සතුටු මන්තර 25

ගේ ඇතුළේ වගේ ආරක්ෂාවක් පිටත ලෝකයෙහි නොවන බව සයුරංගනා දැන සිටියා ය. නමුත් තමන් ගේ හැසිරීම බොහෝ දේවල් තීරණය කිරීමෙහි ලෑ බලපෑ හැකි බව ඇය විශ්වාස කළා ය. කලා ක්ෂේත්‍රයේ ඕපාදූප, පොදු සමාජයේ හැම කෙනෙකුගේ ම වාගේ සවන වැකේ. ගමේ ගොඩේ මිනිසුන් පවා කලා ලෝකයේ ප්‍රකට චරිත වල පෞද්ගලික ජීවිතයේ ආතැම් කාරණා තලු මරමින් රස කරමින් කතා කරනා බව සයුරංගනා නො දැන සිටියා නොවේ. එසේ ම හඬ ශිල්පිනියක ලෙස වැඩ කරනා පාරමී ගෙන් ද ඇය නොයෙකුත් කාරණා දැන ගත්තා ය. ඒ නිසා ම ක්ෂේත්‍රයට පය තබන්නට පෙර ම තම ආත්ම ගෞරවය පණ මෙන් රැක ගන්නා බවට ඈ සිය හෘද සාක්ෂියට පිළිණ දී සිටියා ය. සිය හැසිරීම් මත මිය ගිය ගිම්හාන් ට කිසි දා අගෞරවයක් නොවනා බවට ද දියණිය එසඳිට කිසි සේත් කැළලක් නො වෙනා බවට ද වග බලා ගන්නට ඇය සිතට ධාරණය කර ගත්තා ය. ඇයට ලොකු පවුලක් තිබේ. දුප්පත් වී ද අබේසේකර බාසුන්නැහේ ගේ පවුල ගැන ගමේ මිනිසුන් තුළ තිබුණේ යහපත් ආකල්පයකි. ඒ පවුලේ දරුවෝ අගහිඟකම් අමතක කොට ඉගෙන ගන්නා අය වෙති. ඉතින් පවුලේ වැඩිමල් ගෑනු ළමයා වශයෙන් සමාජයේ දී තමන් වෙත විශාල වගකීමක් පැවරෙනා බව සයුරංගනා විශ්වාස කළා ය. සිය සහෝදරයන්ට හෝ දෙමාපියන්ට ආඩම්බරයක් විනා අවමානයක් වන්නට ඇය කොහෙත් ම ඉඩක් නො තබනු ඇත.

“නිරංග ටිකක් කුකුළා…බලාගෙන…”

ඇරඹුමේ දී ම පාරමී ඒ අනතුරු ඇඟවීම කර තිබුණෙන් නිරංග අරබයා සයුරංගනා කොහොමටත් හැසිරුණේ කල්පනාවෙනි. ගැහැනිය කියන්නේ ගෙදර මේසය මත තිබෙන්නට හැරිය යුතු මල් පෝච්චියක් නොවිය යුතු ය. ඇගේ සීමා මායිම් ඊට වඩා බොහෝ පුළුල් ය. ලෝකය පුරා ම සැරිසරන්නට වුව ගැහැනු අත්තටු හයිය බැව් සැබවි. නමුත් සිය අහසේ වන අතුරු අන්තරා ගැන අවබෝධයෙන් ඒ පියෑඹීම කළ යුතු වේ. සයුරංගනා තුලන ටීවී වෙත පැමිණියේ අන්න ඒ අවබෝධයෙන් යුක්තව යි. 

නිරංග සිය උරහිස මතින් අත දමත්දී ම ඇය පහත් වී ඒ ග්‍රහණයෙන් මිදුණා ය. එහෙම ම පිටුපස හැරී ද එතකොට යශෝදර රියෙහි පැති වීදුරුව එසවෙන්නට හැර රිය හරවා ගනිමින් සිටියේ ය.

“බලහංකො මේකි. කරට අත දැම්මෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකට බං”

නිරංග වග උත්තර බැන්දේ ය. සයුරංගනා කිසිත් කියන්නට ගියේ නැත. කොහොමටත් ඇගේ හිත කැළඹී තිබිණ. යශෝදර මොනවා හිතන්නට ඇත්ද? 

හැන්දෑවේ මෝටර් රථය ඇතුළට දමනා යශෝදර වෙනුවෙන් සයුරංගනා පෙරමගට ආවා ය. නමුත් ඔහු එසඳි වඩා ගෙන හුරතල් කළා විනා ඇදෙස බැලුවේ හෝ නැත. රියෙහි යතුර දුන්නේ ද කතා කරන්නේ හෝ මූණ බලන්නේ නැතිව ය.

“තේ…”

ඇය කතා කරන්නට පොටක් පාදා ගැනීමේ උත්සාහයක් දැරුවා ය.

“එපා”

යශෝදර ඊට ඉඩ අවුරාලූයේ ය. ආයේ ඇයට ඔහු එක්ක ඒ ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ ඊළඟට තුලන ටීවී වෙත යන උදයේ ය. ඒත් යශෝදර සිටියේ තමන් තුළට ම හැරී ගෙන වගේ කතා බහකින් තොරව ය. සයුරංගනා විටින් විට ඔහු දෙස බැලුවා ය. යශෝදර ගේ ඇස් කොනට ඒ බැල්ම පෙනිණි ද ඔහු එවැන්නක් දුටු බව අඟවන්නට හෝ ගියේ නැත.

“ඒ මනුස්සයගෙ හැටි ඒ…එයා කාටත් එහෙමයි…”

ඉවසා ඉන්නට බැරි ම තැන ඇය අසීරුවෙන් මුණිවත බින්දා ය. යශෝදර යන්තම් හිස හරවා බැලුවේ එතකොට ය. ඇය කියන්නේ කවුරුන් ගැන ද කුමක් ගැන ද කියා ඔහු හොඳට ම දැන සිටියේ ය. නමුත් මේ මොහොතේ ඔහු හැසිරුණේ ඒ කිසිත් ම මතක නැතිවා වාගේ ය.

“කවුද..”

එය නො සැලකිලිමත් ප්‍රශ්නයකි. සයුරංගනා ගේ හිතට තුනී රිදීමක් දැනිණ.

“නිරංග”

“කවුද නිරංග කියන්නෙ..”

“ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රඩියුසර් අනේ.  එයා ඊයෙ උදේ…අර…ස්ටෙයාකේස් එකේදි…මගෙ කරට අත දාපු එක ගැන කිව්වෙ….”

“ආ…ඒ ගැන මට නිදහසට කාරණා කියන්නෙ ඉතිං මොනාටද…නේද…”

වචන වලින්  පිහි පහරවල් අනින්නටත් ඔහු දනී!

“ඔයාගෙ ජීවිතේ…ඔයාගෙ කැමැත්ත…ඔයා ආශ්‍රය කරන්නෙ කාවද ඒ කොහොමද කියල තීරණේ කරන එක ඔයාගෙ අයිතිය…”

“ගිම්හාන්ට අගෞරවයක් වෙන දෙයක් මං කරල නෑ යශෝදර”

සයුරංගනා ගේ උගුර හිර වී හඬ බිඳී ගියේ ය. ඒ මොහොතෙහි උගුරෙහි වන හිරවීම එලෙසින් ම යශෝදර ද අත්වින්දේ ය. සයුරංගනා ගේ හිත හදනු වස් වචනයක්වත් කියන්නට ඔහු පොහොසත් වූයේ නැත.

“මහත්තය නැති වෙලා ජීවිතේ තනි වෙන ගෑනියෙක් දිහා හුඟක් පිරිමි බලන්නෙ වපර ඇහෙන් කියල මං දන්නව. අවස්ථාවක් ලැබිච්ච ගමන් එහෙම ගෑනියෙක් අසරණ කර ගන්නයි හුඟක් පිරිමි බලන්නෙ. ගිම්හාන් නැති වුණාට පස්සෙ අපිව ළඟින් ආශ්‍රය කරපු හරි නැති හරි හොඳට දන්න පවුල් වල පිරිමිංගෙ පවා ඇස් වල අමුත්තක් මට දැනිල තියෙනව. වචනයක් කතා කළත් හිතේ තියෙන්නෙ යටි අරමුණක් කියල නොතේරෙන්න මං බබෙක් නෙවෙයිනෙ. ඒක නිසාම චැනල් එකේ කාටවත් මං කියල නෑ හස්බන් නැති වෙලා කියල. බබෙක් ඉන්නෝ කියල දන්නවනෙ…මගෙ වැඩි ආරක්ෂාවට මං එහෙම කරන්නෙ. කොහොමත් එතන මං ජොබ් එක කරන තැන…එතනිං මං යාළුවො හොයන්නෙත් නෑ. පැය කීපයෙ දැනඇඳුනුංකං විතරයි ඒව. මගෙ ලිමිටේශන්ස් මං දන්නව. ලිමිට් එකෙං ඇතුළට පිට කාටවත් ඇඟිල්ලක්වත් තියන ඉඩක් මං තියල නෑ. බලන අයට ඕන විදිහට දකින්න පේන්න පුළුවන්. ඒත් මගෙ හිත දන්නෙ මං විතරනෙ”

“හරි හරි ඉතිං…මං මුකුත් හිතුවෙ නෑ”

යශෝදර එහෙම කියා ගත්තේ උගුර යටිනි. වරදක් නොකළ ගැහැනියකට මානසිකව දඬුවම් කොට ලොකු පාපයක් කර ගත්තා සේ ඔහු ට දැනිණ.

“මට ඕනෙ නිකංම ගෑනියෙක් වෙලා ඉන්නෙ නැතුව ජීවත් වෙනකල් වැඩක් කරන ගෑනියෙක් වෙන්නයි යශෝදර. ගිම්හාන් මාව ගේ ඇතුළෙම තියං හැම සැප පහසුකමක්ම දෙන්න ඇත්තෙ ලෝකෙ නරකයි කියල දන්න නිසා වෙන්නැති. ඒත් මේ එළියට ගිය ටිකට මාත් හුඟක් දේවල් තේරුං අරං තියනව. මිනිස්සු කළුම කළු නෑ. සුදුම සුදුත් නෑ. ඒ අළු පාට මිනිස්සු එක්ක පරිස්සමෙන් ගනුදෙනු කරල අපේ ජීවිත වලට ළඟින්ම ඉන්න සුදු වැඩි ලා අළු මිනිස්සුන්ගෙ ආදරෙයි ඇල්ම බැල්මයි එක්ක ඉන්න හැටි මට තේරෙනව. එළියට ගිහිං මං නරක ගෑනියෙක් වෙලා කියල හිතන්නෙපා යශෝදර. ඔයාගෙ යාළුවටවත්…එයාගෙ දුවටවත්…මං…වරදක් වෙන්න දෙන්නෑ”

“මොනා…ද කියන්නෙ…සයූ…”

“මාව විශ්වාස කරන්න…ප්ලීස්…”

උදේ ම කඳුළක් වැටුණාට හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වූවා සේ සයුරංගනා ට දැනිණ. ඊළඟ හෝරා තුන කියන්නේ සැබෑවක් ම නොවේ. එය ඇතැම් විට හීනයකට ළඟ යමකි. පින්තූරයක් වගේ සිනහ වී ගෙන ද දකින හමු වෙන අයට උදෑසන ට සුබ පතමින් ද බොරුවට හෝ වචන කිහිපයක් කතා කරමින් ද සිටිත යුතු වේ. රූපවාහිනී නාලිකාවක වැදගත් ම තැනක් හිමි වන කොටසකි වේශ නිරූපන කාමරය. වැඩ ඇරඹෙන්නේ එතැනිනි. වේශ නිරූපන ශිල්පීන් අතින් මුහුණු වල සොඳුරු අංග වඩාත් හැඩ වේ. අඩු සුන්දරත්වයක් ඇති තැන් වල මේක් අප් තට්ටු ඇලවී වැසී යයි. අව පැහැ දෙතොල් නා දලු දෙතොල් බවට ඇසිල්ලකින් පරිවර්තනය වේ. ලප කැළැල් මුළුමනින් ආවරණය වී නිකැළැල් සඳ වන් මුහුණක් තිරය ඉදිරියේ දර්ශනය වේ. හැබෑවට ඉදිරියෙන් මායාව පෙනී සිටී. ඒ මුළු කාලය සිහිනමය මායාවකි.

නමුත් සයුරංගනා ඊට ආස ය. හැම තැනක ම තියෙන්නේ සතුට එකතු කළ හැකි පුංචි පුංචි කාරණා ය. වේශ නිරූපනයක් මගින් කෙනෙකු ගේ ආත්ම විශ්වාසය විශාල ප්‍රතිශතයකින් ඉහළ නංවයි. ලෝකය ලස්සනට පැවතිය යුතු ය. මිනිසුන් ලස්සනට සිටිත හැකි උපායක්‍රම සොයා ගත්තේ එබැවිනි. හැම කෙනෙකු ම ලස්සනට සිටිය යුතු ය. නමුත් ලස්සනට පිටුපසින් සැබෑව පවතින බව අවබෝධයෙන් සිටිත යුතු ය.

සයුරංගනා ගෙදර ආ ගමන් එදා ජයරත්න මහ ගෙදර ගිහින් එන්නට ගියේ ය. දින ගණනාවකින් එහි යන්නට නො හැකි වීම ඊට හේතුවයි  සීයාප්පච්චි එහි එනවාට ශක්‍යා ගේ දරුවන් ද ආස ය. සීයාප්පච්චි සමග සෙල්ලම් කරන්නට ද ඔහු එත්දී ගෙනෙනා කඩචෝරු වෙනුවෙන් ද ඔවුහු බලා සිටිති. එක දිගට දින කිහිපයක් නොයා සිටියහොත් ශක්‍යා ඇනුම්පද කියයි. 

“අප්පච්චිට ඉතිං අපේ ළමයි ළමයි නෙවෙයිනෙ. රංගනාගෙ ළමය තමයි ළමය”

“මෝඩ කතා කියන්නෙපා ශක්‍යා..  මට කොයි දරුවත් එකයි. මං උං ඔක්කෝටම ආදරෙයි. අනික රංගනාගෙ ළමය කියන්නෙ අපේ ගිම්හාන්ගෙ ළමය. උන් දෙන්න ගිම්හාන් නැතුව තනි වෙලා ඉන්න නිසා මං ටිකක් වැඩිපුර ඒ පැත්ත බලනව. ඒකෙන් කියන්නෙ දරුවන්ට ආදරේ වෙනසක් තියනව කියල නෙවෙයි”

එතකොට ජයරත්න දියණිය ට මඳහසකින් පැහැදිලි කොට දෙන්නේ ය. 

සයුරංගනා ගේ අතු පතු ගා උයන්නට පටන් ගත්තා ය. ඊට පෙර පාරමී ඉන්නවාද කියා බැලුවේ විශේෂ බතක් හදන්නට ඇය සිතා සිටි නිසා එය සයූ’ස් කිචන් වෙනුවෙන් වීඩියෝගත කර ගන්නට ය. නමුත් ඇය හඬකැවීමකට ගිහින් පැමිණ තිබුණේ නැත. සයුරංගනා මුළුතැන්ගෙට වී පිසීමේ කටයුතු වල නිරත වෙමින් සිටියා ය. පෙර පාසලේ නිවාඩු දුන් ගමන් ගමේ ගොස් පැමිණිය යුතු ය. ගිම්හාන් මිය ගිය පසු මල්ලිලා නංගිලා ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදව්වක් කරනා එක ද නතර විය. දැන් ඇයට ඔවුන් වෙනුවෙන් කුඩා හෝ සහයෝගයක් දැක්විය හැකි ව තිබේ. පිරිමසාගන්නට ගෙවල් කුළිය ද තිබෙන නිසා ඇගේ වැටුපෙන් යම් මුදලක් ඉතිරි කොට ගත හැකි ය. පොඩි උන් දුක් විඳි එකේ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබේ. දිනෙක ඔවුන් උපාධිධාරී රැකියා පත්වීම් ලබනු ඇත. එතකොට අම්මාටත් තාත්තාටත් විඳි දුක් නිමා කොට සැසිල්ලේ ජීවිතයේ සැඳෑ සමය ගත කළ හැකි වනු නියත ය.

සයුරංගනා සින්ක් එක ළඟ හාල් සෝදමින් සිටියා ය. කල්පනාව දුර ඈතකට ගිහින් තිබුණ නිසා ගෙට කිසිවෙකු ඇතුළු වන හඬක් හෝ ඇයට ඇසුණේ නැත. 

එදා රැකියාවට නොයා නිවාඩුවක් ලබා සිටි මංජුල, ජයරත්න එහි ගියාට පස්සේ යතුරුපැදියට නැගුණේ “ගැරේජ් එකට යනවා” කියාගෙන ය. බයිසිකලය හදා ගත යුතු බව පෙර දා රාත්‍රියේ පටන් කියමින් සිටි නිසා ශක්‍යා ට එහි සැක කරන්නට යමක් දැනුණේත් නැත. 

හඬ නො නැගෙන සේ ගේට්ටුව හැර ගත් ඔහු පා හඬක් හෝ නෑසෙන පරිදි ටයිල් පොළොව මත පා තබා ආවේ ය. සයුරංගනා හිටියේ සින්ක් එක ළඟ පිටුපා ය. මංජුල හෙමිහිට පිටුපසින් ගොස් ඇගේ බඳ වටා දෑත ම යවමින් ලං වූයේ ය. සයුරංගනා යටිගිරියෙන් කෑගැසුවා ය. නමුත් ඇගේ හඬ පිටවූයේ කෙඳිරියක් සේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles