“කොහෙද ගියේ මෙච්චරවෙලා?”
තාරා බලාපොරොත්තු නොවූ අයුරින් චිරායු වේලාසන නිවෙසට පැමිණ තිබුනේය. ලඟ තිබූ අමතර යතුරෙන් දොර හැරගෙන තිබූ චිරායු සාලයේ සෙටිය මත වාඩි වී උන්නේද ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන කාර්‍යාලයේ කුමක් හෝ රාජකාරියක ගිලීය.
චිරායු එකී ප්‍රස්නය ඇසුවේත් අසන්නට යුතු නිසාමිස තමා කොහේ ගියත් ඔහුට ගාණක් නැති වග තාරා නොදන්නවා නොවේ. රෑ බෝ වී නිවසට එන කාන්තාවක ගැන වද වන බියවන පිරිමියෙකුගේ හඬ චිරායුගේ වදන්වල තැවරී තිබුනේ නැත.
“එලියට ගියා”
සෙරෙප්පු ගලවා රාක්කය මත තබමින් තාරා එසේ පිලිතුරු දුන්නාය. උඩු මහලට ගොස් ඇඳුම් ගලවා නිදහස් වී සිහිල් දියෙන් ගත දෝවන්නට බලාගෙන තාරා උඩු මහලට යන්නට සැරසුණද චිරායුගේ වදන් ඒ ගමන නැවැත්වීය.
“ඔයා හෙට ඉන්නව නේද තාරා?”
තාරාට චිරායු කියූ දේ මුලින් තේරුණේ නැත. පඩිපෙලේ පඩි දෙක තුනක් නැගි තාරා ආපසු හැරී චිරායු දෙස බැලුවේ ඒ කුතුහලය සමගිනි
“කොහෙද? මොකටද?”
“ඇයි මම උදේ කිව්වෙ අම්මල එන්නෙ හෙටකියල. ඔයාට ඉන්න පුලුවන්නෙ නේද හෙට?”
සිත සැනසුනායයි සිතුවද ඒ මොහොතකට පමණක් බව තාරාට තේරුණේ ඒ මොහොතේය. මෙතෙක් වේලා සිතෙහි වූ සැනසීමත්, නිස්කාන්සුවත් අයිතිත් වලංගු වන්නේත් වයිබ්ස් කැෆේ එකට සහ මහිල්ට පමණක් බවත් මේ නිවස තමාට සතුටෙන් සිටින්නට නොහැකි තැනක් බවත් තාරාට තේරුණේ ඒ මොහොතේය.
මෙතෙක් වේලා සැනසෙමින් තිබූ සිත සැඳෑවේ මේ නිවසින් පිටව යද්දි මෙහි තබා ගිය ලාවා වෙන් රත් වූ වේදනා අංශු වෙත යලිත් වරක් ලංවෙද්දී තාරා පඩිපෙල බැස චිරායු වාඩිවි උන් සෙටිය වෙත ආවේ කෝපවත් ගමනකිනි.
“නෑ චිරායු මම ඉන්නෙ නෑ, සොරි මට කියන්න බැරි උනා”
තාරා කිසිවිටෙක තමා අසලට පැමිණ කෝපවත් හඬකින් එසේ කියනු ඇතැයි බලාපොරොත්තුවක් චිරායුට තිබුනේ නැත. අනික ඇයට මෙතරම් කෝපගන්නට දෙයක් තමා කියුවේත් නැත.
“ඇයි?”
හිඳගෙන උන් තැනින් නැගී සිටි චිරායු එසේ අසද්දි තාරා තව වරක් චිරායු දෙස හොඳින් බැලුවාය. මේ කලක් තමා හදවතින්ම ආදරය කල මිනිසාය. කාලයක් පුරාවට තමාව ආදරයෙන් මුසපත් කර මිනිසාය. තමාගේ රැකරවණය, සතුට, සැනසුම, ජීවිතයම කියා සිතූ මිනිසාය. එහෙත් අද තමාත් ඔහුත් අතර ඇත්තේ කෙතරම් දුරක්ද. තමාත් ඔහුත් ගතින්වත් ලං වූ අවසාන වතාව කවදාද කියා තාරාට මතක තිබුනේ නැත. කොටින්ම තමාට චිරායුගේ සුවඳවත් මතක නෑ නොවේද?
“මගෙන් නෙවෙයි ඔයා ඇයි කියල අහන්න ඕන. ඔයාගෙ අම්මගෙන්. එයා ඇයි මට මෙහෙම කරන්නෙ කියල. සොරි චිරායු මට හෙටත් ඉන්න බෑ. මම මගේ මනුස්සකමට අද වර්ක් ෆ්‍රොම් හෝම්දාලා ඉද්දි ඔයාලා හැමෝම එකතුවෙලා මට සලකපු විදිය කොච්චර වැරදිද? එහෙම කරල තියෙද්දි මම හෙටත් නැවතුනොත් ඔයාලගෙ අම්මල මුලු ජීවිත කාලෙම මාව පාගල දාන්න හදාවි. මට ඒකට ඉඩ තියන්න බෑ චිරායු ඒ නිසා මට හෙට ඉන්න විදියක් නෑ”
“ඔයාට මොකද්ද තාරා වෙලා තියෙන්නෙ? ඇයි හැම තිස්සෙම ප්‍රශ්න ඇතිකරන්න හදන්නෙ? ඇයි ඔයාට බැරි අපේ අම්මල එක්ක හොඳින් ඉන්න.”
“මං ඇත්තටම හිතුවෙ නෑ චිරායු ඔයා මෙහෙම දෙයල් උනාට පස්සෙත් ඒ වැරැද්ද මගෙපිට දාන්න හදාවි කියල. අඩු ගානෙ මම හිතුව ඔයා මටසොරි කියලවත් කියාවි කියල. එහෙමවත් කරා නම් ඇත්තමයි මම හෙටත් නතරවෙන්න උනත් තිබුනා. ඒ උනාටමං ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැති, කෙයාර් නොකරන කෙනෙක් වෙනුවෙන් මං එහෙම කරන්න ඕන කියල මම හිතන්නෙ නෑ”
තාරා හැරී ආපසු පඩිපෙල නගින්න හිතුවාය. එහෙත් එයටපෙර චිරායුට කියන්නට දෙයක් ඇතැයි කියා සිතාමෙන් නතර වී ආපසු හැරුණාය.
“අනික ඔයා හිතනවනම් මම ප්‍රශ්න ඇති කරනව කියල සහ මම ඔයාගෙ ෆැමිලිඑකේ අයට සලකන්නෙ නෑ කියලඔයා ඒ වෙනුවෙන් ගන්න ඕන තීරණේකට මම කියා . මටත් තව දුරටත් මේ රඟපෑමවත් ඉවසීමවත් කරන්න බෑ චිරායු”
තාරා වේගයෙන් ඇවිදගොස් පඩිපෙල නැගී නිදන කාමරයට ඇතුලු වූවාය. වේගවත් හුස්මක් හෙලුවාය. නාන
කාමරයටඇතුලු වී කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බැලුවාය.ඒ දෙනෙත් තිබෙන්නේ මලානිකවී නොවේද?
කොතෙක් සත්කාර කරද මුහුණට විටමින් සී ට්‍රීට්මන්ට් කරද තමන්ගේ දෙනෙත අස්සේ සැංගී තිබෙන හදවත පුරා පැතිරි තිබෙන වේදනාවක අංශු විද්‍යාමාන නොවී තිබෙන්නට ඉඩක් නොමැත. “ඇස් වලින් කියන්න පුලුවන් දුකෙන් ඉන්න බව” කියා මහිල් කියන්නට ඇත්තේ මේගැන වියයුතුය.
එහෙත් තමාගේ ඇස් අස්සට එබී හදවතේ පත්ලේ විසුරුවා ඇති වේදනාව හඳුනාගන්නට තරම් මහිල් තමාට ලං වුනේ කෙසේද? තමන් සමග එකම නිවහන එකම සයනය බෙදාහදා ගන්නා චිරායුට හඳුනාගන්නට නොහැකිවූ වේදනාවක් හඳුනාගන්නට තරම් මහිල් සංවේදී වූයේ කෙසේද?
ඒ ප්‍රශ්නයට පිලිතුරක් සොයාගන්නට සිත වෙහෙසන්නට තාරා සිතුවේ නැත. මුහුණත් ඇඟපතත් සෝදාගෙන නිදන කාමරයට විත් ඇඳේ හාන්සි වෙද්දිත් චිරායු නිදන කාමරයට පැමිණ තිබුනේ නැත. වේලාසන් චිරායු නිවසට එනවා යන්නෙහි තේරුම ඔහු බොහෝ පමා වනතුරු නිදියන්නට එන බව තාරා දනී. ඔහු එනතුරු රෑ දෙගොඩ හරියක් තිස්සෙ අවදි වී හිඳ අවසානයේ නිදිමත පිටින් කාර්‍යාලය බලා ගිය අතීතයක් තමාට තිබූ බව තාරාට මතකය.
නිදියන්නට හිත හදාගත්තද නෙතු පියාගත්තද හිතේ කිසිසැනසුමක් නැති හන්දා නින්ද ලඟ පාතකවත් නැත. තාරා ඇඳේ කිහිපවරක් එහෙටත් මෙහෙටත් පෙරලෙමින් හිඳ දුරකතනය අතට ගෙන මුහුනු පොතේ උඩ පහලකිහිප වරක් සැරි සැරුවාය.
ප්‍රේමය ගැනත් විරහව ගැනත් සබඳතා ගැනත් ලියවුණු කතාන්දර කියවූවාය. දෙනෙත් පියාගෙන නිදිමත දැන් දැන් එතැයි කියා බලා උන්නද හිත තිබුනේ අවදියෙන් නිසාදෝ නිදිමතට එහි එන්නට ඉඩක් තිබුනේ නැත.
මහිල් එවූ පණිවිඩය තාරා සොයා ආවේ ඒ මොහොතේය. මහිල් හිඳින්නේත් නින්දක් නැතුව බව තාරා තේරුම් ගත්තේ ඒ මොහොතේය.
“අයෙ අඬන්න එපා. මට බලන් ඉන්න අමාරුයි තාරා”
ඒ වදන්වල තැවරී ඇත්තේ රැකවරණයකි, හිත ඉල්ලන උණුසුමකි. මහිල් එවූ ඒ පණිවිඩයට පිලිතුරක් දියයුතුය. එහෙත් කිව යුත්තේ කුමක්ද? නින්දක් නැති රැයේ තමා වෙනුවෙන් ඇහැරී හිඳ මෙවන් පනිවිඩයක් එවන්නට කටයුතුකල මහිල්ට කතා කරන්නට තිබුනා නම් හොඳ බව සිතුවද මේ රැයේ තරුණයෙකුට කතා කිරීම කොපමණ හොඳ ද කියා තාරා දෙවරක් හිතුවාය.
අනෙක් අතට මහිල් හිතමින් උන්නේද එයයි. තාරා වට්සැප් පණිවිඩය කියවා ඇති බවට එහි කෙලවරකින් පෙන්නුම්.කරන නිල් පැහැ හරි සලකුණු දෙක කියද්දි තාරා අමතන්නට තිබුනා නම් හොඳ බව මහිල් හිතුවේය. එහෙත් ඇය අසල ඇගේසැමියා හිඳින්නට හැක. තමාගෙන් ඇමතුමක් මේරැයේ ලැබීම බිඳ වැටෙමින් පවතින ඇගේ විවාහය තවත් ඉරිතලා යන්නට හේතුවක් වන්නට බැරිද?
“කැන් අයි කෝල් යූ?”
තාරාගෙන් මහිල්ටත් මහිල්ගෙන් තාරාටත් එකම ප්‍රශ්නය හුවමාරු වූයේ එකම.මොහොතේය.ඒ දෙතොල් මත මද සිනාවක් නගන්නට හේතුවක් විය.
“නිදි නැද්ද?”
මහිල්ගේ පසින් ඇසෙන්නේ නිදිබර බවින් පෙඟූණු හඬකි. ඒ උගුරයටින් එන්නකි. එ හඬ සිට්ත තිගස්සන්නට හේතුවන හඬකි.
“නින්ද යන්නෙ නෑ”
වයස තිස් ගණනක ගැහැණියකට ඔරොත්තු නොදෙන අන්දමේ සිහින් හඬකින් කිව්වාය.
“ඇඬුවෙ නෑ නේද?” මහිල් එහෙම අහද්දී සියල්ල කියා හඬන්නට තිබුණානම් මොනතරම් අපූරුද කියා නොහිතුනා නොවේ. ඒ තරම් බරක් හිත පත්ලේ තිබෙන බව තාරාට දැනුණි.
“නෑ”
“අඬන්න එපා හොඳේ. මට හරිම දුක හිතුනා ඔයා අඬනව දකිද්දි”
“ම්ම්ම්”
“වැඩිය කතා කරන්න ඕන නෑ, රෑත් වෙලානෙ. හෙට වැඩට යනවනෙ. උදේට ඇහැරෙන්න අමාරු වෙයි. ම්ම්”
“ඔයත් නිදාගන්න එහෙනම්”
“හා”
“හෙට ඔයා එනවද වයිබ්ස් එකට”
“ඔයා එන නිසා මමත් එන්න කියල තමයි හිතුවෙ. ඒඋනාට මට හෙට හවස පොඩි වැඩක එලියට යන්න තියෙනව. යාලුවෙක්ගෙ වෙඩින් එකක වැඩකට. එද්දි පරක්කු වෙන්න පුලුවන් ටිකක්”
“ම්ම්ම්”
“මම තියන්නම් එහෙනං ඔයා නිදාගන්න හොඳේ” කියා කිව්වාටතාරා දුරකතනය තබන තුරත් මහිල් එහි රැඳී උන්නේය.
ඒ මොහොතේ දැනුන හැඟීම කුමක්ද? ඒ වදන් කරන්නට අපහසු හැඟීමකි.