සීත මාරුතේ -27

බෝඹුරු ඇල්ලට මත්තෙන් මිහිදුම ගලනවා වන් චමත්කාරයක්, ගෙදර ආ පසුත් මා තුළ ශේෂ ව පැවතිණ. ඒ දැනුණා වූ නවසීතන්ත හැඟීමත් එක්ක ම දිය නා ගෙන කුස්සියට යත්දී අම්මා සුවඳ ඉහිරමින් කෝපි වත් කරමින් සිටියා ය. අත් දෙකෙන් ම කෝපි කෝප්පයේ බඳ අල්ලා ගෙන මම අත්ල උණුහුම් කළෙමි.

“කොළඹ අතෑරල ගුරුතලාවෙ එන්න බෑ කියපු දෙන්නනෙ ඉතිං මේ…”

අම්මා එසේ කීවේ නිවාඩුවක් ඇත්නම් අප ගෙදර නො රැඳී ඇවිදින්නට යන නිසා වන්නට ඇත.

“අනේ මේ…මන්නං අද මේ දැන් හරි ආපහු කොළඹ යනව. මෙයානං ඉතිං වැලිමඩ පදිංචි වෙන්න වුණත් බැරි නෑ”

නංගී කී කතාවට මගේ ඇඟ සීතල වී ගියේ ය. දිය නෑමෙන් ඇති වූ අලුත් සීතලක් හඟවමින් මම ස්..ගෑවෙමි.

“ඒ මොකද පදිංචි වෙන්නෙ…”

“ඉඩං අක්කරයක් අරං මං මේ අර්තාපල් ටිකක් දාං ඉන්න කියලනෙ. අනේ මේ ඉන්නව”

ඒ වෙලාවේ මට කරන්නට තිබුණේ එහෙම පවසමින් නංගී ට රවනා එක විතර ය. ඇය සිනහ වී ගෙන මා වැළඳ ගත්තා ය.

“නාලනෙ මෙයා. මං හිතුව තව සුමානෙකටවත් කකුල් හෝදන්නෙ නැති වෙයි කියල”

මගේ පපුව නතර වූවා සේ ය.

“ඒ මොකද කකුල් හෝදන්නෙ නැති වෙන්නෙ…”

“ඇයි අම්මට කිව්වෙ නැද්ද මෙයා…කකුලෙ කූඩැල්ලෙක් එල්ලිලා දෙවනත් වෙන්න කෑ ගැහුවනෙ”

“ආ…ඒක මිසක්…”

“මේගොල්ලංගෙ වැඩේම රස්තියාදු ගහනව. මාව එක්කං යන්නෙ නෑ. ඉන්නවකො මං අප්පච්චිට කියල ඔය ගමන් නතර කරන්න”

මල්ලී කුස්සියට කඩං පාත් වූයේ ම නෝක්කාඩුවකිනි.

“අනේ මේ..ඉස්සෙල්ල ඕලෙවල් කල්ල ඉන්නව. මැත්ස් වලට මාක්ස් කීයද…”

“අනේ යනව බූරුච්චි යන්න”

“හරක් පැටියො. උම්බෑ කියන්නැතුව ඉන්න හොඳේ”

“අම්ම බලන්නකො දෝණි හැම වෙලේම මට ඒව මේව කියනව”

“අඬවන්නද මං ඔහොමම…චැලේන්ජ්…අඬවන්නද….එනව මෙතන ඉලන්දාරිය වෙන්න”

“දෝණි…ඉන්න දෙන්න මල්ලිට…වද දෙන්නෙ නැතුව ඒ ළමයට”

මම නංගීව තල්ලු කර ගෙන කුස්සියෙන් පිට වීමි. මල්ලී ඇය ට විරිත්තුවේ ය. නංගී ඔහු ට ගහන්නට පැන්න පාරට මගේ කෝපි ටිකක් ද ඉහිරිණි.

“මොකද්ද මෝඩි අර අම්ම ඉන්න තැන කියෙව්වෙ..”

“මොකද්ද…”

ඇය ඇඟට පතට නො දැනී ඇසුවා ය.

“කකුල් හෝදන්නැති කතාවක් කිව්වෙ…”

“ආව් මූණෙ පෙම් පාට…කකුල හේදුව පුදුමයි තමයි. මං දැක්කනෙ ජූජකස් මලක් වගේ කකුල අතට ගත්ත හැටි…පූජ කරන්න නෙළුම් මලක් ගත්තා වගේ”

“අනේ මේ…”

හිස් කෝපි කෝප්පය බලෙන් ම ඈ අත තබා මම කාමරයට වැදුණෙමි. දුරකතනය ද ගෙන ඇඳට ගොස් වට්සැප් එකෙන් ඒ පින්තූරය දෙස බලා ගතිමි. එතැන මුණිවර ගේ මූණේ සිනා පොදක් හෝ නැත. ඒකටත් එක්ක ම මම සිනහ වී හිඳිමි. නො කියා හදවත් වල තියෙනා ආදරයක් කෑ ගසා ලෝකයට කියනා පින්තූරයක් සෙයින් මට මෙය දැනේ. මුණිවරගේ රැවුල් කොට වැවුණ කම්මුල මගේ ඇඟිල්ලකින් පිරිමැදුණේ මටත් හොරෙනි. 

ඔහු මට ඒ ඡායාරූපය එව්වේ ඇයි? මගේ දුරකතන කැමරාවෙන් ද මම බෝඹුරු ඇල්ලේ ඡායාරූප ගණනාවක් ම ගතිමි. ඔහු එය මට එව්වේ එහි ම සිටිනා නිසා ද? නැත්නම් ඔහු සිටිනා නිසා ද? නො එසේ නම් අප දෙදෙනා ම සිටිනා නිසා ද? 

මම එම සේයා රුව දුරකතනයේ වෝල් පේපර් එක ලෙස යොදා ගතිමි. මගේ ඒ තරම් ලස්සන ඡායාරූපයක් කිසිවෙකු විසින් ඊට පෙර ගෙන නො මැත්තේ ය. 

දුරකතනය තුරුලු කර ගත් වන මට නින්ද ගොස් තිබිණ. යළි මා අවදි වූයේ අම්මා ගේ හඬිනි. 

“දුවා…අන්න මිස්ට මුණිවර ඇවිත්”

ඒ නින්දේ අතර මගක දුටු සිහිනයක් ද යන දෙගිඩියාව මට විය. මම වහා ඇඳ මත හිඳ ගතිමි. මගේ පපුව මත වූ දුරකතනය ඇඳ මතට වැටුණේ ය.

“ඇයි ඒ…”

මා හැසිරුණේ අම්මා හොල්මන් කතාවක් කී විටෙක මෙන් බියෙන් ය කියා පසුව මට දැනිණ.

“අප්පච්චිත් එක්ක ඇවිත් ඉන්නෙ. නැගිටල එන්නකො”

දුරකතනය කොට්ටය යටට කළ මම වරල අතින් සකසමින් ම කාමරයෙන් ආලින්දයට කර පෙව්වෙමි. ඔහු හිටියේ බරාඳයේ ය. අම්මා උළුවස්සට හේත්තු වී ගෙන සිටියා ය. මේ අව් අස්සේ මොනවා සිදු වන්නට යන්නේ ද? මගේ මුව මත විශ්මයක් වන්නට ඇත.

“ෆෝන් එකත් කුරුල් කරං හොඳට නිදි”

අම්මා මා ගැන මුණිවර ඉදිරියේ කළ අනාවරණය ගැන ලැජ්ජාවක් නො සිතෙන තරමට ඒ වෙලාවේ මා සිටියේ කැළඹීමේ ය. අප්පච්චි හා මුණිවර බරාඳ පුටු වල හිඳ සිටියහ. මා හිටියේ කලබලය පවා පාලනය කර ගත නො හැකි තත්වයක ය.

“අ..ඇයි මිස්ට මුණිවර…”

“අම්…නෑ මන්දාකිණී මේ…”

“මේ ළමය මේ ඉස්කෝලෙට ඇවිත් හිටිය එයාලගෙ වැඩකට. මං කිව්ව ටිකක් අපේ පැත්තට ගිහින් යමු කියල..”

මම සැනසීමකින් පපුව අල්ලා ගතිමි.

“ඇත්තටම…මට පොඩි උදව්වක් ඕන මේ ළමයගෙන්..අපි තේ ටිකක් බොමු නේද දූලයි අම්මෙ…”

අම්මා ගෙතුළට ගියත් මා හා නංගී උළුවස්සේ දෙපැත්ත අල්ලා ගෙන තව දුරටත් ඔවුන් දෙස බලා සිටියෙමු. මේ හදිසියේ අප්පච්චි ට ඔහු ගෙන් ඕනෑ වූ උදව්ව කුමක් ද?

“මේකයි කාරණේ පුතා. කොලේජ් එකේ ඇනුවල් ස්ටාෆ් අවුටින් එක ඕගනයිස් කරන වැඩේ මේ සැරේ මටයි බාර වෙලා තියෙන්නෙ. කොළඹනං ඉතිං මට ඕව වැඩ නෙවෙයි..දන්නැද්ද මේ පලාත ඉතිං මං ඒ තරං හොඳට දන්නෙ නෑනෙ. කොහෙද පුතා අපේ මෙ ස්ටාෆ් අවුටින් එකට හරියන හොඳ ප්ලේස් එකක් තියෙන්නෙ…”

“අම්…ප්ලේසස් නං…තියනව සර් ඕන තරං…ඒත් පහු ගිය අවුරුදු වල ඔය ස්ටාෆ්  අවුටින් එක දාගත්තෙ නැති ස්පෙෂල් තැනක් වුණොත්නෙ හොඳ නේද..”

“අපොයි ඔව්. පිරිමි අපිටනං ඔය කොයි තැනක් නරකක් නෑ. ඒත් ඉතිං දන්නැද්ද මේ බවලත් උදවියට…බොහොම ලස්සන…කෑම බීමත් රස…ඇඳං යන සාරි වලට වුණත් වටිනාකමක් ලැබෙන හොඳ තැනක් වෙන්න එපාය…”

ඔවුන් දෙදෙනා හඬ නගා සිනහ වූයේ පැරණි මිතුරන් දෙදෙනෙකු කලෙකින් හමු වූවා වන් සතුටකිනි. මමත් නංගීත් මුහුණෙන් මුහුණ බලා ගතිමු.

“සර් අපි කදුරුකෙත ජෙට්වින් බුක් කරමු වැඩේට”

“හොඳ තැනක්ද පුතා…මේ ළඟ පාතද තියෙන්නෙ…”

“වැල්ලවායෙ. ලක්සරි හොටේල් එකක්. ඇත්තටම ඒක නැචුරල් ග්‍රීනරි ඒ විදිහටම මේන්ටේන් කරන හොටේල් එකක්. අක්කර ගාණක ලෑන්ඩ් එකක්. වටේ කුඹුරු යායවල්…ගස් කොලන්..හරි ලස්සන එන්වයිරන්මන්ට් එක. අපි ගුරුතලාවෙ ඉඳල යනකොට හපුතලේ- ඇල්ල හරහා පැය දෙකක විතර ගමනක්. හැබැයි කට්ටියට කාලෙකට අමතක වෙන්නැති එක්ස්පීරියන්ස් එකක් වෙයි සර්”

“එහෙනං එච්චරයි. අපි ඒ තැන බුක් කරගමු”

“මං ඒ වැඩ ටික කරල දෙන්නං සර් කතා කරල. කොහොමත් ඔතන මැනේජ්මන්ට් එකේ අපේ ඕල්ඩ් බෝයිස්ලත් නැති වෙන්න බෑ”

“අනේ ලොකු උදව්වක් පුතා වැඩේ ඕගනයිස් කරල දෙනවනං”

ඔහු අම්මා අතින් තේ එක ගත්තේ ඉතා ගරු සරු ඇතිව ය. මට පෙන්වන අහංකාරකම අප්පච්චිට හෝ අම්මා ට ගෑවී හෝ තිබුණේ නැත.  මේ මොහොතේ දීත් හෙතෙම වැරදී හෝ මදෙස නො බලමින් පුරුදු ආඩම්බරකාරයා ගේ චරිතය මට පෙන්වූයේ ය.

“මං හිතුවෙ මන්දාකිණීව හම්බ වෙන්න ආව කියල. ඒකයි මං ඇහැරෙව්වෙ”

අම්මා කීවා ය.

“අපරාදෙ මගෙ නින්ද”

මම බොරු දුකක් පෙන්වීමි. නංගී මදෙස බැලුවේ මොනාට කියනවද ඒ ගැන වැනි බැල්මකිනි.

“ඉතිං දුවා ආයෙ ගිහිං මුල ඉඳන් නිදා ගන්නකො”

මල්ලී ගේ කතාවට මුණිවර හඬ නගා හිනැහුණේ ය. මම මල්ලී ට රැව්වෙමි.

“ඉතිං පුතා කලබලයක් නැත්තං රෑට කෑම ටිකක් එහෙම කාල යමුකො. කොහෙද ඉතිං අපිට ඉක්වයිට් කළාට මොකද තාම ෆාම් එක පැත්තට ඇවිත් යන්නත් බැරි වුණානෙ”

“අනේ තෑන්ක් යූ සර්…දැන් නෙවෙයි. අපි වෙන දවසක ඒ වැඩේ දාගමු”

“මුණිවර අයිය ඉතිං අපි ගිටාර් ගගහ සින්දු කියන්නත් එක්ක දවසක බාබකිව් එකක් ඕගනයිස් කරමුකො”

ඒ මල්ලී ය. මට ඔහු අල්ලා තද කොට සිඹින්නට පවා නො සිතුණා නොවේ.

“ගුඩ් අයිඩියා. එහෙම සෙට් වෙමු මල්ලි”

තේ පානයෙන් පසු මුණිවර නික්ම ගියේ  ගෑනු ළමයෙකු ගේ හදවතක පිරිමියෙකු නිසා සුසර විය හැකි සියලු තත් කම්පනය කොට තබා ය.

අප්පච්චි ඔහු නික්ම ගොස් ද ටික වෙලාවක් යන තුරු මුණිවර ගේ හොඳ කියමින් සිටියේ ය. මල්ලී ට ඔහු ආදර්ශ කොට දක්වමින් උපදෙස් දුන්නේ ය.

“කාටද ආඩම්බර ඉතිං..”

නංගී බලයෙන් ම මගේ කොලරයක් නැති ඇඳුමේ කර එසවූවා ය. ඇය ට බොරුවට බැන්නා ට මා හිටියේ චමත්කාරයක නිමග්න ව ය.

“මේ..අපේ මල්ලි ඉඳල ඉඳල මරු ප්‍රපෝසල් එකක් කළාමයි නේ…කොහෙන්ද හලෝ ඒකාට ඔය බාබකිව් අයිඩියා එක එන්න ඇත්තෙ…”

මම අඳුරට සිනාසුණෙමි.

“හැබැයි ඉතිං වැඩක් නෑ. ඒගොල්ලො නං ඇස් වලිං හරි කතා කරන්නෙ නැතෑ. අපිට ඉතිං වේලි වේලි බාබකිව් චිකන් කට්ටක් හපන්න තමයි වෙන්නෙ”

නිදි යහනේ දී මම ඒ ඡායාරූපය සූම් කරමින් වඩාත් හොඳින් මුණිවර ගේ මුහුණ දකින්නට උත්සාහ කළෙමි. ජීවිතයේ මේ දවස් ශීතල වූව ද උණුහුමක් තැවරී ඇති සෙයක් මට දැනිණ.

‘බොහොම සන්තෝසයි මිස් මන්දාකිණී ගෙ රිප්ලයි එක ගැන. ඉතින් අපි කවදද කතා කරන්නෙ..’ යනුවෙන් කෙටි පණිවිඩයක් නිර්ණාමික දුරකතන අංකයෙන් ලැබී තිබිණි. මා ඊට පිළිතුරු යවන්නට ඉක්මන් වූයේ නැත.

සඳුදා ඇරඹුම ප්‍රීතිමත් ය. මම මල් ගොඩක් තුරුලු කර ගෙන සෙල්ෆි කිහිපයක් ගැසුවෙමි. අලුත් මලක වන නැවුම් බලාපොරොත්තු සහගත බව මගේ ඇස් වල ද මට දැකිය හැකි වූයේ ය. වැඩි වෙලා යන්නට පෙර මුණිවර සිය කුටියට මා කැඳවූයේ ය. නමුත් ලොකුවට කතා කරන්නට විශේෂ යමක් නොවන බවක් මට දැනිණ. ඔහු යම් මානසික නො සන්සුන් බවක් පෙන්වමින් සිටියේ ය.

හදිසියේ ම මුණිවර සිය ජංගම දුරකතනයේ තිරය මවෙත පෑවේ ය. එහි වෝල් පේපර් එක ලෙස ඊයේ ගත් අපේ සේයා රුව යොදා තිබිණ. දෙතොල් තද කර ගෙන සිනහ වෙමින් මම ඉක්මන් කොට මගේ දුරකතනයේ තිරය ඔහු වෙත පෑවෙමි. ඔහු මඳක් මවිත වූයේ ද? අපේ සිත් වල ක්‍රියාත්මක වෙමින් පවත්නා සිතිවිලි සමපාත වෙමින් යන්නේ ද? මගේ සිනහව ටික ටික ලැජ්ජාව විසින් විස්ථාපනය කරනු ලබමින් තිබිණ. ඒ වෙලාවේ නම් මුණිවර ගේ ඇස් වල මම දුක හිතෙනා විදිහේ කතාවක් කියවා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content