ට්‍රයිඩැක්ස් මිටියාවත හරහා සීත සුළං රැල්ලක් හමා යමින් තිබිණ. ඒ සුළඟේ හැපෙනු වස් ගෙල ඔසවා මුහුණු ඉහළට හරවා ගත් අඟනුන් සේ ට්‍රයිඩැක්ස් මල් අහස දෙස බලා ගෙන තාලයට පැද්දේ. මල් අතරේ ඔබ මොබ දුවනා කහ පාට සමනල යුවලක් කලබලයෙන් වාගේ සයුරංගනා ගේ මූණේ ද හැපුණහ. ඇගේ දෙතොල් පෙති අතරේ මන්දස්මිතයක් සරැලි නැගී ය.
“ඔයා මලක් කියල හිතල”
කියමින් එසඳි මුතු දසන් පෙන්වා කිකිණි හඬින් සිනහ පෑවා ය. මාතෘ ස්නේහයෙන් හදවත් ඉවුරු සිඳී බිඳී ගිහින් ඇය දැරිය තුරුලු කොට ගෙන මිරිකුවා ය.
“මලක් කියල රැවටෙන්නෙ මට නෙවෙයි…ඔයාට…”
“නෑ…ඔයාට…”
“මගෙ මැණික් කැටේ”
“අපාචි තාම නෑනෙ”
හදවතේ ඈත ද මෑත ද කියා නිශ්චිත නොවන තැනක භූමි කම්පාවක් සිදු වනු සයුරංගනා බලා සිටියා ය. එහි කම්පන තරංග හෙමිහිට ඈතට පාව යනයුරු බලා සිටි ඇගේ දෙතොල් අතරේ තවමත් මඳහස රැලි නගයි. ඔහු එන තුරු මේ තරමට ඇස් පෙරමග බැලූ දවසක් නැති බව ඇය දනී. මේ තරම් නො ඉවසිල්ලකින් හදවත දරා ගන්නට සිදු වූ දවසක් ද පෙර නැත්තේ ය.
“අනං මනං හිතන්නැතුව හොඳට ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනෙ හොඳේ”
ඇය මේක් අප් කාමරයේ සිටියදී උදේ යශෝදර කතා කොට කීවේ ය. ඒ වචන ටික ආදරණීය බරක් තවරමින් පපුවට කිඳා බසිනු ඇයට දැනිණ.
“හ්ම්”
එසේ නොවී චවන කතා කරන්නට ගියා නම් ඇයට හැඬෙන බව සයුරංගනා දනී. වෙන කවදාටත් වැඩිය හොඳට, සැහැල්ලුවෙන් ඇය වැඩසටහන කළා ය. පෙර කිසිදාක නොවූ විරූ විදිහේ තෘප්තිමත් සිනහවක් ඇගේ ලවන් අතරේ රහස් මුමුණමින් තිබිණ.
“මගට දාන්නද..”
කියා, වැඩසටහන නිමා වූ ගමන් ඔහු කතා කොට ඇසුවේ ය. වචන වලින් පැහැදිලි කළ නො හැකි පුදුමාකාර හැඟීමකින් ඇය දෝරෙ ගලා ගියා ය.
“එපා යශෝදර. මං කැබ් එකක් දාගන්නං”
“එහෙනං පරිස්සමෙං යන්න”
ඇය ගෙදර ගේට්ටුව අභියස දී ත්‍රීරෝද රියෙන් බහිනකොට ම ඔහු ගේ ඇමතුම ආවේ ය.
“මං ගේ දොරකඩ”
ඇය ඈ තුළ ම ගුලි වෙමින් මිමිණුවා ය.
“එසඳි අවහම කෝල් එකක් අරං දෙන්න එහෙනං”
“හා”
“එනකොට මොනාද ගේන්න ඕනෙ..”
“ආ…”
නො ඇසුණාට නොව එකවර පැහැදිලි නොවුණාට ය ඈ නැවත විමසීමක් කළේ. ඒ තනි අකුර තුළ වූ සියල් හැඟුමන් එක නිමේශයකින් හැඳිනූ යශෝදර ගෙන් සිනහවක් නැඟිණ. සයුරංගනා දුරකතනය වඩාත් සවනට තෙරපා ගත්තා ය. ඉස්සර ගිම්හාන් එහෙම ඇසූ දවස් තිබේ. හුඟක් වෙලාවට ඔහු ගෙදරට අවැසි දෑ ගෙනාවේ ඔහුට උවමනා පරිදි ඇගේ විමසීමකින් තොරව ය. ඉඳහිට සමහර දවසක සුපිරි වෙළෙඳ සැලට ගොඩ වෙන ගමන් අවැසි දෙයක් වේ දැයි ඔහු ඇය විමසුවේ ය. නමුත් යශෝදර එහෙම අහත්දී හදවත් පේශි වල වෙනසක් සිදු වෙනු ඇය අත්වින්දා ය.
“අන්න අපාචි එනෝ”
සයුරංගනා ගේ කල්පනා දැහැන් බිඳුණේ එසඳි ගේ කෑගැසීමට ය. ඇය ට්‍රයිඩැක්ස් මිටියාවත දිග පෙත් මග දෙසට දිව ගියා ය.
“ඔහොම ඉන්න පුතා…හෙමීට අනේ…”
යශෝදර එසඳිව රියෙහි නංවාගෙන එන විට සයුරංගනා ගෙදර ගොස් ගේට්ටුව ද විවර කොට අවසාන ය. හදවත අත්විඳින්නා වූ ආගන්තුක ගැස්ම මිහිරි ය. එහි සහේතුක බියක් දැවටී තිබේ. මේ ගැස්ම නිසා උදේ සිට ම ඇගේ උගුර කට වියළී යයි.
යශෝදර එසඳිව වඩා ගෙන රියෙන් බැස්සේ සයුරංගනා ගේ මුහුණ මත අලවා ගත් දෑසිනි. ඇයට සිනහ වෙන්නට මතක් වූයේ නැත. නමුත් ඇස් දෙක සිනහ වෙන්නට ඇත. යශෝදර එසඳි වඩාගෙන සයුරංගනා වෙතට ම ආවේ ය. ඇය වෙත පෑ ඔහු ගේ අතේ වූ සිලි බෑගය ගත්දී සයුරංගනා ගේ අතැඟිලි යශෝදර ගේ අතෙහි ස්පර්ශ විය. ඇය බිම බැලුවා ය. යශෝදර ගේ වත මත වන්නේ බලා සිටිනට තරම් ඇයට දිරියක් නැති මන්දහාසයකි.
“මො..නාද…”
ඇය මුමුණා ඇසුවා ය. හරියට වචනය ශබ්ද නැගෙන්නේ නැති තරමට ඇය සසල ව සිටියා ය.
“කේක් කෑල්ලක්”
“ගෙදරට ගෙනියන්න යශෝදර”
ඔහු දෙස බැලූ ඇගේ ඇස් වල බියක් විය. ගැස්මක් විය. අසරණකමක් විය. වැරදිකාර හැඟීමක් විය. යශෝදර ඇසිල්ලෙන් මුළුමහත් ඇය කියවා ගත්තේ ය.
“ගත්ත. ඕක ඔයාට”
ඇගේ යටිපතුල් වලට සීතල හිරිවැටීමක් දැනිණ.
“තේ හදන්න. මං මේක දීල එන්නං”
ඔහු එසඳි වඩාගත් වන සිලි බෑගයක් ද ගෙන නික්ම ගියේ ය. සයුරංගනා රිදෙන්නට යටි තොල සපා ගත්තා ය.
යශෝදර ගෙට යන විට පාරමී දිය නාගෙන ආවා විතර ය. මීට ටික වෙලාවකට පෙර ඈ ගෙදර ආවේ ට්‍රයිඩැක්ස් මිටියාවත ළඟ දී සයුරංගනා සමගින් මඳක් කතා බහ කොට දිය නාගෙන එන බවට පොරොන්දු වී ය.
මේසය මතින් යශෝදර විසින් තබනා ලද බෑග් එක ඇර පාරමී එහි වූ පෙට්ටිය පිටතට ගත්තා ය.
“ඕ…කේක්…මොනා සෙලිබ්‍රේට් කරන්නද යශෝදර මහත්තයො…”
ඇගේ ස්වරයේ ආදරයක් වූයේ ය. යශෝර ඇයට ටොක්කක් ඇන්නේ ය.
“දැක්කට ගත්ත ඉතිං..නිකං හම්බවෙච්ච එක කටේ දාගන්නැතුව හේතු හොයනව”
මල්කාන්ති විමසුම් දෑසකින් බලා සිටියා මිස කිසිත් කියන්නට ඉදිරිපත් නොවුණා ය.
“පුතා තේ බීලද…”
ඇය එසේ ඇසුවේ නිකමට පුරුද්දට ම නොව වචන වලින් ඇසිය නොහැකි යමක් වටින් පිටින් අල්වා ගන්නට ය.
“නෑ මං සයුරංගනාට හදන්න කිව්ව”
“ආ එහෙනං මාත් යනෝ රංගිගෙ තේ එකක් බොන්න. යං පැට්ටො”
කියමින් පාරමී එසඳිට දෑත පෑව ද ඇය හැරී යශෝදර ගේ ගෙල බදාගත්තා ය.
“ගිහිං එන්නකො එහෙනං. මට පුතා එක්ක කතා කරන්න දේකුත් තියනව”
“කියන්න අම්මෙ…කමක් නෑ දැන් කියන්න”
“නෑ මේ…ලොකු දෙයක් නෙවෙයි. මං අර සිල්වා කපු මහත්තයට කියලයි තිබුණෙ පුතාට කටයුත්තක් හොයාගන්න ඕන හෙමිහිට කියල. එයා අද මේ පැත්තෙන් යන ගමන් ගෙදරට ගොඩ වුණා. හොඳ තැනක් තියනවලු. ආණ්ඩුවෙ ඉස්කෝලෙක ටීචර් කෙනෙක්ලු. විද්‍යාපීට ඉඳල දැන් අවුරුදු පහේ දුෂ්කර සේවෙලු ඉන්නෙ. දැනටම ඒකෙන් තුනක් ඉවරලු. බැඳල බබෙක් එහෙම හම්බ වෙන්න ආවනං ඉක්මනට මාරුව හදාගන්න පුළුවන්ලු. මට කිව්ව සති අන්තෙ දවසක් දාං කියන්න බලන්න යන්න කියල”
ඇය හුස්මක් ගන්නේ හෝ නැතිව කියවා ගෙන ගියා ය. මීට පෙර වතාවක් මල්කාන්ති යශෝදර ට ඔය කපුවා ගැන කතාව කියා තිබේ. ඔහු ඒ වෙලාවේ සිනහවකින් එය මගහැර ගියේ ය. යශෝදර ට මතක හැටියට ඒ ගිම්හාන් ද සිටියදී ය.
“අනේ අම්මෙ මං කියලනෙ තියෙන්නෙ මට මගුල් හොයන්න එපා කියල”
යශෝදර මේ වෙලාවේ ද කීවේ සිනහවකිනි.
“එහෙම කියල කොහොමද…මේව තවත් පහු කර කර ඉන්න ඕන නෑ. අනික ඒ ළමයා ටීචර් කෙනෙක්නං කොච්චර හොඳද…වරුවයි වැඩ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. අවුරුද්දට මාස තුනක් නිවාඩු…”
“ඉතිං අම්මෙ ඔච්චර නිවාඩු ඕනනං ජොබ් එකකට යන්නැති කෙනෙක්ම හෙව්වනං හරිනෙ”
පාරමී එසේ කීවේ යශෝදර ගෙනා කේක් කැබැල්ලකින් අතට ටිකක් කඩා ගෙන කටට දමමිනි.
“අම්මත් අනේ මන්දා. එපා කියන එක්කෙනාට හොයනව. මේ වේලි වේලි ඉන්න මට කාව හරි හොයල දෙන්නෑ. යං යං…දැං තේ නිවෙනවත් ඇති”
කියමින් පාරමී දෑතින් යශෝදර ව තල්ලු කර ගෙන පිටතට ආවා ය. මල්කාන්ති ට කේන්ති යශෝදර එක්ක ම නොවේ. පාරමී එක්ක ය.
“ගිහිං එනවලකො එහෙනං”
ඇය කේන්තිය යටපත් කරගෙන කියාගත්තා ය.
“මිසිස් මල්කාන්තිට ම ළ කොල්ලෝ…කරන දෙයක් ඉක්මනට කරගන්න වෙයි”
ඒත් යශෝදර හිනැහුණා පමණකි. නමුත් ඔහු ගේ හදවත මත අලුත් බරක් පැටවී ගෙන ආවේ ය. ඔහු එසඳි ව වඩාත් තදින් තුරුලු කොට ගත්තේ ය. දැරිය ඔහු ගේ හිස බදා ගත්තා ය.
පාරමී කුස්සියට ම ගියා ය. සයුරංගනා හිටියේ තේ හදමිනි. යශෝදර ගෙනැවිත් තිබූ පයිනපල් ගැටෝ කැබලි තුන මැදින් කපා ඇය දීසියක තබා තිබිණ.
“ඇයි අනේ අද ඕගොල්ලො අපිට කේක් දෙන්නෙ…”
සයුරංගනා විසින් පිරිනමන ලද කේක් දීසියෙන් කැබැල්ලක් ගනිමින් පාරමී විචාලා ය. මූණ රතු වෙන බවක් දැනුණත් සයුරංගනා කතා කළේ නැත.
“ඇයි ඕක කැපුවෙ..ඔය තුන්දෙනාටනෙ ඕක”
යශෝදර කේක් කැබැල්ලක් අතට ගන්නට අදිමදි කළේ ය.
“කමන්නෑ”
ඒ වචනය පිට වූයේ සයුරංගනා ගේ උගුර යටින් අසීරුවෙනි. එතකොට ම මල්කාන්ති ද ගෙට ගොඩ වූවා ය.
“මාත් ආව එහෙනං රංගනාගෙ තේ එකක්ම බීල යන්න”
යශෝදර ගේ හිතට යම් ගැස්මක් නො දැනුණා නොවේ. නමුත් ඔහු හිත දැඩි කර ගත්තේ ය.