මා හද තුළ ඔබ 14

ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පිරිස සිය කියුබිකල් වලින් පිටතට විත් ඉඩ කඩ ඇති අවකාශයෙහි, සමනල් දිවයුරු රණසිංහ- ප්‍රධාන විධායක නිලධාරියා ගේ කුටිය ඉදිරියෙහි තැන් තැන් වල සිට ගෙන සිටියහ. ඒ කාර්යාල කාර්ය සහායකයා අත සමනල් යැවූ පණිවිඩයක් මතයි. ප්‍රධාන විධායක නිලධාරියා ගේ කුටිය වන්නේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ගේ කුටියට යාබදව, ගොඩනැගිල්ලෙහි තරමක් උස වේදිකාවක් මත ය. ඒවාට ඇතුළු විය යුත්තේ එක් එක් කුටියෙහි ද්වාරය ඉදිරියෙන් වන පිය ගැට තුන නැගීමෙනි. තද නිල් පැහැති කාපට් එකකින් ඒ බිම ආවරණය වී තිබේ. එම වේදිකාවට ඔබ්බෙන් විශාල අවකාශය කුඩා කියුබිකල් වලට වෙන් කොට තිබේ. ඒවා ඉහළ මට්ටමෙහි නිලධාරීන් වෙනුවෙනි. ගිනුම් අංශය ද දැන්වීම් අංශය ද ඉහළ මහල් වල ස්ථාපිත ය.

සමනල් ගේ හදිසි කැඳවීම ගැන අදහසක් කිසිවෙකුට වූයේ නැත. එහෙයින් ම ඔවුන් ගේ මුහුණු වල වූයේ කුකුසකි. වැඩි වෙලා ඔවුන් ඒ කුතුහලයෙහි නොමඬා, සමනල් සිය කුටියෙහි ද්වාරය වෙත ගියේ ය. එතැන වේදිකාවක් සේ උස් නිසා හැම මුහුණක් ම හොඳින් පෙනේ.

“මං ඕගොල්ලොන්ට මේ වෙලාවෙ කතා කරන්න හිතුවෙ…අපේ අලුත් ඇසිස්ටන්ට් කෝඩිනේටින් මැනේජර් ඉන්ට්‍රඩියුස් කරන්න. මේ ඉන්නෙ තඹරු. තඹරු පියුම්රා.  ඉන්ටර්න්ශිප් එකේ මෙහෙ වැඩ කරන්න කැමති වෙලා ඉන්නව”

එහෙම කියමින් සමනල්, ඔහු ගේ කුටියෙහි ඔහුට පිටුපසින් සිටිනා තඹරු වෙතට අත දිගු කළේ ය. ඒ ඉඟියෙන් ඇය ඉදිරියට, ඔහු වෙතට ආවා ය.

“කට්ටියගෙ සපෝට් එක ලැබුණොත් තඹරු ඉන්ටර්න්ශිප් එකෙන් පස්සෙත් අපිත් එක්කම වැඩ කරයි. නේද තඹරු…”

එහෙම කියා ඔහු මිත්‍රශීලී සිනහවකින් ඇදෙස බැලුවේ ය. ඇය මඳහසක් නඟා ගත්තා පමණි. ඒ වත ප්‍රභාමත් ය. සූර්යෝදයක් වාගේ ය. ඒ පෞරුෂය සිය ඇස් වල අනිනා ලද කටුවක් සේ දැනුණු අය ද එතැන නොවූවා නොවේ. සමනල් ගේ ඉඟියකින් කාර්යාල සේවකයා ඔහු වෙතට මල් කළඹක් ගෙනැවිත් දුන්නේ ය.

“ඉතින්…ඔයාල ඔක්කොමලම වෙනුවෙන් ගැලැක්සි ගෘෘප් ඔෆ් කම්පනීස් වලට මං තඹරුව පිළිගන්නව. මේක තඹරුගෙ වෙරි ෆස්ට් අපොයින්මන්ට් එක. සතුටෙන් උනන්දුවෙන් වැඩ පටන් ගන්න අපි කවුරුත් එයාට විශ් කරමු”

සමනල් මල් කළඹ තඹරු වෙත පෑවේ ය. ඇය ඒ දෝතින් ගත්තේ, දෙතොල් තර කොට පියාගත් සිනහවකිනි. ඇගේ දෑස් සිහින් කරමින් ද දෙකොපුල් පොපියමින් ද කොපුලක් මත ඩිම්පල් එක පැහැදිලිව ඉස්මතු කරමින් ද ඒ සිනහව විකසිත විය. සමනල් සිය සුරත ඇය වෙත පෑවේ ය. ඇගේ සුරත බෙහෙවින් ම මොළකැටි ය. අත්පොළසන් හඬක් තැන් තැන් වලින් නැඟිණි.

“තෑන්ක් යූ…”

ඇසෙන නෑසෙන තරමට ඇගේ හඬ සිහින් වූයේ ය. ඒ තරම් ලස්සනට ඇය ඔහු සමගින් සිනහ වූ ප්‍රථම වතාව ලෙසට සමනල් ගේ සිතේ ඒ මොහොත නිදන්ගත විය.

“ඉතින්…කෝඩිනේටින් මැනේජර් කෙනෙක් කියන්නෙ කම්පනි එකේ හැම එම්ප්ලෝයී කෙනෙක් එක්කම හොඳ කමියුනිකේශන් එකක් තියෙන්න ඕන කෙනෙක් කියල ඕගොල්ලො දන්නවනෙ. තඹරුට හැමෝම සහයෝගය දක්වයි කියල මං බලාපොරොත්තු වෙනව. තෑන්ක් යූ එහෙනං”

සමනල් කතාව හමාර කළේ ඔවුන්ගේ සම්බන්ධීකාරක කලමණාකාරවරයාව සිය කුටියට කැඳවමිනි.

“ලස්සන කෙල්ලෙක් ආ. නම වගේම අන්කොමන්”

විසිර යන ගමන් පිරිස අතරින් කොල්ලෙකු කීවේ ය.

“අපිවනං ඔහොම මල් දීල පිළිගත්තෙ නෑ හාන්දුනේ”

කෙල්ලක සමච්චල් ස්වරයකින් මිමිණුවා ය.

“ගෑනුංගෙ ඊරිසියාව බං…ඒ මලටත් ඊරිසියා කළානෙ”

” දෙන්නම එකම කලර් එක ඇඳල…නෝටිස් වුන්නැද්ද ඒක”

ඇතැමෙකු ආපසු හැරී බැලුවේ එතකොට ය.

පෙර දා හවස මහරගම ගොස් තඹරු ඒ ඇඳුම් කට්ටලය මිල දී ගත්තේ රැකියාවට යන්නට තීරණය කිරීමෙන් පස්සේ ය.

“කැම්පස් ඇඳල පට්ටගහපුවම අඳින්නත් බෑනෙ. දැනට ඇඳුං තුන හතරක් ගන්නකො. ලබන සතිය දිහාට අපි තව දෙක තුනක් ගමු”

රන්මුතු බැංකු ඩෙබිට් කාඩ්පත දියණිය ට දුන්නා ය. අම්මා යම් මුදලක් එහි තබා ගෙන එකතු කරනවා නම් ඒ ලබන මාසයෙහි ගෙදර වියහියදම බව තඹරු දනී. යම් කිසි ශේෂයක් එහි තියෙන්නට පිළිවන. නමුත් ඒ ඕනෑ ම හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙනි.

“එච්චර ඕන්නෑ අම්ම. පරණ ඇඳුං ශේප් කරගන්නව”

“පැහෙන්නැතුව ගන්නකො. පිළිවෙලට ඇඳුං ඇන්දහම අපේ ජීවිත පිළිවෙළ වෙනව. අපිට අපි ගැන වටිනකමක් විශ්වාසයක් දැනෙන්න ගන්නව. පිළිවෙලට වැඩ කරන මිනිස්සු අපිට වැඩියෙන් ආකර්ෂණය වෙනව. අනිත් එක එහෙම තැනක වැඩ කරනකොට ආවට ගියාට ඇඳල බෑ. ඔයාගෙ පෝස්ට් එක ඇසිස්ටන්ට් කෝඩිනේටින් මැනේජර්. ජීවත් වෙනව කියන්නෙ අපිට අපිව ලස්සනට නඩත්තු කරන්න වෙනව කියන එකට බබූ”

රන්මුතු අවධාරණය කළා ය. අම්මාගේ පෙරැත්තය නිසා තඹරු ඇඳුම් කිහිපයක් මිල දී ගත්තා ය. අළු පාට ටයිට් ස්කර්ට් එකත් සුදු පාට බ්ලවුස් එකත් මුලින් ම අඳින්නට තීරණය කළේ, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සමනල් ව ප්‍රථම වරට දුටු මොහොතේ ඔහු සැරසී උන් ඇඳුම් කට්ටලයෙහි පාට සිහි වී ය. නමුත් ඔහු අද ද ඒ පාට වලින් ම ඇඳුම් තෝරා ගනීවියි ඇය කිසි සේත් සිතුවේ නැත. කලිසම විවිධ වර්ණ වලින් තෝරා ගත්ත ද කාර්යාලයට එත්දී සමනල් වැඩි වශයෙන් ඇන්දේ සුදු කමිස ය. ඒ බව වචන නැතිව ම අවබෝධ කර ගන්නට තඹරු ට තව මඳක් කල් ගත වනු ඇත.

සමනල් ඇයට වැඩ පුහුණු කිරීම සඳහා සම්බන්ධීකාරක කළමනාකාරවරයා ට භාර දුන්නේ ය. ඇය වෙනුවෙන් සමනල් ට ඉදිරියෙන් වූ හිස් කුඩා කියුබිකල් එක වෙන් විය. තඹරු වැඩ පටන් ගත්තේ සතුටෙනි. උද්‍යෝගයෙනි. ඇයට ලැබුණු ලිපි ගොනු පිළිවෙලට තැන්පත් කෙරිණ.  කාර්යාල කාර්ය සහායක තරුණයාට කියා ඇය මල් පොකුර පර නොවී තබා ගන්නට ජල බඳුනක් ගෙන්වා ගත්තා ය.

“ඇස්වහක් කටවහක් වදින්නෙපා මිසුත් මලක් වගේම තමයි”

තරමක් කට කියවන විහිළුවට බර පාලිත එසේ කියත්දී තඹරු මඳක් ඉහළ බලා ගෙන හයියෙන් සිනහ වූවා ය. ඇගේ ඇස් පියවී ගියේ ය. දෑතින් හිස කේ එක මිටකට ගොනු කළ යුවතිය ඊළඟ නිමේශයේ එය අතැර දැමුවා ය. ඒ ඉරියව් සියල්ල සමනල් ගේ ඇස් වලට හසු විය.

“පාලිතට එහෙම ජොබ් එකකුත් පවරලද තියෙන්නෙ…”

“කොහොම ජොබ් එකක්ද මිස්…”

“ඔෆිස් එකේ වැඩ කරන අයව බොරුවට වර්ණනා කරන ජොබ් එකක්”

“බොරුවට නෙවෙයි. මේස් දෙක පල්ල…බලන්නකො මේකෙ ඉන්න හෝහපුටුවන්ගෙන් මිස්ට බේරිල්ලක් තියෙයිද කියල”

තඹරු නැවත ද සිනහ වූවා ය. නෙළුමක් වන් ඒ පියකරු මුහුණ, සමනල් ගේ පිරිමි හිත තවත් තදින් ඇය කෙරේ ඇබ්බැහි කරවමින් තිබිණ.

ඒ දවස තුළ ආයතනයෙහි ක්‍රියා පටිපාටිය ගැන හොඳ දැනුමක් ඇය ලැබුවා ය. ඇගේ ප්‍රධානියා හා පුහුණුකරු වැඩිහිටි- අත්දැකීම් බහුල නිලධාරියෙකි. ඔහු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයෙහි සියලු නිලධාරීන් වෙතට ඇය කැටිව ගොස් වෙන වෙන ම හඳුන්වා දුන්නේ ය. ඇය දිවා ආහාර ගැනීමට භෝජනාගාරයට ගියේ ද ඔහු සමගිනි. සමනල් එදෙස බලා සිටියේ ය. නමුත් තඹරු නම් ඒ කුටිය දෙස නොබලා සිය කටයුතු කරගෙන යන්නට හැකි තාක් ප්‍රවේසම් වූවා ය.

මල් පොකුර කුටිය තුළ තියෙන්නට හරිනවාද ගෙදර ගෙන යනවාද කියා හවස් වන තුරුත් ඇයට සිතා ගත නො හැකි විය. නමුත් එය පෞද්ගලිකව ඇය වෙනුවෙන් ලැබුණ තිලිණයකි. එය මෙහි දමා යාම, ඒ තිලිණය අවතක්සේරු කිරීමක් සේ දැනෙන්නට බැරි නැත. කාර්යාලයේ අය හවස හතර පසු වූ විට ඉන්නේ ගෙදර යන මානසිකත්වයේ ය. ගෑනු ළමයින් නම් කල් ඇතිව ම වොශ් රූම් බදු ගෙන මූණු සෝදති. පවුඩර් දමති. කොණ්ඩා පීරති. විවාහක පිරිමින්ට නම් තව පැයක් දෙකක් වැඩ තිබුණත් කමක් නැති සේ ය. පිරිමි ළමයින් ට ගෑනු ළමයින් හමු වීමට යාමේ බලාපොරොත්තු තිබේ. අලුත් විලවුන් සුවඳ කාර්යාල පරිශ්‍රයෙහි වහනය වේ. තඹරු ඒ සියල්ල දුර සිට දකිමින් වින්දනය කළා ය. විශ්ව විද්‍යාලයේ සේ නොව කාර්යාලයක පසුබිම වෙනස් වේ. විශ්ව විද්‍යාලයේ තරම් එය සරල හා සැහැල්ලු නැත. වගකීම් වලින් ගහන ය. සියුම් ය.

කාර්යාල සගයින් ට දවසේ දිග ම කාලය හතරේ සිට පහ වන තුරු හෝරාවයි. පහ වන විට ඇඟිලි සලකුණු තබා පිටත් වීමට නලියති. තඹරු තවත් ටික වෙලාවක් රැඳී ලිපිගොනු අස්පස් කළා ය. හෙට වැඩ පටන් ගත යුතු පිළිවෙලට ඒවා සකසා තැබුවා ය. වැඩට ආ පළමු දිනයේ පහ වන විට පැන ගැනීම නොතරම් යයි ඇයට සිතුණ බැවිනි.

සමනල් හිටියේ වැඩ වවා ගනිමිනි. වෙනදාට ඔහු එන්නේ පමා වී ය. යන්නේ හෝරා කිහිපයක් කලිනි. දැන් කාල සටහන වෙනස් වෙන්නට යයි. ඔහු වීදුරු පවුරෙන් පෙනෙනා තඹරු දෙස විටින් විට බලා සිටියේ ඔහු ම නො දන්නා හැඟුම් සයුරක රළ පෙළ අතරේ හිඳ ය. ඔහු ගේ දෙතොල් අතරේ ඔහු ම නොදැන මඳහසක් පිළිසිඳේ. තමන් ගැන ආඩම්බරයක්  දැනේ. දවස පුරා ම විජයග්‍රාහී බවක් හිස ඔසවා ගෙන සිටියේ ය. කාලයකට පස්සේ අයිතිකර ගන්නට හිතුණ එක ම ගෑනු ළමයා ඇයයි. දැන් ඇය ඔහු ගේ නෙතු මානයේ ය. හැම මොහොතක ම ඔහු ට පෙනෙනා දුරක ය. ගැහැනු හදක් පොඩි පොඩි දේවලින් තෘප්ත කළ හැක. නමුත් පිරිමි හදවතක් තෘප්තිමත් කිරීමට ලොකු දේවල් අවශ්‍ය ය. ඕනේ කියා හිතෙන දේවල් ඒ තත්වයෙන් ම අවශ්‍ය ය. තඹරු කියන්නේ මේ තරම් පහසුවෙන් ලං කර ගත හැකි වස්තුවකැයි ඔහු සිතුවේ ම නැත. අයිතිවාසිකමක් නොවී ද දැන් ඔහු ට කරඬුව දරනා හස්තියෙකු ගේ අභිමානය දැනේ. සාඩම්බර හැඟීමක් පපුව පුම්බා තිබෙනු දැනේ. ඇය මේ තරමට සමීප කර ගත හැකි වීම ඔහු ට මහා දෙයකි. කොල්ලන් සමග කයිවාරු ගසමින් බීර පොදක් තොල ගා සමරන්නට තරම් සතුටකි.

තඹරු පමා වෙමින් සිටියදී සමනල් ඇගේ කුටියේ දොර හැර ඊට එබුණේ ය.

“යන්නැද්ද…අද මෙහෙ ඉන්නද හිතං ඉන්නෙ…”

යුවතිය ආඩම්බර සිනහවකින් නැගී සිටියා ය. එක අතක වැළමිට සන්ධියෙහි අත් බෑගය එල්ලා ගනිමින් අනිත් අතට මල් කළඹ ගත්තා ය.

“ඕකත් අරං බස් එකේ යන්නද හදන්නෙ…”

“මං කැබ් එකක් දාගන්නව”

ඇය ඉක්මන් කොට කීවා ය. ඒ සමනල් ඇයට ඔහු ගේ රියෙහි නැගෙන්නට ඇරයුම් කරතැයි බියෙනි. ඔහු ගේ කට කොනක සිනහවක් රැලි නැගුවේ ය. ගෙවී ගිය දවස් වලට වඩා උදා වී ඇති දවස් වෙනස් ය. කාර්යාල පරිශ්‍රයෙන් ඇය රියට නංවා ගැනීම දහසක් ඇස් හරවන ද කෝටියක් කතන්දර මුමුණන ද හේතුවක් වනු ඇත. තඹරු ඇගේ කුටියේ ද්වාරයෙන්, ඔහු ළඟින් ම, ඔහු ගේ සිරුරේ ස්පර්ශ නොවන ලෙස ඉතා පරිස්සමෙන්, ඇගේ සිරුරේ සෛල පවා හැකි තාක් සිරුර තුළට ගුලි කොට ගෙන පිට වූවා ය. එතකොට ඔහු ට සිතුණේ දෑතින් ම ඇය ඔහු තුළ සිර කොට ගන්නට යි. ඒ සිතිවිල්ල සිනහවක් ලෙස බැහැර විය. තඹරු හැරී ඔහු ගේ මූණ බැලුවා ය. මල් කළඹත් එක්ක ඇය හැරී බැලූ ඒ මොහොත කදිම ඡායාරූපයක් සේ ඔහු ගේ හිතේ සනිටුහන් විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles