විහඟ පියාපත් 28

0
3885

ශයිනි පසුදින තිළිණි ට ඇමතුමක් දී ඇය කැබිනය තුළට ගෙන්වාගත්තාය. ඇගේ දෙනෙත් ඉදිමී තිබුණි. ඇය ශයිනිට කෙලින්ම මුහුණ දුන්නේ හෝ නැත. ශයිනි ඇයට හිඳගන්නට පවසනතුරුම ඕ හිඳගත්තේ හෝ නැත. ඇගේ ස්වරූපය දැකීමෙන් පසුව ශයිනිට ද කතාව ඇරඹිය යුතුතැන සිතා ගැන්මට නොහැකි විය. ඇයට ඊයේ දිනයේ සිදු කල දේ ගැන දැන් ශයිනිට දැනෙන්නේ පසුතැවීමකි. 

එහෙත්, අමයුරු ඊයේ අවධාරණය කර නොපවසන්නට තමා ඒ ලෙසින්ම කෝපය දිග් ගස්සවන්නටද තිබුණා නොවේදැයි ශයිනි ඉතා කණස්සලෙන් සිතුවාය. 

ඇය යළි තිළිණි දෙස බැලුවේ අද හෝ මෙය අවසන් කර ගැනීමට ලැබුණ ඉඩ ගැන සතුටු වෙමිනි. 

“මට සමාවෙන්න තිළිණි…… මං සෑහෙන්නම ඩිසපොයින්ට් වුණා.. චරිත් එහෙම දෙයක් කරාවි කියලා මට හීනෙකින්වත් හිතිලා තිබුනේ නෑ… එයා ඊයේ ඔය මොක කිව්වත්, ඇත්ත ඒක නෙවෙයි කියලා මම දන්නවා… තව පොඩ්ඩෙන් මේ ඔක්කොම විනාස වෙලා ගිහින් , මම හිරේ පවා යන්න තිබුණා.. එච්චර දෙයක් වෙන අවධානම පෙනි පෙනීම පවා, එයා කලේ පැලැස්තර ගහපු එක විතරනේ තිළ්… මං දන්නවා ඔයා මේ මුකුත් දන්නේ නෑ. ඒත් මට  මේ සිද්දිය හරි අමාරුයි … මට දැනෙන්නේ මගේ කෑල්ලක් කඩාගෙන ගිහින් වගේ…. එච්චරට අමාරුයි …”

ශයිනි උගුරෙන් නැඟුණ ඉකිය නවතාගත්තාය. ඇයට හඬන්නට අවැසි වූයේ නැත. එහෙත් තිළිණි ට හැඬුම් නවතාගෙන සිටින්නට හැකි වූයේ ද නැත.ශයිනි නැගිට ගොස් තිළිණිගේ කර වටා දෑත් යවා ඈ අල්ලා ගත්තාය. උරහිස් පිරිමැද්දාය. 

“අඬලා මට පවු පුරවන්නෙපා… මං දන්නවා උඹ මා වෙනුවෙන් කල දේවල්.. එහෙව් ඔයාවත් මේ මඟුලට අල්ල ගත්ත එක හොඳ දෙයක් නෙවෙයි .. ඒත්, මට කල්පනා වුනේම චරිත් ට උඹ නැහීගෙන ලව් කරන හැටි… එහෙව් එහේ ඌ කරන ඕනි මඟුලක් වෙනුවෙන් උඹත් පැටලේවි කියලායි මට හිතුණේ තිළ්…”

ශයිනි තවත් කීවාය. තිළිණි ආපස්සට හැරී ශයිනි දෙස බැලුවාය

“දැන් කොහොමද හිතන්නේ මම එහෙම නෑ කියලා …?”

ඇය ඍජුවම විමසුවාය. ඉන් රිදුණේ ශයිනිට ය.  එහෙත් ඕ ඒ වගක් නොපෙනෙන්න සිනාසුණාය. පැහැදිලි කිරිමකින් තොරවම තිළිණි ව වැළඳගත්තාය. ඇයට දැනෙන්නට හැරියේ තමා ඇය විශ්වාස කරන වගය. අන් කිසිවක් වැදගත් නැති වගය.

“චරිත් මෙහෙම කලේ ඇයි කියලා මම දන්නේ නෑ ශයි.. එයාට සල්ලි නම් ඕනි වුනේ, ඒකට එයා මේ විදියම තෝරගන්න හේතුව මට තේරෙන්නෙ නෑ…”

“ඒක අපිට තේරෙන්නේ නෑ.. ඒත් ඒක සල්ලි වලට තියෙන කෑදරකමම විතරයි කියලා මට හිතෙනවා .. මං මේ ඉවසන්නේ මුකුත් කරන්න බැරි කමට නෙවෙයි තිළ්… මට ඔයාව අසරණ කරන්න ඕනි නෑ.. මේක එළියට ගියොත්, චරිත් ට ලේසි වෙන්නේ නෑ..”

තිළිණි හිස නැඹුරු කර ගත්තාය. ශයිනි සුසුමක් හෙලුවාය. 

” චරිත් එයා අයින් කරගෙන තිබුණ සල්ලි උදේ ඩිපොසිට් කරලා තිබුණා .. ඒක මට හිතාගන්න බැරි ගානක් අප්පා.. ඒ මිනිහා ඒ ලෑස්ති වුනේ මොකටද කියලා ඇත්තටම හිතාගන්න බෑ…”

තිළිණි ට දැනෙන්නේ ඇගේ හදවත උල් පිහියකින් සිදුරු කරන්නා ලෙසය.  චරිත් නිසා ශයිනි ඉදිරියේ විඳින්නට වෙන චෝදනා කෙලෙසක හෝ දරාගැනීමට හැක. එහෙත් , ඔහු පිළිබඳව අන් අයද දැනගත්තාට පසු….,

“මම චරිත් ව අකවුන්ට්ස් වලින් අයින් කරනවා තිළ්… මමම දැනට ඒ ටික බලනවා… කවුරුත් දැනගන්න එකක් නැහැ ඒ නිසා ඒ ගැන.. ඒ අතරේ මම චරිත් ට කියනවා වෙන තැනකට මූව් වෙන්න කියලා .. එයාට අවුලක් නැති සර්විස් ලෙටර් එකක් දෙන්නම් මං… ඔයා හින්දා…”

“අනේ.. දෙවියනේ..”

තිළිණි යළි හැඬුවාය. ශයිනි නිහඬව සිටීම පිළිබඳව චරිත් පුරාජේරු දෙඬෙව්වාට ඒ නිහැඬියාව මෙහෙම අවසානයක් වෙනුවෙන් විය හැකි බව තිළිණි ට සිතී තිබුණි. චරිත් මෙය කෙලෙස දරාගනීවිදැයි විශ්වාස නැත. 

“මං ඒ තීරණේ ගත්තේ ඔයා වෙනුවෙන් විතරයි … ඒක මතක තියාගන්න..චරිත් ට ඒ පිළිවෙලට වැඩ කරන්න කියන්න … එහෙම නැතුව මා එක්ක හැප්පෙන්න ආවොත්, කුඩුපට්ටම් වෙලා යන දේවල් වලට මම වගකියන්නේ නෑ තිළ්…”

ශයිනි දැඩි හඬින් කීවාය.  තිළිණි ඇගේ හඬෙහි වූ දැඩි බව හැඳින්නාය.  එය ඉක්මවා යෑමකට තියා, සාකච්ඡා කර අඩු කර ගත හැකි තරමකින්වත් නොවේය. ඒ ගැන සැක නැත.

“ඔයා කියන්න එයාට… “

අවසානයේ තිළිණි කීවාය. ශයිනි දිගින් දිගටම පැහැදිලි කලේ චරිත් කල ද්‍රෝහී වීම ගැනය. ඔහු පෙර දිනයේ තමා ඉදිරියේ පැවසූ කතාව විශ්වාස කල හැකිදැයි ඕ විමසුවාය. 

ආයතනය වෙනුවෙන් ලාභය වැඩි කිරීමටයැයි සිතා එවන් දෙයක් කිරීම සාධාරිණීකරනය කරගන්නේ කෙලෙසදැයි විමසුවාය. එලෙස කරන්නට අංශුමාත්‍රික තරමේ ඉඩක් හෝ ඇතත්, මෙතරම් ගින්නක් ලෙස නැඟී ඒ සිදුවීම සියලු දේ පුළුස්සා දමන්නට තරම් ඉඩ තිබියදී පවා එය සඟවමින් පැලැස්තර ගැසීම අනුමත කරන්නේදැයි තිළිණි ගෙන් විමසුවාය.

ශයිනි එදිනම සවස චරිත් ට ඇගේ තීරණය දැනුම් දුන්නාය. මාසයක කාලයක් ලබා දිය හැකි බවත් ඒ අතර කාලයේ සුදුසු තීරණයක් ගන්නා ලෙසද දැනුම් දුන්නාය.

හදිසියේම කඩා පහත් වූ හෙණය පිළිබඳව චරිත් ට සිතා ගන්නට හෝ හැකි වූයේ නැත. එවෙලෙහි ශයිනිව පරයා යන්නට නොහැකි වූ නිසා චරිත් කිසිවක් නොපවසා උන්නේය. එහෙත්,  වහාම ඇයට බලපෑමක් කර ඇගේ තීරණය වෙනස් කරගන්නට සැලසුමක් ඔහුගේ සිතේ ඇඳී තිබුණි. ඔහු ශයිනිට සමුදුන්නේ නිහඬවම කිසිත් නොපවසාමය. 

ශයිනිගේ කැබිනයෙන් පිටතට පැමිනි චරිත් වහා තිළිණි මුණ ගැසෙන්නට ගියේ ය.ඇයට සියළු විස්තර කීවේය. ශයිනි උත්සාහ කරන්නේ කුමක් කරන්නටදැයි පුන පුනා කීවේය. තිළිණි කිසිඳු හැඟීමක් නොමැතිව මෙන් සියල්ල අසා සිටියදී චරිත් යම් තිගැස්මකට ලක් වූයේ ය.

“ඔයා දැනගෙන හිටියද ?”

තිළිණි එයටද කිසිත් කීවේ නැත. එහෙත් ඇගේ නිහඬ බව තුළ සෑහෙන්නම කතා ඇතිබව චරිත් ඇඳින්නේය.

“ශයිනි කියලද තිබුණේ ඔයාට ?”

“ඔව්…කිව්වා… ලැජ්ජ කරලා වගේ කිව්වා, මං නිසයි ඔහොමවත් අතාරින්නේ කියලා . .  “

“හ්හ්.. ඉතින් ..ඒකි එච්චර කියවද්දි තමුසේ කට වහගෙන හිටියා…??”

චරිත් යක්ශාවේශ වෙමින් තිබුණේය. තමා හා ආසක්තව මෙන් ජීවත් වෙන තිළිණි මෙවෙලෙහි තමා නොතකා සිටීවියැයි ඔහු සිතුවේ නැත.

“වෙන මොකක් කරන්නද මං ? ඔයා කරලා තියෙන්නේ මට ඔලුව කෙලින් තියාගෙන කතා කරන්න පුලුවන් දේවල්ද?”

තිළිණි පුදුමාකාර ආවේගයක් සීරුවෙන් යටපත් කරගන්නට උත්සාහ කරමින් කීවාය. 

චරිත් එයට අපහාස සිනහවක් නැඟුවා පමණි. එසේනම් ඇයද අවසානයේ තමා අතැර දමා ඇත. තමා වෙනුවෙන් ඇය ශයිනි මුණ ගැසෙන්නේ හෝ කතා කරන්නේ නැත. 

“ආහ්.. දැන් මාව එච්චරට සතාද ?”

“විකාර කියන්න එපා චරිත් … ඔයාට මේ කරපු දේ බරපතල කම තවම තේරෙන්නේ නැති එකයි මට තියෙන දුක… අඩුම තරමේ ඇත්ත කියලා ශයිට සොරි කියන්නවත් බැරි තරමට ඔයාගේ තියෙන මහත්තත කම ගැනයි මට දුක…”

තිළිණි හැඬුවාය.

“අනේ මේ ඕයි… ඔය එක එක ගෑණුන්ට පදිරි වෙන්නේ මොකටද මම… යන්න නේ කියන්නේ… යමු… යමු… මං පෙන්නම් අපිට කරන්න පුලුවන් මොනවද කියලා …”

ඔහු තිළිණිගේ එකඟතාවය ද බලාපොරොත්තු වන සෙයින් කීවේය.

“මං මොකටද යන්නෙ ?”

“තමුසේ මගේ ගෑණි නම්, මාත් එක්ක යන්න එනවා ඕයි…”

චරිත් ගුගුලේය. එහෙත් , තමාට එලෙස යන්නට අවශ්‍යතාවයක් නැති වග තිළිණි දැන උන්නාය.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here