සතුටු මන්තර 07

රිය කවුළුවෙන් සීත සුළඟ හමා ගෙන ආවේ ය. සයුරංගනා දෑතින් ස්ටියරින් වීලය අල්වා ගෙන දෑස් තියුණු කොට මාර්ගයේ ඉදිරිය බලා ගෙන සිටියා ය. ඇගේ දකුණු පාදයේ මහපට ඇඟිල්ල ඇක්සලරේටරය පාගා ගෙන සිටියේ ය. වම් කකුල ඕනෑ ම මොහොතක තිරිංග තද කිරීමේ සූදානමින් සිටියේ ය. ඇයට පා වෙනවා වන් හැඟීමක් දැනිණ. සැබවින් එය මානසික වශයෙන් පා වීමකි. වම් පස අසුනේ උන් රිය පැදවීම පුහුණු කරනා උපදේශිකාව මොන මොනවා ද කියමින් සිටියා ය. ඒවා සයුරංගනා ට ඇහිණ. ඇතැම් විට නෑහිණ. නමුත් ඇගේ මොළය උපදේශිකාව ගේ උපදෙස් වහ වහා එහි තැන්පත් කොට ගත්තේ ය. රිය පැදවීම කියනා පා වීම තුළ කෙතරම් නම් සුවයක් ඇත්දැයි ඒ අතරේ සයුරංගනා ට සිතිණ. එය එක්තරා භාවනාවක් සේ ය. ඇගේ ලවන් අතරේ මන්දස්මිතයක් වූයේ ය.

“හෙමිං හෙමිං හෙමිං….ස්පීඩ් අඩු කරන්න”

සතුටු පාවීමක සිටිය දී උපදේශිකාව අවධාරණය කළා ය. සයුරංගනා ස්වයංක්‍රීයව සේ රියෙහි වේගය අඩු කළා ය.

“ඔයාට පුළුවන්නෙ…ඔය ඩ්‍රයිව් කරන්නෙ හොඳට. දවස් කීපයක් මෙහෙම ගිහිං අපි ලයිසන්ස් ඇප්ලයි කරමු. මං ඔයාට මාර්ග සංඥා බුක්ලට් එක දෙන්නං. ඉන්ටර්නෙට් එකේ තියනව පේපර්ස්. ඒ ටික බලා ගත්තහම එග්සෑම් එක පාස් වෙන එකනං මහ දෙයක් නෙවෙයි. හරි ඔය ඉස්සරහිං අයිනට කරල නතර කරන්න. ඊට පස්සෙ අපි එතන පාරට දාල රිවර්ස් එක පුරුදු වෙමු”

රියදුරු අසුනෙහි හිඳ ගන්නා වේලේ සයුරංගනා ගේ දෙපා වෙව්ලමින් තිබිණ. ස්ටියරින් වීල් එක අල්වා ගත් දෑත් ගැහෙනු ඇයට දැනිණ.

“මිනිහ මැරිච්ච ගමං ගෑනිට අඩු වුණේ එච්චරයි. ඩ්‍රයිවිං…පුළුවං දේවලුත් තියනව බැරි දේවලුත් තියනව. කරන්න ඕන දේවලුත් තියනව එපා දේවලුත් තියනව. අර කොල්ලට මැරිලවත් සැනසීමක් නැති හැටි ඇත්තට”

තිලකා ගේ දෝෂාරෝපණය සවන් අස පිළිරැව් දෙන්නා සේ මුලින් ම ඇයට දැනුණේ ය. අද රිය පුහුණුව සඳහා උපදේශිකාව පැමිණෙන බව දැන ගත් වෙලාවේ පටන් තිලකා ගතු කියන්නට වූවා ය. සයුරංගනා සිටියේ නෑසුණා සේ ය. මේ කියවීම හින්දා ම සාර්ථකව පුහුණුවීම් කරගන්නට නො හැකි වනු ඇත්ද යන දෙගිඩියාව ඇය ට විය. ස්ටියරින් වීල් එක තද කොට අල්වා ගෙන ඇය මුලින් ම උත්සාහ කළේ තිලකා ගැන මතක සිත මතුපිටට එන එක වලකාලන්නට ය.

“තද කරල අල්ලන්න එපා. ස්ටියරින් වීල් එක සැහැල්ලුවට අල්ලන තරමට ඕන පැත්තකට කපාගන්න හරෝගන්න ලේසියි”

ඒ වෙලාවේ පුහුණු උපදේශිකාව කීවා ය. ජීවිතයත් ඒ වගේ යයි සයුරංගනා ට සිතේ. අප එය සැහැල්ලුවෙන් අල්වා ගන්නා තරමට ඕනෑ ම දිශාවකට පහසුවෙන් හරවා ගත හැකි වනු ඇත. 

දවසේ පුහුණු කටයුතු වලින් පස්සේ කා පෝච් එකෙහි රිය නවතා සයුරංගනා රියෙන් බැස ගත්තේ පුදුම සතුටකිනි. ඇයට ඈ ගැන මහත් විශ්වාසයක් දැනෙමින් තිබිණ. මේ වැඩේ ඉගෙන ගන්නා එක ලෙහෙසියෙන් කළ හැකි වනු ඇතැයි ඇයට සිතුණේ ම නැත. ඒ ඇය රියදුරු අසුනක හිඳ ගත් පළමු වතාව ය. නමුත් මේ ලෝකේ කරන්නට බැරි කිසිවක් ම නවනු ඇතැයි දැන් ඇයට සිතේ.

“කොහොමද දුවේ වැඩේ…”

ජයරත්න සිනහ මුවෙන් ඇසුවේ ය. සයුරංගනා ද සිනහ වූවා ය.

“හිතපු තරංනං අමාරු වුණේ නෑ අප්පච්චි. තව දවස් කීපයක් යනකොට හරියයි”

තිලකා ගස්සා ඉවත බැලුවා ය. සයුරංගනා ඇයව දුටුවේ නැති සෙයින් ගෙතුලට ගියා ය.

පසු ගිය දින වල තිලකා සිටියේ කුස්සිය අයිති කර ගෙන ය. සැබවින් ඇයට ඕනෑ වූයේ ලේලිය ඉන් පලවා හරින්නටයි. කුස්සියේ අයිතිය අතට ගන්නවා කියන්නේ මුළු ගෙදර ම අයිතිය අතට ගන්නවා වාගේ දෙයකි. සයුරංගනා ඒ වෙලාවට කුස්සිය පලාතේ නො ගියා ය. මුලින් ඇයට තිබුණේ ගිම්හාන් ගේ හදිසි වියෝවත් එක්ක ඇති වූ කම්පනයයි. කුස්සිය නොව ඇයට මුළු ලෝකය ම එපා වී තිබිණි. කොහොම හිත හදාගන්න ද කියා හෝ  කොහොම ජීවිතය හදා ගන්න ද කියා නො දැන ඇය අවතැන් ව සිටියා ය. ටිකක් හිස ඔසවා ගත්තා ට පස්සේ ඇය මුළුතැන්ගෙට නො ගියේ නැන්දම්මා එක්ක වැඩ කරන්නට තිබුණු අකමැත්තට ය. ඇය වැඩ කරන්නේ මුළු කුස්සිය ම හැඩි කොට ගෙන ය. එළවළු, ලූණු කපා ඉතිරි වෙන කොටස් එහෙම ම බිම දමයි. ලූණු, සුදු ලූණු පොතු හැර පොත්ත පවා එහෙම ම බිම දමයි. බිත්තර කටු ද, පොල් කුඩු ද පැන්ට්‍රි මේසය පුරාවට ය. ඉඳුල් භාජන මැස්සන් ඇහිරෙමින් එහෙම ම ය. 

සයුරංගනා වැඩ කරන්නේ එහෙම නොවේ. ඇය ලූණු පොත්තක්වත් බිම නො දමා කෙලින් ම කුණු බඳුනට දමා වසයි. පොල් මිරිකූ ගමන් බ්ලෙන්ඩරය සෝදා අදාල තැන තබයි  ඉඳුල් වෙන භාජන එහෙම ම සෝදා නවයි. ආලින්දය වාගේ ම ඇය මුළුතැන්ගෙය තබා ගත්තේත් පිරිසිඳුව ය. පිළිවෙලට ය. 

තිලකා අද මුළුතැන්ගෙට නොයා සිටියේ ලේලිය ගෙන් පළි දරන්නට සිතා ය.

“ගෑනියෙක් වුණාම ගෙදර වැඩක් බලාගෙන ඉන්න ඕනෙ. ගියා මෙතන ඩ්‍රයිවිං පුරුදු වෙන්න. ඩ්‍රයිවිං පුරුදු වෙලා කාර් එකෙං ඔෆිස් යන්න වෙන්න ඇති. විකාර..”

සයුරංගනා ගියාට පස්සේ ඇය නළියමින් ජයරත්න ට ගතු කීවා ය. 

“ඇත්තටම ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ තිලකා..”

සිය බිරිඳට ටිකක් සැරට කතා කරන්නට වෙලාවක් සොයමින් සිටි ජයරත්න ට, ලේලිය ගෙදර නොමැති මේ මොහොත ඊට සුදුසු ම වෙලාව සේ හැඟිණ.

“ඒ ළමය අපේ පුතාගෙ නෝනා. තමුංගෙ මහත්තය බලාපොරොත්තු නොවුණ වෙලාවක නැති වෙලා…කිරිසප්පයෙකුත් එක්ක ජීවිතේ තනි වෙච්ච කෙල්ලෙක් ඒ. ඔයා කියන්නෙ ඒ කෙල්ල අපේ පුතාගෙ වළටම පනින්න ඕනයි කියලද..කරුණාකරල ඒ ළමයට හිත හදාගෙන ජීවිතේ පටන් ගන්න උදව් කරනව. එහෙම බැරිනං කරුණාකරල කට වහගෙන පාඩුවෙ ඉන්නව. ඔයා දන්නවනෙ ඒ ළමයට අපේ පුතා සලකපු විදිහ. දැං අපේ යුතුකම පුතා වෙනුවෙන් කෙල්ලො දෙන්නව බලා කියා ගන්න එක”

ජයරත්න ගේ හඬ තානයට යම් කිසි තරවටු ස්වභාවයක් එක් වී තිබිණ. තිලකා ඔහු දෙස රවා බැලුවා ය.

“අප්පච්චිටයි පුතාටයි දෙන්නටම ඒ බඩ්ඩ ඉනාවක් දීලද කොහෙද. දෙන්නම ඒකිට වශී වෙලානෙ ඉන්නෙ”

එවර කේන්තිය පසෙක ලා ජයරත්න තරමක් හඬ නගා සිනහ වූයේ ය.

තිලකා…මනුස්සයෙක්ව වශී කරගන්න පුළුවන් විදිහට තව මනුස්සයෙක්ට යහපත් වෙන්න පුළුවන්නං ඒක මොන තරං ලොකු දෙයක්ද…ඒ ළමය එහෙම කරන්න පුළුවන් දැරිවියක් වෙන්න ඇති එහෙනං…”

තිලකා අද දවල් කෑම පිළියෙල කිරීම සඳහා කුස්සිය පලාතට නොගොස් සිටියේ මාමණ්ඩියට හා ලේලියට පාඩමක් ඉගැන්වීමට ම ය. රිය පුහුණුව නිමා වී ඇවිත් උයන්නටත් සිදු වෙත්දී එක දවසින් ම ඒ පුහුණුව එපා වනු ඇතැයි ඇය සිතුවා ය. නමුත් සයුරංගනා ඒ අවස්ථාව බාර ගත්තේ දෙවියන්ගෙන් ලැබුණු විශේෂ තිළිණයක් සේ ය. එසඳි ට ගිම්හාන් නැති අඩුව හැකි තාක් නො දැනෙන්නට හැරීම දැන් ඇගේ එක ම බලාපොරොත්තුවයි. දියණිය කන්නට කැමති වෙන පරිදි ඇය එළවළු බතක් පිළියෙල කළා ය. තමුන් කැමැත්තෙන් කරනවා නම් ලොව ඕනෑ ම දෙයක් සතුටෙන් කරන්නට පුළුවන. සයුරංගනා කැරට් අලය සිහින් ව කැපුවේ ද ලීක්ස් කොළ දිගටිවට කැපුවේ ද ඒ කැපීම සතුටක් කොට ගෙන ය. සුදුලූණු ටික තෙම්පරාදු වන විට ඇය එළවළු පහේ ටික සෝස්පෑන් එකට දැමුවා ය. සූ හඬ නගාගෙන දුමක් විහිද ගියේ ය. ඒ සමග තෙම්පරාදු සුවඳින් මුළු ගෙය ම පිරිණි. ඒ සුවඳ සයුරංගනා ගේ හිතට තව දුරටත් සතුට කාන්දු කරවන ලදී. තෙම්පරාදුව බතට කලවම් කොට බටර් ස්වල්පයක් ඊට එක් කරත්දී ජයරත්න කුස්සියට එබිකම් කළේ ය.

“හම්මේ සුවඳ…”

සයුරංගනා මඳහසක් නගා ගත්තා ය.

“බතට එළවළු ටික කලවම් කරල දුන්නහම කෙල්ල බත් ටිකක් කනව අප්පච්චි”

ඉස්සරහා පැත්තේ සිට තිලකා පිපිරුවා ය. 

“මළගෙයක් වුණ තැනක් නේද මේ…සූස් ගගා තෙම්පරාදු දම දමා ෆ්‍රයිඩ් රයිස් හදනව. අපිනං මළගෙයක් වුණහම මාස තුනක් යනකල් පපඩමක් බදින්නෑ”

“ඇයි තිලකා හත් දවසෙ දානෙටත් ඕගොල්ලො පපඩං බැදල තිබුණෙ”

ජයරත්න පිළිතුරු දුන්නේ මුළුතැන්ගෙයි සිට ම ය. එද සිනහවකිනි. සයුරංගනා එ් කතා බහට වචනයකින් තබා සිනහවකින් හෝ හවුල් නොවුණා ය. 

“අප්පච්චිටත් මේ ටිකේම කටට රහට කෑමක් නෑ නේද…මං චිකන් ටිකක් ගත්ත උයන්න”

“මටනං ඔය මොනා බඩට දමා ගත්තත් එකයි දුවේ. පොඩි කෙල්ල ගැන බලන්නකො දුව. පුතා ඉන්නකොටනං හැමදාම හවසට කෙල්ලට මොනා හරි අරං ආව. අපි හවස් අතේ හන්දියට ගිහිං ඕන කරන බඩු ටිකක් ගේමු”

චිකන් මිරිස් කරියක් පිස, පරිප්පු සුදට උයා ඕ අල තෙල් දැමුවා ය. චිකන් කැබැල්ල සෝදා දුන් කල අද එසඳි ට බත් ටිකක් කවා ගත හැකි බව සිහි වී සයුරංගනා ගේ පපුවට දැනුණේ සැනසීමකි. 

දැරිය පැමිණි පසු සෝදා කවා පොවා කෙටි නින්දක් සඳහා ඇඳට දමා සයුරංගනා ද යහනට වී සිටියා ය. ඉස්සරහා දවස් මේ තරම් සුමට නොවන බව සිහි වී හදවතේ කොතැනකින් ද මන්දා ගින්නක් ඇවිලී ආයේ ය. හුස්ම ගත්දීත් ගිනි රස්නයක් ඇයට දැනිණ. එසඳි සුවෙන් නිදා සිටී. ඇයට මේ කිසිත් වැටහෙන්නේ නැත. එහෙම ය කියා ඇයට දුකක් ඉතිරි වන්නට ඉඩ නො තැබිය යුතු ය. කොහොම ද කියා දන්නේ නැතිවා වී ද කෙසේ හෝ දියණිය වෙනුවෙන් පහසු අනාගතයක් සැකසිය යුතු ය. ඇයට සුව පහසුව තනා දීම වෙනුවෙන් ඇතැම් විට අම්මා වශයෙන් සයුරංගනා ට අපමණ වෙහෙසක් දරන්නට සිදු වනු ඇත. ඇය ඒ සියල්ලට මනසින් සූදානම් වෙන හැටි හිතුවා ය.

ඇඳට වී සිටියා ට සයුරංගනා ගේ ඇහැ පියවුණේ හෝ නැත. අද පමණක් නොව ගිම්හාන් මිය යාමෙන් පස්සේ ම ඇය හරි හැටි නින්දක් ලැබුවේ නැත. නිදන්නට උඩු හිතට දැඩිව ඕනෑ වී ද යටි හිතේ ඊට සූදානමක් නොවුණා වන්නට ඇත. 

හැන්දෑවේ ඇය එසඳි සමගින් ට්‍රයිඩැක්ස් මිටියාවත පැත්තට ගියා ය. ඒ හුඟක් දවසකට පස්සේ ය. මීට පෙර දවස් වල හැන්දෑ කාලය ඈ මෙතැන ගත කළේ ගිම්හාන් එන තුරු ය. ඒත් දැන් ඉතින් කවුරුන් එන තුරු මග බලන්න ද? උඳුපියලියා බිම මත හිඳ ගත්දී ඇගේ ඇසින් කඳුළක් රූරා වැටෙමින් තිබිණ.

“අඬන්න එපා මගෙ සුදු අම්මි”

එසඳි හුරතල් හඬකින් එසේ කියා සියුමැළි ඇඟිලි තුඩු වලින් සයුරංගනා ගේ කම්මුල් පිසදැමුවා ය.

“අම්ම අඬන්නෑ පුතේ”

“යශෝදර අංකල් කියනවනෙ අපාචි ආයෙ එනව කියල. යශෝදර අංකල් බොරු කියන්නෑ කියල එසඳි බබා දන්නව”

සයුරංගනා සිනහ වී එසඳි ව තුරුලු කොට ගත්තා ය.

“අද මං ඔයාගෙ ඔළුවෙ මල් ගහන්නං. හැමදාම ඔයානෙ මට මල් ඔටුනු හැදුවෙ”

“මගෙ රාජ කුමාරි ඔයානෙ”

“රාජ කුමාරිගෙ අම්ම ඔයානෙ”

ට්‍රයිඩැක්ස් මල් කඩා දැරිය සයුරංගනා ගේ හිස කේ අතරේ රැඳවූවා ය. අම්මා දියණියට බටහිර අහසේ වර්ණ රටා පෙන්වූවා ය. එසඳි පෙර පාසලේ දී ඉගෙන ගත් ගී ඛණ්ඩයක් කීවා ය.

“වීල්ස් ඔන් ද බස් ගෝ රවුන්ඩ් ඇන්ඩ් රවුන්ඩ්…රවුන්ඩ් ඇන්ඩ් රවුන්ඩ්.. රවුන්ඩ් ඇන්ඩ් රවුන්ඩ්..ද වීල්ස් ඔන් ද බස් ගෝ රවුන්ඩ් ඇන්ඩ් රවුන්ඩ් ඕල් ඩේ ලෝං…”

ඔවුන් දෙදෙනා ට ඕන වී තිබුණේ තමුන්ට හැකි පමණින් අනෙකා සනහා ලන්නට විය යුතු ය. පිරිමැදිය යුතු සන්තාපයක් අම්මා ගේ හද මඬලෙහි වන බව සිදු වෙන දේවල් විසින් එසඳි ගේ ළමා මනසට ඒත්තු ගන්වමින් තිබුණා විය යුතු ය.

පෙත් මග පහල සිට ඉහළට යතුරු පැදියක් ඇදී ආවේ ය. අම්මාත් දුවත් හිඳ සිටි මානයෙහි එය නවතා යශෝදර සිනහ වෙවී ඔවුන් වෙතට ඇවිද ආවේ ය. එසඳි වහා නැගිට යශෝදර වෙතට දිව්වා ය. ඔහු ඇය වඩා ගත්තේ ය. ඇය ඔහු බදා ගත්තා ය.

“එසඳි මැණික”

“මං ඔයා එනකල් බලං හිටිය”

යශෝදර ඔහු ගේ ජැකට් එක ඇතුළෙන් ගත් චොක්ලට් එකක් එසඳි ට දුන්නේ ය.

“තැන්කූ”

ඇය ඔහු ගේ කම්මුලේ මුදු හාදුවක් තැබුවා ය. බඩත් පපුවත් එක ම ගින්නකට වැද ඇවිලෙනු සයුරංගනා නිසොල්මනේ බලා සිටියා ය. යශෝදර දැරිය වඩා ගෙන ම ඇය වෙත පැමිණියේ ය.

💜️සයුරංගනා කෙරේ ඔබ පානා අසීමිත ආදරයට අප්‍රමාණ ව ස්තූතිවන්ත වෙමි. ඒ ආදරය, සයුරංගනා නිර්මාණය කිරීමේ ලා මට ශක්තියක් ම වන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles