දෙහිතක කතාවක් 28

චොකලට් ද, පලතුරු ද, බඩ ඉරිඟු ද අනං මනං උස්සගෙන ආවේ අරවින්ද ය.

ඒ සඳරුත් එක්ක ටවුමට ගොස් එන ගමන් ය. අරවින්ද ඉන්නේ වෙන කවදාකටවත් වඩා සතුටෙන් බව සඳරු දුටුවේය. එයට හේතුව විය හැක්කේ කැළුමිණී අක්කා බවට සැකයක් සඳරුගේ හිත අස්සේ නොතිබුනා නොවේ.

“මේ දවස්වල හරි සන්තෝසෙන් ඉන්නේ මහත්තය”

සඳරු කතාව ඇරඹුවේ සියලුම බඩු භාණ්ඩ මිල දී ගෙන ආයම ටවුමේ සිට එන්සල්වත්තට එන අතර තුර ජීප් රියේදීය. මේ දිනවල නිරත්තරයෙන් අරවින්දගේ මුව මත රැඳී තිබෙන සිනහව සඳරුගේ වදන් ඔස්සේ ඇස් වලටත් හුවමාරු වුනේය.

“මොකෝ එහෙම කිව්වේ?’ අරවින්ද අසන්නේ කෝල හිනාවක් මුව මත තබා ගෙනය.

“නෑ ඉතින් පෙනිච්ච හන්දා කිව්වේ. ඇත්තටම ඉස්සරට වඩා සන්තෝසෙන් ඉන්න පාටයි” කියමින් මගින් ගත් බඩ ඉරිඟු කරලෙන් ඇට කිහිපයක් සඳරු මුවට රුවා ගත්තේය.

“ඉතින් සන්තෝසෙන් ඉන්න එක හොඳයිනේ. උඹ කැමති නැද්ද මං සන්තෝසෙන් ඉන්නවට”

“අපෝ මගෙ අකමැත්තක් නෑ. මං කිව්වෙ ඉතින් අර පෙනිච්ච දේ”

ඉන් පස්සේ ඇති වූ නිහඬතාවය බිඳ හැලුනේ පාරේ ගමන් කරන වාහනයකින් ආ හඬකින් පමනකි. එහෙත් අරවින්දගෙන් අසන්නට බොහෝ දේ සඳරුට තිබුනේය.

කැළුමිනී අක්කා විවාහයෙන් වෙන් වීමට හිඳින බවත්, එහෙත් ඇයට දරුවෙකු හම්බෙන්න හිඳින බවත් සඳරු දැනගත්තේ පබෝධා නැන්දා පැමිණ අම්මා සමග කඳුලු සලමින් කියූ කතාව නිසාවෙනි. 

“හිතේ තියෙන ගින්දර මෙච්චරක් කියල මට කියාගන්න බෑ අක්කේ” කියමින් කතාව අවසාන කලේ පබෝධා නැන්දාය.

අම්මාත් අක්කාත් සඳරුත් උන්නේ ඒ කතාව දරාගන්නට උත්සහ කරගනිමිනි.

“දැන් ඒ පිරිමි ලමය කැමති නැතෙයි කියනවලුද දරුව හම්බෙන්න උන්නත් ආයෙ එකලාසයක් වෙන්න?” 

“නෑ, මේ දරුවා කතා කරලා. ඒ මනුස්සය දැන් වෙන ගෑණියෙක් එක්කලු ඉන්නෙ එකට. ඒ මනුස්සයට අමතක කරන්න විදියක් නැතිලු අපේ දරුවා කලින් යාලු වෙලා උන්නු පිරිමි ලමයගෙ කතාව”

“පුදුම මිනිස්සුනෙ නැන්දෙ. දැන් කාලෙ එහෙම මේ කොල්ලෙක් එක්ක යාලු වෙලා නැති කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද? අනික කොලබ වෙලත. ඊටත් එහා මේ කසාද බැඳලත් අවුරුදු තුන හතරක් යනකම් හොඳට උන්නු ගෑණිව නරක් වෙනවද මනුස්සයෙක්ට”

කතාව අක්කා එක්කහු උනේ ඇත්තටම කැළුමිනී අක්කා ගැන තිබෙන හිත් වේදනාවෙනි. සඳරු උන්නේ මේ ගැහැණු කතා අස්සට රිංගන්නට විදියක් හොයාගන්නට බැරුවය. 

“අනේද කියන්නෙ නංගි, මං නම් කියන්නෙ ඒ මනුස්සය මේ දරුව කසාද බැඳල ඉද්දි පවා ඔය අනිත් කෙල්ල එක්ක යාලුවෙලා ඉන්නැති.නැත්තම් ඉතින් මේ දවසෙන් දෙකෙන් ඔහොම විපර්‍යාසයක් වෙන්න විදියක් නෑනෙ”

“අනේ කවුද අක්කෙ දන්නේ? අන්තිමේ උනේ මේ දරුවට මේ දරුවෙක් එක්කල තනිවෙන්න වෙච්ච එකනේ. බැලුවොත් ඇත්තන් කල්පනා කර කර ඉන්නෙ. දැන් ඉන්න ලමයි දන්නවනෙ. මෝඩකම් කරගන්නවනෙ ප්‍රශ්නයක් ආහම. මට ඔක්කොටම වඩා බය ඒ ගැන.

අම්ම තාත්තා නැති හන්දා මේ දරුව හිතන්නේ තනිවෙලා කියල”

පබෝධා නැන්දා කඳුලක් පිහදමමින් කියු කතාවට දෙන්න හැකි පිලිතුරක් නොවුවද අම්මාත් අක්කාත් උන්නේ මනුසත්කමත්, මව්වත්කමත් හිතේ දරාගෙනය. කැළුමිණී අක්කා හමු වී ගතවුණු මාසයක පමන කුඩා කාලයකට වුව තමාගෙත්, තම පවුලේ අයගේත් හිත් දිනාගත් බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.

එහෙව් කෙල්ලට මෙහෙම වූ එක ගැන විස්සෝප වන්නට ඕන තරම් හේතු කාරනා සඳරුටත්, ඒ පවුලේ අයටත් තිබුනි.

“අනේ එහෙම හිතන්න එපා නංගි, මොන දේකට උනත් අපි ඉන්නවනෙ. ඒ නිසා ඕනම දේකට අපිට කතා කරන්නෝන” කියා මෙතෙක් වේලා හිටගෙන උන් තැනින් නැගිට ගොස් පබෝධා නැන්දා එහා පස අසුනෙන් ඉඳගත් අම්මා කිව්වේ නැන්දාගේ උරහිසමත අත තබාය.

කැළුමිණී අක්කාගේ දෙනෙත් අස්සේ සැඟවී තිබුන, සිනහවකට දෙතොල් මත ඇඳෙන්නට ඉඩ නොදුන් ඒ දුක්බර කතාව දැනගත් පසු සඳරු සැබවින්ම ඒ පිළිබඳව දුක් විය.

එහෙම තැනක අරවින්ද සූරියබණ්ඩාර වැනි ධනවත්, බලවත් පිරිමියෙකු ඇය වන් අසරන කාන්තාවක ගැන සිතමින් හිඳීන සතුටු විය යුතු කාරණාවක්ද, දුක් විය යුතු කාරණාවක්ද යන ගැටලුව ලෙහාගන්නට සඳරු සතුව තිබූ සමාජ අත්දැකීම් ප්‍රමානවත් වූයේ නැත.

“මං දෙයක් අහන්නෙයි මහත්තය අමනාප වෙන්නෙ නැත්තම්?’

සඳරු කතාවට එළඹුනේ යාප්පුවෙන් මෙනි. සූරියබණ්ඩාර මහතා යනු ඉතා යහපත් පුද්ගලයෙකු බව දන්නා නමුත් තමාගේම සොයුරිය තරම්ම සිතට සමීප කැළුමිනී අක්කා වෙනුවෙන් සඳරු මල්ලීගේ සිත උණු වුනේය.

ඉතින් මේ අහන්නට හදන්නේ ඒ සැකය දුරු කරගන්නට අවශ්‍ය කාරනාය.

“අහපන් බං. උබට ඕන දෙයක් මගෙන් අහන්න පුලුවන්නෙ” අරවින්ද උන්නේ ඉතාම සැහැල්ලුවෙන් වාහනයේ සුක්කානම කරකවමින් කඳු අතරින් ජීප් රිය රැගෙන යමිනි. එක් පසෙකින් පේන මහා කඳු පංතියත්, පසෙකින් ඇති කෙලවරක් නොපෙනෙන බෑවුමත් අතර හරිතවත් ලෝකයක රිය පදවමින් උන් අරවින්ද සූරියබණ්ඩාර සිතෙන් රියදුරු අසුනට එහා අසුනේ කැළුමිනීව තබා ගෙන උන්නේය.

දිනක ඇයව සතු කරගත් මොහොතක මෙයටත් වඩා සතුටෙන් මේ රියේම ඇයව එහා පසින් තබාගෙන යන සිහිනයක අරවින්ද අතරමංව උන්නේය.

“මහත්තය සන්තෝසෙන් ඉන්නෙ කැළුමිණී අක්ක හන්දා නේද/?”

ඒ ප්‍රශ්නය අසන්නට සිතට ශක්තිය පිවිසුනේ කෙසේද කියා සිතාගන්නට නොහැකි උනත් ඒ සහෝදරයකු විසින් තම සොයුරිය විසින් අසන්නට නියමිත පැනයක් බව සඳරු සිතුවේය. අනෙක් අතට අරවින්ද මහතා තවමත් අවිවාහක පිරිමියෙකි. එහෙත් කැළුමිනී අක්කා බිඳෙන්නට නියමිත විවාහයකින් දරු ගැබක් දරාගත් ගැහණියෙකි. ඒ බව නොදැන අරවින්ද සූරියබණ්ඩාර ඇය ගැන සිහින මැවීම කෙදිනක හෝ දෙසිතක් අතර වේදනාවන් පිරුණු කතාන්දරයක් අරඹන්නට හේතුවක් විය නොහැකිද?

අරවින්දට තරහ යාවිය යන බියෙන් ඇසුවද අරවින්ද උන්නේ සුපුරුදු මදහස දෙතොලින් මදකටවත් එහෙ මෙහෙ නොකරමිනි. එය සිතට සැනසුමකි. එහෙත් තමා විසින් කියන්නට නියමිත ඊළඟ කතාව ඇසුව විට අරවින්දට ඒ ලෙසින්ම සිනහ වී හිඳින්නට හැකි ද යන ගැටලුව සඳරුට නොතිබුනා නොවේ.

“උඹට ඒක තේරුණේ අද ද?” අරවින්ද එය ඇසුවේ සිනහවෙමිනි. ඒ සිනහව සැහැල්ලුවත් ආදරයත් සම සමව දරාගත්තක් විය.

“මට නිකමට හිතුනා. ඒ උනාට අහන්න බයෙන් උන්නේ”

මෙතෙක් වේලා සිත අස්සේ පෙරලි කරමින් උන් ප්‍රශ්න ගංගාව හමුවේ අත මත නිකන් තිබෙන්නට හැරි බඩ ඉරිඟු කරල සීතල වී ගොසිනි. ඒ සීතල වූ බඩ ඉරිඟු ඇට කිහිපයක් මුව මත රුවා ගනිමින් සඳරු එසේ කීවේ අරවින්ද දෙස ද බලමිනි.

“අනික ඉතින් මොනව උනත් මං ඒ වගේ දෙයක් අහන එක මහත්තය මොන විදියට භාර ගනීවිද කියල කවුද දන්නේ?

මහත්තය අපි එක්කල හිතවත්කම් පැවැත්තුවට අපි ඉතින් ලෝක දෙකක මිනිස්සුනෙ. ඒක අපිට අමතක කරන්න බෑනෙ”

සඳරු එසේ කිව්වේ උකුල මත රැඳ වූ දෑත මත තිබුන සීතල බඩ ඉරිඟු කරල දෙස බලාගෙනය. ඒ වදන් කියන අතර තුරේ අරවින්දගේ මුහුන දෙස බලා හිඳින්නට හැකියාවක්වත්, ශක්තියක්වත් සඳරුට තිබුනේ නැත.

අරවින්ද සඳරුගේ ඒ වදන් භාරගත්තේ හිත් රිදීමක් එක්කය. සඳරුව දැන් අවුරුදු කිහිපයක් හිඳ දන්නවා උනත් තවමත් වත්තෙ මහත්තය සහ ගැමියන් යන සංකල්පයන් බිඳ දමන්නට හැකියාවක් නොලැබී ඇතැයි යන සිතුවිල්ල සිතට බරකි. වේදනාවකි.

“මගෙ හිතට හරි අමාරුයි උඹ මං ගැන ඔහොම හිතන එක ගැන. වෙන කවුරුහරි ඔහොම කිව්ව නම් මං කවදාවත් 

හිත රිද්දගන්නෙ නෑ. උබම දන්නව මං උඹට සලකන්නෙ මගෙම දරුවෙක්ට, මල්ලි කෙනෙක්ට වගේ කියල. එහෙව් එකේ මගෙන් දෙයක් මොකටද අහන්න බයෙන් ඉන්නේ?

 ඕක ආයෙ හංගන්න දෙයක් නෑනෙ. කොහොමත් උඹ නොඇහැව්වත් මං උඹට නොකීව කාරනාවක් නැති තරම්නෙ. මේකත් මං කියන්න උන්නෙ. මං උඹට නොකිව්වෙ ඔක්කොටම කලින් මං ඒ ගෑණු ලමයගෙන් ඒ ගැන අහන්න ඕන වෙච්ච හන්දා. ඒ මිසක් උඹෙන් හංගන්න හිතාගෙන නෙවෙයි”

හිතේ කැළඹීමටද මන්දා වාහනයේ වේගයත් වැඩි උන බවක් දැනෙද්දි වුව අරවින්ද ආවේගයෙන් ඒ වචන කටෙන් පිටකලේය.

“ඒ කතාව අහන්න එපා”

අරවින්ද පුදුම උනේ සඳරුගේ ඒ වචන වලටය. සඳරු කිසිදිනක තමා කියු දෙයක් කරන්නට එපා යැයි කියු මිනිසෙකු නොවේ. එහෙව් කෙනා අද මෙසේ තම සිතඟි දැන ගැනීමෙන් පසුව එසේ කීම අරවින්දට සිතාගන්නට අපහසු දෙයක් විය.

“ඒ කිව්වේ?”

“මහත්තය කැළුමිනී අක්කට ඔය විත්තිය අහන්නවත් කියන්නවත් එපා”

“ඇයි?”

“අන්තිමේ මහත්තයට හිත රිද්දගන්නයි වෙන්නෙ” 

සඳරු විසින් කියන්නට හදන්නේ තමා විසින් දන්නා කාරනාව බව අරවින්දට තේරුණේ ඒ මොහොතේම. වෙනස තමාද ඒ කාරනාව දන්නා බව සඳරු නොදන්නා එක වීම පමනකි.

“උඹ කියන්න හදන්නෙ මං දන්න කාරණාවක් ගැන. ඒ හන්ද බයවෙන්න එපා. මං දන්නවා ඒ ගෑණු ලමය ලොකු ප්‍රශ්නෙක ඉන්න බව. එදා දානෙ දවසෙ හවස එහෙ ගියාම මං දැනගත්තෙ”

“ඉතින් එහෙම දැන දැන ඇයි දුකක පැටලෙන්නෙ හදන්නේ?”

“ඒ ළමය මොන වගේ ප්‍රශ්නෙක උන්නත් ඒක එයාට ආදරේ කරන්න මට ප්‍රශ්නයක් නෙවෙයි සඳරු. ඒ ලමයව හිතෙන් අහක් කරල දාන්නවත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි”

අරවින්ද එසේ කිව්වේ සුපුරුදු මදහස දෙතොල අලවමිනි. එවෙලේ ඒ දෑස් අස්සේ ආදරයත් විශ්වාසයත් කැටිකොටගත් දිස්නයක් දිලිසි දිලිසි තිබුණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles