නර්මදාගේ ජීවිත කතාව අහගෙන ඉන්නකොට වර්ණාසිට නොහිතුන දෙයක් නෑ.
“ඇයි… ඇයි… ආන්ටි ඒ අන්කල් ගෙන් වෙන් වුණේ නැත්තේ? ආන්ටි තරහෙන් හිටියේ නැද්ද? ෆයිට් කලේ නැද්ද?”
” නෑ දුව… අපි බැඳලා අවුරුදු දෙකකින් විතර.. අපි එක ගෙදර හිටියට වචනයක්වත් කතා නොකරපු දවසුත් තිබුණා. ශාන්ත රටට ලෝකෙට පේන්න වෙහෙර විහාර හැදුවා. සිල් ගන්න ගියා. මහා දන්සැල් දානමාන දුන්නා. ඒත් එයාගේ ගෙදර එකම අපායක්… මං එයා හදපු අපායේ හැමදාම විඳෙව්වා. “
“එතකොට ආන්ටිට අපේ තාත්ති මීට වුණේ කොහොමද?”
“අනේ දුව මම නරක ගෑනියෙක් නෙමෙයි. නමුත් මම ඔයාගේ තාත්තට හිතවත් වෙනකොටත් මම කසාද බැඳපු ගෑනියෙක්. මිනිහා ජීවතුන් අතර ඉන්න ගෑනියෙක්.. නමුත් ඔයාගේ තාත්තා ළඟ තිබුණා ශාන්ත ළඟ නැති මහා මනුස්ස ගතියක් ..
මං ඒකට ආස උනා. සතෙක් උනත් කරුණාවන්තව වචනයක් කතා කරන මනුස්සයෙක් ළඟ දැවටෙන්න කොයි තරම් ආසද..
මං හිතන්නේ මටත් වෙන්නැත්තේ ඒකම තමයි.”
එහෙම කියනකොට නම් වර්ණාසිට ගොඩක් දුක හිතුනා.
” මං කවදාවත් ආන්ටි නරක කෙනෙක් විදියට දකින්නෙ නෑ ..”
එහෙම කියපු වර්ණාසි අතේ තිබුණු හිස් මොහිතො වීදුරුව බිමින් තියලා ..වැල් ඔන්චිල්ලාවේ එහා පැත්තෙ හිටපු නර්ම දා ළඟට තවත් කිට්ටු උනා.
“ශාන්තගෙ ඉඩම් වගයක් තිබුණා පොළොන්නරුවට කිට්ටුව .
ඒ ඉඩම් යාය අරගෙන තිබුණේ වගා කරන්න කියලයි. නමුත් පස්සේ හෝටලයක් දාන මොකක් හරි අදහසක් තිබුනා. ඒ වුණත් ඉඩමේ හෝටලයක් හදන්න අවසර ගන්න එකට කේසරගේ අමාත්‍යංශයට යන්න වුවමනාවක් ආවා. කාන්තා ව්‍යවසායකත්වය යටතේ දාලා ටැක්ස් අඩු කරගන්න හැටියක් ශාන්තගේ හිතේ තිබුණා. අනික මං ගියොත් වරදින්නේ නෑ කියලා ශාන්ත විශ්වාස කළා. මම හෝටල් ප්‍රොජෙක්ට් එකේ පෝමිෂන් එක ගන්න අමාත්‍යංශයට ගිය වෙලාවේ ..එදා කතා කරනකොටයි අඳුනගත්තේ ශාන්ත කේසරගේ ඉස්කෝලේ ශාන්තට වඩා බාල අවුරුද්දක කියල.”….
ඒ වෙලාවේ ගේ ඇතුලේ සන්තූර් තබ්ලා කලවන් වාදනයක් බොහොම හෙමින් වාදනය වෙමින් තිබුණා. කාශ්මීරයෙන් ගෙනාපු සඳුන් කුඩු සඳුන් තෙල් යොදපු පහනක් ජනේලය මුල්ලේ පත්තු වෙමින් තිබුණා. ජනෙල් තිරය සුදු පාටින් බැබළුනා.වර්ණාසිට නර්මදාගේ උකුලේ ඔලුව තියාගන්න හිතුනා.
“මම ආන්ටිගේ ලැප් එකෙන් ඔලුව තියන්නද..”
“අනේ රත්තරන් දුව… දරුවෙක් නලවන්න පින නැති මට ඔයාගේ ආදරේ කොයිතරම් වටිනවද? කොයි තරම් සතුටක්ද… ඔයාව පුංචි කාලෙදිම ළඟවන්න තිබුණා නම් කොයිතරම් හොඳද…”
නර්මදාගේ අත ඇඟිලි වර්ණාසිගේ කෙස් අතරින් හෙමින් හෙමින් ගමන් කලා.අඩුවකට තිබුණු අම්මගේ ආදරය ආපහු සැරයක් ලැබෙනවා වගේ කියලා වර්ණාසිට දැනුනා.
“ඉතින් ආන්ටි කතාව නැවැත්තුවානේ…”
“මට දැන් වගේ මතකයි දුව…
එදා මම ඇඳගෙන ගියේ සුදු පාටට කිට්ටු ලා දම් පාටක් තියෙන කපු සාරියක් …ඒ සාරි බෝඩරේ දිගට පුංචි කොලපාට ගිරව් පේලියට මහලා තිබුණා. ශාන්තගේ අක්ක දකුණු අප්‍රිකාවේ ඉඳලා එද්දි මට ගෙනා දුන්න එකක් . ශාන්තගේ අක්කා විතරයි මට ටිකක් හරි කරුණාවන්තව හිටියේ.හැබැයි එයත් හදිසියේම නැති උනා හාට් ඇටෑක් එහෙකින්…
මට හොඳට මතකයි එදා කේසර මා එක්ක වචනයක්වත් කතා නොකර සාරිය දිහාම බලාගෙන හිටියා. නාලිකා ආසම පාට ඔන්න ඔය ලා දම් පාට කියලා එක පාරටම කිව්වා…ඒ වෙනකොට ශාන්ත මගේ ජීවිතයට මහා වදයක් වෙලා හිටියේ. කේසර එකපාරටම එහෙම කියනකොට මට හරි පුදුම හිතුනා.අවුරුදු ගානකට කලින් තමන්ගෙ නැතිවෙච්ච නෝනා ගැන මේ වගේ ආදරයක් හිතේ තියෙන මනුස්සයෙක් කොයිතරම් වටිනවද කියලා මට හිතුනා.ඒ වගේම මට කියන්න තේරෙන්නේ නැති විදිහට මට කේසර ගැන ලොකු ගෞරවයක් ඇතිවුණා. නොදැනීම කේසර එක්ක මං ළං වෙලා හිටියා. කිසි කෙනෙකුට නොකියපු වේදනාව කේසරට කිව්වා. කේසර කාටවත් කියන්නේ නැති බව මට ලොකු විශ්වාසයක් තිබුණා.”
” ඇයි ආන්ටි ආන්ටිගේ මේ ප්‍රශ්න ගැන ආන්ටිගේ අම්මට නොකිව්වේ. ඇයි ආන්ටිගේ මල්ලිලාට නොකිව්වේ? “
“එයාලට ඒවා අහන මානසිකත්වයක් තිබුණෙ නෑ දුව… ශාන්තගේ සල්ලි ඉදිරියේ මගේ මල්ලිලා දෙන්න මගෙන් ඈත් වුණා. අම්මට එච්චර දුකක් දෙන්න බෑ..මොකද අම්මා ඒ වෙනකොටත් දරුණු හදවත් රෝගියෙක්.මේ දවස් වලම වගේ තමයි අම්මා නැති උනෙත්.
එක සැරයක් ශාන්තගේ හොඳම යාළුවා ප්‍රියංකර හදිසියේම ගෙදර ආපු වෙලාවක මගෙන් ඇහුවා ඇයි මූණ ඉදිමිලා තියෙන්නේ කියලා. මම හිනාවෙලා මග අරින්න හැදුවත් එකපාරටම ප්‍රියංකර ඉස්සරහ මට ඇඬුණ . හැබැයි එදා රෑ ඊටත් වඩා මට ගුටි කන්න උනා. ඒ ප්‍රියංකර කියන තිරිසනා ඒ කේලම ශාන්තට කියලා තිබුන හින්දා. එදායින් එදා මං කිසිම කෙනෙක් ඉස්සරහට ගියේ නැහැ. ගේ ඇතුලෙමයි හිටියේ. ශාන්තගේ මහා බල කිරිල්ලටයි ගුටි කන්න බැරිකමටයි තමයි මම ඔය ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් ගෙදරින් එළියට බැහැලා ගියේ.මං කාලයක්ම කේසරට ආදරය කළා. හැබැයි කවදාවත් කේසර අපේ ගෙදර ආවෙ නෑ. මාව හෝටල් ගානෙ ගෙනිච්චෙත් නෑ. කේසරටත් ඕන වුනේ මගෙන් ආදරයක් කියලමයි මට හිතෙන්නේ දුව….
එයාගේ තනිවෙච්ච ලෝකයට එයාගේ හිත දිග අරින්න පුළුවන් කෙනෙක් තමයි ඕනෙ වෙලා හිටියේ. ඔයාගේ තාත්තා නරක කෙනෙක් නෙමෙයි.මම දන්න තරමින් කේසරගේ ජීවිතයේ ලොකුම ආශාව බලාපොරොත්තුව වෙලා තිබුණේ ඔයා.. ඔයාගේ චූටි කාලේ රූප හැමදාම කේසර මට පෙන්නනවා. හැම අවුරුද්දේ ම ඔයාගේ උපන් දිනයට රට ගියාම ඔයත් එක්ක ගන්න ෆොටෝ පේලියක් ෆෝන් එකේ තියෙනවා. නිතරම ඒවා කේසර මාත් එක්ක බලනවා. මම බයෙන් හිටියා ඔයා මාව ප්‍රතික්ෂේප කරයි කියලා.”
“අනේ නෑ ආන්ටි… මම එච්චර නැරෝ මයින්ඩ් නැහැ.. තාත්ති හොඳ ඉවසීමෙන් ඉන්න කෙනෙක් .මං ආසයි ඔයා වගේ හොඳ යාළුවෙක් තාත්ති ලග ඉන්න එක ගැන.තාත්ති මුලින්ම මට මේ ආරංචිය කියපු දවසේ මං කොච්චර සතුටු වුනාද..”…
සඳුන් තෙල් පහන වගේම හරි ලස්සනට හිනා වෙච්ච නර්මදා වර්ණාසිගේ හිස ඉම්බා.
එක ළඟ ළඟම මාස දෙකක නර්මදාගේ යි වර්ණාසිගෙයි උපන්දින යෙදිලා තිබිච්ච හින්දා ලස්සන පුංචි සාදයක් දාන්න ඕනෙයි කියල කේසර කිව්වා.
” මගේ දෝනිගේ හැම උපන්දිනයක්ම තිබුණේ පිටරටනේ ..මේ සැරේ අපේ රටේ නේ උපන්දිනය සමරන්න හම්බවෙන්නේ.. ඒක ලස්සනට මට ඕන විදියට ගන්න දෙන්න ….”
කේසර ඉල්ලුවා. අලුත් අම්මයි පරන දුවයි දෙන්නම උත්සව වලට අකමැති බව දන්න හින්දම උපන්දින උත්සවයට කේසර අඬ ගහලා තිබුණේ අත්‍යවශ්‍යම කීප දෙනෙකුට විතරයි. නමුත් ඒ සාදය පුවත්පත්වලින් ජයටම ප්‍රසිද්ධ කරලා තිබුණා.
“
“මං වර්ණාසි බේබි සාරියෙන් දැක්කේ අදමයි ..හරි හැඩයි නේ.”
ජාදු ඇස් පුරාවටම වාරණාසිගේ ලස්සන උරා ගන්න ගමන් කිව්වා. ලා නිල් පාට වොයිල් සාරියට රත්තරන් පාට පුංචි තරු පේළියක් ඇලවිලා තිබුණා.
“ඇයි මං විතරක්…”
කියලා කියන්න උවමනා වුණත් කියන්න බැරි වුණේ …කේසර ඇමති කෑගහලා ජාදුට කතා කරපු නිසයි.කවදත් ටී ෂර්ට් වලින් සැරසුණු ආරෝහපරිණාහ කාල වර්ණ දේහය කවදාවත් නැතිව බටර් කහ පාට ලස්සන ෂර්ට් එකකින් සැරසිලා තිබුණා. ඒ ක්‍රියාශීලී තරුණ ජවයට වර්ණාසිගේ හිත හෙමින් හෙමින් නතු වෙමින් තිබුණු බව පෙනිලා තිබුණේ සක්‍රයාට විතරමයි. මැද සාලයේ තියන්න උස්සන්න ආපු විශාල රෝස මල් පිරුණු රෝස මල් බඳුන අතරින් ජාදු ගේ ඇස් විතරක් පෙනුනා. වර්ණාසිගේ හිත නිවී යන සිහින් සිනහව පසුබිමෙන් වාදනය වෙමින් තිබුණු සිතාර් වාදනයට බොහොම හොඳින් ගැලපුනත් ඒක රූපයකට ගන්න අවසර නැති නිසාම තනියම වර්ණාසිගේ ඡායාරූපයක් හිතින් අරගෙන ජාදු හිතේම ගබඩා කරගත්තා.