සක්නද හරියටම නද දෙන්නේ මහා පෞරුෂත්වයක් ඉස්සරහය කියන පරණ කියමණ ඇත්තක් කරවන්න වගේමයි.
ජාදු ඉදිරියෙන් හරෝ හරා නමෝ ශිවා හඬ අස්සෙන් මහා සක් හඬක් ගිගුම් දුන්නා. ඒ වෙනකොටත් වාහනෙන් එළියට බැහැලා හිටපු ජාදු ගේ බඳ කොටස වාහනයට වැහිලයි තිබුණේ.වර්ණාසි වාහනය ඇතුළේ ඉඳන් පෙරහර දිහා බලාගෙන හිටියා.ජාදු තමන්ගේ පිස්තෝලය පෙරහැර දිහාවට ඉලක්ක කළා. හැබැයි පිස්තෝලය ඉනෙන් උඩට උස්සන්නෙ නැතුව ඉන්න ජාදු වගබලා ගත්තා . වර්ණාසි ව බොරුවට කලබල කරන්න ජාදු ට ඕනෑ වුණේ නෑ..
පෙරහැර ඉදිරියෙන් එන කණ්ඩායම පිස්තෝලය දැක්ක සැණින් ඉදිරියට ආ ගමන නතර කළා.මුලින් කතා වෙලා උන්නා වගේ පෙරහැර දෙකට බෙදිලා පාර දෙපැත්තට වෙන් වෙන්න ගත්තා.තාණ්ඩව සංගීත රාවයක් පැතිරෙද්දී සක්කඩ දිගින් දිගටම ගිගුම් දුන්නා.විදුලි වේගයෙන් නැවතත් වාහනය ඇතුළට පැනගත්තු ජාදු අකුණක වේගයෙන් වාහනය පෙරහර මැද්දෙන් ගමනාන්තය පැත්තට ධාවනය කළා. රතු නිල් කොල පතාක ධජ මැද්දෙන් දූවිලි අවුස්සගෙන ජීප් රතය වේගයෙන් ගියා..
වර්ණාසිට ඕන වුනේ පුළුවන් තරම් ඉක්මනින් තාත්තට කතා කරන්න.ඒ වුණාට තමන්ගේ ජංගමයත් තාත්තා ගත්තු බව වර්ණාසිට මතක් වුනා.
“මේ කැලෑ ඇතුලේ සිග්නලූත් නැතුව ඇති බේබි … ෆෝන් ගෙනාවත් වැඩක් වෙන එකක් නෑ..”
කියලා ජාදු කිව්වේ වර්ණාසිගේ හිත කියෙව්වා වගේ මිදුලෙ වාහනය නවත්තන ගමන් .
හීන් වැහි කුඩු පොදක් එක්ක හැමුව හුළඟ හීතල හිරිගඩු ගෙනාවා.වළාකුළින් ගැලවුණු සුදු රෙද්දක් මහා අකීකරු තාලෙට මීදුමක් වෙලා ගස් අස්සෙන් ගලාගෙන ගියා.ඈත අතීතයක නොදන්නා සුවඳක් වර්ණාසි හොයාගෙන ඇවිත් තිබුණා.ඉක්මනින්ම ජාදු කේසර දීපු යතුරෙන් ගෙදර දොර ඇරියා.එළියේ වර්ණාසිව තියන්න ජාදු කැමැති වුණේ නෑ. “
ඉක්මනට ඇතුලට එන්න බේබි ..”
“මෙච්චර ලස්සන ගෙයක්..
ඇයි මේ කැලෑව ඇතුලේ තාත්ති හැංගුවේ”
වර්ණාසි ජාදුගෙන් ඇහුවේ රහසින් වගේ…කඩා හැලෙන තුහීන පොද අස්සෙන් වර්ණාසි කළුගල් වලින් බැදපු පුංචි ගේ දිහා බලාගෙන හිටියා.තමන්ගේ ඇස් ඉස්සරහ මැවිලා තියෙන්නේ සින්ඩරැල්ලා කතාවේ සින්ඩරැල්ලගේ ගමේ තිබුණු පුංචි ගෙදරද කියලත් හිතුනා.
කැලෑවක් ඇතුලේ මේ වගේ ලස්සන ගෙයක් හැදුවෙ ඇයිද මං දන්නෑ? කියලා ජාදු ට කියන්න හිතුනත් එහෙම කිව්වේ නෑ..අනේ මන්ද බේබි කියනවා වගේ මූණක් ජාදු පෙන්නුවා. උස කුළුණු දිගේ රෝස වැල් ඇතිලා තිබුනා. හැමදාම වැටෙන පිණි පොදටත් දවල්ට වැටෙන අව්වටත් රෝස වැල් යහමින් කොළ සහ මල් පුරවගෙන තිබුණා.මේකනම් හීනයක ගෙදරක් වගේ වර්ණාසි නැවතත් හිතුවා. “
මේ ගෙදර නම් කාලයක් තිස්සේ කවුරු හරි රැක බලාගෙන තියෙනවා.. නැත්නම් කොහොමද මෙච්චර ලස්සනට තියෙන්නේ…”
කියාගෙන ජාදු බෑග් ටික ගේ ඇතුලට අරගෙන ගියා. ගෙට ඇතුල් වෙන්නේ නැතුව වර්ණාසි කැලෑ රෝස මල් වල සුවඳ උරා බොමින් හිටියා.ටික වෙලාවකින් ගෙදර ඇතුළට ආපු වර්ණාසි ගෙදර ප්‍රංශ සම්ප්‍රදායෙන් හදලා තියෙන බව අඳුනගත්තා. එල්ලෙන පුංචි ඔන්චිල්ලාව.. පැද්දෙන පුටු තුන… මීටර් පහක් විතර දිග සුවිසල් කෑම මේසය.. මැද මිදුල.. සාලය මැද එල්ලෙන විශාල පහන.. වර්ණාසිගේ සුරංගනා ලෝකය තව තවත් සම්පූර්ණ කලා.
“
බලන්නකො ජාදු … මේ ලාම්පුව මාරයි. මේ කැටයම් විශිෂ්ටයි”..
කියලා වර්ණාසි කිව්වේ ඉංග්‍රීසියෙන්.
“මාර ලස්සනයි නම් තමයි… හැබැයි මේකට කරන්ට් නෑ බේබි…පත්තු කරන්න වෙන්නේ අන්න අර බිම තියෙන භූමිතෙල් ලාම්පුව තමයි..”
කියලා කිව්වේ ජාදු ඉතුරු බඩුත් ඇතුලට ගේන ගමන් කිව්වා .
“මොනවා.. කරන්ට් එක නෑ….”
වර්ණාසි ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම කියනකොට
හවු.. සෑඩ්… කියලා ජාදු හයියෙන් හිනාඋනා …
“පුදුම වෙන්න එපා බේබී..
මේ තරම් කැලෑවක් ඇතුලේ කොහෙන්ද කරන්ට් ගන්නද.. අපි ලාම්පුවක් රෑට පත්තු කරමු… මං හිතන්නේ ජෙනරේටර් එකක් උනත් තියන්න නැත්තේ ඒකෙ සද්දෙ වටපිටාවට ඇහෙයි කියලා වෙන්න ඇති… ඒක නෙමෙයි බේබි.. අපි මොනවාහරි උයමුද දැන් නම් හවස ත තේ බොන වෙලාවත් ළඟයි… මෙහේ උයන්න කවුරුත් නැති නිසා අපි දෙන්නට තමයි උයාගන්න වෙන්නේ..”
කියපු ජාදු පළවෙනි කාමරයේ දොර ඇරියේ කේසර සර් කියපු විදිහට ඒක වර්ණනාසීට දෙන්න ඕනේ බව මතකයෙන්…
අඩි හයකටත් වඩා උස ජනේල.. ඉංග්‍රීසි යූ අකුරේ හැඩයට කාමරයේ බිත්ති වටේටම තිබුණා.
පීච් ගෙඩියේ මල්වල හැඩයට ජනෙල් දාර දිගේම කැටයම් කරලා තිබුණා. ඒ මල් පීච් මල් කියලා ජාදුට කියලා දුන්නේ වර්ණාසි ම තමයි.ලා කහ පාටකින් බැබලුනු කාමරේ බිත්ති මැදින් විශාල වියන් ඇඳකුත් පැද්දෙන පුටුවකුත් බිත්තියට අල්ලපු අල්මාරියකුත් තිබුණා.
හැම ගෘහ භාණ්ඩයකම ලීයේ කැටයම් පෙනෙන විදිහට හැකිතාක් ඔප් නංවලා තිබුණා. වහලය ඉඳලා පල්ලෙහාට විශාල ලාම්පුවක් එල්ලුනා. විශාල මකුළුවෙක් අඩු විහිදගෙන ඉන්න විදියේ හැඩයක් ඈතට ලාම්පුවෙන් පෙනුනා .
“බඩගිනි නැද්ද බේබි “…
“ඔව් බඩගිනියි තමයි.. අපි මොනවද උයන්නේ…”
කියලා වර්ණාසි ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර කලවම් කරලා ඇහුවහම ජාදු හිනා වුණා.
“කුස්සිය ට ගිහින් බලන්න ඕනේ බේබි “..
කියලා ජාදු උත්තර දුන්නේ වර්ණාසි වගේම කැඩුණු සිංහලයි ඉංග්‍රීසි යි කලවම් කරලයි.වර්ණාසිට හිනාවක් ගියා. ඒ වෙලාවේ වර්ණාසිගේ හිනාව දහයයි දහයේ රාමුවක් ඇතුළට දාලා වේලපු රෝස මල් මිටියකුත් එක්කම රාමු කරන්න ජාදු ට හිතුණ.
කලාගාරයක් වගේ උණ ගේ ඇතුලේ ප්‍රසිද්ධ චිත්‍ර සහ ප්‍රසිද්ධ පිළිමවල අනුරූ තැනින් තැන තියලා තිබුණා.හැම සිතුවමෙන් සිතුවමටම වර්ණාසි හිරවෙලා හිටියා.සාලේ පැත්තක ඉතාම හොඳින් වැඩ කරන තත්ත්වයේ තිබුණ ග්‍රැමෆෝන් එකෙන් හුඟක් පරණ ඉංග්‍රීසි සින්දුවක් ජාදු වාදනය වෙන්න දැම්මා .
ඒ තැටියේ මාග්‍රටින් වයිට්නින් කියල ගහල තිබුණා.
ටයිම් ආෆ්ටර් ටයිම් ගීතය හරිම මිහිරෙන් වාදනය වෙන්න පටන් ගත්තා..
කළුගල් අල්ලපු උස කණුවට හේත්තුවෙලා අත් දෙකත් පපුව දිගේ බැඳගෙන වර්ණාසි දිහා බලාගෙන ජාදු උන්නේ වර්ණාසි ගේ ඇස් තමන් පැත්තට හැරෙනකන්.හරියටම අක්ෂාංශ දේශාංශ නූලට ගලපපු ජාදු හරි තැන ඉඳන් වර්ණාසිගේ ඇස් අල්ලගත්තා.තව ටික දවසක් මේ ගෙදර තට්ට තනියම මේ පිරිමි මනුස්සයත් එක්ක නොහිතපු වෙලාවක මෙහෙම ඉන්න උන එක කාගේ වුවමනාවට වෙච්චි දෙයක්ද කියන එක වර්ණාසිට උනත් හිතා ගන්න බැරුව ගියා. එකපාර ඒ කළු ඇස් වර්ණාසිගේ බැල්ම අල්ලගත්තා.වර්ණාසි පූස් පැටියෙක් වගේ ඒ කළුමුතු ඇස් ඇතුලේ අතරමං වුණා.
සිනිඳු ද ඔය ඇහි පිහාටු
වගෙයිලු එය මහ කුණාටු
නළල් තලය රෝසපොට්ටු
කතා කරයි හිතට තට්ටු
ඇස්වල මේ ඇයිද කඳුළු
ආසයි නම් කරමි විහිළු
ජාදු ගෙ හිතේ තියෙන කවි පොතේ ලියවුණු අලුත්ම කවිය වර්ණාසිට ඇහෙන්න කියන්න පුළුවන් වුනා නම් හොඳයි නෙමෙයි මරේ මරු කියලා හිතුනා.
“ශා…ග්‍රැමෆෝන් එකකුත් තියෙනවා නේද.. ඒකනං ශෝක් අනේ..”
කියලා වර්ණාසි හිනා වුනේ ඊට වඩා කළු ඇස් දිහා බලන් ඉන්න ගියොත් තමන්ට තමන්ව අමතක වෙයි කියලා බය හිතුණු හින්දා.ජාදු හිනාවෙලා ආපහු කුස්සිය දිහාවට හැරුණේ හයේ හතරේ නසරාණින්ව එක බැල්මෙන්ම මෙල්ල කරපු…එහෙම බැරි උන්ට අතින් පයින් සංග්‍රහ කරපු… එහෙමත් කියපු දේ අහපු නැති උන්ට තඹ උන්ඩ දෙක තුනක් නිදහස් කරන්න දෙපාරක් නොහිතපු තමන්ට… අද කුස්සියක ලූනු කපන්න සිද්ධ වෙලා නේද කියලා හිතන ගමං…
විදුලිය නොතිබුණු නිසා විදුලි උපකරණ මොකුත්ම ඒ කුස්සියේ ඇතුලේ තිබුණෙ නැහැ. ගෑස් ලිපක් එක්ක භාජන තිබුණා. පිඟන් කෝප්ප හැඳි පිහියවල් තිබුණා. ඉස්සරහ පැත්තෙන් වහලෙන් පටන් ගත්ත වැල් රෝස පඳුරේ වැල් කුස්සිය පැත්තේ ජනෙල් වලින් ගෙට ඇවිල්ලා තිබුණා.ඒ වල මල් පොකුරු පිපිලා පිපිලා පළාතම සුවඳ වෙලා තිබුණා.පින්තූර තරඟකට අරින්න වුනත් ලස්සන කුස්සියක් කියලා ජාදු ට හිතුනා.
ටින් කෑම ..පැකට් කෑම ..එක්ක සතියක් දෙකක් ගත කරන්න ඕන කරන බොහෝම කෑම කුස්සියේ තිබුණා.ජාදු උයන්න සූදානම් වෙන දිහා වර්ණාසි පුදුමයෙන් බලාගෙන හිටියා.
“මේක තාත්ති දවසින් ප්ලෑන් කරපු දෙයක් නෙමේ ජාදු… ඔයාට ඒක තේරෙන්නේ නැද්ද..”
“ඒ කිව්වේ බේබි “…