වයස් බේදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් පැතිරිලා යන, ඒවා නිසා සමාජයේ බොහෝ දෙනෙක් වගේම මුළු සෞඛ්‍ය පද්ධතියක්ම ගැටළු රාශියකට මුහුණ දෙමින් ඉන්න කාලවකවානුවක් තමයි අපි මේ ගත කරමින් ඉන්නෙ.
බෝ නොවන රෝග ගැන කතා කරද්දි පිළිකා, දියවැඩියාව, හෘද රෝග, සන්ධි සහ අස්ථි ආබාධ වගේම කොලෙස්ට්‍රෝල් ගැන වැඩි වැඩියෙන් අපිට අහන්න ලැබෙනවා.
අන්න ඒ අතරින් එක තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන් කොලෙස්ට්‍රෝල් ගැන කතා කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.
කොලෙස්ට්‍රෝල් ගැන ඔබ දැන සිටිය යුතු සියළුම දේ සරලව ඔබත් එක්ක බෙදාගන්න වගේම කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානම අඩුකර ගන්නෙ කොහොමද කියන කාරණාවත් මේ ලිපියෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මුලින්ම අපි බලමු කොලෙස්ට්‍රෝල් කියන්නෙ මොකක්ද කියල?
කොලෙස්ට්‍රෝල් කියන්නෙ මොකක්ද?
කොලෙස්ට්‍රෝල් කියන්නෙ අපේ ශරීරයේ සියළුම සෛල වල දකින්න ලැබෙන ඉටි සහ මේදය වැනි ද්‍රව්‍යයක්.
ශරීරයට අවශ්‍ය සමහර හෝමෝන, විටමින් D සහ ආහාර ජීර්ණය කරන්න උදව් වෙන සංයෝග කීපයක් හදන්න යම් කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් තිබීමත් වැදගත් වෙනවා.
නමුත්, ඒ සඳහා අවශ්‍ය සියළුම කොලෙස්ට්‍රෝල් ශරීරය තුළම නිපදවා ගැනීමේ හැකියාවත් අපේ ශරීරයටම තියෙනව කියන කාරණාව අපි මතක තබාගත යුතුමයි.
බිත්තර කහ මදය, චීස් වගේම මස් වගේ කෑම වර්ග වලිනුත් අපේ බාහිරින් ශරීරයට කොලෙස්ට්‍ර්‍රොල් එකතු වෙනවා.
නමුත්, ඔබේ රුධිරයට එකතු වෙලා තියෙන කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැඩි නම් කොලෙස්ට්‍රෝල් රුධිරයේ ඇති අනෙක් සංයෝග සමඟ එකතු වී ඵලක වැනි ව්‍යුහ සෑදීම සිදුවෙනවා.
මේ ඵලක වැනි ව්‍යුහ රුධිර ධමනි වල බිත්තියට ඇලී ධමනි බිත්ති සිහින් කරනවා. මේ නිසා කිරීටක ධමනි රෝගය ඇතිවෙන්නත් ඉඩකඩ තිබෙන බව අපි මෙහිදී සඳහන් කල යුතුමයි.
දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදුවීම නිසා රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වීමේ අවධානමකුත් තියෙනව.
හොඳයි. ඊළඟට අපි බලමු අපේ ශරීරයේ අඩංගු වෙන කොලෙස්ට්‍රෝල් වර්ග මොනවද කියල?
HDL, LDL සහ VLDL කියන්නෙ මොනවද?
අපේ ශරීරයේ ලිපෝප්‍රෝටීන වර්ග 03 ක් හඳුනාගන්න ලැබෙනවා.
ලිපෝප්‍රෝටීන කියන්නෙ ප්‍රෝටීන් සහ මේද(ලිපිඩ) එක්ව සාදන සංයෝගයක්.
ප්‍රෝටීන සමඟ බැඳීම නිසා රුධිරය සමඟ ශරීරය පුරා ගමන් කිරීමේ හැකියාව මේද අම්ල වලට ලැබෙනවා.
HDL (high-density lipoprotein) එහෙමත් නැත්නම් අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන, හොඳ කොලෙස්ට්‍රෝල් කියලත් හඳුන්වන්න පුළුවන්.
එහෙම හඳුන්වන්න හේතුව තමයි, ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් වල තියෙන කොලෙස්ට්‍රෝල් අක්මාව වෙත රැගෙන යාම සිදුකරන්නෙ මේ ලිපෝප්‍රෝටීන මඟින් වීම නිසයි.
එවිට, අක්මාවට ශරීරයෙන් කොලෙස්ට්‍රෝල් ඉවත් කරන්න පුළුවන්.
LDL (low-density lipoprotein) එහෙමත් නැත්නම් අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන, නරක කොලෙස්ට්‍රෝල් කියලයි හඳුන්වන්නෙ.
ධමනි බිත්ති වල ඇලී තිබෙන ඵලක වැනි ව්‍යුහ සාදා ධමනි බිත්ති සිහින් කර ඒ ඔස්සේ රුධිර ගමනාගමනය අවහිර කරන්න LDL හේතුවීම තමයි නරක කොලෙස්ට්‍රෝල් කියල මේ ලිපෝප්‍රෝටීන හඳුන්වන්න හේතුව වෙන්නෙ.
VLDL (very low-density lipoprotein) වර්ගයත් නරක කොලෙස්ට්‍රෝල් විදිහට හඳුන්වන්නෙ ඒවාත් LDL වගේම ධමනි තුළ රුධිර ගමනාගමනය අවහිර කරන්න හේතුවෙන නිසයි.
නමුත්, නමුත් LDL ප්‍රධාන වශයෙන් කොලෙස්ට්‍රෝල් රැගෙන යද්දි VLDL ට්‍රයිග්ලිසරයිඩ රැගෙන යාම මේ සංයෝග දෙක අතර ප්‍රධාන වෙනස්කම විදිහට හඳුන්වන්න පුළුවන්.
ඊළඟට අපි බලමු ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවෙන්න බලපාන හේතු මොනවද කියල?
රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවීමට හේතු
ආහාර පුරුදු
රුධිරයේ කොල්ස්ට්‍රෝල් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ දමන්න ප්‍රධාන හේතුවක් විදිහට නරක ආහාර පුරුදු හඳුන්වන්න පුළුවන්.
ගැඹුරු තෙලේ බඳින ලද ආහාර, ක්ෂණික කෑම වර්ග, සොසේජස්, බේකන්, හැම්, මීට්බෝල්ස් වගේ සකසන ලද මස් වර්ග සහ මස්, යෝගට්, චීස්, බිත්තර වගේ ආහාර සීමාවකින් හෝ පාලනයකින් තොරව ආහාරයට ගැනීම රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යන්න ඍජුමව බලපානවා.
ව්‍යායාම හිඟකම
ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වල අඩුවෙන් නිරත වෙන කෙනෙක් නම්, වැඩිපුර වාඩිවී හෝ ව්‍යායාම නොකර ඉන්න කෙනෙක් නම් එයත් ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකරන්න හේතුවෙනවා.
ඒ වගේම ඔබේ ශරීරයේ HDL එහෙමත් නැත්නම් හොඳ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුවීමේ අවධානමකුත් මේ නිසා ඇතිවෙන්න පුළුවන්.
දුම්පානය
දුම්පානයත් කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි කරන්න ඍජුවම බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රුධිරයේ HDL මට්ටම අඩු කරන්න දුම්පානය කිරීම හේතු සාධකයක්.
සමහර විට පවුලේ කොලෙස්ට්‍රෝල් ඉතිහාසයත් මේ සඳහා බලපාන්න පුළුවන්. ජානගතව පැමිණෙන ඉහළ කොලෙස්ට්‍රෝල් මට්ටම නිසා ඇතිවෙන familial hypercholesterolemia (FH) තත්වයන් දකින්න ලැබෙන්නෙත් ඒ නිසයි.
මීට අමතරව සමහර ලෙඩ රෝග සහ ඖෂධ නිසත් කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම අවධානමක් හඳුනාගන්න පුළුවන්.
කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානම ඇති කරන සාධක මොනවද?
ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නෙ දැනට නැතත්, කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානම ඇති අය කවුද කියන කාරණාවයි. බලන්නකෝ මේ අවධානම් සාධක ඔබටත් තියෙනවද කියල?
වයස
ඔබ වයසින් වැඩිවෙනවත් එක්කම කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමේ අවධානමක් තියෙනව.
ඒ වුනත් අද වෙද්දී විශේෂයෙන්ම මේ අහිතකර ආහාර පුරුදු සහ කාර්‍යබහුල ජීවන රටාව නිසා කුඩා ළමයි සහ තරුණ ප්‍රජාව අතරත් ඉහළ කොලෙස්ට්‍රෝල් මට්ටමක් දකින්න ලබෙනවා.
ජාන
ජානගතව පැමිණෙන කොලෙස්ට්‍රෝල් වැඩිවීමේ අවධානමකුත් පවතින්න පුළුවන්.
බර
ඔබ අධික තරබාරු හෝ තරබාරු පුද්ගලයෙක් නම් කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානමක් තියෙනවා.
ජාතිය
ඔබ විශ්වාස කරනවද සමහර ජාතීන් වල ජනතාව අතර කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතිබව උදාහරණයක් විදිහට අප්‍රිකානු ඇමෙරිකානු ජාතීන්ගේ රුධිරගත HDL සහ LDL මට්ටම සුදු ජාතීන්ට වඩා ඉහළ අගයක් ගන්නවා.
කොල්ස්ට්‍රෝල් වැඩි වුනාම මොකද වෙන්නෙ?
රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවී එම කොලෙස්ට්‍රෝල් ධමනි බිත්ති වල තැම්පත් වීම නිසා රුධිර සංසරණයට බාධා ඇතිවෙන්න පුළුවන්.
රුධිර නාල සිහින් වීම නිසා සහ ඵලක තැම්පත් වීම නිසා හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීමේ අවධානමකුත් දකින්න ලැබෙනවා.
ඊට අමතරව මොළයට සැපයෙන ඔක්සිජන් මට්ටම අඩුවී ආඝාතය, පර්‍යන්ත සහ කැරටොයිඩ් ධමනි රෝග ඇතිවීමේ අවධානමකුත් තියෙනවා.
රුධිර පරීක්ෂණයක් ඇරෙන්න ඔබේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ ගොස් ඇතිබව හඳුනගන්න වෙනත් රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නෙ නැහැ.
අවුරුදු 09 ත් 11 ත් අතර කාලයේදී මුල්ම කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව කරන්නත්, ඉන්පසු අවුරුදු 05 කට වරක් පරීක්ෂණ කරගැනීම වඩා යහපත් බව මෙහිදී අපි මතක් කරන්න කැමතියි.
පවුල් ඉතිහාසයක් ඇත්නම් සමහර දරුවන්ට වයස අවුරුදු 02 දී පවා කොලෙස්ට්‍රෝල් අවධානමක් ඇතිවූ අවස්ථාත් වාර්තා වෙනවා.
අද පවතින ආහාර රටාවත් එක්ක අවම වශයෙන් වසර 01 කට 05 කට වරක් කොලෙස්ට්‍රෝල් මට්ටම පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.
ඔබ ගන්නා ආහාර පාලනයකින් යුතුව ආහාරයට ගන්න වගේම හැකි තරම් සෞඛ්‍යාරක්ෂිත ආහාර තෝරගන්නත්, ව්‍යායාම සහ නිසි පරීක්ෂාවන් සුදුසු කාලයේදී කරගන්නත් දුම්බීම වැනි අහිතකර සෞඛ්‍ය පුරුදු වලින් ඈත් වී නීරෝගී ජීවන රටාවකට හුරුවීමෙනුත් කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානම අඩුකර ගන්න ඔබට පුළුවන්.
ඉතිං අද ලිපිය ඔබට වැදගත් වන්නට ඇතැයි සිතනවා වගේම මෙවැනිම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
සුවෙන්, සතුටින් ඉන්න !
සටහන – දුලානි නවෝද්‍යා