වියළි කජු වලින් රස ම රස කජු මාලුවක් 

කජු කියන්නෙ රජ කෑමක් කියලා තමයි කියන්නේ. ඒ තරම් ම රස,පෝෂණීය කෑමක් විදියට කජු හඳුන්වන්න පුලුවන්. කජු වලින් හදන රසවත් ම කෑමක් තමයි කජු මාලුව.  ඉස්සර ගම්වල අවුරුදු කාලෙට කජු ගස්වල කජු පිරිලා. ඒවා වසර පුරාම පරිභෝජනය කරන්නත්, ගමෙන් නගරයේ වෙළඳපොළට එවන්නත් සෑහෙන තරම් තිබුණත්, දැන් අමුකජු පලදාව ඉස්සර තරම් නැහැ. ඒ නිසා ම අමුකජු මාලුවක් කන්න ලැබෙන්නෙ හරි ම කලාතුරකින් තමයි. ඒ නිසා ම අද මම හිතුවා වියළි කජුවලින්, අමුකජුවලින් වගේ ම රසට කජු මාලුවක් හදාගන්නෙ කොහොමද කියලා කියන්න. 

සේරට ම කලින් කජු ගැන ටිකක් දැනගෙන ඉමු ද?

කජු කියන්නෙ නට්ස්(nuts) වර්ගයක් කියලා අපි හිතුවට ඇත්තට ම කජු කියන්නේ නට්ස් වර්ගයක් නෙවෙයි. කජු පුහුලම එහෙම නැත්නම් කජු ගෙඩියේ ඇටය තමයි අපි මේ කජු කියලා කෑමට ගන්නේ. කජු ව්‍යංජනයක් ලෙස වගේ ම, අතුරුපසවල ටොපිංග්ස් සඳහාත්, බටර් සෑදීමටත්, කිරි සැකසීමටත් භාවිතා කරනවා.

කජුවලින් ඔබට ලැබෙන ප්‍රයෝජන

ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේද සහ පොලිෆෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් කජු සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙනවා.

සෑම දිනකම කජු පොඩි ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයින්ට LDL(නරක) කොලෙස්ටරෝල් හි කුඩා අඩුවීමක් දකින්නට පුලුවන් බව පර්යේෂණවලින් පෙනී යනවා.

කොලෙස්ටරෝල් අඩු කිරීමට පමණක් නොව, මැග්නීසියම් ඉහළ අන්තර්ගතය නිසා හෘද රෝග වළක්වා ගැනීමට කජු උපකාරී වෙනවා. ප්‍රමාණවත් මැග්නීසියම් ලබා ගැනීමෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්නට පුලුවන්.

කජු ග්‍රෑම් 100ක පෝෂණීය ගුණය

මොනොසැටරේටඩ් සහ බහු අසංතෘප්ත වර්ග ඇතුළු සෞඛ්‍ය සම්පන්න මේද වලින් කජු පොහොසත්. ඒ වගේ ම කජු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ද වෙනවා. බොහෝ වීගන් සහ නිර්මාංශිකයින් අතර කජු ජනප්‍රිය වීමට එය ප්‍රබල හේතුවක්. කජුවල ඇති පෝෂණ සංඝටක අතර, මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස්, සින්ක්, විටමින් B6, විටමින් K තිබෙනවා.

කජු මාලුව රසට හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • වියළි කජු ග්‍රෑම් 200ක්
  • සිහින් ව ලියූ රතුළූණු ග්‍රෑම් 25ක්
  • අමුමිරිස් ග්‍රෑම් 25ක්
  • කරපිංචා
  • රම්පෙ
  • කහ තේ හැඳි කාලක්
  • ලුණු අවශ්‍ය පමණට
  • උකු පොල්කිරි කෝප්පයක්
  • දිය කිරි කෝප්පයක්
  • උළුහාල් තේ හැඳි බාගයක්
  • උම්බලකඩ ටිකක්
  • ඉතා කුඩා කුරුඳු පොත්තක්

හදන්නේ මෙහෙමයි

කජු ටික පැය දොළහක් පමණ වතුරේ පෙඟෙන්නට තබන්න.එය පිරිසිදු කර වතුර පෙරාගන්න. දැන් උකුපොල්කිරි හැර ඉතිරි සියලු කලමනා සමග දියකිරි ද දමා කජු එක ලිපේ තබා තම්බා ගන්න. ඉන්පසු කිරි හොඳින් හිඳුණු පසු උකු පොල්කිරි එක කර නටවා ගන්න. නිවෙන විට කිරි ප්‍රමාණය උරාගෙන අඩු වෙන බැවින් හොදි අවශ්‍ය නම් ඉක්මනින් බා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles