මල්කාන්ති කවදත් සයුරංගනා ට අම්මා කෙනෙකු සේ ආදරේ වූවා ය. ගිම්හාන් ජීවතුන් අතරේ සිටින කාලයේ දී පවා දවසකට වතාවක් හෝ ගෙදරට ඇවිත් සයුරංගනා ගැන සොයා බැලුවා ය. ඉව්වාද කෑවාද කියා විමසුවා ය. වැඩිපුර පේන්නට නො හිටි දිනෙක නම් අසනීපයක් ද කියා විමසිලිමත් වූවා ය. අසනීපයක් නම් සයුරංගනා ට විවේක ගන්නට කියා ගෙදර උයන බත් මාළු වලින් ඔවුන්ගේ ගෙදරටත් කොටසක් එව්වා ය. එසඳිව බලා ගන්නට බාර ගෙන සයුරංගනා ට ටිකක් නිදාගන්නට ඉඩ සලසා දුන්නා ය. ගිම්හාන් ගේ මිය යාමෙන් පසු ඒ සොයා බැලීම් තවත් වැඩි මිස අඩු වූවා නොවේ. ඒ තරම් ළාබාල වයසකින් ඇය කණවැන්දුම් වෙත්දී තිලකාටත් වඩා හදවතින් විස්සෝප වූවා ය. අවංකව ම කඳුළක් පිස ගත්තා ය. කාටවත් අත නොපා තමන්ගේ ම හයියෙන් නැගී සිටින්නට ඇය වෙර වීරිය ගනිත්දී මල්කාන්ති අම්මා කෙනෙකු සේ ආඩම්බර වූවා ය. ඕ තොමෝ සැබවින් ම දියණියකට සේ සයුරංගනා ට ආදරේ ය.
“මට මේ වගේ දුවෙක් ඉන්නයි තිබුණෙ”
පාරමී ගේ මුරණ්ඩුකමකින් හිත රිදුවා ගත් දිනෙක ඇය එහෙම කියා තිබේ. නමුත් දුවක වනවාට කැමති අයෙකු ලේලියක ලෙස පිළිගන්නට හදවත සූදානම් කරගන්නට අපහසු ඇයි දැයි ඇය දන්නේ නැත. ඒ ගැන දුරට දිගට හිතන්නට ඇයට අවැසි වූයේ ද නැත.
“රංගනා ඔයාවත් අපේ ඉලන්දාරියට කියන්න”
සයුරංගනා අතින් මල්කාන්ති තේ එක ගත්තේ එහෙම කියමිනි. සයුරංගනා ගේ කතා කරන ඇස් වල වූයේ ප්‍රශ්නාර්ථයයි. යශෝදර හෙමිහිට පපුව පුරා හුස්මක් ගත්තේ ය. පාරමී අයියා දෙස බැලුවා ය. කපුවා හා මංගල යෝජනාව ගැන පුවත සයුරංගනා ගේ කනට යන එන නවතා ගැනීම වූ කලී මකුළු දැලකින් මහ සුළඟක් නතර කරන්නට හදනවා වැනි කාරියකි. ඒ නිසා එසේ කරන්නට නො වෙහෙසී යශෝදර සන්සුන් ව හිටියේ ය.
“කොච්චර කාලෙක ඉඳන් මගඅරිනවද අනේ මෙයා…මේ සැරේ හොඳ යෝජනාවක් ඇවිත් තියෙන්නෙ…ටීචර් කෙනෙක්…දුෂ්කර ඉන්න තියෙන්නෙත් තව අවුරුදු දෙකලු. ඒකනං ඔය එහෙ බලල මෙහෙ බලනකොට ගෙවිල ගිහින් තියෙයිනෙ”
පාරමී බලා සිටියේ සයුරංගනා ගේ මුහුණ දෙසයි. ඇය මලක් පෙති දිගහරිනවා වාගේ සිනහ වූවා ය. නෙළුම් පෙති වාගේ ඇස් පියන් සැළිණ. හිත හරහා හමා ගිය සුළි කුණාටුව ඉඟියකිනිදු පිටතට නො පෙන්වන්නට ඇය වග බලා ගත්තා ය.
“ඉතිං යශෝදර කැමති වෙයි”
යශෝදර ඇදෙස බැලුවේ නිකටේ අත තබාගෙන සිනහ පොදක් නැති මුහුණකිනි. පාරමී සිදුවෙන සියල්ල සිය දෑසින් විග්‍රහ කරමින් සිටියා ය.
“බලල ආවහම ඉවරයිනෙ නේද…කැමති වෙනවද නැද්ද කියල පස්සෙ හිතන්න පුළුවන්නෙ”
“ඔව්…”
“අනේ කරදර නොකර ඉන්න අම්මෙ. බඳින වෙලාවට මං අම්මට කියන්නං”
යශෝදර එසේ කීවේ ලොකු බරක් දමා නොවේ. මේ වෙලාවේ බරපතල විරෝධයක් පෙන්වන්නට යාම අම්මා උසිගන්වන්නා වූ හේතුවක් වෙතැයි ඔහු ට සිතිණ. පොඩි ළමයෙකු වුණත් වැඩිපුර කරන්නට නැඹුරු වන්නේ එපා කියනා දේවල් ය. දරුවන්ගේ ජීවිත ගැන මෙහෙව් තීරණාත්මක මොහොත වලදී බොහෝ මව්වරුන් ද තීරණ ගන්නේ හදවතින් ය.
“හැබැයි රංගිට එසඳි ව දෙන්න වෙයි අපේ අයියට දෑවැද්දට…”
පාරමී ළඟ ම තිබූ ඉත්තෙකු ඇද්දා ය. නමුත් මල්කාන්ති පහසුවෙන් ම ඒ ඉත්තා කපා දැමුවා ය.
“අනේ ඒවනං මොනාද…තමන්ගෙම කියල දරුවො හැදෙනකොට ඒව මගඇරිල යනව”
ඇයිදෝ මන්දා සයුරංගනා ගේ පපුවේ පැත්තක් රිදිණි. නමුත් එය එසේ පිළිගත යුතු බව ඇය දැන සිටියා ය. යශෝදර ට අනාගතයක් තිබේ. ඒ අනාගතය ඔහු එන තුරු පෙරමගට වී දිළිසි දිළිසී බලා හිඳී. අතරමගක හුදෙකලා වූ පහන් කණුවක දැල්වෙන මළානික එළියක් අස ඔහු පළඟැටියෙකු සේ නතර විය යුතු නැත.
“පොඩ්ඩක් මෙයාගෙ ඔළුව හදන්න රංගනා. ගිම්හාන් පුතා හිටියනං එයා ඒක කරනව”
හිස අතගා ටොකු අනිනවා කියන්නේ මෙවන් කලාවකි. පන්තියේ දඟ ම ළමයාට පන්ති නායකකම ලබා දී දක්ෂ ගුරුවරු දඟයන් ව ලස්සනට මෙල්ල කරති. මල්කාන්ති කියන්නේ නිවුණු ගැහැනියක වේ. ඇය කිසිවෙකු ගේ හිත රිදවන්නට කැමති නැත. ඇය කිසිවෙකු සමග නොහොඳ නෝක්කාඩු වීමට යන්නේ නැත. නමුත් ඇය අසතුටු දේවල් සිය ජීවිත කලාපය තුළ සිදුවෙන්නට හරින්නේ ද නැත.
මල්කාන්ති තේ එක බී සාමාන්‍ය ලෙස නික්ම ගියා ය. නමුත් සයුරංගනා ගේ හදවත මැද අසාමාන්‍ය වූ යමක් ඉතිරි වී තිබිණ. එය දුකක සෙවනැල්ලකි. බරක තෙරපීමකි. තුවාලයක රිදුමකි. වගකීමක යුතුකමකි.
“අකමැතිනං තදින් කියන්නෙපැයි. එතකොට කරන්නෑනෙ ඒක”
අම්මා නික්ම ගිය පසු පාරමී අයියාට චෝදනාවක් කළා ය. ඇය එහෙම ය. කියන්නට ඇති දෙයක් කෙළින් කියයි.
“තදින් කියල අම්මගෙ හිත රිද්දන්න ඕන නෑ. හෙමිහිට දැනෙන්න ඇරියත් අම්ම තේරුංගනී. ඒව වෙන්නෑ කියල”
“ඊළඟ වීක්එන්ඩ් එකේ දාගනී මනමාලි බලන්න යන්න. බලනවකො නැද්ද කියල”
“ඉතිං ගිහිං බලල ආවහම ඉවරනෙ. දැම්ම කැමති නෑ කියල හිතං ඉන්න ඕන නෑනෙ. බැලුවහම කැමති වෙන්නත් පුළුවන්”
සයුරංගනා මුදු සරකින් හෙමිහිට මිමිණුවා ය. ඇගේ දෙතොල් අතරේ ඉසිහින් මඳහසකි. යශෝදර සිය දෑසින් ඈ කියවා ගනිමින් සිටියේ ය. සයුරංගනා ඇගේ දෑස් යශෝදර වෙතින් මුවහ කරගනිමින් සිටියා ය. ගැහැනියකට කන්දක් වාගේ වන්නට පුළුවන. හැම දේම පපුව මත්තේ හිර කරගෙන නිහඬ ව නිසල ව බලා සිටින්නට පුළුවන. නාය යතොත් ඒ දරා ගත නොහැකි ම වෙලාවක යි. එතකොට පදාස පිටින් නාය යන බව ඇත්ත ය. නමුත් කන්දක් කියන්නේ ම බරසාර හැඟීමකි. නො කියූ බොහෝ කතන්දර එහි ඇතුළාන්තයේ ෆොසිලීකරණය වී තිබිය හැක.
සයුරංගනා ගැන කියා ගන්නට තබා හිතා ගන්නට හෝ බැරි සන්තාපයක් යශෝදර ගේ පිරිමි පපුව හිර කරවී ය. අද ඇයට ආදරය කීවා විතර ය. පැය දොළහක් ගත වීමටත් පෙර ඔහු මනාලියක බලන්න යන්නට සූදානම් විය යුතු බව අසන්නට සිදු වී තිබේ. නමුත් ඕ ඇස් පිල්ලමකිනිදු දුකක් නො පෙන්වා හිඳී.
“දෙන්න පාරි කෝප්පෙ. යශෝදර තාම බීල ඉවර නෑනෙ”
කියමින් සයුරංගනා මල්කාන්ති තබා ගිය හිස් කෝප්පය ද පාරමී අතේ වූ කෝප්පය ද ඇය වෙත ලබා ගෙන මුළුතැන්ගෙට ගියා ය. පාරමී අයියා දෙස බැලුවා මිස යමක් කියන්නට ගියේ නැත. එහෙම මොහොතවල් තිබේ. වචනයක් හෝ කියා ගත නො හැකි වන, හිතන්නටත් බැරි තරමට හිත බර වෙන වෙලාවල් තිබේ.
“මැණික…සෙල්ලමක් කරමුද…”
පාරමී එසඳි කැමති කොට ගෙන මිදුලට බැස්සා ය. යශෝදර හෙමි හෙමිහිට මුළුතැන්ගේ දෙසට පිය නැගුවේ ය. සයුරංගනා හිටියේ සින්ක් එක තුළට කෝප්ප ටික දමා පයිප්පය හැරගෙනයි. නමුත් ඇයට භාජන සෝදන්නට හැකි වූයේ නැත. අත් දෙක පාෂාණිභූත වී තිබේ. මුළු සිරුර ම එසේ ගල් වී තිබේ. හැර දමා තිබි ජනේලයෙන් පිටත ඇය අරමුණකින් තොරව බලා සිටියා ය. ඇස් තෙත් වෙන්නට හදයි. ඇය ඉක්මන් ඇස් පිය සැළුවා ය. උරහිස ඔසවා ඇඳුමේ කරට ඇස තෙත මාත්තු කොට ගත්තා ය. යශෝදර ළඟට ම විත් සින්ක් එක තුළින් කෝප්පය තැබුවේ ය. සයුරංගනා තිගැස්සී ගොස් සිනහ වූවා ය.
“මොනාද ඕනෙ යශෝදර…”
ඇය කෝප්පයක් සෝදන්නට ගත්තා ය. යශෝදර පැන්ට්‍රි කබඩ් එකට හේත්තු වී අත් දෙක පපුව මත බැඳ ඇදෙස බලා සිටින්නට වූයේ ය. ඒ ඇස් කැල්ම දෙස කෙලින් බැලිය නො හැකි බව ඇය දනී. ඔහු ට ඇස් පෙන්වූවොත් හිතේ තියන හැම දේ ම ඔහු කියවා ගන්නා බව ද ඈ දනී.
“මොනාද ඕනෙ කියන්නකො”
සෝදන කෝප්ප මත නෙතු අලවාගෙන ම ඇය යළිදු කීවා ය.
“ඕනෙද…”
සයුරංගනා මැදි වන සේ අත් දෙක පැන්ට්‍රි කබඩය මත තබා ගෙන ඔහු ඈ පිටුපසින් සිටගත්තේ ය. සයුරංගනා හුස්ම අල්වා ගෙන සිටියා ය. ඔහු ගේ උණුහුම චුම්බක ක්ෂේත්‍රයක් සේ ඇයට දැනේ. උදේ ගැල්වූ විලවුන් වල ක්ෂය වී ශේෂ වූ අන්තිම සුවඳ පොද පවා ඇයට දැනේ. ඔහු ගේ හුස්මක් යන්තමින් ඇගේ කන් පෙත්තක හැපේ. පයිප්පයෙන් හෝ ගා වතුර ගලා යයි. ඇය කෝප්පයක් ඊට අල්වා ගෙන සිටියාට සේදීමක් සිදු වූයේ නැත. එක අතකින් යශෝදර පයිප්පය වසා දැමුවේ ය. විද්‍යුත් ධාරාවක් සන්නයනය වන්නා බඳු ගැස්මක්, සයුරංගනා දරා සිටියා ය.
“ඕනෙ ඔයාවයි මගෙ කෙලි පැටියවයි. මට වෙන මනමාලියො බලන්න යන්න ඕන්නෑ. අනවශ්‍ය දේවල් ගැන හිතන්නැතුව ඉන්න හරිද..”
“න්නෑ..”
සයුරංගනා ඇස් පහළට හරවා ගත්තා ය.
“ගිහිං එන්න. අම්මගෙ හිත නරක් කරන්නෙපා”
“අම්ම හිමීට තේරුං ගනී”
“පාරි එයි”
ඇය යන්තම් පිටුපස හැරීමට උත්සාහ කරමින් කීවා ය. ඔහු ගේ සිරුරේ ස්පර්ශ නොවී මිලිමීටරයක් හෝ චලනය විය නො හැකි තරම ය.
“නංගි එන්නෑ”
“අප්පච්චිත් එනව ඇති දැන්”
“මට යන්න කියලද කියන්නෙ…”
“යශෝ..දර…”
කන්දක් වගේ ගැහැනිය නාය යන්නට හැදුවා ය. නමුත් ඇය තවදුරටත් දරා ගත්තා ය. යශෝදර නැවත ද පැන්ට්‍රි කබඩ් එකට හේත්තු විය. ඈත් වුණේ අපරාදේ වැනි ලෝභී සිතිවිල්ලක් මීදුම් දුමාරයක් පරිද්දෙන් සයුරංගනා ගේ සිත වසා ගත්තේ ය. නමුත් ඕ ඒ සිතිවිල්ලට මීදුම අතරේ ම සැඟවී යාමට හැරියා ය.