සතුටු මන්තර 47

සෙනසුරාදා උදයෙන් ම සැලෝන් එකට විත් යශෝදර කොණ්ඩා රැවුල් කපා ගත්තේ ය. නැත්නම් සති අන්තයේ පෝලිම දිගු ය. යතුරුපැදිය ළඟට විත් හෙල්මට් එක අතට ගත්දී ම “යශෝදර” කියනා ගැහැනු හඬක් නැඟිණ. යාබද වෙළෙඳ සැලක සිට කඩිනම් ගමනින් ඔහු වෙත එමින් සිටියේ ශක්‍යා ය.

“ශක්‍යා…”

යශෝදර යළිත් හෙල්මට් එක බයිසිකලයේ හැඬලය මත එල්ලී ය. ශක්‍යා ගේ විඩාපත් මුව මත සිනහවක් නැගුණේ කාන්තාරයක මලක් මෙනි.

“කොහොමද යශෝදර…අනේ මට ඔයාට කතා කරන්න හොඳටම ඕනකම තිබුණ. ඒත් අර පැත්තෙ එන්නවත් හිතක් තිබුණෙ නෑ. අපේ අයිය නැති වුණත් හරි…මේ දේවල් මෙහෙම වෙයි කියලනං හිතුවෙවත් නෑ”

“මට කතා කරන්න ඕන වුණා කිව්වෙ…මොනාද ශක්‍යා…කියන්න…”

“මංජුලයි ඔයයි මේ හන්දියෙ ප්‍රශ්නයක් ඇති කර ගත්ත කියල මට ආරංචියි. අනේ මට හරිම අවුල් යශෝදර”

යශෝදර හිස කේ අතින් සකසමින් අඩ සිනහවක් පෑවේ ය. ඔහු ගේ ඔය ඉරියව්වට නව යොවුන් වියේ පටන් වසඟ වී හිටි හැටි  සිහි වී හදවතෙහි සෝදාපාළුවක් වූවා සේ  ශක්‍යා ට දැනිණ.

“මේව කවදාවත් වෙන්න තිබුණ දේවල් නෙවෙයි. රංගනා නිසා තමයි මේ හැමදේම…”

“මිටි තැනින් වතුර බහිනව වගේ හැම එකටම ඒ කෙල්ලව අල්ලගන්න එපා ශක්‍යා. එහෙම දෙයක් වුණේ මංජුල නිසා. ඒ කෙල්ල ගිම්හාන් නැති වෙලා තනි වෙලා ඉන්න වෙලාවෙ මංජුල ගෙට රිංගල කරදර කරන්න හදපු එක හරි කියලද ඔයා කියන්නෙ…”

“යශෝදර පිරිමි නිකංම එහෙම හැසිරෙනවද…එයා මායං දාල ඇස් කරකෝල හිනා වෙලා අහක ඉන්න පිරිමි අවුස්සගෙන…ඊළඟට මෙතන ලෝකෙට පේන්න හොඳ ගෑනි වෙන්න හදනව”

“කවුද මංජුලද කිව්වෙ සයුරංගනා මායං දාල එයාව අල්ලගන්න හැදුව කියල..”

යශෝදර ට සිනහ ගියේ ය. ඒ සිනහව පාලනය කර ගැනීම ඔහු ට තරමක් අසීරු වූවා සේ ය. ශක්‍යා මූණ නරක් කර ගත්තා ය.

“ඔයාට මාව තමයි තේරුං ගන්න බැරි. අනිත් ගෑනු ඔක්කොම ඔයාට හොඳයි”

එය මේ මොහොතට අදාල නොක්කාඩුවක් නොවේ. යශෝදර වහා ම සිනහව නවතා ගත්තේ ය. ඇය ඔහු ගැන උනන්දුවෙන් පසු වූ අතීත දවස් යශෝදර ට අමතක වූවා නොවේ. නමුත් ශක්‍යා තවමත් ඒවා මතක තියාගෙන සිටිතැයි ඔහු නිකමට හෝ සිතුවේ නැත. ඒ කාලේ ම ඇය මංජුල සමගින් සම්බන්ධකමක් ඇති කොට ගෙන විවාහ වූවා ය. ඉතින් මේ වෙලාවේ ශක්‍යාගෙන් එවන් ප්‍රකාශයක් යශෝදර කිසි සේත් බලාපොරොත්තු වුණේ නැත.

“ඒ කාලෙත් ඔයා මාව තේරුං ගත්තෙ නෑ. ඒක එහෙම වුණානං මේ කිසි දෙයක් මෙහෙම වෙන්නෙ නෑනෙ”

කතාව ගමන් කරන්නේ වෙනත් මාර්ගයකට බව ඉවෙන් වාගේ යශෝදර ට වැටහිණ. එබැවින් ඔහු යළිදු හෙල්මට් එක අතට ගත්තේ ය.

“පොඩ්ඩක් ඉන්න යශෝදර. මං කතා කරල ඉවර නෑ. මංජුලව මං කසාද බැඳපු එක ගැනත් ඔයයි වගකියන්න ඕනෙ. හරි ඒක එහෙම වුණා කියමු. හැබැයි ඊට පස්සෙ මං මගෙ පාඩුවෙ මගෙ ජීවිතේ ගත කළා. හැබැයි ඔයා මේ මොනාද දැන් කරන්නෙ…කනවැන්දුං වෙච්ච ගෑනියෙක් වාහනේ දාගෙන රට වටේ රවුං ගහනව”

“ශක්‍යා…මං හිතන්නෙ ඔයා අදාලම තැන තැනකටයි ඔය අත තියන්න යන්නෙ. ඔය ගැන දිගට කතා කරන්න ගිහින් මගෙ අතින් ඔයාගෙ හිත රිදෙනවට වැඩිය හොඳයි මං යන එක”

කියමින් යශෝදර හෙල්මට් එක පැළඳ ගත්තේ ය.

“ඔයාට කිසිම අයිතියක් නෑ මංජුලට ගහන්න…ඒකත් මේ කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා”

එවර ශක්‍යා සිය හැඟීම් කෝපයකට පෙරළා ගත්තා ය. යශෝදර එදා වාගේ ම අදත් ඇයට සිය හැඟීම් ඔහු ඉදිරියේ නිරාවරණය කරන්නට දෙන්නේ නැත. යශෝදර බයිසිකලය හරවා ගෙන එය පණ ගැන්වූයේ ය.

“එදා එහෙම බේරුණා. හැබැයි ආයෙම මංජුල සයුරංගනා ට මොකක් හරි පාට් එකක් දාගෙන ආවොත්නං…අණ්ඩක් කඩලයි යවන්නෙ. ඔයා ඒක කියලම තියන්න. යන්නං”

ශක්‍යා ට එහෙම ම බිම හිඳ හඬන්නට සිතිණ. ඇගේ ගැහැනු හැඟීම් ගැන ඇයට ම දුක ය. යශෝදර කවදාවත් ඒවාට වටිනාකමක් දුන් මිනිසෙකු නොවේ. නමුත් ඔහු සයුරංගනා ගැන ඕනවටත් වැඩිය සිතයි.

“ඒකි දන්න මායං අපිට ඉගෙනගන්න බැරි වුණානෙ”

අන්තිමට ඇය ඇගේ හිත සනසා ගත්තේ එසේ සිතා ය.

සයුරංගනා පාරමී හා එසඳි සමගින් ට්‍රයඩැක්ස් මිටියාවතේ කොට්ටම්බා ගහ යට හෙවනේ හිඳ සෙල්ලම් බත් ඉව්වා ය. එසඳි ට විනෝද ගමන අතරතුර දී යශෝදර ගෙන දුන් සෙල්ලම් වලං කදෙන් ඇත්ත සෙල්ලම් බත් උයන්නට ම ඕනෑ විය. ඒ අනුව කිරි උතුරුවන්නට ගෙනා කුඩා ළිපට දර දමා, හාල් මිටක් සෝදා කුඩා මුට්ටියෙහි තැම්බෙන්නට තැබුවේ පාරමී හා සයුරංගනා ය. ඒ සෙල්ලම් ගේ අතරේ පාරමීත් සයුරංගනා ත් කතා කළේ සෙල්ලම් ගෙවල් දැමූ ඔවුන් ගේ ළමා විය පිළිබඳවයි.

“සෙල්ලම් ගෙවල් හදල මහ කාලයක් ගෙවෙන්නත් කලින් ඇත්ත ගෙදරක මනමාලි වෙලා ඇත්ත බත් උයන්න වෙයි කියල මන්නං හීනෙකිංවත් හිතල තිබ්බෙ නෑ පාරි. කිසිම ගෑනු දරුවෙක් එච්චර ඉක්මනට බඳින්න ඕන නෑ කියලයි මටනං හිතෙන්නෙ. නිදහසේ…ඕනතරං කල් අරං ඒ තීරණේ ගන්න තරං ඉවසීමක් හැම ගෑනු ළමයෙක්ටම තියෙන්න ඕනෙ. මගෙ එසඳි කෙල්ලටනං ළමා වයසයි තරුණ වයසයි හොඳටම විඳල බඳින්න කියල දවසක මං කියල දෙනව”

ඇගේ දෙතොල් අතරේ මඳහසක් වූවා ට ඒ මඳහස යටින් සරැලි නගනා සංවේගයක් වන බව පාරමී ට හැඳිනිය හැකි විය.

“ඇත්ත. මං තාමත් හොයනව මට කවදාවත් එපා වෙන එකක් නෑ කියල හිතෙන කොල්ලෙක්. ටික දවසක් ළඟින් ඉන්නකොට ගොඩාක් අඩුපාඩු පේන්න අරං එපා වෙන්නැති විදිහෙ කෙනෙක්. බැන්නත් සැර කළත් වෙනස් වෙන්නැති ආදරයක් තියෙයි කියල හිතෙන පිරිමියෙක්. කුරුලු පැටියෙක්ට තාත්තගෙ අම්මගෙ අත්තටු අස්සෙ දැනෙන ආදරේ රැකවරණෙ වගේ හැම හැඟීමක් ම අඩු නැතුව දෙයි කියල හිතෙන පිරිමියෙක්. හුරතල් වෙන්න ඕනනං එහෙමයි…අඬන්න ඕනනං එහෙමයි…රණ්ඩු වෙන්න ඕනනං එහෙමයි…ඒ කොයි වෙලාවෙදි වුණත් එකම ආදරේකිං මාව දරාගන්න පුළුවන් පිරිමියෙක්…”

“ඔයා වගේ හොඳ කෙල්ලෙකුට එහෙම කෙනෙක් මුනගැහෙන්නැති වෙන එකක් නෑ. හම්බ වෙනකල් ඉවසන්න පුළුවන්ද කියල බලනව ඇති සොබා දහම”

“එයා අපේ අයිය වගේ කොල්ලෙක් වෙන්න ඕනෙ. එහෙම එකෙක් හම්බුණ ගමන් මං බඳිනෝ”

යශෝදර ඒ වාගේ අත් තටු දෙකක රැකවරණය තනනා පිරිමියෙකු බව දැනටමත් සයුරංගනා හැඳින ගෙන තිබේ!

යශෝදර ගේ යතුරුපැදිය පෙත් මගට හැරිණ. කොට්ටම්බා ගහ යට සෙල්ලම් ගෙදර දුටු ඔහු ට්‍රයිඩැක්ස් මිටියාවතට බයිසිකලය හැරවී ය.

“හොඳයි අපාචි ආපු එක…දැං මට ඔයාටත් මගෙ බත් මුට්ටියෙන් බත් කවන්න පුළුවන්”

එසඳි අත්පුඩි ගසමින් උඩ පැන සතුට පළ කළා ය.

“මතකද අයියෙ ඉස්සර අපි ගිම්හාන් අයියලගෙ ගෙදර ගිහිං සෙල්ලං කරනව. දවසක් ශක්‍යා අක්ක මීටත් වැඩිය ලොකු වළං වල සෙල්ලම් බත් ඉව්ව මට හොඳට මතකයි”

යශෝදර ගේ මුවට සිනහවක් නැගුණේ ඒ අතීතය සිහි වී නොවේ. මීට මඳ වෙලාවකට පෙර ශක්‍යා කියූ දෑ සිහි වී ය. ඇය ඉතා ඉක්මනින් වියපත් පෙනුමක් අත් කර ගෙන යයි හදිසියේ ම ඔහු ට සිතිණ.

“මෙයාගෙ මූණට ආපු හිනාව දැක්කද රංගි…”

“හ්ම්..ඇයි ඒ..”

“ශක්‍යාගෙ ක්‍රශ් එකනෙ මෙයා ඉතිං..”

“එහෙමත් එකක්ද…අදනෙ ඒක දන්නෙ”

යශෝදර ගේ මුහුණේ වූයේ ලැජ්ජාශීලී සිනහවකි.

“කවුරුවත් හිතං ඉන්න දේවල් ගැන අපිට වගකීමක් ගන්න බෑනෙ”

එසඳි සෙල්ලම් ඇතිලි වලට කොළ හා ගෙඩි වර්ග දමාගෙන බොරුවට ඉව්වා ය. ඒ අතරේ පාරමී, සයුරංගනා හා යශෝදර බොහෝ දේ කතා කළහ. සයුරංගනා ට ගෙදරින් යෝජනා වී ඇති විවාහය ද ඒ අතරින් එකකි.

“ඔයා බඳින්න ඕන කියන එක ගැනනං තර්කයක් නෑ රංගි. හැබැයි ඔයා බඳින්න ඕන අර ඉස්සල්ල අපි කතා වුණ විදිහෙ…ඔයා කැමති කෙනෙක්ව..නැතුව සල්ලි තියන නිසා සැපට ඉන්න පුළුවන් කියල කවුරුහරි මිනිහෙක්ව නෙවේ”

“කොයි විදිහෙ කෙනෙක්ටලුද මෙයා කැමති…”

යශෝදර එසේ විමසුවේ පාරමී ගේ කතාවෙන් යමක් අල්ලාගෙන ය. ඇය අයියා ව තල්ලු කොට දැමුවා ය.

“ඒක අපේ කතාවක්. ඔයාට වැඩක් නෑ”

මල්කාන්ති ගේ මනමාලිය ගැන කතාව යටපත් වී තිබි නිසා සෙනසුරාදාව සතුටෙන් ගෙවී යමින් තිබිණ. නමුත් රෝගයක් වුණත් යටපත් වීම හා සුව වීම අතරේ පැහැදිලි වෙනසක් වන්නේ ය!

තිලකා දවල් කෑම වෙලාව අල්ලා පුතා ගේ ගෙදර ආවා ය. මංජුල ගෙදර සිටින නිසා ඇයට යම් නිදහසක් ලබා ගත හැකි විය. සයුරංගනා ට ගෙදරින් ගෙන ආ යෝජනාව ගැන ජයරත්න ගෙන් දැනගත් වෙලාවේ සිට ඇය සිටියේ මෙහි එන නො ඉවසිල්ලේ ය.

“මගෙනං කිසී විරුද්දත්වයක් නෑ රංගනා ආයෙ බඳිනවට. මොකද මැරුණ කෙනා මත්තෙ මැරෙන්න බෑනෙ. මගෙ දුවට එහෙම වුණත් අපිට එහෙම දෙයක් කරල දෙන්න වෙනව”

ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි, සයුරංගනාලා සිටි තැනට ම විත් ඇය කතාව පටන් ගත්තා ය.

“ගොනා හැරෙන්නෙ පොල් පැළේ කොයි අත්ත කන්නද දන්නෑ”

පාරමී එසේ සිතුවා ය. එය කටින් කියාගන්නට බැරි වීම ගැන ඇය නළියන්නට ද වූවා ය.

“අප්පච්චිට වුණත් හැමදාම තනි රකින්න බෑනෙ. මේ කෙළි පොඩ්ඩිවත් හදාගෙන ඉන්න පුළුවන් තැනක්නං…මං කියන්නෙ රංගනා ඒකට කැමති වෙලා එහෙ යන්න. මේ ගේ ඉතිං කෙල්ල ලොකු වෙලා ආවත් කවුරුවත් අයිති කරගන්නෙ නෑනෙ”

ඇයට ඕනෑ දෙයක් කියා ගන්නට හැර සයුරංගනා ට පාඩුවේ ඉන්නට තිබිණ. නමුත් යශෝදර ඒ කතාවට පැටලේ යයි බියෙන් ඇය ඉක්මන් වූවා ය.

“නෑ මං ඒකට බෑ කිව්ව අම්මෙ”

“බෑ කියල කොහොමද…තනියම මේ ගෑනු දරුවෙක් ලොකු කරන එක සෙල්ලමක් කියලද හිතන්නෙ…නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ. එතකොට එක එකාල කූරු ගහන්න එන්නෙත් නෑනෙ. මන්නං කියන්නෙ අවුරුද්දෙ දානෙ දෙනකල් ඉන්න ඕනනෑ. මාස තුනක් යන්න කලින් ආයෙ බැඳපු අය ඕනතරං මං දැකල තියනව. මෝඩ නොවී රංගනා ඒකට කැමති වෙන්න”

“අපි කිව්වෙත් කාට හරි කැමති වෙන්න කියලයි ඇන්ටි. චැනල් එකේ ලොක්කෙක් අහලත් මෙයා බෑ කියලනෙ”

පාරමී කටට ආවාට බොරුවක් කියා ඇත්ත වාගේ සිටියා ය. සයුරංගනා ඇදෙස බැලුවේ නෙතු මහත් කොට ය.

“ඒකත් එහෙමද…එහෙනං මගුල් සක්වලයි වගේ. බලමුකො එහෙනං අන්තිමට කවුද කරගහන්නෙ කියල”

කියමින් ඇය ගේ දෙසට යන්නට හැරුණා ය. සයුරංගනා ට ඉවසා ගත නො හැකි විය.

“අම්මෙ මාව කවුරුවත් කරගහන්නනං ඕන නෑ. මොකද මං අබ්බගාත නෑනෙ. කොහේ හරි වැටිල කාගෙං හරි කන්න අඳින්න ඉල්ලගන්න නෙවෙයි කෙල්ලෙක් කසාද බඳින්න ඕනෙ. ආදරෙන් සතුටෙන් ජීවිතේ බෙදා ගන්න කෙනෙක්ව. මාව නඩත්තු කරගන්නනං මට පුළුවන් අම්මෙ”

තිලකා මොහොතක් නතර වී ලේලිය දෙස බලා හිඳ පය ඉක්මන් කළා ය. ඇය මොනවාද කුටු කුටු ගාමින් ගිය ද සයුරංගනා ට ඒ ඇසුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles