තිළිණි උදෑසන ඇහැරෙද්දී ගත පුරාම පැතිරුණ වේදනාව අඩු නැතිව තිබුණි. ඉන්නේ කොහිදැයි එක්වරම අවබෝධයක් වූයේ නැත. ඕ වහා දෑස් විවර කර වටපිට බැලුවාය. තමාට පසෙකින් මුනින්තලා නිදා සිටින චරිත්ව ඕ දුටුවේ එවෙලෙහිය. ඕ දඩිබිඩියේ නැගිට්ටාය.
ඇය නැඟිටිද්දී දැනුන ස්පර්ශයෙන් චරිත්ගේ නින්දද අවසන් වුයේය. ඔහු ආපසු පෙරළී තිළිණි දෙස බලා උන්නේ ප්‍රේමාන්විත බැල්මක් දරාගෙනය. තිළිණි උන්නේ පෙර දින රැයේ සිදුවුණේ යැයි මතකයේ ඇති සිදුවීම් සැබෑවක් ද, සිහිනයක්ද සිතා ගත නොහැකිව ඕ ඔහු දෙසම බලා උන්නාය.
චරිත් ඇතිරිල්ල යට ඉඳගෙනම තිළිණිව ඇතිරිල්ල යටට ඇද ගත්තේය. සුදු පැහැ ඇතිරිල්ල පොඩි වී ගොස් ඇති බව ඉහළ සිට බලන්නෙකුට පමණක් පෙනෙන්නේය. හික්කඩුව අහසටම නැඟෙන රැල්ලේ හඬ තිළිණිට ඇසෙන්නේ නැත.
ඇගේ හද ගැස්ම එතරමටම වැඩිය. ඕ උන්නේ සිහියක් නැති ලෙසිනි. ගත අවසඟව ලෙසිනි. චරිත් ඇගේ කන්පෙති වල පටන් සිප ගැනුම් ඇරඹුවේය.
තිළිණි ඔහු පසෙකට කරන්නට මෙන් ඇඹරුණාය. එහෙත් ඔහු එය පිළිගත්තේ ඔහුට ඉඩ දීමක් ලෙසිනි. ඔහු කන් පෙති දිගේ ස්පර්ශ තැනුවේය.
තිළිණි ට ඉකි ගැසුණි. ගෙවුණ රැය දැන් ඇයට හොඳින්ම මතකය. ඇයට අම්මා සිහි විය. ඇයට මුහුණ දෙන්නට නොහැකි බව සිහිවිය. චරිත් වහා කෙලින් වී හිඳ ගත්තේය. තිළිණි සුදු පැහැ ඇතිරිල්ල යටටම ඇඳෙන්නේය.
“තිළිණි….. මැණික ?”
ඔහු වහා ඕ ඔසවා තමා අසලටම ගත්තේය. චරිත්ගේ පපුවට ගුලි වෙන්නට ඉන් ඇයට ඉඩ ලැබුණි. ඕ මහ හඬින් ඉකි ගැසුවාය. චරිත් ඇගේ නිරුවත් පිට මතට නිදහසේවැටී තිබුණු හිස කේ පිරිමැද්දේය.
ක්‍රම ක්‍රමයෙන් තිළිණි සන්සුන් වූවාය. ඉකිය නිවී යන වග දැනෙන්නට විය. චරිත් ඇයට ඇති තරම් ඉඩ දුන්නේය.
මෙය සැලසුම් සහගතව සිදු වූවක් බව දන්නේ චරිත් පමණි. තිළිණි හා ආලිංගනයේ යෙදීමට චරිත් ට වූ ආශාවට හේතුව ඇය කෙරෙහි වූ ප්‍රේමයම පමණක් නොවන වග දන්නේද චරිත් පමණි. ඕනෑම ස්ත්‍රීයක ඉතා පහසුවෙන් නම්මවා ගැනීම තම හැකියාවක් යැයි විශ්වාස කරමින් සිටින චරිත් ට තිළිණිගේ මේ නොසලකා හැරීම පුදුමයක් විය.
ඒ නිසාම ඔහු මෙතරම් කල් පිඹුරුපත් සැකසුවේය. අවසානයේ ගොදුරට ලඟා විය.
“මට බයයි…”
තිළිණි මුදු ස්වරයකින් කෙඳිරුම් නැගුවාය.
“මාව විශ්වාස නැද්ද ?”
චරිත් විමසුවේය.
තිළිණි හුස්මක් නැඟුවාය. චරිත් ඇගේ හිස් මුදුනේ සිට ගෙල දක්වා වූ නවාතැන් කිහිපයක හාදු තවරමින් දෑස් පාදාගත්තේය.
ගැහැණු සොයා යන්නේ ආදරයය. ඒ ආදරේ ලැබෙන තැන් වලදී මුලු ලෝකයක් සමඟ හෝ ගැටෙමින් සටන් කරන්නට ඔවුහු පැකිලෙන්නේ නැත. එලෙසින්ම ආදරය ලැබෙන තැන් වල නැංගුරම් ලමින්ම නැවතී සිටින්නටද පැකිලෙන්නේ නැත. තිළිණිගේ දෑස් කියන්නේද ඒ කතාවය. චරිත් වහා දෑස් වලින් මිදුණේය.
දෙදෙනා පසුදා උදෑසන පෙරළා හෝටලය ට පැමිණි මොහොතේ, තිළිණි යම් ප්‍රබෝධමත් හැඟීමකද, එපරිද්දෙන්ම වන යම් තිගැස්මකද සිටින වග වැටහුණා වුවද ශයිනි ඒ ගැන විමසා සිටුන්නට හදිසි වූයේ නැත. ඔවුන් දෙදෙනා පෙර දින රැය ගෙවන්නට ඇත්තේ තනිවම බව ශයිනි දනී. එනිසාම යම් ප්‍රහර්ශණීය හැඟීමක් දෙන්නා කෙරෙන්ම වෑහීම සාධාරණය.
ඔවුන් වැඩිහිටියන් ය. එනිසා එවන් විමසීමක් වෙනුවෙන් පවා ශයිනිට සිතක් වූයේ නැත. ඒ නැතත් ඇයට තමා වටා සංසරණය වන හරි හැටි සීමා සිතා ගත නොහැකි පරිධියක් විය.
පෙර දින අමයුරු ගේ ඇණුම්පද ය තවමත් සිත රිදවන්නේය. උත්සාහ කලේ ඔහු හා යම් මිතුදමක් ගොඩ නඟා ගන්නට පමණි. එහෙත් ඔහු කඩු තුඩු පාවිච්චි කරන්නේය.
පහසුවෙ වචන වලින් නොරිදෙන තමාට අමයුරුගේ වචන වලට මෙතරම් කීරි ගැසෙන වේදනාවක් දැනෙන්නේ ඇයිදැයි කල්පනා කරන්නට ශයිනිට අවැසිය. පෙරදින මැදියම් රැය පසු වනතුරුම නින්දක් දෑස් තෙමා නොගත්තේ ඒ අකාරුණික ස්වරය සිහි වීමේන් නොවේද ? ඇසිල්ලෙන් අකලංක ගේ දෑස් මතු විය.
මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ලෙසින් ඒ ඇස් යළි යළි අමතක නොවන ලෙසින් විස්තර කරන්නට ශයිනිට හැක. අමයුරු සමඟ දොඬමලු වෙද්දී සිතට දැනෙන කිතිය ඉක්මවා යන හැඟීමක් ඒ ඇස් වලින් දැනෙනවා නොවේදැයි ශයිනි යලි කල්පනා කලේය.
එහෙත් සැනින් අමයුරු ගේ දොඬමලු ස්වර ඉස්මතු වී අකලංක ගේ මැජික්මය ඇස් යටපත් කර දැම්මේය.
ශයිනි චරිත් අමතා කල යුතු රාජකාරි කිහිපයක් වෙනුවෙන් ලිපි ගොනු ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලා සිටියේය. එම ලිපි ගොනු සම්පූර්ණයෙන්ම පරික්ශා කර බලා එවිය යුතු බව චරිත් පැවසූ නිසා ශයිනි කැබිනයෙන් පිටතට පැමිණියේය.
පහල මාළයේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කර ඇති කොටසේ ටෙලියේ යම් කොටසක් රූගත කෙරෙන බව ඇයට පෙනෙයි. ඕ පසෙකින් වූ විශාල දැවමය කණුවට මුවාවී ඒ දෙස බලා උන්නාය.
මේසයක අසල හිඳ උන්නේ බන්ධනාය. ඇයට හරි හැටි සිහියට නොඑන, එහෙත් දැක පුරුදු තරුණයෙක් ඇය හා සමඟ සංවාදයකය. තරුණයා සිටින්නේ සිටගෙනය. සංවාදයක් යැයි කීවාට එහි ඇත්තේ තර්ජනාත්මක අවධාරණයක් බව ශයිනි වටහා ගත්තේ ඔහුගේ අංගචලන වලිනි.
කැමරා ශිල්පියා බොහෝ සීරුවෙන් සියලු කෝණ ආවරණය කරමින් දර්ශනය නතු කරගන්නට උත්සාහ දරයි. අධ්‍යක්ෂවරයා ගේ රුවද, සහය අධ්‍යක්ෂවරයා ද ශයිනිට හුරුය. එහෙත් එහි යම් අඩුවක් ඇති වග ඇයට ස්ථිරය. ඕ එබෙමින් කිසිවෙකු සෙව්වාය.
ඈ සිටින ඉමට නොපෙනෙනවා වුවද, ඒ මැජික්මය ඇස් යුග්මය කොහේ හෝ සිටිනවා විය යුතු නොවේදැයි විශ්වාසයෙන් ඕ තවත් එබෙමින් උන්නාය.
“වැටෙයි…”
එක්වරම පිටිපස්සෙන් ඇසුණු හඬින් ඕ තිගැස්සි හැරුණාය. දෑත් ආධාරක කණුවේ තදින් වෙලී තිබුණි. ඒ තියා ඇගේ ගතම වූයේ එයට හිරවය.
අර සෙවු, මැජික්මය ඇස් දෙකත්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනත් , ඉතා ඝණ ඇහි බැම යුග්මයත් ශයිනි අල්ලා ගත්තේය. ඕ ඇද ගත්තේය. පුසුඹක් නුහුරු ආශ්වාසයක් ඇගේ නාස් පුඩු ඉම්බේය. ඕ වහා ඉවතට වූවාය. ඈ වටා වෙළුණු දැඩි සුරත ඇයට ඉඩ දුන්නේය.
“මිස් ..ටර්…අක..ලං.ක…”
ඇය වියළුණු මුව තුළ කෙල බිඳක් තවරා ගන්නට වෙහෙසුණාය. එහෙත්, මැජික් වලට හසුවූ පසු අප පාලනයෙන් තොරය.
“යැස්… කාවද මේ එබීගෙම බැලුවේ..?”
“නෑ.. මම ශූටින් බලාගෙන හිටියේ… නිකන්…”
ඕ වහා කියා දැම්මාය. අකලංක සිනාසුණේය.
“ඉතින් පහලට ගිහින් බලන්න. මෙව්වා අපේ නෙවෙයි නෙහ්… වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාවගේ නෙහ්……”
අකලංක ගේ ඇණුම්පදයද, අර අමයුරුගේ ස්වරයෙන්ම ශයිනිගේ පපු මැද කඩු තුඩක රිදුමක් තැනුවේය. ඕ සිනාසුණේ අපහසුවෙනි. මේ හැඟීම් මෙතරම් මෙලෙස විය යුතු නැත. සැබැවින්ම කෙතරම් කොහොමදැයි ඇසුවහොත් ශයිනිට ඒ වෙනුවෙන් දෙන්නට උත්තර නැත.
ඕ වහා හැරී කැබිනය තුලට රිංගාගත්තාය. තමන්ගේ ම තැන, තමාට සුව පහසු වන්නේ නැතැයි යනහැඟීම ඉතා තදින් ඇය පෙලන්නට විය.
| අපේක්ෂා ගුණරත්න |