filters

“ඇයි ප්‍රවීන් මම ලස්සන නැත්තෙ?” 

ශානි කණ්ණාඩියෙන් පේන තමන්ගෙන රූපෙ දිහා බලාගෙන එහෙම අහද්දි ප්‍රවීන් පුදුම වෙච්ච එක අහන්න දෙයක් නෑ.

ලස්සනට ඉගෙන ගෙන හොඳම හොඳ රස්සාවක් කරන අතරෙම තමන්ගෙම කියල පොඩි බිස්නස් එකකුත් රන් කරන ශානිට දැන් අවුරුදු 30ක්.

ඒ උනාට 30ක් කියල නොපෙනෙන හරිම ලස්සන මූණකුත්, හීන්දෑරී ශරීරෙකුත් නිසා ශානිව දැක්ක හැමෝම “ලස්සන කෙල්ලෙක්” කියල හිතන්න සෑහෙන හේතු තිබුනා.

එහෙම ලස්සන මනුස්සය අද මේ කණ්නාඩිය දිහා බලන් ඔහොම කියද්දි “මොකද්ද මේ වෙන්න යන්නෙ” කියල ප්‍රවීන්ට නොහිතුනා නෙවෙයි. 

“ඇයි එහෙම කිව්වේ?” ප්‍රවීන් කෝකටත් කියල එහෙම ඇහුවෙ ශානි කොහොමත් පොඩි දේකිනුත් හිත රිද්දගෙන හැම දෙයක් ගැනම ඕවර් තින්ක් කරන කෙනෙක් බව දන්න හන්දමයි. 

“නෑ මට හිතුනා මම මාර කැතයි කියල. දැන් 30ක් නේ. ඒ උනාට මට ඊට වඩා වයස පේනවා”

“ඉතින් ගිය සතියෙත් ඔයාට 30ක් නෙ බබා. ගිය සතියෙ අර පාටි එකට යන්න ඇඳගනිද්දි ඔයාම කිව්වනෙ මම මේ ඇඳුමට ලස්සනයි කියල. සතියෙන් තමන් ගැන ඔහොම හිතෙන්නෙ නෑනෙ. කවුරිහරි මොනව හරි කිව්වද?”

“නෑ” කියල ඇදල කිව්ව විදියෙන්ම ප්‍රවීන්ට තේරුනා තමන් හිතපු දේ හරි බවත් ශානි මේ එකපාර තමන් ගැන අවතක්සේරු කරල හිතල තියෙන්නෙ කවුරු හරි කියපු දෙයක් නිසා බවත් කියල 

මෙච්චර වෙලා ෆෝන් එක අතේ තියාගෙන ෆේස්බුක් එකේ උඩ පහල යන ගමන් උන්නු එක නතර කරල ඇඳෙන් බැහැල ආව ප්‍රවීන් ශානිගෙ පිටිපස්සෙන් හිටගෙන බඩ වටේ අත් යවල එයාව තමන්ගෙ ඇඟට තුරුල් කරගත්තා. 

“මොකද උනේ කියන්නකො”

“ඔයාට මතකනෙ කාවින්ද්‍යාව”

“අර ඉස්සර ඔයාලගෙ ඔෆිස් එකේ වැඩ කල ගර්ල් නේ”

“ඔව්” 

“ඉතින්”

“එයා මාර ලස්සන ෆොටෝස් දානවා ස්ටෝරීස් එහෙම. එයා මට වඩා අවුරුදු තුන හතරක්ම වැඩිමලුත් එක්ක. ඒ උනාට එයා පුදුම ලස්සනයි. මූණෙ රැල්ලක්වත් නෑ සඳුදා මම අර බැගී ටොප් එකක්නෙ ඇඳගෙන ගියේ. 

අනුජා කියනව කාවින්ද්‍යා අපිට වඩා වැඩිමල් වෙලත් මාර ලස්සනට ඉන්නවා. 

ඒකට මම, ආන්ටි කෙනෙක් වගේ කියල අපේ නැන්දත් අම්මට කියල තිබුන මල්ලිගෙ වෙඩින් එක දවසෙ මාව දැකපු ගොඩක් අය කිව්ව කියල මම හරිම වයස පාටයි කියල. 

ඔයා තාම කොල්ල වගේ ඉන්න හන්දා ඔයාට මාව එපා වෙයිද දන්නෙ නෑ කියල මට හරි දුක හිතුන ප්‍රවීන්. 

මට ඇත්තටම බයයි මම තව වයසට යද්දි කැත වෙයිද කියල මට බයයි එහෙම වෙලා ඔයා මාව දාලා යාවි කියල”

වෙන වෙලාවක ශානි තමන්ගේ සුපුරුදු සිනහවෙන් මෙය කීවා නම් ඒ සිනහටව මහ හඬින් එක්වන්නට පුලුවන් කමක් තිබුණත් මේ සිනහවකින් නොව ඉවසීමකින් මුහුණ දිය යුතු වෙලාවක් බව ප්‍රවීන් දනී 

කොහොමත් ඕවර් තින්ක් කරන කෙල්ලෙක්ට මෙවන් දෙයක් උනත් මහ දෙයකි

“මම කවදාවත් කියල තියෙනවද ඔයා කැතයි කියල” 

“නෑ ඒ උනාට එයාල කියන දේ ඇත්‍ත. මගේ මූණ ඇත්‍තටම වයස පාටයි. මම එදා අර ටික් ටොක් එකේ ආව වයසට ගියාම අපේ ලුක් එක පෙන්නන ෆිල්ටර් එකක් ට්‍රයි කරල බැලුවා. අනිත් හැමෝටම වගේ ලස්සන ඒව එද්දි මාව යකෙක් වගේ පෙන්නුවෙ. පුදුම කැතක් තිබුනෙ මගේ” 

“අයියෝ ළමයො කවුද ටික්ටොක් ෆිල්ටර්ස් වලින් පෙන්නන දේවල් ඇත්ත කියල පිලිගන්නේ? අනික මම ඔයාට කී පාරල් කියල තියෙනවද අර කාවින්ද්‍යා කියන කෙනත් ෆිල්ටර්ස් වලින් මේක් අප් එහෙම දාපු ෆොටෝ තමයි අප්ලෝඩ් කරන්නේ. එයාලා ඇප්ස් වලින් ඇඟේ ශේප් එක එහෙම එඩිට් කරල දාන ෆොටෝ ඇත්ත කියල තමයි ඔයා හිතාගෙන ඉන්නෙ. මම කිව්වට ඔයා පිලිගන්නෙ නෑනෙ ඔයා කොච්චර ලස්සනද?

මම කියන්නෙ නෑ ඔයා තාම විසි පහේ ලුක් එකක් තියෙන්නෙ කියල. 

එහෙම වයසට යද්දිත් ඊට වඩා අවුරුදු ගාණක් බාල පෙනුමක් තියෙන මිනිස්සු හිටපු ගමන් එකපාර වයසට යනවා. ඔයාට තියන්නෙ ඔයාගෙ වයසට ගැලපෙන ලස්සන පෙනුමක්. හරිම ක්ලාසි පෙනුමක්. 

ඔයා මොකටද ඒ ගැන හිතල වොරි වෙන්නෙ? 

මතකනෙ කාලයක් ඔයා අර ස්කින් එක දුඹුරු පාටයි කියල බ්ලීචින් ක්‍රීම් වගයක් ගාන්න ගියා. අන්තිමේ ඒක ගාපු ඔයාගෙ යාලුවන්ගෙ ස්කින් එක විනාස උනාම තමයි ඔයා මම කියපු එක පිලිගත්තෙ”

“ඒ උනාට මට බයයි ප්‍රවීන්”

“බබා, ඔයා හරිම ලස්සනයි. මාව විශ්වාස කරන්න. මගේ යාලුවො පවා ඔයා පාටිස් වලට ආවම කියනව ඔයා හරිම ක්ලාසි වැදගත් පෙනුම තියෙන ලේඩි කෙනෙක් කියල කොහොමත් ගෑණියෙක් තව ගෑණියෙක් ලස්සනයි කියන්නෙ අඩුවෙන් නේ”

ප්‍රවීන් කියුවේ කණ්ණාඩිය ලඟින් අයින් වෙලා ආයෙ ඇඳ උඩට ගිහින් ෆෝන් එක අතට අරගන්න ගමන්. 

ප්‍රවින් මොන තරම් දේවල් කිව්වත් ශානි උන්නෙ සම්පූර්ණයෙන්ම හදාගත්ත හිතකින් නම් නෙවෙයි. 

දවස් ගාණක් තිස්සෙ ඔය “තමන් කැතයි” කියන කතාව ශානිගෙ ඔලුව තිබ්බා ඔය අතරවාරෙ තමයි ඔෆිස් එකේ ඇනුවල් පාටි එක තිබුනෙ.

ඒකට දැනට ඉන්න එම්ප්ලොයීස්ලා ගෙ ස්පෞස් ලට වගේම කලින් ඉඳල අස්වෙලා ගිය එම්ප්ලොයීස්ලාටත් ඔෆිස් එකෙන් ඉන්වයිට් කරල තිබුනා 

ශානිගෙ ඇස් බලාපොරොත්‍තුවෙන් හිටියෙ කාවින්ද්‍යාව අවුරුදු ගාණකට පස්සෙ ආයෙ හැබහින් දකින්න. 

මේ වයසෙදිත් මෙච්චර ලස්සනට ඉන්නෙ කොහොමද කියල අහල තමනුත් ඒව ෆලෝ කරන්න ඒ උනාට ප්‍රවීන් කිව්වේ කොච්චර ඇත්තක්ද කියල කාවින්ද්‍යා දැක්කම තමයි ශානිට තේරුනේ.

තමන්ට ෆේස්බුක් එකෙන් කාවින්ද්‍යා පෙන්නල තියෙන්නෙ මොන තරම් මායාවක්ද කියල ශානි තේරුම් ගත්තෙ ඒවෙලාවෙ

“මං කිව්ව දේ ඇත්ත නේද? එයාලා හැමදේම පෙන්නන්නෙ ෆිල්ටර් කරල. ඉතින් අපිත් ඒව බාරගන්න ඕන ෆිල්ටර් කරල” 

හීන් සැරේ පිටිපස්සෙන් හිටගත්ත ප්‍රවීන් එහෙම කියද්දි ශානි හීන් හිනාවක් පෙන්නුවා

More Stories

Don't Miss


Latest Articles