හිමගිරි අරණ -17

ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට ඇය කැමති ය.ඈ සහන්ට ප්‍රේම නොකළ බව කියන්නට අසීරු වුව ද ඒ බැඳීමට ප්‍රේමය යැයි නමක් දෙන්නට ඇගේ කැමැත්තක් නැත.

“ආදරේ කියන්නේ කැමැත්තකට විතරක් නෙවෙයි.ඒක බොහොම සංකීර්ණ දෙයක්.ඔය ක්‍රෂ් කියන ඒවා මාස කීපයක් තිබිලා එහෙම්ම නැති වෙලා යන්නේ ඒකනෙ.”

හිමාෂා පාරමීට පැවසුවේ එනිසා ය.ජීවිතය තුළ ඈ ලැබූ අත්දැකීම් සිහි කරමිනි.

“මේක එහෙම හිතින් මැකෙන ක්‍රෂ් එකක් නන් නෙවේ.මම දැන් කී කාලයක් තිස්සේ රවිඳුට ආදරෙයිද?”

පාරමී ඇගේ වචන ඉස්මතු කරන්නට උත්සාහ කළා ය.ඒ ආදරය ගැන තවදුරටත් කතා කරන්නට නොසිතූ හිමාෂා වෙනත් කාරණාවක් ගැන පැවසුවා ය.ඒ ඇගේ හිතේ කැකෑරෙමින් තිබූ වේදනාවකි.

“මට ඇත්තටම හිතෙන දෙයක් මම කිව්වේ පාරෝ.මමයි සහනුයි මැරි කළේ අපේ දෙමව්පියෝ අපිව එකතු කරන්න තීරණේ කරපු නිසා.ඒ නිසා සහන්ට මං ගැන කැමැත්තක් ඇති කරගන්න අමාරු වෙන්න ඇති.මං වුණත් එයාට තිබුණේ ආදරයක්ද කියලා දැන් මට හිතෙනවා.මං හොඳ වයිෆ් කෙනෙක් වෙන්න උත්සාහ කළා විතරයි මට හිතෙන්නේ.”

හිමාෂා එසේ පැවසුවේ පාරමීට යම් කාරණාවක් තේරුම් කර දෙන්නට සිතමිනි.එය පැවසිය යුතුම දෙයක් බව හිමාෂා සිතුවා ය.

“රවිඳුට ඔයා ගැන විශේෂ හැඟීමක් නැත්නම් අපිට එයාට ඔයා ගැන හිතන්න කියන්න වෙනවා.අනිත් අයගේ බලපෑමට තව කෙනෙක් ගැන හැඟීම් ඇති කරගන්න කිසිම කෙනෙක් ඒක අවංකව කරනවා ඇති කියලා මං හිතන් නෑ පාරෝ.ආදරයක් වුණත් ඇති වෙන්න ඕන දෙන්නගෙම හිතේ.එක්කෙනෙක් ආදරේ කරලා තේරුමක් නෑ.”

හිමාෂා ඒවා කියන්නේ ඇගේ ජීවිතය ඇසුරිනි.විවාහයක් බිඳ වැටී වේදනා උසුලන ඇයට මේ මාතෘකාව ගැන කියන්නට අප්‍රමාණ දේ තිබිණ.නමුත් පාරමීට එවැනි ජීවිත අත්දැකීම් නොමැත.ඇය සිටියේ රවිඳුට උමතුවෙන් ප්‍රේම කරමිනි.

“එයාගෙ මහ ලොකු වෙනුරිත් කසාදයක් කරගත්තෙ මට රවිඳුව අයිති වෙන්න තමයි.”

පාරමී තවම බොළඳ පාසල් ශිෂ්‍යාවක් වාගේ යැයි හිමාෂාට සිතේ.ඇය මිතුරිය දෙස දිනාරා දෙස බලන මට්ටමේ බැල්මකින් බැලූයේ ඒ නිසා ය.

“ආයේ එයා වෙන කාටහරි ආදරේ කරන්න ගියොත් මම ඒකත් කඩනව.එතකොට එයා ආයේ දුකින් ඉන්නකොට හිත හදන්න මට බැරියැ.”

පාරමීගේ බොළඳ කතා හිමාෂාට සිනා රැගෙන එයි.ප්‍රේමයේ පරාජිත බවින් සිත බොහෝ රිදවා ගත් රවිඳුට දැන්මම ප්‍රේමයක් නුවුමනා බව පමණක් හිමාෂා දැන සිටියා ය.ඇය ඒ වගක් නොකියා හුන්නා ය.

“ඔයා කියනවනෙ සහන් අයියා ඔයාගෙන් ඈත් වෙනකොට ඒකට හේතුව මල්මි කියල ඔයා දැනන් හිටියා කියලා.කාටවත්ම නොකීවට.”

පාරමී ඉන් අනතුරුව වෙනත් ප්‍රශ්නයක් නැඟුවා ය.එය හෙළි නොකරන්නට සිතුණු හේතුව අදටත් පැහැදිලි නැති බැවින් හිමාෂා අඩ සිනාවක් නැඟුවා ය.සහන් තමන් ගැන බිඳුවකුදු සොයා නොබලන්නේ ඔහුගේ හදවත වෙනත් තැනක නැවතී ඇති නිසායැයි හිමාෂා සැක කළා ය.සාක්ෂි සහිතව ඔප්පු කරගන්නට නොහැකි වුව ද සහන්ට සමීප චරිතයක් වූ මල්මි ඔවුන්ගේ දික්කසාදය සිදුව වැඩි දවසක් යන්නට පෙර සහන් හා විවාහ වෙද්දී ඇයට ඒ සැකය ස්ථිර විය.

“ඔයා ඒ දවස්වල සහන්ගෙ ෆෝන් එක එහෙම චෙක් කරානන් ඔයාට බඩුත් එක්ක හොරු අල්ලා ගන්නත් තිබ්බා.”

පාරමී කියන්නේ සිතුවිල්ලේ ය.තවත් වැඩිහිටි මිනිසෙකුගේ පෞද්ගලික උපාංග රහසේ පරීක්ෂා කිරීම කමකට නැති කාර්යයක් බව පැවසූ හිමාෂා තමන්ගේ අසුනට එන්නට ආවේ පාරමීට ආදරය සම්බන්ධයෙන් සහ සබඳතා සම්බන්ධයෙන් තව බොහෝ දෑ ඉගෙන ගන්නට සිතෙන බව සිතමිනි.රාජකාරියක් අරඹන්නට ෆයිල් ගොනුවක් අතට ගනිද්දී තවත් කාර්යාලීය මිතුරියක වූ චරිතා හිමාෂාගේ දෑස් ඉදිරිපිට රැඳුණා ය.

“අර මෝඩිගේ ලව් එකට උදව් කරනවට ඔයාට ආණ්ඩුවෙන් පඩි ගෙවන් නෑ මැඩම්.වැඩ කරපං”

චරිතා එසේ කියන්නේ සැබෑවටම කෝපයෙන් නොවන බව දන්නා හිමාෂා සිනාවක් තොල් මතට ගත්තා ය.චරිතා හිමාෂාගේ අත්ලෙහි පෑන් ඉරක් ඇන්දේ කියන්නට ආ කතාව කියන්නට ය.චරිතාට දේවල් හිතේ තබාගෙන සිටීමේ පුරුද්දක් නොවේ.

“ඔය රවිඳුගේ ප්‍රශ්නෙට මැදිහත් නොවී පාරමීට ඇත්ත තේරුම් ගන්න අරින්න.මං ඔයාට අනාවැකි දෙකක් කියන්නං.”

චරිතාගේ පැනයට හිමාෂා හිස වනා එකඟ වූවා ය.

“එක්කෝ එක අනාවැකියක් කියන්නං.ඔය පාරමී තව වැඩි දවසක් යන්න කලින් ඔයා එක්ක නයි වෛර වෙනවා.ඒකට හේතුව පළවෙනි අනාවැකිය.යන්නං”

ලිපි ගොනුව ඔසවාගෙන තමන් වෙතින් නික්ම යන චරිතා දෙස බලාගෙන හිමාෂා කල්පනාවට වැටුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles