1970 දී නොබෙල් ත්‍යාග පිරිනැමීම ඇරඹුවාට පස්සේ පුරුෂ පාර්ෂවයේ අනූ දෙදෙනෙක් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. කොහොම වුණත් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබපු කාන්තාවන් නම් ඉන්නේ දහ නව දෙනෙක් විතරයි. අද අපි කතා කරන්නේ ලෝකයේ කාන්තා අයිතීන් වෙනුවෙන් වෙහෙසුන පරාර්තය වෙනුවෙන් සම්මාන ලබපු කාන්තාවන් ගැන.
නර්ගිස් මොහොමඩි (2023)
ඉරානයේ කාන්තාවන් මුහුණ දෙමින් තිබූ පීඩනයෙන් ඔවුන් මුදවා ගන්නට සහ සමස්ත මානව වර්ගයාගේම මානව අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් නර්ගීස් මොහොමඩි ට නොබෙල් ත්‍යාගය හිමිවන්නේ 2023 වසරේදී. වසර විස්සක් තිස්සේ ඇය මානව අයිතිවාසිකම් සුරැකීම සඳහා වන විවිද ක්‍රියාකාරකම් සඳහා සක්‍රීය සහභාගීත්වය ලබාදී තිබෙනවා. 2003 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් ශිරන් ඉබිඩිගේ මානව හිමිකම් සුරැකීම සඳහා වන සංවිධානය සමඟ එක්වී කටයුතු කල ඇය සිරගත වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් නිදහස් කරගැනීමේ කටයුතු වෙනුවෙනුත් දායක වෙලා තියෙනවා. එසේම මරණ දණ්ඩනය පැනවීමේ ක්‍රම පටිපාටීන් විවේචනය කරමින්, පාලන තන්ත්‍රයේ වදහිංසා පමුණවන ක්‍රියාකාරකම් සහ ලිංගික වද හිංසා වලට එරෙහිවද සටන් කරා. ඒ නිසාම ඇය 13 වතාවක් සිර ගත වෙලා ඉඳලා තියෙනවා. කස පහර 13 ලක් වෙන්නත් සිදු වෙලා තියෙනවා. ඇයට එරෙහිව මර්ධනය කෙතරම් ක්‍රියාත්මක වීද යත්, නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබන බව නිවේදනය කෙරූ මොහොතේ පවා ඕ උන්නේ සිරගතව බව සඳහන්
“ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා වන උත්සාහය මම කිසිවිටකත් නතර නොකරමි. නොබෙල් සාම ත්‍යාගය මා වඩා අධිෂ්ඨානශීලී, බලාපොරොත්තු සහගත සහ උද්යෝගිමත් අනාගතයක් වෙනුවෙන් ශක්තිය සපයයි” නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමෙන් පසුව නර්ගීස් එලෙස කියා තිබෙනවා.
මාරියා රෙසා
2021 වසරේ නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබන මාරියා රෙසා ඒ සඳහා තෝරා ගත් පාඨය ලෙස සැලකෙන්නේ “මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කිරීම”. පිලිපීනයේ මැනිලා නුවර ඉපදෙන මාරියා අවුරුදු නවයේ ඉඳන් උසස් අධ්‍යාපන කටයුතු නිම වෙනකල්ම ඉන්නේ එංගලන්තයේ. පස්සේ ආචාර්‍ය උපාධියේ කටයුතු වෙනුවෙන් ඇය යළි පිලිපීනයට යනවා. ඇය සීඑන්එන් ආයතනයේ දේශීය වාර්තාකාරිණියක් විදියට වැඩ කරන්න පටන් ගන්නේ ඊට පස්සෙ. දකුණු සහ නැගෙනහිර ආසියාවේ ත්‍රස්තවාදී නැගී ඒම පිළිබඳව වාර්තා කිරීම තමයි ඇගේ විෂය පතය වෙන්නේ.
