දිවාකර ගේ මානසික බිඳ වැටීම් දරුණු අතට හැරී තිබිණ. ඔහු බෝ කාලයක් මේ ජීවිතය දෙස බලා සිටියේ ය. කිසිත් නිමා වෙන පාටක් නැත. වෙන කිසිත් නොව මේ විඳවීම නිමා වෙන පාටක් නැත.
වැරදි සිදු වූ බව ඇත්ත ය. ඒවා හිතා මතා කිසිවෙකුට වරදක් කිරීමේ අහිතකින් යුතුව සිදු වූ ඒවා ද නොවේ. නමුත් ඒවා වලක්වන්නට ඔහු සමත් වූයේ ද නැත. මනුශ්‍යයෙකු මිස ඔහු දෙවියෙකු නොවේ. මිනිසුන් අතින් වැරදි සිදු වේ. මිනිසුන් වඩාත් නැඹුරු වන්නේ හොඳ ට වඩා නරක ට ය. වරදට ය. තමන් අතින් සිදු වන්නේ වරදක් බව දැනුණා වුණත් ඇතැම් විට ඉන් මිදෙන්නට ඕනෑ නොවේ. නොහෙත් මිදිය නො හැකි වේ. කෙසේ වුව ඒ වැරදි කෙළවර වන්නේ බොහෝ විට නිවැරදි කළ නොහැකි තරම් පළුදු ජීවිතය මත ඉතිරි කොට ය. එතකොට කවුරුන් සමාව දුන්නත් නැතත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවිය නො හැකි වේ. එය මරණයට පත් වීමට වඩා අතිශයින් අසීරු ය. මැරි මැරී ජීවත් වීම මරණයට වඩා දුකකි. දැන් එළඹ තිබෙන්නේ දිවාකර ට තව දුරටත් ඒ දුක සමග එක්ව වාසය කළ නොහැකි තත්වයකි.
ඔහු කාලයක් තිස්සේ සිය සිත හදා ගන්නට උත්සාහ කළේ ය. මුළු ලෝකයෙන් ම ඈත් වී, දුරස් වී, ඔහු ගේ කුඩා නිවසේ හුදෙකලා කාමරයේ සිරකාර ජීවිතයක් ගත කළේ ය. දිවාකර මිතුරන් පිළිගන්නේ නැත. අමුත්තන් පිළිගන්නේ නැත. රිය අනතුරින් මිය ගොස් පණ ලබත්දී ඔහු ට ඒ අතීතයෙන් මුළුමනින් නිදහස් වන්නට ඕනා විය. ඒ අතීතයේ සුළං පොදක් හෝ හමා නො එනු වස් දොර කවුළු වසා තබන්නට ඕනෑ විය. ඔහු එසේ කළේ ය. රූපවාහිනිය ද පුවත්පත් ද මුළුමනින් ප්‍රතික්ශේප කළේ ය. අතීතයේ ළඟින් ද දුරින් ද උන් දන්නා හඳුනන සියල්ලන් සම්පූර්ණයෙන් ම ජීවිතයෙන් ඈත් කළේ ය. ඔහු ම පමණක් ඔහු ගේ ලෝකය විය. ලෝකයෙන් ම ඈත් වී හුදෙකලා දූපතක තනි විය.
අතීතයෙන් ද වර්තමානයෙන් ද කිසිදු ආරංචියක් ඔහු වෙත ප්‍රවේශ වූයේ නැත. සැබවින් ඔහු ට ඕන කර තිබුණේත් එයයි. අතීතය මරා දැමූ මිනිසෙකු ලෙස ඉක්මනින් මැරී යන්නටයි. නමුත් මරණය හිතනා වෙලාවට අප වෙත ප්‍රවේශ වන්නේ නොවේ.
තනි වෙන්නට බිය නො විය යුතුයි කියා කවුරුන් කීව ද තනිකම විටෙක භයානක මිනීමරුවෙකි. එය දිවාකර ගේ බොටුවෙන් අල්වා මිරිකා මරා දමන්නට තැත් කළ වාර ගණන නිම නැත. නමුත් එහැම විටෙක ම ඔහු පියවරක් පසුපසට තැබුවේ ය. ඊට බොහෝ හේතු තිබිණි. ප්‍රධාන වශයෙන් ම, රන්මුතු ට හා දරුවන් දෙදෙනාට ඔහු තව දුරටත් කළු පැල්ලමක් ඉතිරි කළ යුතු නැත!
නමුත් හැම දේක ම සීමාවන් තිබේ. ඉවසීමේ, දරා ගැනීමේ වුව එහෙම ය. දැන් ඒ සීමා බිඳී ගොස් තිබේ. තව දුරටත් දරා ගන්නට තරම් හයියක් ඉතිරි වී නැතිවා සේ දිවාකර ට දැනේ. ජීවත් වන්නට හෝ හුස්ම අල්වා ගන්නට හෝ පණ කෙන්දක් ඉතිරි වී නැත. එහෙම තැනක දී මිනිසුන්ට ජීවිතය අත්හරින්නට ම සිතේ. අල්වාගෙන ඉන්නට බැරි ම සෙයක් දැනේ. දැවැන්ත වූ සැනසීමක අවශ්‍යතාවය මරණීය දැවැන්ත බවකින් යුතුව පෙනී සිටී. ජීවිතයට වඩා මරණය පහසු බව ඔවුන් තෝරා ගන්නේ එවිට ය.
දිවාකරටත් එවන් වූ කිෂණික නිවීමක් අවශ්‍ය විය. දැඩි සේ අවශ්‍ය විය. බරපතල ලෙස අවශ්‍ය විය. ඒ හැර වෙනත් මාර්ගයක් නැති සේ දැනෙන්නට විය. දෛවය ඔහු ට මරණය කරා මාර්ගයක් තෝරා ගන්නට බැරි තරමට ජීවිතය අසරණ කොට තිබේ. තම දෙපයින් සිට ගන්නට තමන්ට වාරු නැතිව යනවා කියන්නේ කොහොම අසරණ හැඟීමක් ද? දිවාකර සුළි කුණාටුවට හසු වූයේ ය. ටර්නාඩෝව ඔහු කේන්ද්‍ර කොට ගෙන ඔහු වටා භ්‍රමණය වන්නට විය. ඔහු සිය මාර්ගය තෝරා ගත්තේ ය. හයියෙන් හුස්ම වැටෙන්නට විය. කන් දෙක පිරෙන්නට හෝ හෝ ශබ්ධයක් ඇතුළු වෙමින් තිබිණ. ඒ මහා ආවේගයට ඔහු බිලි වෙමින් සිටියේ ය. සිය ශරීරය බිලි දෙමින් සිටියේ ය. දිවාකර රෝද පුටුව තමන් විසින් ම කරකවමින් කාමරයෙන් පිටතට ආවේ ය. ඔහු රෝද දෙක වේගයෙන් කරකවන්නට විය. ආවේගයෙන් කරකවන්නට විය. පඩි පෙළ දෙසට වේගයෙන් පැද ගිය විට එය පඩි පෙළෙන් පහළට පෙරළී යනු ඇත. සියල් කරදර එසේ නිමා වනු ඇත. ඔහු යන්නට සූදානම්ව ඇස් දෙක පියා ගත්තේ ය.
දිවාකර ට තේ එකක් හදාගෙන රනමුතු පඩි පෙළ නැග ආවා ය. කුණාටුව ඇගේ නෙත ගැටුනේ හදිසියේ ය. ඔහු ගේ මුහුණ හැඟුම් සයුරක් ව රළ නගමින් තිබිණි. රෝද පුටුව වේගයෙන් ඉදිරියට එයි. දිවාකර අත් දෙකේ වෙර යොදා එය කරකවයි. මොහොතකට රන්මුතු පාෂාණිභූත වූවා ය. සිදු වන්නේ කුමක් දැයි සිතා ගත නො හැකි ව ඇය ඔහේ බලා සිටියා ය. මොකක්දෝ බලවේගයක් විසින් ඊළඟ නිමේෂයේ හිතට ඇඟිල්ලෙන් ඇන ඇයට යමක් සිහිපත් කරවනා ලදී. රනමුතු අත වූ තේ කෝප්පය බිම වැටී පෙරළී ගියේ ය. ඇය පඩියක් දෙකක් ඉදිරියට පැන ගත්තා ය. රෝද පුටුව පඩියෙන් පහළට පෙරළිණ. දිවාකර එයින් විසි වී එනවා ඇය දුටුවේ සිනමා පටයක මන්දගාමී දර්ශනයක් සේ ය. කෑ ගසන්නට රන්මුතු ට ඕනෑ විය. නමුත් කෙඳිරියක් හෝ පිට වූවා නොවේ. රෝද පුටුවෙන් විසි වූ සිය නීත්‍යානුකූල පුරුෂයාව ඇය දෑත බදා හැකි වෙර යොදා අල්වා ගත්තා ය. එහෙම අල්වා ඔහු නතර කර ගන්නට ඇය තුළ කාය ශක්තියක් වේද? ඇයත් එක්ක ම ඔහු පඩි පෙළ දිග පෙරළී ගෙන යනවා මනස් රුවක ඇදිණ. තව දුරටත් රන්මුතු ට කෑ ගැසුණේ නැත. ඇය වැර යොදා දිවාකර බදාගෙන සිටියා ය. රෝද පුටුව හැපෙමින් පෙරළෙමින් පහළට රූටා යන හඬ ද ඉන්පසු එය මහ හඬක් නගමින් පතිත වන හඬ ද ඇසිණ.
“අනේහ්…”
රන්මුතු ට එසේ කියවුණේ ඉනික්බිති ය. මුළු සිරුරෙන් ම ගිනි සිළු නැගෙන්නා සේ ඇයට දැනෙන්නට විය. ඕ තොමෝ අසීරුවෙන් සිය දරුවන් ගේ පියාව වාරු කර ගෙන ගොස් පුටුවක් මත හිඳවූවා ය. එසේ කොට අවසාන වත්දී ඇය සිටියේ හති දමමිනි. එය ඇයට දරා ගත නො හැකි තරම් වන හතියකි. රන්මුතු යාබද පුටුවක් මතට වැටුණා ය.
“මට මැ රෙ න් න ඕනෙ. ඇයි මට මැ රෙ න්නවත් දෙන්නැත්තෙ…”
දිවාකර කෑ ගසා හඬන්නට පටන් ගත්තේ ය. රන්මුතු ඔහු වෙත බර වී ඔහු දෑතින් බදා ගත්තා ය.
“එතකොට හරිද…ඔයා මැරිල ගියාම හරිද…මං විතරක් මැරි මැරි ජීවත් වෙන්න ඕනෙද…ජීවිත කාලෙම මාත් එක්ක ඉන්නව කියල මාව කසාද බැඳල…මාත් එක්ක දරුවො දෙන්නෙක් හදල…ඒ හැම බරක්ම මගෙ ඔළුව උඩ පටෝල ඔයා තනියම යන්න ගියාම හරිද…එතකොට මං තනියම හැම දේටම මූණ දෙන්න ඕනද…ඔයාට ඕන ලේසියෙන්ම ඔක්කොම අතෑරල යන්නද…”
රන්මුතු ට ඉකිබිඳී හැඬිණි.
“කොහොමත් බර අදින්නෙ ඔයානෙ රන්මුතු. අවුරුදු ගාණක් තිස්සෙ මාත් ඔයාට බරක් වෙලා ජීවත් වෙන එකනෙ කරන්නෙ. මට තවත් එහෙම ඉන්න බෑ. මෙහෙම රොඩ්ඩක් වෙලා ඉන්නවට වැඩිය..මට යන්න දෙන්න රන්මුතු…මට යන්න අරින්න…”
“ඔයත් එක්ක ආපු මලක් වගේ සිනිඳු ගෑනි දැන් ගලක් වෙලා තමයි දිවාකර. යකඩ ගෑනියෙක් වගේ පපුව යකඩයක් කරං මං හැම දේකටම මූණ දුන්න. ඉස්සරහටත් එහෙම කරයි. අපේ පැටව් දෙන්න ලොකු කරල..උන්ට තනියම ඉගිලිලා යන්න පුළුවන් වෙනකල් මං අත්අරින්නෑ. ඒත් මං එහෙම කළේ ඔයා ඉන්න නිසයි දිවාකර. රොඩ්ඩක් විදිහට හරි මගෙ දරුවො දෙන්නගෙ තාත්ත ඉන්නව කියන හයිය නිසා. ඒ හයිය නැති වුණොත් මට තව දුරටත් මොනවත් කරගන්න හයියක් ඉතුරු වෙන්නෑ දිවාකර. ඒ නිසා ඔයා ඉන්න ඕනෙ. ළමයි දෙන්න වෙනුවෙන් මට ඉතුරු ටිකත් කරගන්න හයියක් වෙලා ඔයා ඉන්න ඕනෙ”
ඔවුන් දෙදෙනාගේ ම ඉකිළුම් එකට මුහු වී ගියේ ය. ඇස් හතරකින් වට කඳුළු එකට මුහු වී තිබුණේ ය. දිවාකර ගේ හදවත ජීවිතාන්තය තෙක් සිර දඬුවම නියම වූ මිනිසෙකු ගේ ආත්මය දරා සිටියේ ය. එය අළු පාට වැහි වලාකුළු වලින් ගහන මන්දාරම් අහසක් සේ බර වී ගෙන තිබිණ. රන්මුතු දිවාකර වාරු කරගෙන ගොස් යහනට දැමුවා ය. ආත්මීය ඉකියක් ඇය තුළ වේ. මුළු ශරීරය ම උන් හිටි ගමන් අක්‍රියව ගියා බඳු අප්‍රාණිකත්වයක් ඇයට දැනේ. ඕ ඉක්මනට පහලට ගොස් කැෆේ එකෙහි දොරටුව වසා දැවුවා ය. පෝය දවසටවත් නො වැසුණ ඒ දොරටුව මේ මහ දවාලේ වසා දැමිණ. රෝද පුටුව එහෙ මෙහෙ වැදී ඇද ගැසී තිබිණ. ඔවුන්ගේ ජීවිත වලටත් සිදු වූයේ එයම ය. එහෙ මෙහෙ ගැටී ස්වභාවිකත්වය වෙනස් වී යාමයි! දරුණු හිසරදයක් ඇයට දැනෙන්නට ගති. රන්මුතු නළල පිරිමැද ගත්තා ය. ඇයට මහත් භීතියක් ද තනිකමක් ද දැනෙන්නට විය. ජීවිතයෙන් අඩකටත් වඩා ගෙවී ගිය මේ ගෙදර තනිව ඉන්නට බැරි තිගැස්මක් දැනෙන්නට විය. ඇස් වලින් නො නවත්වා කඳුළු ගලා ගෙන යයි. මෙ වෙලාවේ පිහිටක් ඉල්ලා කතා කරන්නට සිටින එක ම කෙනා තඹරු ය. ඇය තරම් සමීපව රන්මුතු ගේ හිත කියවූ හොඳ ම යාළුවෙක් වෙන නැත.
“තාත්ත සුයිසයිඩ් කරගන්න ගියා. අනේ මට බයයි බබූ”
එහෙම කියත්දීත් ඇයට හැඬිණ.
“අනේ මගෙ සුදු අම්මි…ඔයා බය වෙන්නැතුව ඉන්න. හිත හයිය කරං ඉන්න. මං මේ දැන්ම එනව. අඬන්නැතුව ඉන්න ඕන හරිද…”
එහෙම අම්මාට අවවාද කොට දුරකතන සම්බන්ධය බිඳිනා විට තඹරු ගේ ඇස් කඳුළු දියඇලි මවා තිබිණ. ඇගේ හදවත අසාමාන්‍ය වේගයකින් ස්ඵන්දනය වෙයි. කුමක් කළ යුතු දැයි ඇය නිරවුල් නැතිව සිටියා ය. ෆයිල් ගොඩවල් අතට ගනිමින් ද යළි තබමින් ද කුමක් කළ යුතු දැයි සිතුවා ය. සිත තිබුණේ නිශ්ක්රීයව ය. ක්ෂණිකව සියල්ල එසේ තිබියදී ඇය අත් බෑගය එල්ලා ගත්තා ය. සමනල් සිය කුටියෙහි සිට තඹරු ගේ හැසිරීම දෙස බලා සිටියේ ය. ඔහු කුටියෙන් පිටතට පැමිණෙන විට ඇය කොරිඩෝරය දිග දිවගෙන වාගේ යමින් සිටියා ය.
“මට ලීව් වෙන්න වෙනව. තාත්තට සනීප නෑලු”
කඳුළු කම්මුල් පිස ගනිමින් ඇය ඉදිරියට පැමිණි පෙරේරා ට කීවා ය. නමුදු අවසර ලැබීමක් බලාපොරොත්තු වූයේ ම නැත. තඹරු ආයතන ගොඩනැගිල්ලේ වීදුරු ද්වාරයෙන් පිට වන විට සමනල් ඈ පසුපස වූයේ ය.
“යමු මාත් එන්නං තඹරු”
ඇය ප්‍රතික්ශේප කරන්නට ගියේ නැත. මේ වෙලාවේ පුළුවන් තරම් ඉක්මනින් ගෙදර යන්නට ඇයට අවැසි වී තිබිණ.