අහේතුක සැකය නිසා බිඳෙන්න ගිය කැදැල්ලක්

“මේ තේ කෝප්පෙ කාගෙද?”

මධුර සාලෙ මැද්දෙ හිටගෙන මූන රාක්ශයෙක් වගේ කරගෙන අමීශා දිහා බලාගෙන උන්නෙ අතත් දික්කරගෙන. මධුර අත දික්වෙලා තිබ්බෙ කොහෙටද කියල බලද්දි තමයි අමීෂා දැක්කෙ ඒ උදේ මධුරම තේ බීල තියල ගිය කෝප්පයක් බව.

මධුර ගෙදරට තේ බොන කෝප්පෙ බිඳිල දැන් දවස් කීපයක්. ඉතින් අලුත් කෝප්පයක් ගන්නකම් කියල අමීශා මේ ටිකේම මධුරට තේ දාල දුන්නෙ කවුරුහරි ආවම දෙන කෝප්පෙක.

“ඇයි අනේ ඔයා උදේ තේ බීපු කෝප්පෙනෙ. මං හැමදාම කියනවනෙ අනේ තේ බිව්වම කෝප්පෙ සින්ක් එකෙන් තියන්න කියල” කූඹි වහල උන්න කෝප්පෙ අරගෙන ආපහු හැරිච්ච අමීශා කුස්සියට යන්න හැදුවෙ. උදේ ඉදල මහන්සිවෙලා ඇඟට මහන්සි නිසා ඉක්මනට ඇඟ සෝදන් නිදාගන්නයි අමීශාට ඕන. රැට උයලත් ඉවර කරල ඉද්දි තමා මේ මධුර කෑගහනව ඇහුනෙ.

“මං බීපු කෝප්පෙ? උඹ කාව රවට්ටන්නද මේ බොරු කියන්නෙ? ආ කියපන්, මං නැති අතරෙ උඹ කාවද මේ ගෙට වද්ද ගත්තෙ කියපන්”

කොහෙද ආපහු හැරිල යන්න උස්සපු කකුල බිම තියන්න උනේ නෑ මධුර අල්ල ගත්තෙ අමීශාගෙ කොන්ඩෙන්. මේක ඉතින් අමීශාට නුපුරුදු දෙයක් නෙවෙයි. සතියට තුන් හතර පාරක්ම අමීශා ඇහැටවත් දැකල නැති අමීශාගෙ හොර මිනිස්සු ගැන කියල මධුර අමීශාට ගුටි බැට දෙනව. රටේ නැති කතා හදනවා.

“මොකද්ද මධුර ඔයාට වෙලා තියෙන්නෙ? මම ඔයාට කොච්චර කියනවද මට වෙන මනුස්සයෙක් නෑ දෙයියනේ. කොච්චර කිව්වත් ඇයි ඔයාට මාව විශ්වාස නැත්තෙ?”

“විශ්වාස? උඹව විශ්වාස කරන්න, රටේම තියෙන වනචරකම් කරල උඹ එනවද මෙතන තව මගෙන් විශ්වාසයක් ගැන අහගෙන. ඉඳපන් මං උඹට අද කරන්න..”

තමන්ට දැන් මේක පුරුදුයිනෙ කියල ඉවසගෙන ඉන්න තවත් බැරි බව හිතපු තැනමයි අමීශා මාව මුණ ගැහෙන්න ආවෙ. අමීශා හිටියෙ කසාද ජීවිතේ විතරක් නෙවෙයි ජීවිතයත් එපා වෙච්ච තැනක. කොච්චර හොඳට විවාහ ජීවිතේ ගෙවන්න පුලුවන්කම තිබුනත් මධුර ගෙ මේ අහේතුක සැකය එක්ක තමන්ට වෙන කරන්න දෙයක් නෑ කියල හිතලමයි අමීශා උපදේශනයට ආවෙ.

“මට ඇත්තටම වෙන සම්බන්ධයක් නෑ. මම ඒක කොච්චර කිව්වත් එයා පිලිගන්නෙම නෑ. කොටින්ම මට ෆේස්බුක් යන්නවත්, දන්න අඳුරන පිරිමි කෙනෙක් එක්ක කතාකරන්නවත් ඉඩක් නෑ.

ඔෆිස් යනව උදේම, හිටපු හැටියෙ දවල් වරුවෙ ගෙදර එනව මගෙ හොර අල්ලන්න කියල. මට දැන් එපාවෙලා තියෙන්නෙ. ඒ මදිවට මේ මනුස්සය අපෙ අම්මලට, එයාගෙ අම්මලට මගෙ යාලුවන්ට පවා කියල තියෙන්නෙ මට වෙන සම්බන්ධයක් තියෙනව කියල.

ඒ මිනිස්සු හිතන් ඉන්නෙ ඒක ඇත්ත කියල. මට මේ දුක කියන්නවත් කෙනෙක් නෑ. මට එපා වෙලා තියෙන්නෙ. මම දන්නෙ නෑ මොකද්ද මම කරන්න ඕන කියලවත්”

අමීශා උන්නෙ විශාදය තත්ත්වයකට ඇදවැටෙන්න හැකියාවක් තියෙන තැනක.

මධුරගෙ තියෙන මේ ගති එක්ක විවාහ ජීවිතය දෙස ධනාත්මක ඇසකින් බලන්න පුලුවන්කමක් අමීශාට තිබුනෙ නෑ.

මේ වගේ හැසිරීම් රටා තිබෙන පිරිමින් (විශේෂයෙන්ම) අපිට සාමාන්‍ය ජීවිතයෙදි හමුවෙනව. එහෙම නැතිනම් අහන්න දකින්න ලැබෙනව. මේ අධික සැකය: හේතුවක් නොමැතිව ඇතිවන අධික සැකයට උපදේශනය හෝ ප්‍රතිකාර ලබා නොදීමෙන් එය මානසික රෝගයක් දක්වා විහිද යන්න හැකියාවක් තියෙනව.

මනෝ උපදේශනයෙදි මේ මධුර වැනි පුද්ගලයන්ට තියෙන මානසික රෝගය අපි හඳුන්වන්නෙ ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියන නමින්.

මෙම රෝගය Morbid jealousy යනුවෙන්ද හදුන්වයි. මෙම රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා/පෙම්වතිය/සැමියා බිරිද එසෙත් නැතිනම් තම ලිංගික සහකරු අහේතුකව සැකකරනව. මෙය ලිංගික ඊර්ෂියාවක් ලෙසත් හඳුන්වන්න පුලුවන්. මෙම රෝගයට මෙම නම ‍යොදාගන්න හේතුව වුනේ විලියම් ෂේක්ස්ෆි‍යර් විසින් රචිත ඔතෙලෝ නම් අති විශිෂ්ට ග්‍රීක නාටකය. එම නාටකයේදී අහේතුක සැකයක් නිසා තම බිරිඳ අමානුෂික ලෙස මරා දමන සැමියකු ගැන හෙලිකරනවා.

රෝග ලක්ෂණ සලකා බැලීමෙදි මට තේරුම්ගන්න හැකියාව ලැබුණා මධුරත් පීඩා විඳින්නෙ මේ ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියන මානසික තත්ත්වය නිසාවෙන් බව.

ඔතෙලෝ සින්ඩ්‍රෝමය තියෙන පුද්ගලයෙකුගෙන් අපිට දකින්න ලැබෙන මූලික රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.

තම සහකරු/සහකාරිය අනෙත් පුද්ගලයන් දෙස බැලීම හා අවධානය යොමු කිරීම ගැන දෝෂාරෝපණ එල්ලකිරීම, තම සහකරු/සහකාරියගේ හැසිරීම ගැන නිතර ප්‍රශ්න කිරීම, සහකරු/සහකාරියට ලැබෙන දුරකතන ඇමතුම් නිර්නාමික දුරකතන ඇමතුම් හදිසි ඇමතුම් ගැන සැක සිතීම, ෆේස්බුක්, ට්විට්ටර් වැනි සමාජ මාධය භාවිතා කිරීමට නොදීම, නිතර නිතර තම සහකරු/සහකාරිය සිටින ස්ථානය හා කා සමග සිටීද යන්න සොයා බලන එක, පවුලේ සමාජිකයන් හා මිතුරන් සමග ඇසුරු කිරීම පවා වරදක් විදියට දැකීම, නිවසින් පරිබාහිරව විනෝදංශ වලට යාම මිතුරු ඇසුරට තහංචි දැමීම,  සමාජමය ක්‍රියාකාරීත්වය නිතර පාලනය කිරීම, දැනටත් පෙම් සබදතාවක් හෝ රහස් ලිංගික සබඳතාවක් ඇතැයි කියමින් එය නවතා දමන ලෙස බල කිරීම වගේ ලක්ෂන රැසක් මේ වගේ රෝගී තත්ත්වයකින් පෙලෙන කෙනෙකුගෙන් දකින්න පුලුවන්.

මුල් උපදේශන සැසි සඳහා සහභාගි වෙන්න මධුර කැමති උනේම නැහැ. නමුත් අමීශාගේ ඉල්ලීම පරිදි සැසි වලට සහභාගි වුණ මධුර සැසි කිහිපයක් යද්දි තේරුම් ගත්තා තමන් අමීශාව සැක කරල තියෙන්නෙ අහේතුකව කියල.තමන්ගෙ සැකයට මූලික වෙච්ච හේතුවක් නැති බව වගේම තමන් නිසා අමීශාට විශාදය වගේ රෝගී තත්ත්වයක් වුණත් හැදෙන්න ඉඩකඩ තිබෙන බව.

නිසි ප්‍රතිකාර සහ උපදේශනය මත මේ තත්ත්වයෙන් ටිකෙන් ටික මිදෙන්න මධුරට හැකියාව ලැබුණ. ඒකට ලොකුම හේතුව අමීෂා විසින් මධුරව උපදේශනයට යොමු කිරීම.

ඉතින්, මෙවන් හැසිරීම් රටා අපිට සමාජයේ බහුලව දකින්න ලැබෙනව. ඔබේ සහකරුත් එහෙම කෙනෙකු වීමට ඉඩක් තිබෙනව. ඔහුගෙන් මේ වගේ හැසිරීමක් ඔබ දකිනවානම් ගත යුතු හොඳම පියවර මානසික ප්‍රතිකාර හෝ උපදේශනයට ඔහුව යොමු කිරීම.

ඒ ඔස්සේ ඔබේ විවාහ දිවියට, සබඳතාවයට ඇතිවන අහිතකර බලපෑම් අවම කරගෙන යහපත් සබඳතාවයක් ගොඩනගා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.

ඉතින් මෙවන් හැසීරිමක් නිසා ඔබ පීඩා විඳිනවානම්, අපිට කතාබහ කරන්න.

අපි හොඳින්ම දන්නා හඳුනන, වෘත්තිය උපදේශකවරුන්ගේ සහය ඔබ වෙත ලබා දෙන්න Smart lady අපි සූදානම්!

Related Articles

Don't Miss


Latest Articles