ශීතකරණයේ නොදැමිය යුතු මේ ආහාර වර්ග ගැන ඔබ දැනුවත් ද?


ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිලෙස ගබඩා කර තබාගන්න වගේම ඔබේ ශීතකරණය පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගන්නත් ඔබ කැමතියිනෙ. 

ආහාර පිලියෙළ කරන්න අවශ්‍ය එළවළු, පලතුරු, කුළුබඩු සහ අනෙක් අමුද්‍රව්‍ය සියල්ලම ශීතකරණයේ ගබඩා කිරීමට අවශ්‍ය වෙන්නෙ නැතිබව මෙහිදී ඔබ හොඳින් තේරුම් ගතයුතු ඉතාම වැදගත් කාරණාවක්.

ඉතිං මේ විදිහට ශීතකරණයේ නොදැමිය යුතු ආහාර වර්ග මොනවද කියන කාරණාව ගැන ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් අද අපි බලාපොරොත්තු වෙන්නෙ. 

එහෙමනම් අපි බලමු ඒ මොනවද කියල?

තක්කාලි

ඉස්ම සහිතව සහ නැවුම්ව තක්කාලි රස බලන්න ඔබට අවශ්‍ය නම් ශීතකරණයේ ගබඩා නොකොට කාමර උෂ්ණත්වයේ තක්කාලි ගබඩා කිරීම වඩා සුදුසු වෙනවා. 

අල

ශීතකරණයේ තැබීමෙන් සිසිලස නිසා අල මෘදු වීම සහ පැණි රසකින් යුක්ත වීම සිදුවෙනවා. අලවල නැවුම් රස සහ වයනය ආරක්ෂා කරගන්න නම් කඩදාසි කවරයක බහා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තබන්න ඔබට පුළුවන්. 

ලූණු

ශීතකරණයේ ඇති තෙතමනය නිසා ඔබට සිතාගත නොහැකි තරම් ඉක්මණින් ලූණු මත පුස් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලූණු වල නැවුම් ස්වභාවය නැතිවී පැණි රසක් සහ පෙඟුනු ස්වභාවයක් ඇතිවෙන්නත් පුළුවන්. 

ඒ නිසා අල වලට ඈතින් කාමර උෂ්ණත්වයේ පොත්තත් සමඟ ලූණු ගබඩා කර තැබීමයි වඩා සුදුසු වන්නෙ. 

සුදුළූණු

සුදුළූණු වල සුවඳ සහ වයනය ආරක්ෂා කරගන්න නම් වියළි සිසිල් කාමර උෂ්ණත්වය ඇති ස්ථානයක සුදුළූණු ගබඩා කර තැබීම වඩා යෝග්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

අච්චාරු

නිවසේදී විනාකිරි යොදා සාම්ප්‍රදායික ක්‍රමයට පිළියෙල කරන අච්චාරු හොඳින් කල්තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ඒ නිසා ශීතකරණයේ ගබඩා කර තැබීම අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් අතට සීතල වීම නිසා අච්චාරු වල නැවුම් රස සහ තෙතමනයෙන් යුතු ස්වභාවය නැතිවී යන්නත් පුළුවන්. 

නමුත්, ඔබ වෙළඳසැළකින් අච්චාරු මිලදී ගන්නවා නම් අසුරනයේ ඇති උපදෙස් මත ක්‍රියාකිරීම අනිවාර්‍ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

පිපිඤ්ඤා

පිපිඤ්ඤා ශීතකරණයේ ගබඩා කිරීම මඟින් එහි ඇති ජල ප්‍රතිශතය ඉහළ ගොස්  වලවල් ඇතිවී පිපිඤ්ඤා ඉක්මණින් නරක් වීම සිදුවෙනවා. 

මළානික ස්වභාවයකින් තොරව නැවුම්ව පිපිඤ්ඤා ආහාරයට ගන්න අවශ්‍ය නම් ඒවා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම වඩා යෝග්‍ය වෙනවා. 

අලිගැටපේර

කාමර උෂ්ණත්වයේ ගබඩා කරන අලිගැටපේර ඉක්මණින් ඉදවා ගැනීමට ඔබට පුළුවන්.

ඒ ශීතකරණයෙන් තොරව ගබඩා කිරීමෙන් නිසා නැවුම්, රසවත් සහ ඉඳුණු අලිගැටපේර ආහාරයට ගන්න ඔබටත් හැකියාව ලැබෙනවා. 

ඇපල්

කාමර උෂ්ණත්වයේ ගබඩා කරතබා සතියක් හෝ දෙකක් යනතුරු නැවුම් සහ රසවත් ඇපල් රසවිඳින්න ඔබට පුළුවන්. 

ඉන්පසු ඇපල් ශීතකරණයේ තැබීමෙන් ඒවාගේ ප්‍රමිතිය කලක් නොවෙනස්ව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. 

කෙසෙල්

ඔබට නැවුම් සහ නිසි කාලයට පෙර පොත්ත දුඹුරු පැහැ නොගැන්වුනු කෙසෙල් ආහාරයට ගන්න අවශ්‍ය නම් කෙසෙල් ශීතකරණයෙන් ගබඩා කර තැබීමෙන් වළකින්න කියල අපි මතක් කරන්න කැමතියි. 

ඒ නිසා හොඳින් හුළං වැදෙන කාමර උෂ්ණත්වයේ කෙසෙල් ගබඩා කර තැබීම ඉතාම සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

කොමඩු

කොමඩු වල නැවුම් බව රැකගන්න කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම වඩා සුදුසු වෙනවා. 

නමුත් කොමඩු ගෙඩිය කැපූ පසු ආහාරයට ගෙන ඉතිරිවූ කොමඩු කැබැල්ල ශීතකරණයේ ගබඩා කර තබන්න ඔබට පුළුවන්. 

පාන්

ශීතකරණයේ තැබීමෙන් පාන් වල වියළි සහ පැණිරස ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන් වගේම පාන් වල වයනය වෙනස් වෙන්නත් පුළුවන්.

ඒ නිසා කාමර උෂ්ණත්වයේ පාන් ගබඩා කර තැබීම වඩා සුදුසු වෙනවා. 

කෝපි

ශීතකරණයේ තැබීමෙන් කෝපි වල බීර සුවඳ සහ නැවුම් රසයට හානිවීම සිදුවෙනවා.

ඒ නිසා කෝපි වීදුරු බෝතලයක දමා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම වඩාත් යෝග්‍ය වෙනවා.

මී පැණි

මී පැණි ශීතකරණයේ තැබීමෙන් තද සහ ගැටිති ස්වභාවයට පත්වීම සිදුවෙනවා.

ඒ නිසා මී පැණිත් ශීතකරණයේ ගබඩා කර තැබීම සුදුසු වෙන්නෙ නෑ. 

විනාකිරි, සෝස් වර්ග සහ තෙල්

විනාකිරි වල අධික ආම්ලික ස්වභාවයක් පවතින නිසා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම ඉතාම වැදගත්.

ඒ වගේම තෙල් සහ සෝස් වර්ගත් ශීතකරණයේ තැබීමෙන් ඒවාගේ ස්වභාවික වයනය සහ සුවඳ නැතිවී ඝනකම් ස්වභාවයක් ඇතිවීම දකින්න ලැබෙනවා. 

ඉතිං මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න පෙර මේ කරුණු පිළිබඳ සැළකිලිමත් වීම වඩා වටින බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

උණුසුම් ආහාර ශීතකරණයට දැමීමෙන් වළකින ලෙසත් ඔබට මතක් කරමින්ම අපි ඔබෙන් සමුගන්නෙ මෙවැනිම තවත් වටිනා ලිපියක් සමඟ ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙනුයි.

සුවෙන් ඉන්න!

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles