කේසර රණබාහු දුරකථනය ආපහු තිබ්බේ තරහා වේදනාව දුක උහුලගන්න බැරිව වගේ..කේසරගේ මූණේ දුක කියන හෙවනැල්ලක්වත් වැටෙනවට අකමැති වුන ජාදු ජනේලයෙන් එහා පැත්තෙ ඉඳන් ඒ සේරම බලාගෙන උන්නා.දුරකථනයෙන් කවුද කතා කළේ මොනවද කිව්වේ කියලා ජාදුට ඇහුනෙ නැති උනත් තමන්ව කුණු කානුවෙන් අරගෙන හෙවන දීපු ඒ මනුස්සයාගේ ඇහිපිල්ලමත් අඳුනගන්න ජාදුට පුළුවන් වුණා.
ජා..දූ….
කේසර තව තත්පර පහකින් තමන්ට කතා කරන බව දැනගෙන ජාදු දැන් අවුරුදු විසිපහකටත් වැඩියි..
ලොකු සර්….
මට විස්කි ෂොට් එකක් ගෙනෙන් කොල්ලෝ…
ගෙනාව ලොකු සර්…
අයිස් කැට හතරක් දාපන් කොල්ලෝ….
දාලයි ගෙනාවෙ ලොකු සර්…
මගේ පයිප්පේ….
පුරවලා තියෙන්නේ සර් එක..
එක ඇහැක් විතරක් ඇරලා බලපු කේසර අමාරුවෙන් හිනා වුණා..
“මගේ බලු කුක්කා උඹ” …කියනවා වගේ හැඟීමක් එතන තිබුණා.
ජාදු ගෙනාපු විස්කි වීදුරුව අරගෙන ඇස් වහගෙනම කේසර බොන්න පටන් ගත්තා.
“දොර වහල වරෙන් පුතේ” කියලා කේසර කිව්වේ හැමදාමත් වගේ තමන්ගේ අතිශය පෞද්ගලික වේදනාවන් වලදී එදා ඉඳලා එකම සරණ එකම පිහිට එකම විසඳුම ජාදු බව දන්න නිසා.
“දොර වහලයි මං ආවේ ලොකු සර්” කියන ජාදුගෙ ගැඹුරු ස්ථිරත්වය පිරුණු කටහඬ කේසරගේ කන ළඟින් ඇහුනා.
“මම මාර අමාරුවක වැටිලා ඉන්නේ පුතේ..”
තමන් එහෙම කියද්දී ජාදුට තමන්ගේ හෘදය වස්තුව වුණත් ගලවලා දෙන්න පුළුවන් වෙන බව ලෝකෙ කාල වතුර බීපු කේසර රණබාහු උන දේශපාලන තෙලෙන් තෙම්පරාදු වුන කවදා හෝ ජනාධිපති වෙන්න හීන දකින ඒ අසහාය පුද්ගලයා දැනගෙන උන්නා.
“පුතේ”…
ඒ වචනය ආරෝහපරිනාහ දේහධාරී.. ඕනෑම වෙලාවක පිස්තෝලේ කොකා ගස්වන්න දෙපාරක් නොහිතන.. දැඩි හිතක් තිබුණු ජාදු රත් කරපු තාච්චියකට දාන බටර් කුට්ටියක් වගේ දිය කරන බව ඕනෑම වෙලාවක දිය යටින් ගෙන් ගෙනියන්න දන්න කේසර හොඳින්ම අවබෝධ කරගෙන හිටියා.
එදා නර්මදා මුණගැහිලා කතා කරලා හිත නිවාගෙන තමන් එළියට බහිනකන් ගේට්ටුව ගාව රැකගෙන හිටිය ජාදු වාහනයට තමන්ව නග්ගවා ගත්තු ගමන් “ඇයි ලොකු සර් මොකක්ද අවුල” කියලා අහපු විදියට කේසරට පුදුමත් හිතුනා.
සමහර දේවල් කියන්න ඕනෙ නෑ කියලා හිතාගෙන ඉන්න දේත් ජාදු තමන්ගෙ මූණෙන් පත්තර පිටුවක් වගේ හරිම වේගයෙන් ලෙහෙසියෙන් කියවනවා කියලා කේසරට දැනිලා තිබුණා.
“සර් අවුලෙන් ඉන්නවට මම නම් ආසම නෑ…”
දෙවෙනි ගියර් එකේ ඉඳලා තුන්වෙනි ගියර් එකට දාන ගමන්ම… පැති කන්නාඩියෙන් පිටිපස්ස බලලා ඉස්සරහින් තිබුණු වාහනය ඉස්සර කරන ගමන්ම එක ඇහිපිල්ලමක්වත් වෙනස් නොකර පාර දිහා බලාගෙනම ජාදු තමංට කතා කරන්න කියලා නොකියා කිව්ව බව කේසරට මතක් වුනා.
“නෑ බං නර්මදාගේ මිනිහා වාතයක්..ඌ ඉතින් දන්නැද්ද…”
“ලොකු සර් මට ඉස්ටෝරිය කියන්න… ලොකු සර් දුකෙන් ඉන්නවට මම ආස නෑ … මට එතකොට හෙන අවුල් වගේ..”
ජාදු තමන්ගේ හිත හොඳින්ම අඳුනගෙන බව කේසරට දැණුනා.
“නර්මදාගේ මිනිහා කියනවාලු මේ කොන්තරාත් එක මට කියලා අනුමත කරගත්තේ නැත්නම්… සේරම විස්තර අපේ ලොක්කට කියලා මට කෙලවනවා කියලා”
මො..කා..ක්..?…
“ඌ ළඟ මොනවද ෆොටෝ වගේකුත් තියෙනවාලු. ඒකා නර්මදාට ඒවා පෙන්නලා”
කේසර එහෙම කියනකොට ජාදුගේ මුහුණට නැගිච්ච හිනාව මෙන්න මේකයි කියලා කියන්න බැරි එකක්…
“ඇයි ..සර්…ඒවා අවුල් වගේද..”
“පිස්සුද බං …නර්මදා ඔය මිනිහා ඉන්නකම්, ඌ මොන සතෙක් උනත් පති භක්තිය ඒ ගෑනි රකිනවා.”…
“එහෙනම් මොකක්ද සර් ඔය ෆොටෝ ටික”….
“ඒක බං මං බොහොම ලංවෙලා නර්මදාට මොනවදෝ කියන සීන් එකක්ලු…. නර්මදා බොහොම සතුටින් මං දිහා බලන් ඉන්නවා විතරයිලු….”
“ආ.. අර සර්… ලොක්කට ලං වෙලා කතා කරකර ඉන්නවා වගේ එකක්ද “….
“ඔව් බං…”
“අයියෝ සර්.. නර්මදා මිස් පොඩි එකෙක් වගේනෙ…”
“ඒ මනුස්සයා හරිම අහිංසකයි ජාදු .. නර්මදා බයේ අඬනවා පාරේ බැහැලා යන්න බැරි වෙයි කියලා.අනික පුතේ මේ පාර ලිස්ට් එකේ මගේ නම නේ උඩින්ම තියෙන්නේ..එක අතකට බැලුවහම නර්මදාගේ මනුස්සයව මේවට පොළඹවන්නේ ජයමහලා..ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා වගේ..ෆොටෝ කබලකින් හරි උන්ගෙ මනාප ටික වැඩි කරගන්න තමයි දඟලන්නේ..මේවා ජයමහලගේ බලු ගේම් “…
කේසර තමන්ගේ ඇස් වහගෙනම කියාගෙන කියාගෙන ගියේ ඇත්තටම දැන් නම් මේක මහ කුණු ගොඩක් වේගෙන එන බව තමන්ටත් දැනිලා තිබුණු හින්දයි…
“ලොකු සර් ඉතින් ඔය නර්මදා මිස්ට ඇත්තටම ආදරෙයිද”….
පපුවේ පිරිලා තිබිච්ච ලොකු දුක් ගුලියක් පිටවෙලා යන ගමන්ම කේසරට ලස්සන පෙම් හිනාවකුත් ගියා.හරියට නිකන් ඉස්කෝල කාලේ ආදරයක් මතක් වෙච්ච කොලු ගැටයෙක් වගේ..
නර්මදා …නර්මදා …
කේසර කුටු කුටු ගෑවා..
“සමහර ගෑනු ඉන්නවා ඉන්නවා බං.. ලුණු ගානට.. ඇඹුල් පද මට.. මිරිස් ගම්මිරිස් නියම සැරට… ඉඟුරු ඉස්ම අනුපානෙට පණ එන පදමට අනාපු …”
එහෙම කියපු කේසර මොකක්දෝ රස හැඟීමක් තනියම හිතේ තියාගෙන හකහක ගහලා හිනා වුණා…
ඇඟ වටේ තියෙන සේරම ඇඳුම් ගලවල ..ඇඟේ උණුහුමට හරි යන වතුර බේසමක බැහැලා පරණ හින්දි සින්දුවකුත් ලාවට ඇහෙන්න දාලා විස්කි උගුරක් බොන ගමන් දැනෙන සුවය තමන්ට ජාදු ළඟදිත් නර්මදා ළඟදිත් එක වගේම දැනෙන බව කේසරට දැනිලා තිබුණා.සමහරු මිනිස්සු ඖෂධ වගේ කියලා වැල්ලවත්තේ සිරිධම්ම හාමුදුරුවෝ එදා පාර්ලිමේන්තුවේදීත් කියපු බව කේසරට විදුලියක් වගේ මතක් වුණා.
“උඹ දන්නවද… මිනිහෙක්ට තමන්ගේ හිත දිග අරින්න පුළුවන් පපුව අඳුනන යාළුවෙක් ඉන්නකොට විතරයි.මිනිහෙක්ට තමන්ගේ නිරුවත බය නැතුව පෙන්නන්න පුළුවන් ශරීරය බෙදා ගන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නකොට විතරයි.දකින දකින මිනිහා එක්ක අපි අපේ ජීවිතේ කතා දිග අරින්නේ නෑ බං ..ඒ වගේම ජාදු උඹ මතක තියාගනින් කිසිම ශාරීරික බැඳීමක් නැතත් හිත පිරෙන්නම බැඳෙන ගෑනුත් ඉන්නවා. ඔබට තේරෙනවද මං කියන දේ?දකින දකින ලස්සන ගෑනිගෙන් තමන්ගෙ ඕනෑ එපාකම් පිරිමහගන්න පුළුවන් වුනත් එතන කිසිම බැඳීමක් නෑ..
කිසිම ශාරීරික බැඳීමක් නැතත් හිත පිරෙන්නම බැඳෙන ගෑනුත් ඉන්නවා. උඹට තේරෙනවද මන්ද කොල්ලෝ මම මේ කියන දේවල්..ගෑනියෙක් කියන්නේ තමාගේ ශාරීරික අවශ්‍යතාවය විතරක් පිරිමහගන්න පුළුවන් සත්තු ජාතියක් කියලා තමයි අපි හුඟක් වෙලාවට හිතාගෙන ඉන්නේ …ඇත්තටම බැලුවහම එහෙම නෑ බං..අපි දන්නෙත්වත් නැතුව …
අතකින්වත් නොඅල්ල උනත් උන්ට පුළුවන් අපේ මුළු ආත්මෙම බැඳගන්න…”
වචනයක්වත් කතා නොකරපු ජාදු පාර්ලිමේන්තුවේදී කාරණාවක් සභා සම්මත කරන විදිහටම කේසර ඉඳගෙන හිටපු සීට් එකේ අත තියාගෙන ගිය ඇන්දට ජාදුගේ වම් අතින් හෙමින් තට්ටු කීපයක් දානකොට කේසරයි ජාදුයි දෙන්නම හිනා වුණා….