මා හද තුළ ඔබ 17

කෑම වට්ටෝරුව පිළියෙල කළේ තඹරු ය. පොල් කිරි දමා තෙම්පරාදු කරනා කහ බතට රතු පාට චිකන් කරියකි. කිරට කජු පිස, මාළු මිරිස් පුරවා උයා, වම්බටු බැද කිරි දමා පිසිය යුතු ය. බිම්මල් පිටි දවටා බැද ඊට රතු ලූණු අමුමිරිස් හා අන්නාසි එක් කළ සලාදයකි. කට්ලට් හා පපඩම් එක් වූ විට හොඳට ම ඇති ය යන්න තඹරු ගේ අදහස විය. ඊට ඉස්සන් තෙම්පරාදුවක් එක් කරනු ලැබූයේ රන්මුතු විසිනි. අම්මාත් දුවත් රෑ වන විට කැෆේ එක වසා මත්තෙගොඩ දෙසට ඇවිදින්නට වූහ.

හැන්දෑවේ ගෙදර එන ගමන් තඹරු ඇගේ මුල් ම වැටුපෙන් කොටසක් ඒටීඑම් යන්ත්‍රයකින් ලබා ගත්තා ය. නුගේගොඩින් බසයෙන් බැස ගන්නා විට, කතා කරගත් පරිදි සඳැස් එහි වූයේ ය. රෙදි සාප්පු ගානේ ඇවිදිමින් ඔවුහු පවුලේ හතර දෙනාට ම ඇඳුම් තේරූහ. තඹරු ගේ හිත සසල ව තිබිණ. තමන් ගේ වෙහෙසින් ඉපයූ මුදලක් මුලින් ම පවුලේ අය වෙනුවෙන් විය හියදම් කරන අවස්ථාවක පමණක් අත්විඳිය හැකි තිගැස්මකි එය.

“ආස ඕන එකක් ගන්න හරිද…ගාන බලන්න ඕන්නෑ ආසනං ගන්නව”

ඇය මල්ලී ට කිහිප විටක් කීවා ය.

“මටත් ඉක්මනට ජොබ් එකක් කරන්නෝනෙ අක්කෙ”

“ඉක්මනට ඕන්නෑ. කොලිෆයිඩ් වෙලා හරියට ඒක කරගමු. දැං කොහොමත් හදිස්සියක් නෑ මට ජොබ් එකක් හම්බවෙලා තියන නිසා”

“ඒ වුණාට…ඒක මාර ෆීලින් එකක් නේ…”

සැබවින් එය අමුතු සුන්දර හැඟීමකි. රැකියාවක් නො ලැබී තවත් කාලයක් විඳවමින් ජීවත් වන්නට විණි නම් මේ දවස් මේතරම් සුන්දර වන්නේ නැත. ඉරණම සියල්ල සැලසුම් කරනවායි පිළිගන්නට සිදු වන්නේ එබැවිනි. නියමිත කාලය බලා සමනල් ඇයට හමු වූයේ මේ මාවත විවර වන්නට ම විය යුතු ය.

සෙනසුරාදාට වෙනදා නම් රන්මුතු අළුයම අවදි වී ආහාර පිසින්නේ නැත. නමුත් මේ දහවලට උයන්නට ඇති ව්‍යාංජන ප්‍රමාණය වැඩි නිසා ම ඇය පුරුදු වෙලාවට පිබිදුණා ය. කපා කොටා සූදානම් කරගන්නා විට කාලය ගෙවී තිබෙනවා ඇත.

“ඇයි ඉතිං මෙච්චර උදේං නැගිට්ටෙ”

කියමින් නිදිමත අතරින් තඹරු ද මුළුතැන්ගෙට ආවා ය. නිදිමත ඇස් වල තිබුණත් ඇගේ හිත අවදි වී තිබුණේ ටික වෙලාවකට පෙර සිට ය.

“මනුස්සයෙක් ආවට පස්සෙ කුස්සියට වෙලා උය උය ඉන්න බෑනෙ. ඉවරයක් කරල තිබ්බහම ලේසියි”

වෙනදා ට වඩා කෑමට වැඩි වන්නේ එක් සාමාජිකයෙකු පමණක් වී ද සීයකට හමාරකට උයනවා සේ වැඩ වැඩි වී තිබිණ. ව්‍යාංජන ප්‍රමාණය වැඩි ය. ඒවා ද වැඩ වැඩි ඉහුම් පිහුම් ය. තඹරු කපා කොටා උදව් කළා ය. කැෆේ එකට පාරිභෝගිකයන් එන වෙලාව කිට්ටු වෙත්දී සඳැස්ව අවදි කොට එහි යවන්නට සිදු විය.