2012 දී මාරියා රැප්ලර් ඔන්ලයින් කියන ඔන්ලයින් වෙබ් අඩවියේ සම නිර්මාතෘ වරියක් විදියට වැඩ කරනවා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු විදියට ඇගේ වෘ ත්තීය ජීවිතය තෝරා ගන්නා මාරියා ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පාලනයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම, ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම සහ වැඩිවන අධිකාරීවාදය පිළිබඳව බොහොම එළිපිට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාජ පුවත් පතුරවමින් විරුද්ධවාදීන් අත් අඩංගුවට ගනිමින් ඔවුන් මර්ධනය කරන්නට සමාජ මාධ්‍ය භාවිතා කරන විදිය ගැනත් තොරතුරු වාර්තා කරලා තියෙනවා
නාඩියා මුරාඩ් (2018)
ලිංගික හිංසනය යුද්ධයේ සහ සන්නද්ධ ගැටුම් වල අවියක් විදියට භාවිතා වීමට එරෙහිව බොහෝම අභීතව සටන් කිරීම හේතු පාටය විදියට සලකලා තමයි නාඩිය මුරාඩ් 2018 දී නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන්නේ. නාඩියා ඉරාකයේ කෝජෝ කියන ගම්මානයේ යසිඩි කියන ජන වර්ගයට අයත් කෙනෙක්. 2014 දී අයි එස් සටන් කාමීන් නාඩියාගේ ගමේ වැඩිහිටි පිරිමි සහ කාන්තාවන් සිය ගනනක් සමූල ගාතනය කරනවා. ඒ ඔවුන් විනාශ කර දැමිය යුතු යක්ෂ ආත්මයන් බව කියමින්. විසි එක් හැවිරිදි නාඩියා ඇතුළු තරුණියන් ලිංගික වහළුන් විදියට අත් අඩංගුවට ගන්නවා. ඉන් පස්සේ ඔවුන්ට තර්ජනය කරන්නේ ඉස්ලාම් ආගමට නොබැඳුණහොත් දූෂණය කර ප්‍රසිද්ධියේම මරා දමන බව කියමින්.
කොහොමහරි මාස කිහිපයකට පස්සේ අයි එස් ග්‍රහණයෙන් මිදිලා පැනලා යන නාඩියා ජර්මනියේ ඉඳන් ඇයට වුණ අසාධාරණය ගැන කියන්න ගන්නවා. මිනිස් ජාවාරමෙන් මිනිසුන් ගලවා ගැනීමට ඇය කල නිර්භීත මැදිහත්විම වෙනුවෙන් 2018දී නාඩියා එක්සත් ජාතීන්ගේ පලමුවෙනි Good will Ambassador විදියටත් සම්මාන ලබනවා. The last girl නමින් තම ස්වයං චරිතාපදනය ලියන නාඩියා, තම බලාපොරොත්තුව වන්නේ අනාගත ස්ත්‍රීන්ට ලිංගික හිංසනයෙන් මිදී ජීවත් වීමට තරම් නිදහස් සමාජයක් ඇති වනු දැකීම බවත් එහි සඳහන් කරලා තියෙනවා.
මලාලා යුසුෆ් (2014)
ඇය ගැන නම් ඔබත් දන්නවා ඇති. මලාලා යුසුෆ් සටන් වදින්නේ සියළුම දරුවන්ට කිනම් හෝ ආකාරයකින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන්. මලාලා උපත ලබන්නේ පකිස්තානයේ ස්වැට් තැනිතලා ප්‍රදේශයේ. 2008 දී තලේබාන් සටන්කාමීන් අතින් මලාලා ඇතුළු ළමුන් ඉගෙනුම ලබන සියළු පාසැල් විනාශ වෙනවා. ඒ විනාශකාරී දවස් ගැන මලාලා දින පොතක් ලියනවා. 2009 දී බී බී සී යේ උර්දු චැනලයක ඒ දින පොත ගැන කතා කරන්න මලාලට ඉඩ ලැබෙනවා. එතැනදී තලේබාන් සටන්කාමී ත්‍රස්තවාදයට එරෙහිව මලාලා බොහොම නිර්භීතව කතා කරන නිසාම මලාලාගේ ජීවිතයට පවා තර්ජන එල්ල වෙන්න ගන්නවා. ඒ තර්ජන වල දිගුවක් විදියට 2012 දී පාසැල් බසයේ ගමන් ගනිමින් උන්න මලාලා තලේබාන් වෙඩීක්කාරයෙකුගේ ඉලක්කයක් බවට පත් වෙනවා. ඉන් පස්සේ මලාලා සිය පවුල සමඟම එංගලන්තයට පලා යනවා.2013 දී ෆෝබ්ස් සඟරාව මලාලා ලෝකයේ බලවත්ම මිනිසුන් 100 දෙනා අතරටත් ඇතුළු කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ 16 වෙනි උපන්දිනය දවසේ මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතනවා. ඇය එතැනදී පවා උත්සාහ කරන්නේ ලොව පුරා ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින්නට වීම තුල ඇය නොබෙල් ත්‍යාගයට සුදුසුකම් ලැබීම තවත් තීවෘ වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.
එලන් ජොන්සන් සර්ලීෆ් (2011)
ඇය අප්‍රිකාවේ ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත් වුන පලමු කාන්තා නායිකාව. ඒ 2005 වසරේදී. විශේෂයෙන්ම සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය විසින් අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙල සහ කාන්තා අයිතීන් උදෙසා ඇයගේ පෙනී සිටීම නොබෙල් සාම ත්‍යාගය ලබා දීමේදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
ලීමා ගෝබාවේ (2011)
ලීමාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේත් 2011 එලන් හා සමඟ සම සම්මාන ලෙසින්මයි. ලීමා සාමය උදෙසා හිංසනයෙන් තොර ක්‍රියාපිළිවෙල පිළිබඳව විශ්වාස කරමින් කටයුතු කල තැනැත්තියක් වූ අතර, ජකාන්තා අයිතීන් වෙනුවෙන් ඇය කල පෙනී සිටීමද අතිශය වැදගත්. 1990දී ලයිබීරියාවේ ඇති වුණ සිවිල් යුද්ධයෙන් කම්පනයට පත් දරුවන් රැක බලා ගනිමින් තමයි ලීමා සමාජ සේවයට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ 2005 වසරේදී අප්‍රිකාවේ පලමු ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය නායිකාව තෝරා පත් කරන සටන මෙහෙයවීමේ ප්‍රධානම වගකීම ඉටු කරලා තියෙන්නේත් ලීමා.
තවක්කොල් කර්මන් (2011)
එලන් සහ ලීමා සමඟ සම සම්මානයෙන් පිදුම් ලබන තවක්කෝල් එලෙස නොබෙල් සාම ත්‍යාගයකින් පිදුම් ලබපු පලවෙනි අරාබි කාන්තාව විදියට සැලකෙනවා. විශේශයෙන්ම කාන්තා අයිතීන් වෙනුවෙන් ඇය නොබියව හඬ නැගූ අයෙක්.
ඊට අමතරව වන්ගායි මුටා (2004),ෂිරින් එබිඩි (2003), ජොඩි විලියම්ස් (1997), රිගබෝටා මෙනිචූ(1992),අවුන් සාන් සුකී(1991) ,අල්වා මිරාඩ් (1982), තෙරේසා මවුතුමිය (1972) ඇතුළු තවත් කිහිප දෙනෙක්ම නොබෙල් ත්‍යාගය ලැබූ කාන්තාවන් ගොන්නට ඇතුළු වෙනවා.
ඉතින්, නොබෙල් ත්‍යාග ලැබූ මේ කාන්තාවන්ගේ ජීවිත අන්දර ඇතුලට එබිලා බලලා ඔබේ ජීවිත වෙනුවෙන් යමක් එකතු කරගන්නත් අමතක කරන්න එපා
// අපේක්ෂා ගුණරත්න //