මීදුම් මාරුත -30

මීදුම් මාරුත by Nibandhika Wanninayake

“සකුණ මේ දවස්වල ෆෝන් ආන්සර් කරන්නේ නෑනෙ අම්මා..”

කාව්‍යා අම්මාට පැවසුවේ උදාරාගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්නට සකුණ වග බලා ගත් පසුව ය.

“මම ඊයේ කතා කළාම කතා කරානෙ පුතේ..”

මාලිකා පැවසුවේ පුදුමයෙනි.ඈ සකුණට සුළු සුළු අත් උදව් ඉල්ලන්නට ඇමතූයේ අදක ඊයේක සිට නොවේ.කෙල්ලන් පමණක් හිඳින මිතුරියන්ගේ නිවෙස්වල අම්මලා තමන්ට වැඩියෙන් ආදරය කරන බවට සකුණලා අතීතයේ නන් දොඩවන අන්දම කාව්‍යාට මතක ය.

“ඒ ඔය ගහක අත්තක් කපා ගන්න,වැහි පීලි සුද්ධ කරගන්න වගේ එක එක වැඩගන්න අපේ ගෙවල්වල කොල්ලො නෑනෙ.අම්මලා දන්නව.කන්න දීලා ශේප් එකේ වැඩේ කරගන්න පුලුවන් කියලා.”

කාව්‍යා එදවස සරදම් කළ හැටි ඈ සිහි කළා ය.අම්මා ඇගේ තොල් මත මැවෙන මඳහස දෙස බැලුවේ පිබිදුණු දෑසකිනි.සකුණ සිහි වෙද්දී පවා කාව්‍යාගේ මුහුණ මඳහසකින් සැරසෙන්නේ නම් අලුත් කතාවක් ගැන බලාපොරොත්තු තබා ගන්නට අම්මා සූදානම් ය.

“අපි පුංචි කාලෙත් අම්මා රුලං අලුවයි එක එක කෑම ජාති හද හද සකුණලගෙන් ලකුණු ගන්න හැටි මතක් වුණා.අපි පුංචියටම ඉන්න තිබ්බෙ අම්මේ..”

අම්මා කාව්‍යාගේ හිස පිරිමැද්දා ය.ඈ අදහස් කරන දේ අම්මාට වැටහේ.අම්මා ඒ මාතෘකාව නොපිවිසෙන්නට සිතුවා ය.අතීතය සිහි කිරීමෙන් කාව්‍යාට කිසිවක් ලැබෙන්නේ නැති බව අම්මා දන්නී ය.මව් දියණි බැඳීම කොතෙක්දැයි කිවහොත් අම්මා සිතන දේ කාව්‍යා මනාව වටහා ගත්තා ය.

“අම්මා අපේ උදාරාගෙ ඉස්සර අෆෙයා එක අම්මට මතකද?”

ඈ අමුතුම ප්‍රවේශයකින් කතාවකට එළඹුණා ය.

“මතකයි පුතේ.ඔයාලගෙ අනිත් යාළුවො වගේ නෙවෙයි.අකලංකට මාත් වැඩිය කැමැත්තක් නෑ.ඒ උනාට ඉතින් ඒ සම්බන්ධෙ තිබ්බෙත් නෑනෙ..උදාරා ඇත්ත තේරුම් ගත්තු එකත් හොඳයි නේද?”

අම්මා පිළිවදන් දුන්නා ය.උදාරා කටුක ප්‍රේම සම්බන්ධතාවයක අමිහිරි මතක දරා ගත් බව අම්මාට සිහි කරන්නට කාව්‍යාට ද උවමනා ය.ඈ අම්මා දෙස බැලුවේම ඒ මතක සිහි කරමිනි.

“අම්මා උදාරා කවදාවත් ඉස්කෝලේ කාලේ මතක් කරන්නේ නෑ.අකලංක වගේ රැවටිලිකාරයෙක් එයාගේ මතකවල ඉන්න නිසා ඒක එයාට මානසික වදයක්.ඒ උනාට මට ඒ මතක එහෙම වෙන්නෙ නෑ අම්මෙ.සෙනුර අපි ළඟ නෑ විතරයි.එයා කවදාවත් මට බොරුවක් වංචාවක් කරේ නෑනෙ.වෙන එකක් තියා සෙනුර මගෙ හිත රිද්දලත් නෑ කවදාවත්.සෙනුර මට ජීවිතේටම බොරුවක් කීවේ එකපාරයි අම්මේ..”

කාව්‍යා එසේ කියා ගලා යන කඳුළුවලට ඉඩ දුන්නා ය.වංචනික ප්‍රේමය නිසා ගැහැනු ළමයෙකු හෙළන කඳුළුවලට වඩා මේ කඳුළු බර වැඩි බව අම්මාට සිතිණ.

“එයා මට කිව්ව එකම බොරුව ඉක්මනින් ගෙදර එනව කිව්ව එක අම්මේ.වංචාවකට කරේ එයාට අමාරු නෑ කියල කිව්ව එක.එච්චරයි.එයා මට කියපු එකම බොරුව ඒක විතරයි.”

අමිහිරි මතක ද රැවටීම ද ඉතිරි කළ නික්මී යන වංචාකාර ප්‍රේමවන්තයෙකු අමතක කරන්නටත් අලුත් ජීවිතයක් අරඹන්නටත් ගැහැනු ළමයෙකු දිනෙක හිත එකඟ කර ගන්නට ඇති ඉඩ වැඩි ය.නමුත් වදනකිනුදු සිත නොරිදවූ ප්‍රේමවන්තයෙකු සහ බැල්මකින්වත් වංචාවක් නොකළ සැමියෙකු වූ සෙනුර අමතක කරන්නට කාව්‍යා අසමත් බව අම්මා තේරුම් ගත්තා ය.

“සකුණ ඔයාට මොනවහරි කිව්වද පුතේ?”

අම්මා කාව්‍යාගෙන් ඇසුවා ය.කාව්‍යා සදාකාලිකවම සෙනුරගේ මතකයන් සමඟ ජීවත් වන්නේ නම් ඈට ඒ සඳහා ඉඩ දිය යුතු බව අම්මාට සිතෙන්නට පටන් ගෙන තිබිණ.

“සකුණට මං ගැන බලාපොරොත්තුවක් තියනව අම්මෙ..”

අතීතයේ සෙනුර ගැන හෙළි කරද්දී දෙකම්මුල් රත් පැහැයට හරවාගෙන තාවර වූ දියණිය මේ යෝජනාව ගැන අම්මා සමඟ පැකිලීමක් නැතිව කතා කරන්නට සිතා ගත්තා ය.එදා ප්‍රේමාරධානාවක තතු අම්මාට කියන්නට නොහැකිව ලැජ්ජාශීලී වූයේ පාසල් වයසේ නව යෞවනියකි.අද ඈ තිස් හැවිරිදි වියට එළඹි වැඩුණු තරුණියකි.ලෝකයා දකින අන්දමට වැන්දඹුවකි.

“සෙනුරගෙ අම්මයි මායි එක්ක සකුණ ඔය ගැන කතා කළා පුතේ.අපි නම් විරුද්ධ නෑ.සකුණගේ අම්මට නම් කතා කරන්න වෙයි..”

අම්මා කාව්‍යාට පැවසුවේ ගැටලුවක් නැති හඬිනි.කාව්‍යා අම්මා දෙස බලා නෙත් සිහින් කර හිනැහුණා ය.

“අම්මා..මං ඇත්තටම මැරි කරන්න ඕනද ආයේ. මං හිතන්නේ ඒක එච්චර හොඳ තීරණයක් නෙවේ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here