“ඒ පිස්සුද අප්ප…සීඊඕ ට ලන්ච් එකක් දෙන්න අපේ අම්ම මෙච්චර දේවල් උයනවනං බෑණා බත උයන දාට ලොවෙත් නැතිවෙයි”

සඳැස් ව්‍යාංජන වලට එබී බලා විහිළුවක් කළේ ය. රන්මුතු දෙතොල් තද කරගෙන අඩෙම්බරකාර සිනහවක් පෑවා ය. තඹරු ට නම් දැනුණේ යටිපතුල් වල සීතල වීමකි. ඒ මන්දැයි සිතන්නට හෝ ඇය උත්සාහ නො කළා ය.

“පැහෙන්නැතුව ගිහිං කැෆේ එක අරින්න. ඔයා වෙනුවෙනුත් කවදහරි දවසක කොහෙහරි ගෙදරක නැන්දම්ම කෙනෙක්ගෙ අතිං බෑණා බත ඉදෙයිනෙ ඉතිං”

“කවදහරි දවසක කියල අම්ම කියනෝ…කවුද දන්නෙ දැනටමත් මූ බෑණාබතේ රස බලලද ඉන්නෙ කියල. මෙහෙම හිටියට මේකා ඒතරං කුකුළා”

කට්ලට් වල පිටි තවරමින් සිටි තඹරු ගේ ගෙලෙන් අල්වා සඳැස් අක්කා ගේ හිස පහත් කළේ ය.

“යනවකො බූරුවො කැෆේ එකට”

ඇය මඳ දුරක් ඔහු පසු පස එලෙව්වා ය.

ජිම් එකට නොයා උදේ ම කේක් ඇන්ඩ් කොෆී වෙත එන්නට හිත කලබල වූවත් සමනල් තමන් පාලනය කර ගත්තේ ය. ඔහු එහි එන විට සඳැස් පන්ති යාමට සූදානම් ව පියගැට පෙළ බැස ආවේ ය. සඳැස් හා සමනල් උනුන් ගේ මුහුණු දෙස බලා සිනහවක් නැගූ ප්‍රථම අවස්ථාව එයයි.

“මල්ලි ක්ලාස් යන්නද…”

“ඔව් අයියෙ. අද ටිකක් ලේට් වුණා. එහෙනං පස්සෙ වෙලාවක හම්බ වෙමු”

ඔහු රන්මුතු ළඟ යන්තම් නැවී කලබලයෙන් වැඳ අක්කාගේ කොපුලක් සිම්බේ ය. ඒ ආදරය දැක සමනල් ගේ පිරිමි පපුවෙහි හුදෙකලා සුළං රැල්ලක් කැරැල්ලක් ගැහුවේ ය. පවුලක් කියනා ඔහු ට අහිමි සොඳුරු ඒකකය ගැන සාංකා හැඟීමක් දැනී නො දැනී ගියේ ය.

“පර්ස් එකයි ෆෝන් එකයි ගත්තද පුතා..”

“මං දැක්ක මේසෙ උඩ පෑන් පැන්සල් වනල තියනව. දාගත්තද ඒව…”

“හරි හරි ඒව ඔක්කොම හරි. යන්නං අයියෙ”

සඳැස් පාරට බැස ගියාට පස්සේ එතැන අවධානය යොමු වන්නේ සමනල් වෙතට ය. ගැහැනු ඇස් හතරක බැල්මට ඔහු එකවර හසු විය.

“මිස්ට සමනල් ඉඳගන්න”

තඹරු අම්මාට කලින් කීවා ය.

“බොන්න දෙයක් දෙන්න බබූ”

තඹරු ශීතකරණයෙන් අයිස් කෝපි බඳුන පිටතට ගත්තා ය. උදේ පාන්දරින් ම එය සදා ශීතකරණයෙහි තැබූයේ තඹරු ම ය.

“ජොබ් එක දුන්නට පුතාට දෙන්නතරං තෑග්ගක් නැති නිසා…ලන්ච් එකක් දෙන එක හොඳයි කියල මෙයා කිව්ව”

“ආන්ටිගෙ කෑම වල රස බලන්න ලන්ච් එකක් දෙන එකනං හොඳයි තමයි. හැබැයි ඉතිං ගිෆ්ට් එකක් දුන්නත් අපි එපා කියන්නෑ”

“ඒකනෙ. මේ ලෝකෙ ඕනම මනුස්සයෙක් තෑගි ලැබෙනවට කැමතියිනෙ…නේද පුතා…තෑග්ගෙ වටිනාකම කීය වුණත්”

“ඒකනෙ”

“පුතා මෙතනම ඉඳගත්තනෙ. උඩට ගියානං ඉවරයි. මේක ඉතින් මොනා වුණත් ගේ නෙවේනෙ. කැෆේ එකනෙ”

“අනේ ඒකට කමක්නෑ ආන්ටි..අංකල් අසනීපෙන් ඉන්නෙ කියල කිව්වෙ…මොනා වෙලාද…”

“එහෙම අසනීපයක් නෙවේ පුතා. ඇක්සිඩන්ට් එකක් වෙලා එයා එක්තැන් වුණා. ඒක දරුණු ඇක්සිඩන්ට් එකක්. කා එකේ හැටි දැක්කහම මෙයා එහෙමවත් ඉතුරු වුණ එක මහ පුදුමයක්. ජීවිතේ බේරගත්තෙ ඉතිං දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලට පින් සිද්ද වෙන්න තමයි. අපි මෙහෙම තැනකට වැටුණෙ එයාට වෙච්ච දේ නිසා. නැත්තං එයා හොඳට බිස්නස් එකක් කරං හිටපු කෙනෙක්. මොනා කරන්නද ඉතිං වෙන්න තියන දේවල් තමයි”

රන්මුතු තෝරා බේරා ගත්තේ පිටස්තර පුද්ගලයෙකුට දිවාකර ගැන කියත්දී ඇය තෝරා ගන්නා අත්‍යවශ්‍ය වචන ටික ය. කොහොමටත් යට ගිය කතා වර්තමානයට ගෙනැවිත් පලක් නැත. තමන්ගේ ම ස්වාමි පුරුෂයා ගේ වැරදි හා දුර්වලතා වෙනත් අය සමග පැවසීමෙන් ලැබෙනා දෙයක් නැති බව ඇය වටහා ගෙන බෝ කල් ය.

සමනල් දිවාකර බලන්නට උඩු මහළට ගියේ ය. අද තඹරු සේවය කරනා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බව තඹරු පියාට පැවසුවේ උදේ ම ය.

“ඒක හොඳයි. අපි හැම වෙලාවෙම අපිට ලැබෙන ලැබුණ දේවල් ගැන ස්තූතිවන්ත වෙන්න ඕනෙ පුතා”

“මිස්ට සමනල් කලින් ඉඳලම අම්මගෙ කස්ටමර් කෙනෙක් නිසයි තාත්තෙ අපි එහෙම දෙයක් කරන්න හිතුවෙ”

“ඒක හොඳයි. බබූට හොඳ කම්පනි එකක ජොබ් එකක් දීපු එක… කොච්චර ලොකු දෙයක්ද..”

කෙසේ වෙතත් උදේ සිට ම දිවාකර ගේ ඇඟට ද හිතට ද කියා නිශ්චිත නැති අපහසුවක් දැනෙමින් තිබිණ. එහෙම දවස් ඕනෑ තරම් ඔහු ගේ දිවියෙහි තිබේ. ඒවා ඔහුට නිරයෙහි දැනිය හැකි වේදනාව දනවයි. නමුත් ඒ වේදනාව දැනෙන්නේ කොතැනකට ද කියා ඔහු දන්නේ නැත. අඩු තරමින් රෝද පුටුවෙහි හිඳ එය ජනේලය ළඟට ගෙන මත්තෙගොඩ නගරය දෙස බලා ඉන්නට හෝ එවැනි දිනෙක හිතට පණක් ඇත්තේ නැත. දිවාකර එවන් දින පුරා යහනෙහි වැතිර සිටී. මිය යා යුතු මිනිසුන් තව දුරටත් යහන් මත රඳවා ගෙන ඉන්නා එක දෛවයෙහි අසාධාරණයක් යයි එහෙම සිටිත්දී ඔහු ට සිතේ. නමුත් අප බලාපොරොත්තු වන ආකාරයෙන් ම ජීවිතය හෝ මරණය අප වෙත ළඟා වන්නේ නැත.

“තාත්තෙ…මිස්ට සමනල් තාත්තව බලන්න ඇවිත්”

කාමරයට ඇතුළු වෙමින් තඹරු ඇගේ ආදරණීය ස්වරයෙන් කීවා ය. දිවාකර දෑස් විවර කොට බැලුවේ ය. මේ තාත්තා යහන මත හෝ හිඳගැනීම ප්‍රතික්ෂේප කරන දවසක් බව තඹරු වහා හැඳින්නා ය. එහෙම දින වල ඔවුන් ඔහු ට බත් කටක් දෙකක් හෝ කවාගන්නේ කොට්ට තබා ඔහු ගේ උඩු කය කෙළින් කොට ය. එන්න එන්න ම කෑම ප්‍රතික්ශේප කිරීම නිසා දැන් දැන් දිවාකර ගේ ශරීරය ද කාය ශක්තිය ද පිරිහෙමින් පවතී.

සමනල් වෙනුවෙන් දිවාකර සිනහවක් තිළිණ කළේ ය. තාත්තා අමුත්තන් හමු වීම ප්‍රතික්ෂේප කරනා බව දන්නා මුත් තඹරු සමනල් ව කාමරයට කැටිව ආවේ ඔහු තාත්තා මුණගැසෙන්නට බලාපොරොත්තු වූ නිසාවෙනි.

“මං හිතන් හිටියෙ බබූගෙ සීඊඕ මීට වැඩිය ටිකක් වයස කෙනෙක් කියල”

ඔහු දුර්වල හඬකින් එසේ කියා යහනෙහි කෙළින් වීමට උත්සාහ කළේ ය. තඹරු වහා ලං වී තාත්තාව නැගිටුවීමට උත්සාහ කළා ය.

“එපා එපා තඹරු. තාත්තට ඔහොම ඉන්න දෙන්න”

සමනල් තඹරුව වැළකුවේ ය.

“මිස්ටර් සමනල්ට තෑන්ක් කරන්න ඕනෙ. අපේ දුවට දීපු ජොබ් ඔපචුනිටි එකට. අද මට ටිකක් ඇඟට හරි නෑ වගේ”

“තඹරු තාත්තව ඩොක්ටර් ළඟට එහෙම ගෙනියන්න ඕනද…”

“තාත්ත එහෙනං ටිකක් නිදාගන්න. මං කෑම කන වෙලාවට එන්නං”

ඔහු අමුත්තෙකු ට මුහුණ දීමේ කැමැත්තක් නො පෙන්වන බව අවබෝධ වූයෙන් තඹරු සමනල් කැටිව එතැනින් නික්මුණා ය. නමුත් වෙනදාට වැඩිය ඇගේ හිතට අමාරුවක් දැනිණ. තාත්තා දුක් විඳිනා එක ඇයට දරන්නට බැරි වෙලාවල් උදා වේ. මේ එහෙම අවස්ථාවකි.

“ස්පෙශලිස්ට් කෙනෙක්ට තාත්තව පෙන්නුවොත්…”

සමනල් තරමක කම්පනයකට ලක්ව සිටියේ ය. ජීවිතයෙහි එවන් පැතිකඩ ද තිබිය හැකි බව ඇස් වලින් දකින්නට ලැබීම දරා ගන්නට පහසු වන්නේ නැත.

“පෙන්නන්න තියන හැමෝටම පෙන්නල තියෙන්නෙ. විශේෂයක් වගේ දැනුණොත් ෆැමිලි ඩොක්ටර් ඇවිත් බලනව. තාත්තව අරං යන එක අපිට ටිකක් අමාරුයි කියල දන්න නිසා ඩොක්ටර් එහෙම එන්නෙ”

තඹරු ගේ කටහඬ බර වී ගෙන ආවේ ය. මඳහස අතරින් ඇය ඉක්මන් ඇස්පිය සැළුවා ය.

“ඕන වෙලාවක කියන්න. මං එන්නං අරං යන්න”

ඇය පියගැට පෙළ බැස්සේ මුණිවතිනි. උගුරෙහි ගුලියක් වාගේ රිදුමක් හිර වී තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles