අඟහරුවාදා වෙනුවෙන් තඹරු කලින් ම නිවාඩු අනුමත කර ගත්තා ය. රන්මුතු ද දිවාකර ව උපදේශන සැසිය සඳහා ගෙන යාමට හිතා සිටිය ද තඹරු ඊට ඉඩ නොදී හිටියේ කැෆේ එක වහන්නට වෙන නිසාවෙනි. සමනල් ද සිටින නිසා ඇයට ඒ කටයුත්ත කරගත හැකි වනු ඇති බවට ඇය විශ්වාස කළා ය. තඹරු නිවාඩු දැමීමත් සමනල් කාර්යාලයට නො පැමිණීමත් ගැන සේවකයින් අතරේ සමච්චල් සහගත කතා බහක් ඇති නොවූවා ම නොවේ. නමුත් ඒ කටකතා සිදු වූයේ රහසිගත මට්ටමකිනි.
උපදේශන සේවයකට යොමු වීම ගැන දිවාකර සිය බලවත් විරෝධය පෑවේ ය. නමුත් තඹරු පසුබට වූයේ නැත.
“මං කියන්නෙ තාත්තට මානසික රෝගයක් තියනව කියල නෙවෙයි තාත්තෙ. ඔය තත්වෙන් එක තැනක ජීවත් වෙන්න වුණහම ඕන මනුස්සයෙක් ටෙන්ශන් වෙනව. දිගින් දිගටම ඒ ප්‍රෙශර් එකත් එක්ක ඉන්නකොට ස්ට්‍රෙස් ඩීප්‍රෙශන් වගේ ලෙවල්ස් වලට යන එක හරි සාමාන්‍යයි. අපිට ජීවත් වුණා ඇති කියල හිතෙන්නෙත් ඒ පීඩනේ තනියම දරාගන්න බැරි වුණහම. තාත්ත හිතේ තියන දෙයක් අපිට කියන්නෙත් නෑනෙ..ඒක නිසා කවුන්සලර් එක්ක හරි කතා කරන්න. අපිට වඩා ප්‍රොෆෙශනල් විදිහට එයා ඔයා එක්ක කතා කරල හිත හදයිනෙ. තාත්තට මේ බරෙන් ඇත්තටම නිදහස් වෙන්නනං කවුන්සලර් ඉස්සරහ අවංක වෙන්නම වෙනව. එයා කවදාවත් ඔයාගෙ පෞද්ගලිකත්වෙට පුංචිවත් හානියක් වෙන්න දෙන්නෙ නෑ. ඒක නිසා මේක හිත නිදහස් කරගන්න අවස්ථාවක් කරගන්න තාත්තෙ”
ඇගේ බලවත් ඉල්ලීම හා හේතු දැක්වීම නිසා දිවාකර එකඟ වූයේ ය. කියූ වෙලාවටත් කලින් සමනල් ගේ රිය කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ නතර වී තිබිණ. සමනල් දිවාකර ව රියෙහි ඉදිරි අසුනට ගොඩ කරවූයේ ය. එය තීරණාත්මක ගමනක් සේ තඹරු ගේ හදවතට දැනිණ. මෙය තීරණාත්මක සිදුවීමක් වේවායි රන්මුතු හදවතින් ම ප්‍රාර්ථනා කළා ය.
උපදේශන සේවාව පැවැත්වුණේ පෞද්ගලික සායනයක ය. කලබලකාරී නගරය මැද අතිශය සාමකාමී හා නිහඬ පරිසරයක් ඒ කුඩා ගොඩනැගිල්ල තුළ වූයේ ය. එයට ඇතුළු වෙන ඕනෑ ම මිනිස් සිතක්, ශාන්ත සුවයක් වැළඳගනී. හරියට ම වෙලාවට ඊට ඇතුළත් වී, සහායිකාවක ගේ සහාය මත දිවාකර උපදේශකවරයා ගේ කාමරයට ඇතුළත් කෙරිණ. තඹරු ඉස්සරහා ලොබියේ කුඩා සෝෆාව මත අසුන් ගත්තා ය. ඇගේ ඇස් මත අවිනිශ්චිත බවක් විය. සමනල් මුණිවර දෑසකින් ඇදෙස බලාගෙන, ඈ ඉදිරියෙහි පෙනී සිටියේ ය.
“අපි එළියට ගිහින් තේ එකක් එහෙම බීල එමුද…සෙශන් එක ඉවර වෙනකල් මෙතන කාලෙ ගත කරන එක ඔයාටත් ස්ට්‍රෙස් වෙයි”
ඈ හිස සැළුවේ යන්තමිනි. පිරිමියෙකුට එහෙම නිහඬව අවනත වෙන එක තඹරු ට නුහුරු ය. ඔහු ඇය වෙනුවෙන් දොර හැර දුන්නේ ය. තඹරු ගේ බඳ මත ගෑවෙන නො ගෑවෙන තරම් සියුම් ලෙස අතක් තබා ඈ දොරෙන් එපිට කරවූයේ ය. ඇය වෙනුවෙන් රිය දොර හැර, ඈ එහි ගොඩ වූ පසු දොර වසා දැමුවේ ය. එහැම තැනෙක දී ම තඹරු ගේ හදවත අයිස් කුට්ටියක් ව මිදී තිබිණි. ලොකු වූ දෑස් මත වූයේ අවිනිශ්චිත බවෙහි දොඩමළුවක් පමණකි.
“ඉතිං…අපි කොතනින්ද කතාව පටන් ගන්නෙ…”
උපදේශකවරයා දිවාකර දෙසට හැරුණේ කරුණාවන්ත බැල්මක් රැඳි මඳ සිනහවකිනි. එක සෙශන් එකක් සාමාන්‍යයෙන් අපි පැයකට වගේ තමයි ලිමිට් කරන්නෙ. මං හිතන්නෙ පැයක් කියන්නෙ කතා කරන්න ලොකු කාලයක්. දිවාකරගෙ හිත නිදහස් කරගන්න ඔයා කැමති තැනකින් කැමති විදිහකින් අපි පටන් ගමු. ස්පෙශලි…ඔයාගෙ ජීවිතේ අද තියන තැනට වැටෙන්න හේතු වෙච්ච තැන් වල ඉඳල කතා කරගෙන යන එක සාර්ථක වෙයි”
දිවාකර ට දැනුණේ හදිසියේ ම විශ්වාසවන්ත මිතුරෙකු හමු වූවා සේ ය. කාලයක් තිස්සේ දැඩි පිපාසයකින් උන් මිනිසෙකු, අහම්බෙන් ලද වතුර බඳුනක් බී ගෙන බී ගෙන යන්නා සේ ඔහුත් එක්ක මුල සිට ම කතා කිරීමේ ආශාවකින් දිවාකර පිරී ගියේ ය.
