ඒකයි මම හැමතිස්සෙම අත හෝදන්නෙ, නාන්නෙ. මම දවසට දෙතුන් පාරක් නානවා සමහර දවසට”

හිරුජිත සමග කල කතාබස් වාර කිහිපයකින් මට තේරුම්ගන්න පුලුවන් වුනා හිරුජිතගෙ මාස අටක කාලයක් පමණ පුරා තිබුන ප්‍රේම සබඳතාවය සහ එහි බිඳ වැටීම වගේම ඒ ගැහැණු ළමයා විසින් හිරුජිතට කියල තිබුණ යම් යම් දේවල් ගැන එයා පමණටත් වඩා හිතට, වද වෙලා තිබෙනවා කියලා.

ඉක්මනින් කෝප ගන්න, විටින් විට අත සහ ඇඟ සෝදන ලක්ෂණ පෙන්නුම් කරපු හිරුජිතට ඇතිවෙලා තිබුණේ OCD එහෙමත් නැතිනම් Obsessive Compulsive Disorder කියන තත්ත්වය.

Obsessive-compulsive disorder (OCD) කියන්නෙ පුද්ගලයෙකුට පාලනය කළ නොහැකි පුනරාවර්තන සිතුවිලි, පුනරාවර්තන හැසිරීම් හෝ දෙකම අත්විඳීමට සිදුවන රෝගී තත්ත්වයක්. OCD සහිත පුද්ගලයින්ට සැලකිය යුතු අපහසුතාවයක් ඇති කළ හැකි හෝ දෛනික ජීවිතයට බාධා කළ හැකි කාලය ගතවන රෝග ලක්ෂණ දකින්න තිබෙනවා.

ඒත් සති කිහිපයක සෙෂන්ස් වලින් හිරුජිතට බලපාලා තිබුණ මේ තත්ත්වය මගහරවාගනිමින්, එයාගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට නැවත ගෙනයන්න අපට හැකියාව ලැබුණා.

මේ කතාවෙන් අපට ඉගෙනගන්න තිබෙන වැදගත්ම දෙයක් තිබෙනවා.

ඒ තමයි මේ තරුණ, හිරිමල් වයසෙදි බොහෝ දරුවන් ප්‍රේම සබඳතාවලට මුල පුරනවා. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. ඒත් ඒ වයසෙදි අපි මූලිකත්වය එහෙම නැත්තම් Priority එක දිය යුතු වන්නේ අධ්‍යාපනයට. නමුත් ආදරය හැමදේටම වඩා වැදගත් කියල හිතලා දරුවන් අධ්‍යාපනය මග හැර ගන්නා අවස්තා බොහොමයි.

පාසල් වියේදි ඇතිවන ආදර සබඳතා බහුතරය ඇරඹෙන්නෙ අනවබෝධය නිසා. ආදරයට වඩා ආකර්ෂණය නිසා. ඒ ආකර්ෂණය බිඳ වැටීම නිසා ආදර සබඳතා කඩා වැටීම සිදුවෙනවා. මේක ඉතාම සාමාන්‍ය දෙයක් වුණත් ඒ වයසෙදි බොහෝ දරුවන් මේ තත්ත්වය දිගු කාලීනව තමන්ගෙ ජීවිතයට සහ මානසික මට්ටමට බලපෑම් කරගන්නවා.

මෙවැනි අවස්තාවක අප තේරුම්ගත යුතු දෙයක් තමයි ඒ වගේ බිඳවැටීම් වලදි අපි කල යුතු වන්නේ ඒ තත්ත්වය හොඳින් තේරුම් ගැනීම. සිදු වූ දෙයක යතාර්තය තේරුම් ගැනීම.

මෙතනදි දරුවන්ගේ ජීවිතය යහමගට ගෙන එන්නට දරුවන්ට වගේම දෙමව්පියන් සහ ගුරුවරුන් කියන වැඩිහිටි පාර්ශ්වයටත් ලොකු වගකීමක් පැවරෙනවා.

බණ වැදීම, රණ්ඩු සරුවල් වීම හෝ දඬුවම් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙර දරුවන්ගේ චර්‍යාවන් වෙනස් වීමට බලපා තිබෙන හේතු සොයා බලා, බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් මේ අවස්තාවන් නිසා සිදුවන අහිතකර බලපෑම් මගහරවාගනිමින් ජීවිතය වඩාත් යහපත් කරගන්නට දරුවන්ට ඉඩ සලසා දෙන්න අපට පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles