සතුටු මන්තර 29

සයුරංගනා ගමේ යන්නට සූදානම් වූයේ සෙනසුරාදා උදයේ ය. සිකුරාදා පෙර පාසලෙහි මාසයක නිවාඩුව ලැබිණ. ගමේ යමු කියා ඇය පෙරැත්ත කළ ද ජයරත්න ඊට එකඟ වූයේ නැත. ගෙදර කිසිවෙකු නැතිව සතියක් පමණ වසා තබනා එක සුදුසු නැතැයි ඔහු කීවේ ය. සොර සතුරු කරදර කිහිපයක් ම වටින් පිටින් ආරංචි වී තිබේ. මහ ගෙදර ද දිවා කාලයේ දී පිරිමි කෙනෙකු නොමැති නිසා ඔහු ගෙදර නවතින්නට තීරණය කළේ ය.

“රෑටනං උඩ තට්ටුවෙ අය ඉන්නවනෙ. එහෙනං අප්පච්චි රෑට ගෙදර ගිහිං නිදියන්න. මෙහෙ තනියම ඉන්නෙපා”

සයුරංගනා කිහිප වතාවක් ම මතක් කළා ය. 

“හරි හරි ඒක කරගන්න බැරියෑ. ඔය ළමයි ගිහින් හිතේ නිදහසේ නිවාඩුව ගත කරල එන්නකො. ආයෙ ඉතිං මාස තුන හතරකින්නෙ ඊළඟ නිවාඩුව එන්නෙ…”

සයුරංගනා හා එසඳිව බස්වා එන්නට මුලින් සූදානම් වූයේ යශෝදර පමණකි. නමුත් හදිසියේ ම පාරමී ගේ වැඩක් අවලංගු වූයෙන් ඇයද එහි ගොස් යශෝදර සමගින් එන්නට තීරණය කළා ය.

“ඒක හොඳයි ඔයත් යන එක. මොනා වුණත් මං ටිකක් හිත හරි නැතුව හිටියෙ අයිය රංගනා එක්ක තනියම ඔච්චර දුර යන එක ගැන”

පාරමී සූදානම් වෙත්දී කාමරයට ආ මල්කාන්ති, යහන මත හිඳගෙන නිවීසැනසිල්ලේ සිය හිතෙහි වූ බරෙන් නිදහස් වූවා ය. පාරමී කණ්ණාඩි මේසයෙහි කැඩපතෙන් අම්මා දෙස බැලවා ය.

“ඇයි…”

“මොනා වුණත් ඉතිං හරිනෑනෙ අප්ප. මිනිස්සු කතා හදන්නෙ හේතු ඇතුවමත් නෙවේනෙ. ඔහේ දැක්කටත් කතා කියනව”

“ඊයා”

පාරමී මල්කාන්ති වෙත විත් යහනෙහි පසෙකින් හිඳගත්තා ය.

“ඒ ගමන ඔයත් අර එන්සිනා වගේ හිතන්න පටන් ගත්තෙ කවද ඉඳන්ද අම්මෙ…”

“මං හිතනවට නෙවෙයි. මං කිව්වෙ මිනිස්සු හිතන විදිහ ගැන”

“මිනිස්සු ඕන විදිහකට හිතපුදෙන් අනේ. ඒව ගැන හිත හිත කරදර වෙන්න ගියොත් අපිට කවදාවත් සතුටෙන් ජීවත් වෙන්න වෙන්නෑ. මිනිස්සු ඒගොල්ලොන්ට ඕන විදිහට හිතපුදෙන්. අපි අපිට ඕන විදිහට හිතල අපිට ඕන විදිහට වැඩ කරමු. සරලයි. දෙපැත්තටම ප්‍රශ්න නෑ”

“ඔයා ඔය කියන තරං හැමදේම සරල නෑ පාරමී”

“අම්ම. මොකද්දනේ. ඔයා එන්සිනා වගේ සෙල්ෆිශ් අම්මෙක් නෙවේනෙ. ළමයින්ගෙ පැත්තෙන් හිතන…ළමයින්ගෙ සතුට ගැන හිතන හොඳ අම්ම කෙනෙක්නෙ අනේ”

පාරමී අම්මා ගේ නිකටෙන් අල්වා සෙලවූවා ය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන්නට වන තැනට වැඩෙන්නට නො හැරිය යුතු යයි කතාවක් තිබේ. පාරමී මේ මොහොතේ සිතුවේත් එසේ කරන්නටයි.

යන ගමන් කන්නට සයුරංගනා කඩචෝරු ටිකක් මිල දී ගෙන තිබිණ. ඊට අමතරව ඇය පැටිස් හා සැන්ඩ්විචස් ටිකක් හදා ගත්තා ය.  උණු වතුර බෝතලයකට ඉඟුරු දමා සෑදූ තේ එකක් ද දමා ගත්තා ය.

“මෙයා බලන්නකො. හරියට නිකං සිරීපාදෙ යන්න වගේනෙ”

පාරමී විහිළු කළා ය.

“පොඩි දුරක්ද අනේ…මාතරිනුත් එහාට යන්නෙපැයි”

“අපි කොහොමත් වැලිපැන්නෙ ටිකක් නතර වෙලා යං”

“මගදි හයිවේ එකෙං එළියට දාමුද අයිය…පොඩ්ඩක් බීච් එකේ නතර වෙලා එහෙම යන්න…එතකොටයි අප්ප දකුණට ගියා කියල ඇඟට දැනෙන්නෙ”

“බලමු. රෑ වෙන්න කලින් එන්නත් ඕනනෙ”

පාරමී හා සයුරංගනා පසුපස අසුනට වූහ. එසඳි ට ඉදිරි අසුනෙහි යශෝදර ළඟ ම යන්නට ඕනෑ විය. 

“හැබැයි හයිවේ එකට දානකොට පස්සට යන්න ඕන මැණික”

යශෝදර ගේ ආදරයට දැරිය හිස සලා එකඟ වූවා ය. ජයරත්න හා මල්කාන්ති ගේට්ටුව ළඟ බලා සිටියදී මෝටර් රථය ඉදිරියට ඇදෙන විට සයුරංගනා ට දැනුණේ අමුතු විදිහේ සන්තාපයකි. ඇය පිටුපස හැරී අප්පච්චි දෙස බලා සිටියා ය. ‘මේ දවස් ටිකේ අප්පච්චිට හරි කෑමක්වත් හම්බ වෙයිද දන්නෑ’ යන සිතිවිල්ල ඇගේ සිතට කරදර කළේ ය. ඔවුන් නොපෙනී ගිය ඉක්බිති ඇය සුසුමකින් නිදහස් වෙමින් ඉදිරිපසට හැරුණා ය. ගිම්හාන් ජිවිතයෙන් නික්ම ගිය පසු සයුරංගනා ට ජයරත්න ගැන ඇති වූ බැඳීම පෙරදී ට වඩා වැඩි ය. ඇය වෙනුවෙන් හැම විට ම ඔහු ඇගේ පැත්තේ සිටියේ ය. එය කොන්දේසි විරහිත බැඳීමක් ඇගේ හදෙහි ඇති කරන්නට සමත් විය. අනිත් අතට ගිම්හාන් ගෙන් හිස් වූ ගෙදර අප්පච්චි ඇය තනි කොට දමා ගියේ නැත. හැම මොහොතක ම ඇගේ හිතට ශක්තියක් වෙමින් ඈ සමග සිටියේ ය. තමන්ගේ තාත්තා සමගින් ඇති වී තිබූ බැඳීමටත් වඩා මේ බැඳීමෙහි දයාර්ද්‍ර බවක් වන සේ ඇයට දැනේ.

පාරමී ආ එක හොඳ යයි සයුරංගනා ට සිතුණේ ඇය ඇති කළ සතුට නිසාවෙනි. කුඩා මෝටර් රථය තුළ ඔවුන් ගේ ම වූ කුඩා ප්‍රීතිමත් ලෝකයක් තැනී තිබිණ. අධිවේගී මාර්ගයට අවතීර්ණ වත්දීත් යශෝදර ළඟින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ එසඳි හැඬුම්බර වෙත්දී “කමක් නෑ ඔහෙ හිටපුදෙන්” කියන්නට තරම් යශෝදර හදවතින් පියෙකු වී සිටියේ ය. “මං පරිස්සමට ඩ්‍රයිව් කරනව” එය ඔහු ඔහු ගේ ම හදවතට දුන් පොරොන්දුවකි. එසඳි සතුටෙන් ම සිටියා ය. සිනහ වෙවී හුරතල් බොළඳ බස් දෙඩුවා ය. ඇය ඇගේ පුංචි ලෝකයෙහි  වීරයා කර ගෙන සිටියේ යශෝදරයි. ඒ වීරයා ඈ ළඟින් ම සිටියදී දැරිය ආඩම්බරයෙන් සේ ම සතුටෙන් ද  පිනා යාම පුදුමයක් නොවේ.

 වැලිපැන්නේ දී රිය නතර වූ පසු ඇය සිටියේ ඔහු ගේ අතක එල්ලී ගෙන ය. මෙය එසඳි ට අලුත් අත්දැකීමකි. අපාචි යනු දැන් ඇගේ මතකයේ ඈතින් ඈතට තිතක් වෙමින් යන මතකයකි. ඒ මතකය අලුත් කොට තබනු වස් සයුරංගනා නිතර ම ඇයට අපාචි ගැන කතා කියන්නී ය. ඔවුන් එක්ව ගිය ගමන් ගැන කියන්නී ය. ගිම්හාන් ඇයට ගෙන දුන් කෙළි බඩු ගැන සිහිපත් කරන්නී ය. ඔහු ඇයත් එක්ක හැන්දෑවට කළ සෙල්ලම් මතක් කොට දෙන්නී ය. නමුත් දැන් කලින් වාගේ එසඳි ඒ කතා අස දොඩමළු වන්නේ නැත. විවර කර ගත් දෑසින් අම්මා දෙස නිහඬව බලා සිටිනවා පමණකි. පෙර පාසල් යන්නට පෙර අපාචිට වඳින්න කියා සයුරංගනා අනිවාර්යයෙන් සිහිපත් කරයි. එසඳි එතකොට කුඩා අත් දෙක පපුව මත තබා යශෝදර ගේ පින්තූරයට වඳී. නමුත් දැන් දැන් ඔහු ඇගේ සිතේ මැකී නො මැකී යන සිතුවමක් සේ ය. අපාචි යන වචනයට ඇය ඉතා තදින් ආදරය කරයි. ඒ වචනයත් එක්ක දැන් දැන් ඇගේ හිතේ මැවෙනා රුව යශෝදරගේ ය.

වැලිපැන්න විවේක පරිශ්‍රයේ දී එසඳි යශෝදර ගේ අත ගෙන ඇවිද්දේ ඇගේ හිමිකරුවා ඔහු බඳු ආඩම්බරයකිනි. වැඩිය දුර නැති ඇගේ මතකයෙහි මීට පෙර ඇගේ ම අපාචි සමගින් පැමිණි මේ ගමන ගැන මතක සලකුණක් හෝ නැත. ඇය මේ නවමු අත්දැකීම යශෝදර සමගින් හිතේ හැටියට භුක්ති විඳිමින් සිටියා ය.

“එසඳි යශෝදරට බැඳෙනව වැඩියි පාරි”

වැලිපැන්නේ තුරු ගොමු සෙවනේ වන බංකුවක හිඳ ඔවුන් ගෙදරින් ගෙනා තේ එකක් බොන ගමන් සයුරංගනා මිමිණුවා ය. පාරමී ඇදෙස බැලුවේ නෙත් කොනෙනි. “එසඳි විතරද” යන පැනය ඒ බැල්මෙහි තියෙන්නට ද සයුරංගනා එය කියවා ගන්නට ද ඇත. නමුත් ඇය එවැන්නක් නොදුටු සෙයින් ඉවත බැලුවා ය.

“පොඩි එවුං එහෙම තමයි. කොහොමත් එයාට අප්පච්චි කෙනෙක් ඕනනෙ”

සයුරංගනා ගේ පපුව මැද්දේ දැඩි පීඩන කලාපයක සුළං කුණාටු හැමුවේ ය. අකුණු පුපුරා අක් වැසි වැටෙත්දීත් ඕ මුණිවතින් බලා සිටියා ය. 

ගාල්ලේ දී අධිවේගී මාර්ගයෙන් සාමාන්‍ය මාර්ගයට රිය හරවා ධාවනය විය. පොල්හේන වෙරළේ නතර වී ඔවුහු ටික වෙලාවක් මුහුදු සුව වින්දහ. යශෝදර එසඳි ට ලොකු බෝලයක් ගෙන දුන්නේ ය. ඔවුහු වෙරළේ සෙල්ලම් කළහ. 

ගෙදර දිවා ආහාරය සකසන බැවින් මගදී කෑම කන්න එපා කියා යමුනා කිහිප වරක් මතක් කළා ය. යශෝදර හා පාරමී ද පැමිණෙන නිසා ඔවුහු විශේෂයෙන් දකුණට ආවේණික කෑම වර්ග ගැන සැලකිලිමත් වූහ. යමුනා පෙර දා බලමාළු හට්ටියක් ඇඹුල් තියල් දැමුවා ය. ලොකු පුතාට කියා කිරි පැණි කදක් ගෙන්වා ගත්තා ය. අබේසේකර බාසුන්නැහේව තකහනියේ  වැලිගම යවා ලෙල්ලමෙන් දැල්ලන් කිලෝ තුන හතරක් ගෙන්වා ගත්තා ය. පොඩි දැල්ලන් කපන්නේ නැතිව කූරියා පිටින් ම කිරි හොද්ද හදා ඉඳිආප්ප එක්ක කන්නට ඉස්සර සිට ම සයුරංගනා කැමති ය. රාත්‍රියට ඉඳිආප්ප තනා කහ පොල් මැල්ලුමක් ද තනන්නට යමුනා සිතා සිටින්නී ය. 

“ඔයෙං නාගෙන ඇවිත්ම කෑම කනවද” 

කියා යමුනා ඇසුවෙන් පාරමී ට ඔයෙන් නාන්නට ම උවමනා විය. ඇඳුම් සැපයීම වහ වහා සිදු විය. එය බලාපොරොත්තු නොවූ සතුටක් ගෙනාවේ ය. එසඳි ද මේ නවමු අත්දැකීමෙන් කුල්මත් ව සිටියා ය. ඔවුන් යළි කෑමට පැමිණියේ පෙඟෙනතුරු දිය කෙළීමෙන් පසුව ය. මාතරට ආවේණික මීකිරි සමග බත් කෑම ගැන යමුනා සඳහන් කළ පසු පාරමී එසේ කළා ය. මාළු ඇඹුල් තියල් හා පොල් සමග බත් කෑම යශෝදර ට විශේෂ රසයක් දැනවී ය.

“බඩ පැලෙන්නම කාල හිටියත් අර අන්දරේට වගේ තමයි. කිරි පැණි දාගන්නත් ඉඩ තියනව”

කියමින් පාරමී ගෙදර අය හිනැස්සුවා ය. ගිම්හාන් ගේ මළ ගෙදරදී ද තුන් මස පිංකමේදී ද යම් කිසි මිතුරුකමක් ඔවුන් අතරේ ඇති වී තිබිණි නම් මේ ගමන නිසා එය වඩාත් තීව්‍ර වෙමින් තිබිණ. මල්කාන්තිට ගෙන යන්නට කියා යමුනා මාළු ඇඹුල් තියල් හා කිරි හට්ටි දෙකක් ද හොඳ කිතුල් පැණි බෝතලයක් ද වෙන් කොට දුන්නා ය. වත්තේ පැසුණු කෙසෙල් මලක ලොකු ඇවරියක් ද අඹ මැංගුස් වැනි ගමේ පළතුරු මල්ලක් ද ඔවුන්ට ගෙන යන්නට ඩිකියෙහි පැටවිණ. 

හවස් වන විට පාරමී හා යශෝදර යන්නට සූදානම් වූහ. මාතරින් ම අධිවේගී මාර්ගයට දමා ඉක්මනින් ම ගෙදර යන්නට බලාපොරොත්තු වන බව යශෝදර කීවේ ය. සයුරංගනා ගේ සිත්හි තුනී සංකා හැඟීමක් ඇතිල්ලෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා නික්ම ගිය පසු උපන් ගෙදර ම තමන් තනි වෙනවා වන් අවිනිශ්චිත සිතිවිල්ලකි එය. නමුත් ඕ පුරුදු සිනහවෙන් අවංක හැඟීම් වසා ගෙන ඉන්නට සමත් ය. 

ඔවුන් දෙදෙනා සියල්ලන් ගෙන් සමු ගෙන මෝටර් රථයට ද නැඟුණු පසුව ය බෙරි කර ගෙන උන් එසඳි ගේ මූණ හැඬුමකට පරිවර්තනය වූයේ ය. උන හිටි ගමන් ඇය මහා හයියෙන් හඬන්නට පටන් ගත්තා ය.

“යන්න එපා. අපාචි යන්න එපා”

හැඬුම අතරින් ම ඕ කෑ ගසන්නට වූවා ය. සයුරංගනා අතේ හඬනා ඇය මෝටර් රථය දෙසට බර වී යශෝදර ට දෝත පාමින් ඉකිබින්දා ය. රිය පණ ගන්වා ගෙන සිටිය ද එසඳි ගේ ඒ විලාපය මැදින් නික්ම යන්නට යශෝදර ට හිත හදා ගත හැකි වූයේ නැත. ඔහු රිය දොර හැර ගෙන බැස ගත්තේ ය. එසඳි ඔහු ගේ අතට පැන ඒ ගෙල බදා ගෙන හඬන්නට වූවා ය. එය කෙතරම් වේදනාත්මක හැඬුමක් ද යත් ඇයට ඉකි බිඳීම නිසා හුස්ම ගැනීම ද අසීරු වූයේ ය.

“නෑ නෑ අපාචි යන්නෑ. මගෙ මැණික දාල යන්නෑ. කෝ ඉතිං අඬන එක නවත්තන්නකො”

දැරිය සනසා ගනු වස් අවසන එසේ කියන්නට යශෝදර ට සිදු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles