සයුරංගනා එසඳි ව වඩා ගෙන පෙත් මගට වී පාසල් සේවා රිය එන තුරු බලා සිටියා ය. වායු ගෝලය සව්මිය සුවැති ය. නැගෙනහිර අහස ලා පාට වලින් හැඩ වී තිබේ. අලුත් දවසක් ගැන බලාපොරොත්තු සහගත ප්‍රීතියෙන් යුතු කුරුලු කොබෙයියෝ, අටෝරාසියක් කූජන නගමින් ගුවන් ගැබ ඒ මේ අත සරති. උදෑනනක් කියන්නේ ම බලාපොරොත්තුවකි. සයුරංගනා එසඳි ගේ උදරය සිප ගත්තා ය. දැරිය අම්මා ගේ ගෙල බදා ගත්තා ය. එසඳි ළඟ මෘදු ඕඩිකොලෝන් සුවඳ ය. සයුරංගනා ඇස් පියා ගෙන එසුවඳින් පපුව පුරවා ගත්තා ය.
යශෝදර හා පාරමී ගේට්ටුවෙන් පිටතට එමින් සිටියහ. පාරමී ට අද උදේ කාලයේ පටිගත කිරීමක් වන බැවින් ඇය අයියා එක්ක ම යන්නට සූදානම් වූවා ය.
“අර ළමයට අනං මනං කියන්නෑ හරිද…මට ඒ ළමයගෙ මූණ බලන්නත් විදිහක් නැති වෙයි අන්තිමට”
පාරමී ගේ හෙල්මට් එකේ ගාංචුව දමනා ගමන් යශෝදර සොයුරියට අවධාරණය කළේ ය. නමුත් ඇය කිසිදු බරපතල කාරණයක් ලොකුවට ගන්නා කෙනෙකු නොවේ. අයියා ගේ මේ කතාව ද ඕ විහිළුවට ගත්තා ය.
“ළමය…කොයි ළමය ගැනද ඔය කිව්වෙ…”
“නංගි මේ. ඕන්නැති කතා ඕන්නෑ හොඳේ”
“නෑ නෑ මං වෙන කාටවත් ඕව කියන්නෑ. හැබැයි ඉතිං…ගොනා හැරෙන්නෙ තැඹිලි පැළේට කියල අපිට ඉව තියනව. ඉව”
“මගුලක් කතා කරනව. නගිනව නගිනව”
“රංගි එක්ක කතා කරල යං”
පාරමී එසේ කී නිසා සයුරංගනා ළඟ දී යතුරු පැදිය නතර කරන්නට ම යශෝදර ට සිදු විය. ඒ නැත ද ඔහු ට එතැන නො නැවතී යා නො හැකි ය.
“මොන්තිතෝලි යනෝද තුදු මැණික…”
පාරමී දැරිය ව කිති ගැන්වූවා ය. එසඳි හඬ නගා සිනහ වන්නට වූවා ය.
“මොකද මේ වඩාගෙන ආ…”
යශෝදර එසඳි ගේ මූණ දෙස ම බලා ගෙන ඇසුවේ ය. සයුරංගනා දෙස බලන්නට බැරි මොකක්දෝ අපහසුවක් ඔහු ට දැනේ. ඒ මීට පෙර කිසි දා ක දැනී නැති විදිහේ හැඟීමකි.
“ඒක තමයි. හරිනං මෙයා අම්මිව වඩාගෙන ඉන්න ඕනෙ”
පාරමී ගේ විහිළුවට එසඳි යළිදු සිනහ වූවා ය.
“අම්මිව වඩා ගන්න පුළුවන්ද මට…එසඳි බබා චූටියිනෙ. ඔන්න යශෝදර අංකල්ටනං පුළුවං අම්මිව උනත් වඩාගන්න”
පාරමීගෙන් ‘බකාස්’ ගා සිනහවක් පැන්නේ ය. ඇය අතින් කට වසා ගත්තේ පැති කණ්ණාඩියෙන් අයියා ගේ රවන දෑස් දුටු නිසාවෙනි.
“අද උදේ වැඩද පාරි…”
සයුරංගනා හෙමිහිට වෙන පැත්තකට කතාව හැරවූවා ය.
“ඔව්. හවස් වෙද්දි එනෝ. අර වැඩේ ගැන හවසට පොඩි චැට් එකක් දාමු හොඳේ”
පාසල් සේවා රිය මතු වූයේ ය.
“අපි යන්නද එහෙනං…”
යශෝදර සයුරංගනා දෙස බලා යතුරු පැදිය පණ ගැන්වූයේ ය.
“පරිස්සමට ගිහින් එන්න යශෝදර. බුදු සරණයි”
දවස් ගෙවී යනවා නොව ඉගිලී යනවායි සයුරංගනා ට සිතේ. ගිම්හාන් මිය පරලොව ගොස් මාසයක් වී ගෙන එයි. නමුත් ඒ අවාසනාවන්ත සිදුවීම වූයේ පෙර දා රාත්‍රියේ සේ ය. එතරම් ම එය හදවතට ලං ව පවතී. සයුරංගනා යශෝදර ගේ රාමු කළ පින්තූරය අතට ගෙන එදෙස බලා සිටියා ය. ඔහු සිනහ වෙවී සිටී.
‘මාව මෙහෙම අසරණ කරල ගිහිං ඔයා හිනා වෙවී ඉන්නව’
ඇය හිත යටින් මිමිණුවා ය.
සයුරංගනා වූ කලී කුඩා කල පටන් ම ප්‍රශ්න සමග පොරබැදූ තැනැත්තියකි. ජීවිතයත් එක්ක ඔට්ටු වූ තැනැත්තියකි. ගිම්හාන් සමග විවාහ වී ගත වූ වසර පහකට ආසන්න කාලය හැරුණු විට ඇයට ජීවිතය පහසු වූවක් නොවේ. නියත වශයෙන් ම තුන් වේල ඔවුන්ට කන්නට ලැබුණේ නැත. පාසල් ගමන හා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලැබුණේ නැත. ඇගේ මුළු ළමා විය ම කුසගින්න හා නැතිබැරිකම විසින් ගිලගෙන තිබිණ. නමුත් ඕ එය සිය උරුමය සේ පිළිගන්නා සූදානමක සිටියා නොවේ. ඇය නිතර ම දුප්පත්කම සමග සටන් වැදුණා ය. ඉන් අංශුවක් හෝ ජය ගන්නට උත්සාහ කළා ය. පාඩමක් නොතිබුණ වෙලාවක පාපිස්සක් මසා ගන්නට අම්මා ට උදව් වූවා ය. අතැඟිලි වල කරගැට නැගෙනා තුරා කතුරෙන් රෙදි පටි කැපුවා ය. රෑ දොළහ එක වෙන තුරු කඩදාසි බෑග් ඇලවූවා ය. බුලත් විට එතුවා ය. අඳුරට ශාප කරනවාට වඩා එක පහනක් හෝ දල්වා ගැනීමටත්, ඉන් ඔවුන් ගේ ජීවන අඳුර යාන්තම් හෝ නිවා ගන්නට වෙර වීර්ය දැරුවා ය. වේල පිරිමසා ගන්නට කොළ ටිකක් හොයා ගන්නට වෙල් යාය පීරුවා ය. කොස් ගෙඩියකින්, මඤ්ඤොක්කා අලයකින් හෝ යාන්තම් කුස රවටා පොතක් පාඩම් කරන්නට බාල සොයුරු සොයුරියන් පෙළඹවූවා ය. නාඳුනන පුද්ගලයෙකු සමග හිරිමල් වයසේ දී ම විවාපත් වන්නට හිත හදා ගත්තේ ද ඇය ගෙන් හිස් වන ගෙදර තව බත් පතක් අඩු වෙන එක ගැන සිතා ය. එය නංගී කෙනෙකු ගේ මල්ලී කෙනෙකු ගේ හෙට දවස වෙනුවෙන් බලපෑමක් කළ හැකි යයි සිතා ය.
දිග සුසුමකින් පෙනහලු පිරෙන්නට හැර එකෙනෙහි ඒ සුසුම අත් හළ සයුරංගනා ගිම්හාන් ගේ පින්තූරය තිබූ තැන ම තබා ගෙදර උදේ වැඩ වල නිරත වූවා ය. තිලකා සිටියේ කොන්දේ කැක්කුමක් ගැන කන්කෙඳිරි ගාමිනි. ඊළඟට හැමදාම උදේට ත්‍රීරෝද රථ වලට මුදල් පුදන්නට සිදු වෙන එක ගැන ගතු කීවා ය.
“ඉතිං දුවට කියන්න හයර් එක ගෙවන්න කියල. එයාගෙ වැඩනෙ කරන්නෙ ගිහිං”
ජයරත්න සැහැල්ලු සිනහවකින් කීවේ ය. තිලකා එහි වරදත් මේ ගෙදර මතින් ම යවන්නට බැලුවා ය.
“දුවගෙ ගෙදරනෙ මං කොහොමත් හිටියෙ. මෙහෙට එන එකයි මං කරන උදව්ව. හරිනං මෙහෙනුයි හයර් ගෙවන්න ඕනෙ”
“අනේ ඉතිං නෑවිත් ඉන්නකො”
ජයරත්න සමච්චලයට සිනහ වූයේ ය. තිලකා ඔහු ට රැව්වා ය. සයුරංගනා සිනහව සඟවා ගත්තා ය.
“ඉතිං අම්ම ඉන්න මං යන වෙලාවට යන්න. අක්කලගෙ ගේ ළඟින් දාන්නං”
සයුරංගනා එසේ කීවේ කොහොමටත් ඇය උදේට රිය පුහුණුව සඳහා යන බැවිනි. තිලකා ලේලිය කෙරේ කිසිදු දිරිගැන්වීමකින් තොර අවඥාවක් පෑවා ය.
“අනේ අනේ මේ…මට තව ටිකක් කල් ජීවත් වෙන්න ඕනෙ. රුපියල් සීය දෙසීය වගේ නෙවෙයි ජීවිතේ”
කියමින් ඇය ත්‍රීරෝද රියක් නවත්වා ගෙන දූගේ ගෙදර ගියා ය. සයුරංගනා ඒ හෙළා දැකීම සිනහවකින් දරා ගත්තා ය. යම් කිසි දවසක නැන්දම්මාව රියෙහි දමා ගෙන ගොස් ඇගේ සමච්චලයට පිළිතුරු දෙන්නෙමැයි ඇය සිතට ගන්නට ඇත.
“අප්පච්චි…මට ඊයෙ රෑ නිදාගන්න අතරෙ හිතුණ දෙයක් කියන්නද…”
උදේ කෑම කන්නට හිඳ ගත් පසු සයුරංගනා ජයරත්න ට කතා කළා ය.
“මොකද්ද දුවේ…”
“අප්පච්චිගෙ අකමැත්තක් නැත්තං විතරයි හොඳේ”
“හරි හරි කියන්නකො ඉතිං”
“අප්පච්චි මං ජොබ් එකක් හොයාගන්න ඕන තමයි. ඒත් ඒක අපිට ඕන වෙලාවටම සිද්ද වෙන්නෙ නෑනෙ. අනාගතේ ගැන හිතනකොට මට ලොකු බයක් දැනෙනව අප්පච්චි. නිකං තියන එකේ…අපි උඩ තට්ටුව කුළියට දෙමුද…”
ඒ ප්‍රශ්නය එළියට දමා ගත්තාට පස්සේ සයුරංගනා ට සැහැල්ලුවක් දැනිණ. නමුත් ගිම්හාන් ගේ පියා ඈ වරදවා සිතාවිද යන දෙගිඩියාව ද ඇයට විය.
“අනේ දරුවො ඒක මගෙං අහන්න දෙයක්ද…පුතාගෙ හැම දේම දැන් අයිති දුවටයි දරුවටයි. මං මෙතන ඉන්නෙ අයිතිවාසිකමක් හින්දා නෙවෙයි…ඔය දරුවන්ගෙ ආරක්ෂාව ගැන ගිම්හාන්ගෙ අප්පච්චි විදිහට මටත් වගකීමක් තියන නිසයි. දුවගෙ අදහස හරි. අපි දෙතුන් දෙනාට ඉන්න දැනට මේ පහල තට්ටුව වැඩිත් එක්කනෙ. අපි හොඳ කට්ටියක් හොයල බලමු”
“ගිම්හාන් කොහොමත් ස්ටෙයාකේස් එකක් පිටිනුත් දැම්මෙ ඕන වුණොත් රෙන්ට් එකට දෙන්න බලාගෙනනෙ අප්පච්චි. අලුත් පිට නිසා දෙන්න ලෝබකමේ හිටියෙ එයා. අනිත් එක අපිට ජීවත් වෙන්න ලොකු අමාරුවක් තිබුණෙ නැති නිසා ඒ ගැන කොහොමත් උනන්දුවක් තිබුණෙ නෑ. ඒත් ඉස්සරහට අපිට මේකෙනුත් කීයක් හරි ගන්න පුළුවන්නෙ. අනික හොඳ පවුලකට දුන්නොත් තනියටත් හොඳයිනෙ”
“ඒක ඇත්ත”
“ගිම්හාන් අපිට ජීවත් වෙන්නත් මොනා හරි ඉතුරු කරල ගියානෙ කියල හිතෙනකොට හරිම දුකයි අප්පච්චි…”
සයුරංගනා ගේ ඇස් දවාගෙන ආ කඳුළක් කැරැල්ලක් ගැසුවේ ය. ජයරත්න ද මොහොතකට ගොළු වූවා සේ ය. ඔහු වතුර උගුරක් බී උගුර පාදා ගත්තේ ය.
“දුව වගේ හොඳ ගෑනු ළමයෙක්ට වරදින්න විදිහක් නෑ”
“ඇත්තටම දැන් මට ඉන්නෙ අප්පච්චි විතරයි. මගෙයි කියල වෙන කිසි කෙනෙක් මේ කොළඹ නෑ”
“අපි බලමු පුතේ. එන එන හැටියට ගහ උළුවස්සා කිව්වලු”
පාරමී හැන්දෑවේ ගෙදර ආවේ ම යූ ටියුබ් නාලිකාවේ වැඩේ ගැන සයුරංගනා උනන්දු කරවීමේ අරමුණෙනි. උදේ යන ගමන් ඇය යශෝදර ට ද මේ අදහස ගැන කීවා ය.
“සයුරංගනාට ඕව සෙට් වෙන එකක් නෑ”
ඔහු ගේ අදහස එසේ විය.
“එහෙම නෑ බෑ කියල බෑ”
පාරමී ස්ථිර මතයක සිටියා ය. හැන්දෑවේ ඇය සයුරංගනා හොයා ගෙන එන විට ඇය මුළුතැන්ගෙට වී ලූණු කපමින් සිටියා ය.
“මේ වෙලාවෙ උයනවද…”
“නෑ අනේ…එසඳිට බ්‍රෙඩ් පීට්සා හදල ඕනලු”
“බ්‍රෙඩ් පීට්සා…”
“ඔව්. අර පීසා වල මික්ස්චර් එක වගේ ලූණුයි තක්කාලියි චීසුයි බිත්තරයි මික්ස් කරල සෝස් ටිකකුත් උඩින් දාල පාන් ටෝස්ට් කරල දුන්න උදේ නර්සරි ගෙනියන්න. පොඩි පීට්සා ටේස්ට් එකක් එනව එතකොට. ඒක රහ වැටිල. තේ බොනකොටත් හදල දෙන්නලු”
“ඒක හොඳයි. අපිටත් ටේස්ට් කරල බලන්න පුළුවන්. ආ…මේ…ඉතිං වැඩේ පටන් ගන්න පුළුවන්නෙ මෙතනිංම…”
“මොන වැඩේද…”
පාරමී ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කළා ය.
“පොඩි බබාලගෙ ලන්ච් බොක්ස් එකට දාන කෑම ආපහු ගෙදර ගේනවද…මෙන්න බින්දුවක් ඉතුරු නොකරන චීස් බ්‍රෙඩ් හදන හැටි..ඔය තියෙන්නෙ මරු හෙඩින් එකකුත්…”
පාරමී ඒ කී තාලයට සයුරංගනා හඬ නගා සිනහ වූවා ය. සිය සැමියා මිය ගිය අලුත එහෙම සිනහ වීම නොහොබී යයි සිහි වූ වහා ම ඒ සිනහව හකුළා ගත්තා ය.
“මේ සීරියස්ලි අප්ප මං කියන්නෙ. අපි දෙන්න විතරනෙ දන්නෙ. ජස්ට්…ටෙස්ට් කරල බලමු. ඔයා චීස් බ්‍රෙඩ් හදන ගමං මට කියල දෙන්නකො. වීඩියෝ කරනව කියල හිතන්න ඕන නෑ. හරිද…”
“අනේ මට හිනා යයි පාරි”
“හරි ඒව එඩිට් කරල ගන්න පුළුවන්”
සයුරංගනා පාරමී කී ලෙස කළේ ඇගේ වදයෙන් බේරෙන්නට බැරි තැන ය. නමුත් වීඩියෝ එක නැවත බලත්දී එහි බලා ඉන්නට බැරි කමක් නැතය කියා ඇයට සිතිණ.
“මං කිව්වෙ. ගොඩ ගොඩ. නොහිතපු වෙලාවක පළවෙනි එක මෙච්චර ලස්සනයි කියන්නෙ…අපි තව වීඩියෝ දෙක තුනක් හදාගෙන චැනල් එකක් හදල නිකමට අප්ලෝඩ් කරල බලමු. කම් ඕ ගෝ…කරල බලන්නෙපැයි”
සයුරංගනා සිනහ වෙවී ඔහේ සිටියා ය. ඒ ගැන ඇයට කිසිදු අදහසක් හෝ විශ්වාසයක් වූයේ නැත. නමුත් පාරමී ගෙන් බේරෙන්නට බැරි වෙන බව ද ඇය දැන සිටියා ය. මේ වෙලාවේ අත් නො හැර අල්ලා ගෙන සිටිනා යෙහෙළියක යනු හිතට අමතර හයියකි. වෙන මොනවා නැත ද අන්න ඒ හයියට සයුරංගනා ලෝභ වූවා ය.
💜️සයුරංගනා වෙනුවෙන් සතුටු මන්තරයක් මුමුණා යන්න! අමතක නොකර ඔබේ ආදරය ඉතිරි කොට යන්න!