“මං පොඩි තැනකින් පටන් ගත්ත මිනිහෙක්. බිස්නස් එකක් පටන් ගන්න ඕන කියපු නිසා අපේ තාත්ත ගමේ තිබුණ අක්කර කීපෙක පොල් ඉඩමක් විකුණල මට සල්ලි දුන්නෙ. හැබැයි පටන් ගන්න ඕන බිස්නස් එක මොකද්ද කියල මට අයිඩියා එකක් තිබුණෙ නෑ. මං මුලින් කළේ කඩදාසි රීම් චීනෙං ගෙන්නන බිස්නස් එකක්. ඒක නිසා මං ප්‍රෙස් කාරයංවයි පත්තර කාරයංවයි අඳුරගෙන හිටියෙ. ඕක මිනිස්සු කියවන්න උනන්දු වුණ කාලෙ. ඒක නිසා පොත් පත්තර සෑහෙන්න ගැහුණා. ඉතිං කඩදාසි වලට හොඳ ඉල්ලුමක් තිබුණ. මං හොඳට ලාබ ගත්ත. එතකොට මං බැඳල. වයිෆ්ට දෙවෙනි බබාත් හම්බ වෙන්න හිටියෙ. මත්තෙගොඩින් ඔය ගේ ගත්තෙ ඒ කාලෙ. අපි ගෙවල් සෑහෙන්න බැලුව. රන්මුතුගෙ හිතට වැඩියෙන් ම ඇල්ලුවෙ මත්තෙගොඩ ගේ. එයා ආස දේ එයාට දෙන එක තරං සතුටක් මට තිබුන්නෑ. ඔහොම යද්දි මාත් එක්ක හිතවත් වෙලා හිටිය පත්තර කාරයෙක් මගෙ ඔළුවට දැම්ම පත්තර ටිකක් කරමු කියන එක. ඕක සෑහෙන්න පත්තර විකිණෙන කාලයක්..රටේ යහමින් යුද්දෙ කෙරෙනව. ආමි කෑම්ප් වල එහෙම සෑහෙන්න පත්තර විකිනුණා. එතකොට ඔය නිදහස් වෙළඳ කලාප වල වැඩ කරන ගෑනු ළමයි ගොඩක් පත්තර ගත්ත. අපි පත්තර ඒජන්ට්ස්ලත් එක්ක කතා කරල බැලුව. ඒ වෙලාවෙ තිබුණ ඉල්ලුමත් එක්ක පත්තර වලට අත ගහනව කියන්නෙ…හරි ගියොත් ඉල්ලමක් වගේ ගොඩ යන්න පුළුවන් පාත් එකක්..මගෙ පත්තර මිත්‍රයගෙ අදහසුත් සලකල මං වැඩේට බැස්ස. අපි මුලින් කාන්තා පත්තරේකුයි යොවුන් නවකතා පත්තරේකුයි තමයි පටන් ගත්තෙ. වැඩේ නැගල යන්න ගත්ත. ඒ ගමන අපි තව කර්තෘල කීප දෙනෙක් වැඩට අරගෙන වැඩේ බ්‍රෝඩ් කළා. ජ්‍යෝතිශ, ක්‍රීඩා, පිරිමි, ළමා ඔය වගේ එක එක මාකට් ටාගට් කරගෙන පත්තර දාන්න ගත්ත. ඒ හැම එකක් ම සාර්ථක වුණේ පුදුම විදිහට. ඔය කාලෙ මට ප්‍රෙස් මැශින් තිබුණෙ නෑ. අපේ පත්තර ගැහුවෙ පිට ප්‍රෙස් එකක. පත්තර වලින් මගෙ බිස්නස් වැඩි වෙද්දි මං මැශින් ගෙන්නල ප්‍රෙස් එකකුත් පටන් ගත්ත. හොඳට සල්ලි ආපු නිසා බැංකු මට කතා කරලම ලෝන් දුන්න..පස්සෙ මං ඉඩමක් අරන් බිල්ඩින් එකක් හදල අපේ ප්‍රෙස් එකයි එඩිටෝරියලුයි, ඩිස්පැච්, අකවුන්ට්ස්, සර්කියුලේශන් ඔය ඔක්කොම ඩිපාට්මන්ට් වලට එක තැනක වැඩ කරන්න පුළුවන් විදිහට හැම දේම බිල්ඩප් කළා. අධ්‍යාපන පත්තර වලින් එන්න ගත්තෙ හිතපු නැති ප්‍රොෆිට්ස්. දිවාකර පබ්ලිශර්ස් කිව්වහම ලංකාවෙ නොදන්න කෙනෙක් නෑ. ඒත් මං නොදැනම මට තරහකාරයෙක් හැදිල තිබුණා. ඒ මං කලින් පත්තර ප්‍රින්ට් කරපු ප්‍රෙස් එකේ අයිතිකාරය. අපි එහෙට පත්තර නොදී ඇරියහම මිනිහට වැඩ අඩු වුණා. ඒ වුණාට හැම දේම සාමාන්‍ය විදිහට වුණා. ඒ ප්‍රෙස් එකේදි තමයි මට උදාරි හම්බවුණේ. එයා ප්‍රෙස් එක අයිතිකාරයගෙ ලේලි. අකවුන්ට්ස් වැඩ එහෙම කළේ එයා. මාත් එක්ක බොහොම සුහදයි. අපි විහිළු තහළු පවා කරගත්ත. උදාරිගෙ හස්බන් ඩිලන් වුණත් මාත් එක්ක හිතවත්. හැබැයි අපි වෙනම ප්‍රෙස් එකක් පටං ගත්තට පස්සෙ ඒ හිතවත්කං දුරස් වුණා. ඇත්තටම කිව්වොත් නැතිම වුණා කියල කියන්න පුළුවන්”
බොහෝ දුරක් කතා කරගෙන ගිය දිවාකර මේසය මත වූ සිය වතුර බෝතලය ගෙන ඉන් උගුරු කිහිපයක් බීවේ ය. ඔහු ගේ මුහුණෙහි සිනහ රැල්ලක් ඇඳී තිබිණ. සැබවින් ඒ ස්වභාවික සිනහවක් ඔහු ගේ මූණට පැමිණියේ කාලයකට පස්සේ ය.
“ඉතිං ඊට පස්සෙ…”
උපදේශකවරයා ඉතා සන්සුන් ව විමසී ය. නමුත් කොන්දේසි විරහිතව ඔහු තමන්ට සවන් දෙන්නට සූදානම් බව දැනෙත්දී සොරොව් බින්දා සේ දිවාකර ගේ හිත දෝරෙ ගලන්නට විය.
“ඊට පස්සෙ අපිට හොඳ කාලයක් ඇවිත් තිබුණ. අලුත් පත්තර ගාණක් දිවාකර පබ්ලිශර්ස් බ්‍රෑන්ඩ් නේම් එකෙන් මාකට් එකට ආව. ඩිලන් එයාගෙ තාත්තගෙ බිස්නස් එකට ඩිරෙක්ට්ලි ඉන්වෝල්ව් වෙන්නෙ ඔය කාලෙ. අපි ඒගොල්ලොන්ගෙ කැඩිච්ච තරහත් එක්කම අපි බලං ඉද්දි දියුණු වුණ එකත් ඩිලන්ට ඉවසගන්න බැරි වුණා. මං හිතන්නෙ හැම විනාශයක්ම පටන් ගන්නෙ ඊට පස්සෙ. පිස්සෙක් වගේ ඩිලනුත් පත්තරයක් ගහන්න ගත්ත. ඒත් පත්තර දෙක තුනයි මාකට් එකට දැම්මෙ. බිස්නස් නැති නිසා නවත්තල දැම්ම. මං මගේ පාඩුවෙ මගෙ වැඩක් කරගෙන හිටියෙ. හැබැයි ඩිලන් හැසිරුණේ පිස්සෙක් වගේ. එක රැයකින් බිස්නස් වලින් ගොඩ යන්නයි මිනිහ දැඟළුවෙ. එතනදි ඩිලන්ට වයිෆ් අමතක වුණා. මං දන්නෙ නැති වුණාට රැයක් දවාලක් නැතුව මිනිහ ප්ලෑන් කරල තියෙන්නෙ මාව විනාස කරන්න. ඔය අතරෙ එක එක බිස්නස් කර කර හිටිය. සල්ලි පස්සෙ දුවද්දි වයිෆ්ව අත්ඇරුණා. අන්න ඒක තමයි මේ හැම ප්‍රශ්නෙකටම මුල”
“ඩිලන්ගෙ වයිෆ් දිවාකරට කිව්වද එයාගෙ හස්බන්ගෙ සීක්‍රට් ප්ලෑන්ස්…”
කවුරුන් හෝ ඇසුවා නම් දිවාකර වඩාත්ම අපහසුතාවයට පත් වෙන්නට තිබූ පැනයකි ඒ. නමුත් උපදේශකයා ඉදිරියේ ඔහු ට එවැන්නක් නො දැනිණ. මෙහෙම කතා බහකට තමන් මේ තරම් ප්‍රමාද වූයේ ඇයිද කියන සිතිවිල්ල සිතේ ඉපිද මිය ගියේ ය.
“නෑ”
“එහෙනං උදාරි කොහොමද මේ කතාවෙ චරිතයක් වෙන්නෙ…”
“ඩිලන්ගෙ බිස්නස් පිස්සුව නිසා වයිෆ්ව අත්ඇරුණා කියල මං කිව්වෙ…ඇත්තටම මං ඒක තේරුං ගත්තෙ පස්සෙ උදාරි කියපු දේවල් නිසාමයි. මුලින්ම එයා මට කතා කළේ පරිස්සං වෙන්න කියල කියන්න..ඩිලන් දැන් ඉන්නෙ බිස්නස් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් තත්වෙක නිසා පරිස්සං වෙන්න කියල විතරයි එයා කිව්වෙ. ඒත් එදා ඒ කතා බහෙන් පස්සෙ අපි හුඟක් ක්ලෝස් වුණා. උදාරි මට කතා කරල ඩිලන් එයාව නිග්ලෙක්ට් කරන හැටි කියන්න ගත්ත. ඔය කාලෙදි ඩිලන්ට වෙන සම්බන්දයක් තිබුණ. උදාරි කියපු විදිහට ඒ ගයාත්‍රි. ගයාත්‍රි නිසා උදාරිව ඩිලන් ම ර යි කියල උදාරි නිතරම බයෙන් හිටියෙ ඔය කාලෙ. පුතා නැත්තං දමල ගහල යනව කියල එයා හැම වෙලේම මට කිව්ව. ගයාත්‍රි කියන්නෙ ඩිලන් ඉස්කෝලෙ යන කාලෙදි සම්බන්ධයක් තිබිල පස්සෙ ඒ සම්බන්ධෙ නතර කරපු කෙනෙක් කියල උදාරි කිව්ව. වෙන කෙනෙක් බැඳල ප්‍රංශෙටද කොහෙද ගිහිං ඉඳල ඒකෙං ඩිවෝස් වෙලයි එතකොට ගයාත්‍රි ඇවිත් හිටියෙ. කොහොමහරි ඩිලන්ගෙයි ගයාත්‍රිගෙයි සම්බන්දෙ නතර කරගන්න උදාරි සෑහෙන්න මහන්සි වුණා. ඕව ගැන මාත් එක්ක කිය කිය ඇඬුව දෙඩුව. පව්..”
දිවාකර දිගු සුසුමක් හෙළුවේ ය..නැවත වතුර උගුරු කිහිපයක් ද බීවේ ය.
“ඒ කියන්නේ…ඒක නිකං මිත්‍ර සම්බන්ධයක් විතරයි… මං කියන්නෙ මේ…දිවාකරගෙයි උදාරිගෙයි ආශ්‍රය…”
උපදේශකවරයා ගේ ඇස් තියුණු ය. නීතීඥවරයෙකුට, වෛද්‍යවරයෙකුට සේ ම මානසික උපදේශකවරයෙකුට ද සිය පාරිභෝගියා කිසිත් නො සැඟවිය යුතු වේ. එසේ කළහොත් උදව් කිරීමට නියමිත උපරිමයෙන් එසේ කරන්නට ඔහු ට නොහැකි වේ. තමන්ට නො කියන්නට තැත් කරනා යමක් වුව ග්‍රහණය කර ගැනීමේ සූදානමෙන් ඔහු ගේ උකුසු ඇස් දැල්වී තිබිණ. දිවාකර නැවත ද සුසුමක් හෙළුවේ ය.