පොඩි එකා හරි ආසයි වටලප්පන් කන්න. මම හෙට පුතා ආවහම දුවටත් එවන්නම්.නස්රියා ආච්චිත් එක්කම මම පල්ලෙහාට බැහැලා අපේ ගෙදරට ගියා.
අංගනාවන් මැද ගැහැනියක්……
දන්නා දේ ට වඩා නොදන්නා කමක්……
සරණක් පැතුව තැන අසරණකමක් ……
දැනෙනවා මට වෙනස්කමක්……
විශ්වාස කරපු තැන අවිශ්වාසයක් …….
සතුටක් තිබුනු තැන කෙනිත්තිල්ලක්……..
හිනාවක් වින්ඳ තැන කඳුළක් ……..
අහන්නට දහස් දේ තිබුනත්
මුනිවත රකින මොහොතක් ……….
එදා මගේ දිනපොතේ එහෙම ලිව්වා.
ඊට පහුවදා තිබිච්ච සම්මුඛ පරීක්ෂණ දෙක තුනකටම මම ගියා. විනෝද එෆ් එම් කියලා අලුතෙන් පටන් ගන්න යන ගුවන්විදුලි නාළිකාවකට මාව තෝර ගත්තා කියලා දැන ගත්තහම ඇත්තටම සන්තෝස හිතුණා.ලොකු අම්මා වචනයක්වත් නොකිව්වට ඒ ගෙදර මම හොයපු විදිහේ උපරිම නිදහසක් තිබුනට ඇත්තටම එහෙම නිකං ඉඳගෙන කල්පනා කර කර ඉන්නකොට මට නොහිතෙන දේවලුත් හිතෙන්න පටන් අරගෙන තිබුණා. මම ගෙදරට දුවගෙන ආවේ ලොකු අම්මට මේ විස්තරේ කියන්නයි. තාත්තට දුරකථන ඇමතුමක් දීලා විස්තරය කිව්වේ අම්මටත් කියන්න කියලයි.
මොනා වුණත් කමක් නැහැ උඹ නිකන් ඉන්නවට වැඩිය හොඳයි මොකක් හරි දෙයක් කරන එක කියලා තාත්තා කිව්වා.
මම ගෙදරට එනකොට ලොකු අම්මා කොහේ හරි ගිහිල්ලා තිබුණා.එයාගේ සුපුරුදු පණිවුඩ හුවමාරු ක්‍රමය වෙච්ච දොර ලඟ එල්ලලා තියෙන welcome to my palace කියලා ගහලා තියෙන පින්තූරය පිටිපස්සේ පණිවිඩය ලියපු කොළය ගහලා ගිහින් තිබුණා.
යතුර නස්‍රියා ආච්චි ලග..
මං ඉක්මනින් එනවා.
මම නස්‍රියා ආච්චිගෙ දොරට තට්ටු කරන කොටම ආච්චි එළියට ආවේ හිනා වෙවී.
එන්න දූ.. පොඩි එකා ඊයේ රෑ ආවා. තාම නිදි… මං දූගෙ වටලප්පන් කොටස ඔන්න වෙන් කරලම තිබ්බා. තිලක නං හැන්දෑ වෙලා එන්නම් කිව්වා.
ගෙට ඇතුලු වෙනකොටම මට දැනුනේ ඇත්තටම කවුරුහරි පිටරට ඉඳලා ආවහම ගේ ඇතුලේ කැරකෙන අර පිටරට විලවුන් වල සුවඳමයි. ඒක නං ඇත්තටම මහ පුදුම වැඩක් කියලා මට හිතුනා.පොලට ගිහිල්ලා එළවළු අරගෙන ආවහම ඒ ඇඳුම් වල තියෙන්නේ පුදුම ගඳක්.පොත් කඩයක් ඇතුලට ගිහිල්ලා අලුත් පොත් ලගට ගියාම තියෙන්නේ පුදුම සුවඳක්.කවුරුහරි පිටරට ඉඳලා ආවහම ඒ බඩු මුට්ටු වල තියෙන්නේ පුදුම සුවඳක් ..ඒ අපේ හිත ද..අනේ මන්දා..
රසද දූ.. මූන මහන්සි පාටයි..
ම්ම් රසයි.. ඇත්තටම .
නස්‍රියා ආච්චි එක්ක මම විනෝද එෆ් එම් එකේ විස්තර කිව්වා.
එයා ඔය රේඩියෝ එකේ යන හරබර වැඩසටහන් කිසිම දේකට කැමති නැහැ කියලා කිව්වා.ප්‍රශ්න ඔළුවේ තියෙන මිනිස්සුන්ට ආපහු පොතක් කියවලා හරි ආපහු ගුවන් විදුලිය ට ඇහුම්කන් දීලා හරි තවත් ප්‍රශ්න ඔළුවේ දාගන්න ඕනේ නැහැයි කියලා ආච්චි කිව්වා .
මට ලබන සතියේ ඉදලා වැඩට එන්න කියලා කිව්වා ආච්චි.
මුලින්ම දෙන්නේ අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහනක් කියලා කිව්වා.ටිකක් පුරුදු උනහම හොඳ වැඩසටහනක් දෙන්නම් කියලා කිව්වා.
නස්‍රියා ආච්චි ගෙ කුස්සිය හරි පිරිසිදුයි පිළිවෙලයි.
මුනුබුරාලා දෙන්න මාරුවෙන් මාරුවට උන්දැට කාලෙන් කාලෙට හරියන නවීන බඩු මුට්ටු ඔක්කොම කුස්සියට එවනවා නෙ..
ඒකනේ ඔය මාලිගාව වගේ තියාගෙන ඉන්නේ ..
කියලා ලොකු අම්මා හැමතිස්සෙම මාත් එක්ක කියනවා.
ආච්චිගෙ කුස්සිය දවසක් උනත් බලන්න දේවල් තියෙනවා නේද.අපි හිනා වෙවී කතා කර කර ගොඩක් වෙලා හිටියා.මම උන්නේ ආච්චි දවල්ට උයන දිහා බලාගෙන.. ගෙදර ගිහිල්ලා තනියම ඉන්න හිතුනෙත් නැහැ.
එකපාරටම මගේ නාස් පුඩු වලට දැනුනේ ෆොගෙට් මී නොට් මල් වල සුවඳ.ඒත් මට පිටිපස්ස හැරිලා බලන්න හිතුණේ නැහැ.මම ඇස් ඇස්දෙක වහගෙන ඒ සුවඳ විඳින්න පටන් අරගෙන තිබුණා.ඒ විලවුන් සුවදේ මහ පුදුම හුරුපුරුදු ගතියක් තිබුණා.
මට හිතුනෙම මගේ පිටිපස්සෙන් කේසර ඉන්නවා කියලා. විලවුන් සුවදට හොඳට කලවම් වෙච්ච විස්කි සුවදට මම හරි ආසයි. සමහරවිට ගෑනු වචනයෙන් නොකිව්වට ගොඩ දෙනෙක් ඒ සුවඳට කැමති ඇති.
නස්‍රියා ආච්චි ත් විස්කි කලවම් වෙච්ච ලැටේ කෝපි සුවඳට ආකර්ෂණය වෙලා තිබුණයි කියලා කියපු කතාවක් මට මේ හදිසියේ මතක් උනා.
ආ.. මෙන්න ඉන්නවා ඩයිවර් මහත්තයා අපේ..
එහෙම කියපු නස්‍රියා ආච්චි හිනා උනා.
ඩ්‍රයිවර් කිව්වම මම ගැස්සිලා පිටිපස්ස බැලුවා.
ඇත්තටම අසාද්ට තිබුනෙ කෙල්ලන්ව පිස්සු වට්ටන්න පුළුවන් රූපයක්..
මට ටිකක් නින්ද ගියා. කවුද ආච්චි මේ.. කියලා අසාද් ඇහුවෙ ඉන්ග්‍රීසියෙන්..
පුතේ මේ එහා ගෙදර දූ.. මං අර කිව්වෙ..
ආ.. අර මකුළුදැල් කඩන්න අතුගාන්න ගෙවල් වලට යනවා කියලා කියපු ගෑනු ළමයද මේ..
නස්‍රියා ආච්චි හයියෙන් හිනා උනා.
අසාද් මහා බැරෑරුම් මූණක් මවාගෙන මං දිහා බලාගෙන හිටියා.
මටත් ඇත්තටම හයියෙන් හිනා ගියා.අනේ අප්පේ මේ පයිලට් මහත්තයාටද ඩ්‍රයිවර් කියලා කිව්වේ කියලා හිනාව අස්සෙන් මාත් ඇහුවා .
අසාද් .. උබේ කෝලං විහිලු මේ දැරිවි හිතයි ඇත්තටම කියලා ..
ආච්චි හිනා උනා.
පයිලට් කියන්නෙත් ඉතින් ඩ්‍රයිවර් කෙනෙකුට තමයි. අර කවුද අම්මණ්ඩියෙක් තමන්ගේ දුව දෙන්න බැහැයි කියල කිව්වලුනෙ මොකා වුනත් ඌ ඩයි වරයෙක් නේ කියලා..
අසාද් හිනා වෙනකොට ලස්සනයී කියලා මට හිතුනා. ඕනෙම කැත මනුස්සයෙක් හිනා වෙනකොට ලස්සනයී තමයි.හැබැයි ආකර්ශණීය පිරිමියෙක් හිනාවෙනකොට එතන තිබුනෙ මායාවක්..ප්‍රේමයෙන් ආතුර වෙලා ලෙඩ වෙලා පැලැස්තර ගහගෙන කැඩිලා බිඳිලා ගිය හදවතක් තිබිච්ච මං වගේ කෙනෙකුත් ඒ වගේ පිරිමියෙක් ඉස්සරහ සසල වෙනවා කියන දේ මම දැනගත්තේ එදායි.ආගිය තොරතුරු කරන කියන දේවල් කතා කරන අතරතුරේ අසාද් කියන්නේ හරි හිත හොඳ මනුස්සයෙක් කියන එක මට තේරුණා.
ආ.. තිලකා.. කම් කම් කියලා නස්‍රියා ආච්චි කියනකොට අපි උන්නෙ මැලේ අච්චාරුවෙ අන්තිම අදියරේ.
හායි.. අක්කී ..
කියලා අසාද් ලොකු අම්මා ට කියනකොට සෑහෙන වෙලාවක් ඉඳලා කතාබහ කරගෙන අසාද්ගේ හැටි දැනගෙන හිටපු මට බකස් ගාලා හිනා ගියා.
ලොකු අම්මගේ මූණ ලැජ්ජාවෙන් රතු වුණා.
මොනවද ළමයා කරන්නේ.විහිළුවල සීමාවක් තියාගන්නවා…
නස්‍රියා ආච්චි දෙමළෙන් එහෙම කිව්වේ ඒකයි කියලා පස්සේ දවසක අසාද් මට කිව්වා.
අසාද්ගේ ලස්සන හිනා මැද්දෙන්
ඇත්තටම ආන්ටි හරිම ලස්සනයි නේ..ඉතින් අක්කා කිව්වහම මොකද වෙන්නේ.අපේ හොස්ටර්ස්ලා මේකප් පුරවගෙන ඉන්නේ. බලන්නකෝ ඒ කිසි දෙයක් නැතුව ආන්ටිගෙ වයස හැටියට ඉන්න ලස්සන…
ලොකු අම්මා හිනාවුණා.
පුතා හොඳ කතාකාරයා නේද..
අපේ ගෙදර එක්කෙනෙක් ඉන්නවා කම්මැලිකමේ. දෙන්නත් එක්ක කතා කරකර ඉන්න….
ආහ්.. එහෙම බැරි වෙයි ආන්ටි..
ඔන්න දූට ජොබ් එක හරිගියයි කියලා කිව්වා.අපි මේ ඔයා එනකොට ඒක ගැන කතා කර කර හිටියේ ..
කියපු අසාද් නස්‍රියා ආච්චි හදපු ගස්ලබු බීම වීදුරු අපිට ඇල්ලුවා.
සමහර මිනිස්සු සූකිරි වගේ. ඇඟටත් සනීප යි. කනටත් සනීපයි.
ලොකු අම්මා කිව්වේ ගෙදර ඇවිල්ලා අසාද් දීපු පාර්සලේ තිබුණු මිල අධික සුවඳ විලවුන් වර්ගයෙන් ටිකක් අතට දාගන්න ගමන්.
වැඩිය ඇගට ගන්නේ නැතුව ආශ්‍රය කරන තාක් කල් හැමෝම සුකිරි තමයි. ඕනවට වඩා ඉමෝෂනල් වෙන්න ගිහිල්ලා ඒ කෙනා තමන් වගේමයි කියලා හිතන්න පටන් ගත්තු දවසට අපිට අපේ හිත හදාගන්න බෙහෙත් මදි වෙනවා…
මං කිව්වේ අසාද් ගෙ පාර්සල් එකේ අතේ මහලා තිබිච්චි බඩ ඉරිගු කරල් පොකුරු ක් තිබුන සේද ලේන්සු පොඩිය මොකද්දෝ අමුතු ලෝබ කමකින් අතගාන ගමන්..
ඔන්න ඉතින් මගේ භද්‍රනාති ආච්චි…එක මනුස්සයෙක් එහෙම කලයි කියලා හැම මනුස්සයාම එහෙමයි කියල හිතන්න එපා. කාව කාවත් පරිස්සමෙන් ආශ්‍රය කරන එක හොඳයි.ඒවුනාට ඕනවට වැඩිය සැක කරන්න යන්න එපා. නස්‍රියා මාත් එක්ක කිව්වා ලඟදිම අසාද් මැරි කරන්නයි යන්නේ කියලා. මං හිතන්නේ එන්ගලන්ත ගර්ල් කෙනෙක්. අසාද් කැමතියිලු ලංකාවේ වෙඩින් එක ගන්න. අසාද් ගෙ තාත්තා බෞද්ධ හින්දා කොල්ලා කියනවලු බෞද්ධ ක්‍රමයට බඳින්න ඕනෙයි කියලා.
තුංපොට්ටිය හරි නැශනල් එක හරි නූලට තිතට ඇඳපු අසාද්ගේ රූපය මගේ හිතේ මැවිලා පෙනුනා.හැබැයි මොඩ්ලර් කෙනෙක් වගේ ඉදියි. මට හිතුනා.
අපි දෙන්නට දීපු තෑගි පාර්සලයේ බර්ජ් කලීෆා කුලුන වීදුරු වලින් කරපු පුන්චි සැරසිල්ලක් තිබුනා. මං ඒක මගේ මේසෙ උඩින් තියා ගත්තා.
විනෝද එෆ් එම් එකේ පලවෙනියෙන් වැඩට යන්න තිබුනෙ මහා වැහිදවසක..
නිවාස සංකීර්ණයේ ඉඳලා පල්ලෙහාට බැහැලා බස් එකට යන්න මම බලාගෙන ඉන්නකොට අසාද් කැමැත්තෙන් ම ඉදිරිපත් වුණා බම්බලපිටියේ මැරීනොමෝල් එකේ තිබුනු විනෝද එෆ් එම් කාර්‍යාලයට මාව ගෙනියන්න .
දැන් වෙඩින් එකට වැඩ ඔක්කොම ලෑස්ති ද..
කියලා මම අසාද් ගෙන් ඇහුවෙ ඕපාදූප කතාකරන්න ආසාවෙන් නොවුනට නිකම්ම කටවහගෙන ගමන ඉවර වෙනකන් යන්න බැරි හින්දා.
වෙඩින්..
කියලා අසාද් හිනා උනා.
ජීවිතේ සමහර දේවල් තියෙනවා භද්‍රා අපිව දාලා පුච්චලා අලුකරන..
අද වෙලාව නෑ..පස්සේ දවසක අපි හම්බවෙලා කතා කරමු. ඔයාට සම්පූර්ණ කතාව කියන්නම්..
මම අසාද් දිහා බලාගෙන හිටියා.
අනේ.. අයිම් රියලි සොරි…
නස්‍රියා ආච්චි කිව්වා ඔයා වෙඩින් එකට ආවයි කියලා.ඇත්තටම මම ඒකයි ඇහුවේ..වෙන කිසිම විස්තරයක් මම දන්නේ නැහැ.
ඔව්.. මම තාම මේ විස්තරය ආච්චිට කිව්වේ නෑ.මට හිතෙනවා එයා ගොඩක් අප්සට් යයි කියලා..
ඩෝරා හරි පුදුමයි. අපි සෑහෙන කාලයක් ආශ්‍රය කළා. ඒත් මට එයාව තේරුම් ගන්න බැරුව ගියා.
මම ලංකාවට ආවේ මගේ හිත හදාගන්න ඕන හින්දා.
අසාද් හිනාවෙලා කතා කරන විදිහට ඒ හිත ඇතුලෙ තියෙන්නෙ කොයි තරම් දුක් ගින්දරක් ද කියන එක කාටවත් තේරෙන්නේ නැහැ.
ඔයා හිනවෙලා ඉන්න විදිහට මං ආසයි … ඇත්තටම ඒක මාර ශක්තිමත් බවක්.. මම එහෙම කිව්වේ ටිකක් හෙමින්.
අසාද් මාව එෆ්එම් එක ළඟින් දාලා එයාගේ වැඩකට පිටත් වෙලා ගියා.
good luck බද්‍රා.. ලස්සනට වැඩසටහන කරන්න. මමත් අහගෙන ඉන්නේ.. කිව්වා .
මට එදා කරන්න තිබුණේ සජීවී වැඩසටහනක් නෙමෙයි. ඒ හින්ද වැරදුනාට බයවෙන්න එපා කියලා රවින්ද්‍ර අයියා කිව්වා.ඒ වැඩසටහන කලින් කරපු නාමලී අක්කා මට ගොඩක් උදව් කළා.සාමාන්‍යයෙන් අසන්නො පෝස්ට් කාඩ් වල ඉල්ලලා එවන ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන්න තමයි මට තිබුණේ.මෙච්චර දවසක් ඒ වැඩ සටහනේ සිද්ධ වෙලා තිබුනේ සාමාන්‍ය විදිහට රසිකයෝ ඉල්ලලා එවන ඉල්ලීම් කලින් දවසේ තෝරලා ලස්සනට ඒ ටික කියවලා තෝරගත්ත ගීත ඉදිරිපත් කරන එක විතරයි. මට ආස හිතුන ඒක ටිකක් වෙනස් විදිහකට කරන්න. අපි ඉදිරිපත් කරන සින්දු වල සමහර වෙලාවට බොහොම ලස්සන දේවල් හැංගිලා තියෙන බව ඉස්සර කේසර හුඟක් කියලා තියෙනවා.කේසර ගෙ දේශන වලින් හුඟක් මම ඒ දේවල් ඉගෙන ගෙන තිබුණා.වැඩසටහන් නිෂ්පාදක තුමාට මගේ අදහස කිව්වහම එයා බොහොම කැමති උනා ඒවැඩේට.
බද්‍රනතීගෙ අදහසත් හොඳයි. ඔයාගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න එකත් හොඳයි.කොහොමත් අපේ වැඩ සටහනේ නමත් ආනන්දයෙන් ආනන්දයටනෙ..ඔය සින්දු අස්සෙ අපි නොදන්න කතා කොච්චර හැංගිලා තියෙනවද. කිව්වා .
අක්කේ අපිට දෙන්න පරණ සිංදුවක්. පරණ චිත්‍රපටි ගීතයක් නම් වැඩිය හොඳයි.
ම්…මෙහෙම අපිට ලියල එවල තියෙන්නේ ගිරිඋල්ලෙ නිලක්ශි…
ඇත්තටම නිලක්ශි.. පරන සින්දු වලට ගහන්න පුළුවන් සිංදු අද කාලේ ඇහෙනවා හරි අඩුයි නේද..ඔන්න මම තෝරගත්තේ එක්ටැම්ගේ චිත්‍රපටියෙ ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරන සුනිල් ආරියරත්නයන් රචනා කරපු සරත් දසනායක මහත්තය සංගීතවත් කරපු උන්මාද සිතුවම් සිංදුව. මේ සින්දුවේ හැංගිච්ච ලස්සන කතාවක් තියෙනවනේ..
ඒකත් ඉතින් මම කෙටියෙන් කියන්නම්.
සරත් දස නායක මහත්තයා තමයි මේකට සංගීතය යොදල තියෙන්නෙ.මුලින්ම මේක ගායනා කරලා තියෙන්නේ වෙන ගායකයෙක්.සරත් මහත්තයට මේ ගායකයාගේ කටහඬ ඇල්ලුවෙම නෑලු.චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුමාට සරත් මහත්තයා කිව්වලු
මේ සිංදුවට හරියන්නේ සොහොන් කටහඬක් තියෙන මනුස්සයෙක් කියලා..
එහෙම කිව්වම අධ්‍යක්ෂක තුමා වත් කරකවල අතෑරියා වගේ උනා ලු.ඒකෙන් අදහස් කරලා තියෙන්නේ පාළුව තනිකම වේදනාව විරහව හිතේ හිර වෙච්ච කටහඬක් ඕනෙයි කියනඑක.එතකොට එක ලයිට් සෙට් කරන මනුස්සයෙක් කිව්වලු ගුනදාස කපුගේ මහත්තයා තමයි එහෙනම් හරියට හරියන්නේ කියලා. ඒවගේම තමයි මේ සින්දුව පටන් ගන්න කොටම අපිට මුලින්ම ඇහෙන සංගීත ඛණ්ඩය හරිම විශේෂ බවක් ගන්නවා.ඔයාලටත් මතක ඇති.මාලනී ෆොන්සේකා ලයිට් හවුස් එක දිගේ උඩට නගින දර්ශනයකින් තමයි පටන් ගන්නේ.එතකොට මේකේ පලවෙනි සංගීත ඛණ්ඩය මුහුදු රළ ක ශබ්දය ඇහෙන විදිහට බොක්ස් ගිටාර් කියන සංගීත භාණ්ඩ හයක් යොදාගෙන හය ආකාරයකට සුසර කලාලු. ඒ වගේම බොහොම ප්‍රබල මවුත් ඕගන් එකකුත් එකතු කළාලු..
ඔන්න ඉතින් අහල බලන්න.. එතකොට ඕගොල්ලන්ටත් මේ සිංදුවෙ වෙනදට අහනවට වඩා වෙනසක් තේරෙයි..
වැඩසටහන ඉවර උනාට පස්සේ රවීන්ද්‍ර අයියා මට සුබ පැතුවා.
බද්‍රනාති හරි ලස්සන කතාවක්නෙ කිව්වේ. ඇත්තටම ඔය වගේ ලස්සන කතා කොච්චර තියෙනවා ද.. වැඩසටහනකට එක ගානේ ඔය වගේ කිව්වොතින් තවත් ලස්සන වෙයි.