“මට හිත හදාගන්නබෑ මහිල් චිරායුට වෙච්ච දේ මතක් වෙද්දි. මට හිතෙන්නෙම එයාට එහෙම උනේ මං හින්ද කියල”
තාරා උන්නේ චිරායුව රෝහලේ සිට නිවසට කැඳවාගෙන එනු පිණිස යන්නට සූදානම් වෙමිනි. මහිල් කතා කරේ ඒ මොහොතේය. කාර්‍ය්බහුලත්වය නිසාවෙන්ම මහිල්ව හමුවන්නට තබා කතා කරන්නටවත් ඉඩකඩක් ලැබුනේ නැතිතරම් ය.
මහිල්ට කතා කර චිරායු අසනීපයෙන් බවත්, හදිසි හදවත් රෝගයක් නිසාවෙන් රෝහල් ගත කර බවටත් පවසන්නට තාරා ඒ කාර්‍යබහුලකම අතරින්ම ඉඩක් සොයාගත්තාය.
මහිල් ඉන් කැලඹුනේ නැතැයි කියන්නට නොහැක. මොන දේ උනත් ඒ තාරාගේ ස්වාමි පුරුශයාය. ඔහු අසනීප වී හිඳී. එයත් සුලුවෙන්තැකිය හැකි අසනීපයක් නොවේ.හදවත් රෝගයකි. ඒ හදවත බිඳීම පිටිපස චිරායු නොදැනුවත්වම හෝ තමා රැඳී ඉන්න බව මහිල් දැන උන්නේය. දරාගන්නට අපහසු එයයි.
“ඔයා එහෙම හිතන්න එපා. අපි චිරායුව ඉක්මනට සනීප කරගන්න බලමු. ඔයාට මොනව හරි උදව්වක් ඕන නම් මට කියන්න හොඳේ” කියා මහිල් තාරාට කිව්වේ තාරා කියූ දේට එකඟ වන බව කියන්නට නොහැකි නිසාවෙනි. මේ එවන් දෙයක් කියන්නට වේලාව නොවේ.
“චිරායු කවද්ද ගෙදර එක්කරගෙන එන්නෙ?”
“අද එක්කරගෙන එනව.. ඒ උනාට දන්නවනෙ අර කාන්තාවක් ඉතින් එන්න හදාවි මෙහෙ”
“චිරායුගෙ අම්මද?”
“අම්ම විතරක් නම් මදෑ, අක්කල නැන්දල ඔක්කොම එනවනෙ”
“මේ වෙලාවෙ එයාලා මොන දේ කිව්වත් ඔයා ඉවසගෙන ඉන්න තාරා. මොනව උනත් එයාලා ඉන්න එකත් ලොකු හයියක් නෙ මේ වෙලාවෙ”
“හයිය කෙසේ වෙතත් මම ඉවසගෙන ඉන්නව මේ වෙලාවෙ ඕවට කැගහල කොහොමත් අසනීප වෙලා ඉන්න චිරායුව තව අසනීප කරන්න උවමනා නෑනෙ”
“ඒක තමයි මේ වෙලාවෙ අපි ෆුල් ෆෝකස් එකයි ප්‍රයෝරිටි එක දෙන්න ඕන චිරායුට”
“ඔව් ඒක හරි. මම දැන් යනවා මහිල්. මම ඔයාට ආයෙ ෆ්‍රී වෙලාවක් ආව ගමන් කෝල් එකක් දෙන්නම්.
තාරා එසේ පවසා දුරකතනය තැබුවත් මහිල් උන්නේ සිත ඔත්පල කරගෙනය. ජීවිතය සෙමින් හෝ එක් අතකට ඇදෙන පරිදි සකසාගෙන යද්දීම හදිසියේ වූ ව්‍යසනය මුලු ජීවිත කාලය පුරාවටම බලපාන්නට හැකි දෙයක්බව මහිල්ට නිකමට මෙන් සිතුනි. ඒ සිතුවිල්ලට හේතු පාදක වූ කිසිත් නිශ්චිත කරුණක් නොවුවද මේ සියල්ල අවසානයේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්නට තමා සිදුවනු ඇතැයි මහිල්ට සිතුණි.
“මං නම් කියන්නෙ පුතා ඔයා අපේ ගෙදර ගියානම් හරි. කවුද නැත්තම් ඔයාව ඔය ගෙදර හරියට බලාගන්නවත් ඉන්නෙ.
තාරා රෝහලට යද්දීත් කුලතුංග පවුල එහි ඇවිත් උන්හ. මාධනී කුලතුංග තාරා දුටු විගසම පාහේ නොරිස්සුම් සහගත මුහුණකින් ඉවත බලාගත්තද කුලතුංග මහතා සුපුරුදු මද සිනහව නැංවූයේ තාරාට මද අස්වැසිල්ලක් ලබා දෙමිනි.
අසනීප තත්ත්වයකින් වුවත් කිහිප දිනක්ම කිසිත් මනස වෙහෙසවන හෝ ශරීරය වෙහෙසවන අන්දමේ රාජකාරියක නිරත නොවීම නිසාවෙන්ද මන්දා චිරායුගේ මුහුණෙන් පලවුනේ සැහැල්ලු බවකි.
හැඳ මත හිඳම චිරායු විසින් පලකල සිනහව මෙයට වසර කිහිපයකට පෙර තමාත් චිරායුත් මුලින්ම හමු වූ දිනයේ ඔහු පලකල සිනහවට බොහෝ සෙයින් සමාන බව තාරාට මතක් විය.
“එහෙම ඕන නෑ අම්මෙ. තාරා ඉන්නවනෙ”
චිරායු මාධනී කුලතුංගට එසේ පැවසුවේ ද ඒ මද සිනහව බිඳක්වත් මුහුණින් ඉවත් කරගන්නේ නැතුවය.
“එයා නම් ඉතින් හිටියනෙ මෙච්චර කාලෙකුත්. එහෙම ඉඳලත් නෙ මෙහෙම වෙලා තියෙන්නෙ” කියා මාධනී නැඟූ සම්ච්චල් සහගත සිනහව තාරාගේ සිත අභ්‍යන්තරය දෙදරවන්නක් විය. තමා චිරායුගෙන් දික්කසාද වෙන්නට සිතූ බවවත් මහිල් සමග ප්‍රේම සබඳතාවයකට මුල පිරූ බවවත් මාධනී නොදන්නා නමුත් තාරා හදවතින් ඒ ගැන සිත තැවුණාය.
“තාරා මගේ වයිෆ් අම්මා. මට අසනීප වෙච්ච වෙලාවක මාව බලාගන්න ඕන තාරා මිසක් වෙන කෙනෙක් නෙවෙයිනෙ”
“ඔව් ඒක තමයි. නෝන මේ බොරුවට මෙතන කෑගහන්නෙ නැතුව ඉන්න. මේ මෙහෙම කෑගහන්න හොඳ තැනක්ද?
දූට උදව්වක් ඕන නම් අපිට කතා කරල කියන්නෙ නැතෑ. අනික පුතාට තමාගෙ වැඩ
කරගන්න බැරි කමක් නෑනෙ. ඒ නිසා අපි යමු. දූටයි පුතාටයි ඕන දේකට අපිට කෝල් එකක් දෙන්නකො” කියා කුලතුංග මහතා චිරායුගේ වදන් වලට සහය ලබා දුන්නේය.
එය මොහොතකට සිත සනසවන්නක් වුවත් තාරා උන්නේ හිත අස්සෙන් තමන් ගත් තීරණ ගැන නැවත නැවත සිතමිනි.
චිරායුව කාරයේ පසුපස අසුනේ සුවපහසුව හිඳුවා තාරා කල්පනාවේ රිය පදවාගෙන ආවාය. පසුපස අසුනේ හොඳින් හේත්තු වී හිස සැහැල්ලු කරගෙන චිරායු උන්නේ දෙනෙත් පියාගෙන දිගු කල්පනාවක ගිලීය.
එදා මෙන් කොන්දේ වේදනාවක්වත් හදවතේ වේදනාවක්වත් නොදැනුනද තාරා තමන්ව හැර යාවි යැයි බියකින් චිරායුගේ හිත තවමත් ඇත්තේ ගිලන් වීය.
මේ දෛවෝපගත කාලයක් බවත් තමා මේ.මොහොතේවත් නිවැරදි සිහියෙන් යුතුව තීරණ නොගතහොත් එය දීර්ඝ කාලීන වේදනාවකට හේතුවක් විය හැකි බව චිරායු දැන උන්නේය.
නිවසට එනතුරුම චිරායුත් තාරාත් උන්නේ තම තමන්ගේ ලෝකවල ගිලී කල්පනා කරමිනි. ජීවිතය මෙතනින් එහාට වෙනස් වන බව උනුන් දෙදෙනාම දැන උන්නහ.
නිවසට ආ තාරා නිවසේ සිට වැඩ කිරීමට අවසර ඉල්ලා කාර්‍යාලයට ඊමේලයක් යැවුවාය. කාර්‍යාලයේ කලමනාකාරීත්වය උන්නේ යහපත් තේරුම් ගැනීමේ මානසිකත්වය නිසා එයට ගැටලුවක් ඇති නොවන බව තාරා දනී.
චිරායුට කොහොමත් සතියක් එකහමාරක් විවේක ගන්නට අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසීම නිසාවෙන් කාර්‍යාලයේ රාජකාරිය ගැන වද වෙන්නට හේතුවක් හෝ උවමනාවක් අත් නොවේ. තමා කොතෙක් තමන් විසින් චිරායුගේ හිත බිඳෙන පරිද්දෙන් කියූ දේ ගැන පසුතැවුණද චිරායු විසින් පසුගිය කාලයක්.පුරාවටම කාර්‍යාලය වෙනුවෙන් වැය කල අධික වෙහෙස මහන්සිය ඔහුව අද මේ තත්ත්වයට ගෙන එන්නට හේතුවක් නොවුවා යැයි කියන්න නොහැක. එහෙත් සිත හැම තිස්සෙම කටයුතු කරන්නේ තම වරදම පමණක් ඉස්මතු කරනු පිණිසය.
ඒ බාගදා චිරායුගේත් තමාගේත් සබඳතාවයට දෙවන අවස්තාවක් ලබා දෙන්නට සිතා විය හැක. එහෙත් තමා දැන් හිඳින්නේ දෙවන අවස්තාවක් ලබා දී නැවත වාරයක් ජීවත් විය හැකි තැනකද?
මහිල්ගෙන් ලද නොඑසේනම් ලැබෙන ආදරය වනාහී ආදරයක් චිරායුගෙන් ලැබෙතැයි බලාපොරොත්තු වන්නට හැකිද?
තාරා උන්නේ දෙලොවක් අතර තනි වී යැයි කියන්නට හැක. මේ හා සමානව සිද්ධි දාමයක් සිදු වූ දුහුලු මලක් චිත්‍රපටය වෙනුවෙන් නන්දා මාලිනිය ගායනා කල ගීතය තාරාට මතක් වූයේ රෝහල් ගතව සිටියදී චිරායු විසින් පරිහරණය කරන ලද රෙදි ආදිය සේදීම සඳහා වෙන් කල වොශින් මැශිනයට දමද්දීය.
බොහෝ වැඩ රාජකාරි අතර සිරුර වෙහෙස වෙද්දී සිත තිබුනේමහිලුත් චිරායුත් අතර දෝලනය වෙමින් ඒ නිසාම වෙහෙසට පත් වෙමිනි.
තමා විසින් චිරායු සම්බන්දයෙන් ගන්නා ලද තීරණ තීන්දු වැරදි බව තාරා මේ මොහොතේ වෙනදට වඩා පසුතැවුනාය. තමාට මෙයට වඩා දුර දිග සිතා බලා තීරණ ගන්නට තිබූ බව සිතා තැවුණාය.
“උඹ ෆීනික්ස් කෙනෙක් වගේ නැගිට්ට එක ගැන මම සතුටුයි. ඒ උනාට මට හිතෙන්නෙම ඒක පිටිපස්සෙ උඹ මට නොකියපු කතාවක් තියෙනව කියලමයි. මට නොකිව්වට කමක් නෑ ඒත් හොඳටහිතල ගන්න තීරණයක් ගනින්. මුලු ජීවිත කාලෙම දුක් විඳින්නහරි පසුතැවෙන්න හරිහේතුවෙන විදියෙ දෙයක් නොකර. මොකෝ සමහර වෙලාවට මනුස්සයෙක් අපිට ගහන බනින එක ඉවසන්න පුලුවන් තාරා ඒත් හර්ද සාක්ශිය කියන කරන දේවල් අපිට ඉවසගෙන ඉන්න මාර අමාරුයි”
මෙයට සතියකට පමන උඩ දිනයක කාර්‍යාලට අවසන්ව මහිල් හමුවන්නට යනු පිණිස වෙනදා නොමැති තරම් ලස්සනට සැරසෙද්දී අමන්දා කියූ අයුරු මේ දැන් දැන් ඇසෙන්නාක් බඳුව දැනෙද්දී තාරා දීර්ඝ සුසුමක් වාතලයට අත හැරියාය.
එහෙත් හිතේ වූ බර ඉන් අංශු මාත්‍රයකින්වත් අඩු වුනාදයි විශ්වාස නැත.
ආදරය වරෙක හිත සනසන්නත් ගිනි අවුලුවන්නත් හේතු වෙන්නේ ආදරය කරන්නන්ගේත් ලබන්නන්ගේත් සිතුවිලි සහ ක්‍රියා කලාපය අනුව නොවේද?
තමා හෙට දවසේ තෝරගත යුතු වන්නේ කවුරුන්ද?
එක් පසෙකින් රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයය. අනෙක් පසින් පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයය.
කිරිලියක් සේ දුර පියඹා අවසානයේ අත්තටු රිදී ඇතුවා නොවේද?
හෙට දින සමුගත යුත්තේ මහිල්ගෙන්ද චිරයුගෙන්ද?