විහඟ පියාපත් 1

අකලංක බියර් කෑනය හිස් කර පසෙකින් තැබුවේ ප්‍රබාත් වෙත පසෙක වූ ඩෙවල් පිඟාන පාමිනි. රූපවාහිනිය සැලකිය යුතු තරමේ හඬකින් ක්‍රියාත්මක වෙමින් තිබුණි. වසරේ විශිෂ්ඨතම තරුණ ව්‍යවසායිකාව සමඟ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවමින් උන් තරුණියගේ හඬ උස් හඬින් සාළය පුරා පැතිරී තිබුණි.  අකලංක රූපවාහිනිය දෙස බලමින්ම තවත් බියර් කෑනයක් විවෘත කලේය.

සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණ සිටි, දැන් රූපවාහිනී තිරයේ පෙනී සිටින යුවතිය රණ මොණර සෙය්යාවෙන් ඒ රැය වර්ණවත් කල බව මහ උද්දාමයෙන් පවසමින් ප්‍රබාත්  ඩෙවල් කැබැල්ලක් මුවට රුවා ගත්තේය. 

අකලංක එයට පෑවේ සරදම් මන්දහාසයකි. ඔවැනි  යුවතියන්ගේ රැඟුම් හී අඳුරු කතන්දර ඔහු දනි.

යුවතිය පසු කෙරූ තරුණයන් පමණක් නොව තලතුනා මහතුන් පවා ඇස් කරකවමින් ඇය දෙස බලමින් උන් බව ප්‍රබාත් කීවේ ඒ මහතුන් අර්ධව අනුකරණය කරන්නට පවා නොපැකිලෙමිනි.

“උඹත් ඉතින් ගෑණු දැකලා නෑ වගේ….. අනේ මන්දා බං…”

ස්ත්‍රීන් වර්ණනාවෙහි ලා වැඩි අත්දැකීම් දරන්නේ මිතුරා වග දන්නා නිසාම  ප්‍රබාත් ඉන් පසුව  නිහඬවම සප්පායමේ නියැලුණේය. අකලංක ප්‍රබාත් ගේ අවධානයෙන් මිදී රූපවාහිනී තිරය දෙස බලමින් උන්නේය.

ඉන් පසුව කියවීම ඇරඹුවේ අකලංකය.

“ෆූ…… අවුරුදු දහ අටෙන් එම් ඩී සීට් එකේ වාඩි වෙන්න වුණ එකලු ජීවිතේ මේ දුර එන්න හය්ය දුන්නේ….  ඒ වයසට පුටුවේ වාඩිවෙන්න මොනවා මොනවා කරාද දන් නෑ…”

අකලංක පුටුවේ ඇන්දට පහරක්ද ගසමින් එසේ කීවේ උනන්දුවෙන් රූපවාහිනීයේ උදම් අනන තරුණියගේ කතාව අසා සිටිමිනි. ප්‍රබාත් උන්නේ අකලංකට නොපෙනෙන්නට ඔහුට ඔරවමිනි. අකලංක ට ඇය සමඟ අමනාප වන්නට ඇති හේතුවක් නත. 

“මේ ගෑණු නං අනේ මන්දා..පුරාජේරුව බලහං..”

අකලංක එලෙස පවසද්දී නම් ප්‍රබාත් නිහඬවම  සිටීම  නවතාලුයේය. වසරේ හොඳම ව්‍යවසායිකාව ලෙස සම්මාන ලබා, තමා ලැබූ ජයග්‍රහණය පිළිබඳව උද්දාමයෙන් දොඬමලු වන යුවතියක මෙලෙස අවලාද ඇසිය  යුතු නැත.

 ඇය මොණරවිල හෝල්ඩින්ග්ස් හී දියණියය. ඉතින් ඇයට මේ ගමන අපහසු නොවන්නට ඇත.  අනෙක් අතට ඇය උපාධි කිහිපයක් සාර්ථකව අවසන් කෙරූ උපාධිදාරිනියකි. 

අකලංක ප්‍රබාත්ගේ පැහැදිලි කිරීම අසා උන්නේ  රූපවාහිනීයෙන් දෑස් ඉවතට නොගනිමිනි. ප්‍රබාත් පවසන කිසිවක්  එතරම් වැදගැම්මකට නැති වග දැනෙන්නට හරිමිනි.

ප්‍රබාත්ගේ උදම් ඇනීම වෙනුවට අකලංක ට සිතුණේ අනෙකකි. ආයතන ප්‍රධානීන් අතිශය සාර්ථක වී බැබලෙන්නේ නම්, ඔවුන්ට පහලින් බිම් මට්ටමේ සිටින සේවකයන් ට ඉතා කාර්‍යබහුල සහ තද කාලයක් ඔවුන් විසින් උරුම කර දෙන බව අකලංක සිතුවේය. 

තම සේවකයන් මරවා මරවා වැඩ කරවාගෙන වසරේ නොව දශකයේ ව්‍යවසායකයා වූවත් ඇති පලක් වේද ? මැය අකලංක ට පෙනෙන්නේම උද්දච්ච කම් කියවන කෙල්ලක් ලෙසිනි. එවැන්නියක් ආයතන ප්‍රධානියක ලෙස ක්‍රියා කරන ආකාරය අකලංක ට සිතා ගැනීම අපහසු නැත.

අකලංක ගේ මතයට එකඟ වෙන්නට කෙලෙසකවත් උවමනාවක් නොතිබුණු නිසා ප්‍රබාත් ඇය  ගැන දැන උන් අනෙක් ධනාත්මක කාරණාද කීවේය. ඇය වසර පහළොවක පමණ සිට මොණරවිල සමූහ ව්‍යාපාර වල අධ්‍යක්ෂවරිය බවත්, සියළු ව්‍යාපාර ඇගේ අධීක්ෂණය යටතේ සිදු වන බවත් ප්‍රබාත් කීවේ  බියර් කෑනය පසෙක තබමිනි.

“අවුරුදු පහළොවකට පස්සේද එතකොට බං මේ බෙස්ට් වෙලා තියෙන්නේ..?”

අකලංක සරදමකය.

“තොට නම් පිස්සු .. හොඳටම පිස්සු…”

අකලංක එයට මහ හඬින් සිනාසුණේය. සිනාසෙමින්ම රූපවාහිනිය අන් නාලිකාවකට මාරු කලේය. ප්‍රබාත් ඒ දෙස බලා උන්නේ නොරිස්සුමෙනි. අනතුරුව ඔහු  දෙපා විහිදුවමින් අසුනේ පහසු ඉරියව්වකට මාරු වූයේය. 

අකලංක  කිසිඳු අරමුණක් නැතිවම රූපවාහිනී තිරය දෙස බලාගෙන උන්නේය. අනතුරුව ඉරියව්ව වෙනස් කර හිඳගත්තේය. ප්‍රබාත්ගේ කැමරා ඇස වැඩ කලේ එවෙලෙහිය. 

“උඹේ ශූට් එකක් කරන්න ඕනි කියලා ටැබ්ලොයිඩ් එකෙන් ඇහුවා වෙලාවක් දාල දෙන්න පුලුවන් ද කියලා …”

අකලංක ඔහු දෙස බැලුවේ, ඔහු පැවසූයේ කුමක්දැයි වැටහුනේ නැතිවාක් මෙනි. මාස කිහිපයකට පෙර බන්ධනා නම් රංගන ශිල්පිනිය සමඟ ප්‍රබාත්ගේ පුවත්පතෙහි ඉරිදා අතිරේකය වෙනුවෙන් චායාරූප කිහිපයකටම පෙනී සිටි බව අකලංක ට අමතක නැත.

 බන්ධනා සමඟ යලි එවැනි චායාරූප දැන්වීම් සඳහා පෙනී නොසිටිමියි සිතන තරමට ඔහුට බන්ධනාගේ හැසිරීම් එපා වූ බවත් මතකය. 

“ආයෙම ?”

“ඔව් අර බන්ධනා එක්කම….”

ප්‍රබාත් මිතුරාගේ සිතුවිලි ඉතා පැහැදිලිව කිරා මැන කීවේය. 

අකලංක ඔහුට පෑවේ අමනාප මන්දහාසයකි. එහි වූයේ ප්‍රබාත් නිසා අත් හැරීමටත් බැරි , එහෙත් බන්ධනා නිසා අත් හැරීමටත් අවැසි යමක් පිළිබඳව වන හැඟීමකි.

ප්‍රබාත් ලවා පණිවිඩය එවීමේ අරමුණ දන්නා නිසා අත් හැරීම අකලංක අතින් සිදු වන්නේ නැත. වැඩි උනන්දුවක් නොපෙන්වාම ඔහු  ප්‍රබාත් පැවසූ සැලසුම් සියල්ල අසා දෙපසට හිස සලමින් අනුමත කලේය. 

එහෙත්, බන්ධනාගේ ඇඳුම් සැකසීමේදී තමා අපහසුතාවයට පත් නොවෙන පරිදි ඇඳුම් සකසන ලෙසට අදාල පාර්ශව දැනුවත් කරන්නයැයිද ප්‍රබාත් වෙත නැවී, දැඩි හඬින් අවධාරණය කලේය. 

“ඒකිගේ අම්මගේ පණ යන්නේ ඒකිගේ ඔය නාඩගම් එලි වෙච්ච දාට…”

ප්‍රබාත් එයට කිසිත් කීවේ නැත. සැබැවින්ම ප්‍රබාත් ට එයට පැවසිය හැකි යමක් තිබුණේ නැත. බන්ධනා පමණක් නොව වර්තමානයේ ක්ශේත්‍රයට පිවිසි බොහෝ නිළියන්, නිරූපණ ශිල්පිණියන්ගේ ජීවිත වල ඇතුලාන්තය පිටතට පේන තරම් සොඳුරු නැති බව ප්‍රබාත් දනී. 

අකලංක එය ඔහුට වඩා හොඳින් දනී.  කොළඹින් දුර බැහැර සිට දක්ශතාවය හෝ රූපය ඉස්සර කරගෙන ක්ශේත්‍රයට පැමිණෙන ඔවුන් බොහෝ දෙනෙකුට කොළඹ රස්නය උහුළා ගැනීම පහසු වන්නේ නැත. 

ඒ රස්නයට අනුගත වීමට අවැසි ප්‍රධානම සාධකය මුදල් වග වැඩි කල් නොගොසින් ඔවුහු වටහා ගනිති. ක්ශේත්‍රය තුළ ස්ථාවර වෙමින් යම් ගමනක් පවත්වා ගැනීමට නම්, අර කී රස්නය අනිවාර්යයෙන් උහුලා ගන්නට අවැසි වගද වටහා ගනිති.

 මුදල්  සෙවීමේ වඩා පහසු මාර්ග වෙල ඔවුහු ඇදෙන්නේ ඉන් පසුවය. වඩා විශ්වසනීය සහ ලාභදායී ඉපයුම් ක්‍රම වෙත ආසක්ත වීම තුළ ජීවිත පිටතින් සුන්දරවද, ඇතුලතින් අන්ධකාර රැයක් සේද වීම ඔවුන්ට පෙනෙන්නේ නැත. පිටත සුන්දරත්වය තව තවත්      තිර    කරමින් ඔවුහු අර රස්නය තුළ පැවැත්ම ස්ථිර කරගනිති.

අකලංක පිටපත අතට ගත්තේ ප්‍රබාත් ට සමුදී කාමරයට පැමිණි පසුවය. ප්‍රබාත් මිදුලට වී ගිටාරය වාදනය කරනු ඇසෙන්නේය. අකලංක පිටපත මොහොතකට පසෙකට කර ප්‍රබාත් ට සවන් දුන්නේය. 

“අපරාදේ මේ යකා ටැලන්ට් එක නාස්තිම කරලා දාගන්නවා…”

කෙතරම් උත්සාහ කලද, ප්‍රබාත්ව  පත්තර රස්සාවෙන් පිටතට ඇදීම පහසු වූයේ නැති බව අකලංක සිහි කලේය.  මේ සරසවි මිතුදමට දැන් වසර දහයකට වැඩිය. දැන් එය සහෝදර කමකි. 

සරසවි කාලයේ වැඩිම නළු උණ තිබුණේ ප්‍රබාත් ටය. වේදිකා නාට්‍ය බලන්නට තමා ඇදගෙන ගියේ ඔහුය. තරංගනියේ චිත්‍රපටයක් වේ නම් එහි දෙදෙනාම වැරදුණේ නැත. එකී තබා මුහුරත් උලෙළක් පවා මඟ නොහරින සරසවි සිසුවෙක් විය. 

තමා ඒ අවස්ථා වල පෙනී උන්නේ ප්‍රබාත්ගේ තනියට බව අකලංක හොඳින්ම දනී. නලුවෙකු වී කැමරාවට මුහුණ දෙන්නට හැකියාවක් හෝ තමා සතුවේයැයි ඔහු සිතා  හෝ  තිබුනේ නැත.  ඒ සියල් හැකියා වූයේ ප්‍රබාත්ටය. සරසවිය තුළ යම් රංග කර්තව්‍යයක් වේද ඒවාගේ උන් කෙනා තමා නොවේ, ඔහුය.  තමාට තිබුණේ පත්තර උණය. ලියන උණය. ප්‍රශ්න විසඳන උණය. 

එහෙත්, දෙන්නා දෙපසට මාරු වීම කෙලෙස හෝ සිදුවී ඇත. ඒ කොහොමදැයි අකලංකට පැහැදිලිව මතක දවසක් නොමැති වුවද, තුන්වන වසරේ දවසක ප්‍රබාත් විසින් ලියන ලද  ලිපියක් පුවත්පතක පළවූ දවස ඔහුට මතකය. 

 ප්‍රබාත් ලියා තිබුණේ මහපොළ අර්බුදය ගැනය. ලිපිය පත්තු වූයේ සිතුවාට වඩා වැඩි හඬකිනි. පරිපාලන ප්‍රබාත් කැඳවා සාකච්ඡාවක් පවා පැවැත්වූ වග ඔහුට මතකය. 

ඒ අතරේ අන්තරේ, භික්ෂු බල මණ්ඩල ඇතුළු සරසවි සංගම් වල ඉහල පුටු හමුවන සාකච්ඡාවක් සඳහා ප්‍රබාත්ට ලැබුණු ආරාධනාව ඔහුගෙ නළු හීනය වළ දැමුණ තැන වග දැන් අකලංක ට සිතෙයි.

සාධාරණ සමාජයක් උදෙසා හඬ නඟන්නට තෝරා ගත යුතු මාර්ගය ලෙස ප්‍රබාත් පත්තර රස්සාව තෝරාගන්නට ඇත්තේ යම් මොළ ශෝධනයක ප්‍රතිඵලයක් ලෙස විය හැකි බව අකලංකට දැන් සිතෙයි.

ප්‍රබාත්ගේ ගිටාර හඬට වඩා උස්ව අකලංකගේ ජංගම දුරකතනය නාද වෙන්නට විය.  රාත්‍රී දහයටද ආසන්නය. අකලංක ජංගම දුරකතනය අතට ගත්තේ ඒ ඇමතුමට පිළිතුරු දෙනවාමය අදහසකින් නොවේ.  

තිරයේ දුටු නම දුටු පසු ඔහු පිළිතුරු නොදී සිටීම වඩා යුතු වග තීරණය කරමින් දුරකතනය පසෙකට විසි කලේය. යළි පිටපත හරවා ගත්තේය.

එහෙත් විනාඩි කිහිපයක් පමණක් ගෙවුණි.

” අන්න අර බන්ධනාට කෝල් එකක් ගන්නලු…  මළ වදේ බං… උඹ එක්කෝ ඒකිට කියපංකෝ උඹ ආන්සවර් නොකරම මට ගන්නෙපා කියලා රෙද්ද…”

අකලංක ප්‍රභාත්ට කිසිත් නොපවසාම යළි ජංගම දුරකතනය අතට ගත්තේය. බන්ධනා තමා වටා යළි දැල් එලමින් සිටින බව අකලංක ට සති කිහිපයක සිට වැටහෙන්නේය. තමා ඇය ගැන උනන්දුවක් දක්වන බව ඇය විසින් ප්‍රසිද්ධියේ පැවසූ වාර කිහිපයක් පිළිබඳව ද අකලංක ට ආරංචිය විය. එහෙත් ඉවසා සිටියේ  සාක්ශි පැහැදිලි නොවූ නිසාය.

“කියපං…”

“මොකද්ද අනේ අකලංක අය්යේ… ටිකක් පලයිට් වෙන්නකෝ…”

” මේ යක්කු ගස් නඟින වෙලාවට  කොල්ලන්ට කතා කරන කෙල්ල , මට කියලා දෙනවද පලයිට් වීම් ගැන…..”

අකලංක වූ කෝපයම ඇයට විසි කලේය. ඇය සීමාවන් ඉක්මවා යන අපූරුව අකලංක ගේ ඉවසීම ඉක්මවා යන්නේය.

“මං කතා කලේ කොහෙවත් යන කොල්ලෙක් ට නෙවෙයි …”

“හරි හරි…කියනවා මොකද ?”

“අනේ අය්යේ මේ.. ඔයා හෙට බිසිද ?”

“වැඩ ටිකක් තියෙනවා …”

“මට පොඩි වැඩ වගේකට නිගම්බු යන්නෝනි… මගේ වෙහිකල් එක ලෙඩ දෙනවා නෙ.. ඒක හෙට සර්විස් දාගෙන ඔයාට මා ඒක්ක නිගම්බූ ගිහින් එන්න පුලුවන් ද?”

අකලංක එයට කිසිත් පැවසූයේ නැත. බන්ධනා දිගින් දිගටම ඇවිටිලි කරද්දී ඔහු පසුව අමතන්නම් යැයි කීවේය. කල යුතු වැඩ පිළිබඳව සොයා බලා ඇමතුමක් දෙන්නට පොරොන්දු වූයේය.

අකලංක ඇමතුම විසන්ධි කලේ පිළිතුරු අසන්නට නොනැවතීමය. බන්ධනා හරි හැටි හඳුනාගන්නට ලැබුණේ ඇය සමඟ  රූගත කල ගීත වීඩීයෝවට පසුවය. 

ඇයගේ මවද මාතලේ තම ගම් පියසේම බව දැනගත් පසු ඇය ඉතා ඉක්මන් කුළුපග ඇසුරක් වෙනුවෙන් උත්සුක වූ වග අකලංක ට මතකය. එහෙත්, බන්ධනාගේ ජීවිතය තුළ සිටින්නට හෝ, තම ජීවිතය තුළට ඇය කැඳවා ගන්නට තරනේ රුචියක් ඔහුට ඇය කෙරෙහි වූයේ නැත. ඇයද මුලදී පෙන්වූ උද්‍යෝගය ක්‍රමයෙන් ක්ශයව යන්නට දී තමාගෙන් දුරස්ව උන් බව අකලංකට මතකය. එහෙත් දැන් ඇය මොකක්දෝ වෙනත් නාටකයටක සූදානම් වෙයි.

 අකලංක ට අවැසි බන්ධනා වන් යුවතියක නොවේ. ඇය සිහින වල උන්නාට සැබැහින් දකින්නේ කවදාදැයි අකලංක ට අදහසක් තිබුණේ නැත. එහෙත්, ඇය පිළිබඳව අපැහැදිලි චිත්‍ර යක් අකලංක ගේ හැම දවසක් තුලම එහෙ මෙහෙ දුවන්නේය.

| අපේක්ෂා ගුණරත්න | 

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles