විහඟ පියාපත් 36

0
5217

බලා හිඳීමෙන් පසුව අමයුරු අමතා කෙටි පණිවිඩයක් තියන්නට ශයිනි තීරණය කලාය. ඔහු තවම රුවක් ලෙසින් නන්නාදුනන අයෙක් බව සැබෑය. එහෙත් ඇය ශයිනිගේ මනස තුළ ඉතාම හුරු පුරුදු අයෙකු වී හමාරය. ඉතින් ඔහු මඟ හැර ගන්නට නොහැක.

” මගේ ජීවිතේ අඩුවක් තියෙනවා …”

ඇය එලෙස යැවූ මැසෙන්ජර් පණිවිඩය තත්පරයක පමාවෙන් අමයුරු විසින් කියවූ බව පෙනුණි.ශයිනි ඉන් උද්දාමයට පත් වූවාය. ඔහු සිටින්නේය යන හැඟීමම මෙතෙක් කල් හිස් වී තිබු හද අවකාශ පුරවාලන්නට තරමේ විය.

අකලංක අමයුරු ගේ ගිණුමට පිවිස ශයිනි හා සමඟ වූ සංවාද කියවන්නට පටන් ගත්තේ ප්‍රබාත් ගේ ඇණුම් පදද නොසලකමිනි. ඒ සැනිණ් පැමිණි පනිවිඩය ඔහුටද ගෙන ආවේ පුදුමයකි.

ඇය පවසන්නේ අඩුවක් ඇති වගය.

අකලංක පැවසිය යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව මොහොතක් බලා උන්නේය.

“මගෙන් වරදක් වෙලාද ?”

ඕ ඉන් පසුව එලෙසද විමසුවාය.

අකලංක බැල්කනියේ වූ කුඩා වේවැල් අසුනේ හිඳ ගත්තේය. පරිසරය පුරා ඇති උණුසුම් කාලගුණය මැද ඔහුට දැනෙන්නේ සෞම්‍ය සිසිළසකි.

“නෑ ළමයා නෑ…”

අකලංක ඉතා ඉක්මනින් එලෙස කීවේය.

“එහෙම නම් ඇයි ? …”

“ඔයාට මාව කවුද කියන එක වැදගත් නැද්ද ශයිනි …?”

අකලංක එවර විමසුවේ ශයිනි නිරුත්තර කරමිනි. ඔහුගේ පැනය මින් පෙර ඇය දිගින් දිගටම විමසූ පැනයක් වුවද, ඇයට එයට පිළිතුරු සිතාගන්නට පහසු වුයේ නැත. සැබැවින්ම ඇයට මෙවෙලෙහි අවැසි වූයේ අමයුරු ගේ පැමිණීම මිසෙක ඔහු කවුරුන්දැයි දැන ගැනීම නොවේය. එහෙත් ශයිනි ට එක් වරම එය පවසාගන්නට නොහැකිය.

“ඇයි ඔයා එකපාරටම එහෙම අහන්නේ ? ..”

ශයිනි එලෙස විමසා බලා උන්නාය. ඒ අතර වාරයේ අමයුරු ගේ සැබෑ හැඳුනුම්කම තමාට අත්‍යාවශ්‍ය නොවේදැයි කල්පනා කලාය. එහෙත් එයට පිළිතුරු ලැබෙන්නට පෙර අමයුරු ගේ පිළිතුරු ලැබුණි.

” ඔයා ඒක දිගින් දිගටම මගෙන් අහපු නිසා…”

“ඒ අහපු නිසාද නිහඬ වුනේ ?… එකපාරටම අතුරුදන් වුනේ….”

අකලංක ට එයට පිළිතුරු දෙන්නට පෙර ඉතා දිග සුසුමක් හෙළුවේය. ශයිනි ගේ පිවිසුම ඉතා භයංකර කතාවකින් අවසන් විය හැකි බව අකලංක ට වැටහෙයි. භයංකර වීම යනු ඇය විසින් ගන්නා ඕනෑම තීරණයකට තමාට එකඟ වීමට සිදු වීමේ සිට ඇයගේ තීරණයක් පිළිබඳව විමසන්නටවත් තමාට ඉඩක් නොලැබීම දක්වා ඕනෑම දෙයක් විය හැකි බවද ඔහුට වැටහෙයි.

” එහෙමම නෙවෙයි .. ඒත් එක වදයක් කියලා දැනුනා…”

“මාවද වදයක් කියලා දැනුනේ…?”

වචන වල මෙලෙසින් එල්ලී සිටින්නියක නොවන ශයිනි දැන් එහෙම වෙනසක්ද දරන්නීය. ප්‍රේමය මිනිසුන්ගේ පුරුදු වෙනස් කරන්නේය. එය අනිච්චානුගය.

“එහෙම නෙවෙයි ළමයෝ… දැන් ඔයා හොඳින් නේ.. දැන් නඩුව දැම්මා වුනත්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ…චරිත් ට වුනත් ඔයාව බිඳින්න ලේසි වෙන්නේ නැහැ දැන්.. අලුත් අකවුන්ටන්ට් වැඩ ටික ගානට අල්ලගෙන නේද ඉන්නෙ ?”

පපුවට රිදුමක් දැණුන නිසා ශයිනි ඉරියව්ව වෙනස් කලාය. ඔහු පවසන්නට යන්නේ කුමක්දැයි පැහැදිලි නැත. තිබු දෙබස අන් යමකි. කතා කරමින් උන්නේ අන් යමකි. ඔහු දැන් වෙනකක් පවසන්නේය.

” ඔයා ඇයි අමයුරු මෙහෙම කරන්නේ ?”

ශයිනි එලෙස විමසන්නේ කිනම් ස්වරයකින්දැයි සිතා ගන්නට නොහැකිව අකලංක ජංගම දුරකථන තිරයේ වූ දෑස් ඉවතට ගෙන මොහොතක් ගත වෙන්නට හැරියේය.

” ඔයා කවුද කියලා අහලා…, ආයේ මම කරදර කරන්නේ නෑ.. ඔයාට මගේ ඉස්සරහට එන්න හිතෙන දවසක් වෙනකල් බලන් ඉන්නම් මම… ඒත්.. ප්ලීස් … අතුරුදන් වෙන්න එපා ඔහොම…”

අකලංක යලි ජංගම දුරකථන දෙස බලන පමාවට තිරය මත එලෙස විණි.

“ඔය ගෑණි උඹට ආදරේ කරන්න ගත්තොත් හෙම, ඒක මහ පවක් වෙනවා බං… ගලක් වගේ ගෑණියෙක් දිය කරවලා දාලා , ඊට පස්සේ ඒ ගෑණිව පට්ටම අසරණ කරනවා උඹ… අන්න ඒකයි කියන්නේ ඉස්සෙල්ලාම අකලංක විදියට ගිහින් ඒකිට කතා කරපං… උඹ ආදරේ කරන බව කියලා හිටහං…”

සුලු මොහොතකට පෙර ප්‍රබාත් එලෙස පැවසූ තද ස්වරය අකලංකට ඇසෙන්නට ගත්තේය. ඇය පවසන්නේ ඇය ඉවසා බලා සිටින වග නොවේද ? නොගොසින් සිටින්නට කියා නොවේද ? ඒ සියල්ලේම සැඟවුණු කතාව වන්නේ ඇය ද තමා සේම වන යම් සමනල් හැඟීමක් ජීවත් කරවන්නට සූදානම් වගද ?

අමයුරු කිසිත් නොපවසා සිටීම ඉවසා ගන්නට නොහැකි වූ තැන ශයිනි ඔහුට මැසෙන්ජර් ඇමතුමක් ගත්තාය. අකලංක එයට පිළිතුරු දුන්නේ කිසිත් වැඩිපුර නොසිතාය. ඇය තම හඬ හඳුනා ගත හොත් එතැන් පටන් සියල්ල ඒ ඒ තත්පරයට බාර දෙමියි සිතමින් ය.

“හෙලෝ..”

අකලංක කිසිත් කීවේ නැත.

“සොරි… මම තියන්නම්…”

අනෙක් පස සිටින මිනිසාහේ නිහැඬියාව නිසා ශයිනි නොසන්සුන් වූවාය.

“එපා … ඉන්න…”

අකලංක ඉස්සර වූයේය. ශයිනි නැවතුණාය. ඔහු කීවේ නවතින්නට කියා බව සිතා ගත නොහැකිව මෙන් ඕ බලා උන්නාය.

“කතා කරමු…”

අකලංක හැකි තරම් හඬ වෙනස් කරමින් කතා කලේය. ශයිනි ට එය දිව්‍යමය හඬක් ලෙසින් දැනුනා විනා සැකයක අංශුමාත්‍ර්‍යක් හෝ දැනුනේ නැත.

ශයිනි නිහඬව ඒ දිව්‍යමය හඬට ආසක්තව එහිම ඇලී උන්නාය. ඉතින්.., ප්‍රේමය ඉපදුණාට වඩා වේගයෙන් එය ජීවත් විම ඇරඹුනේය.

එවර ශයිනි උන්නේ නිහඬවය. දෙදෙනා අතර සංවාදය ගොඩ නැංවිය යුත්තේ තමා බව අකලංක ඒ නිහැඬියාව තුළම වටහා ගත්තේය.

“ඉතින් ….”

ඔහු පැති දොර හැරගෙන විවෘත ආලින්දයට බැස්සේය.

“ආයෙම එහෙම අතුරුදන් වෙන්න එපා.. ඔයාට තරහ නම් බනින්න.. ගහ මරා ගන්න එක මට ඉවසන්න පුළුවන් .. ඒත් සයිලන්ට් පනිශ්මට් හරි අමාරු යි… මං හරි තනි ගෑණියෙක්.. ඒක ඔයාට තේරෙනවා ඇති … ඒත් දැන් මං කාට හරි ඇබ්බැහි වෙලා බව දැනෙනවා……”

ඕ එක හුස්මට කියා අවසන් කර සුසුමක් හෙලුවාය. අකලංකට ඒ සුසුම අතිශය බරකින් දරා ගන්නට සිදු විය.

“අමයුරු …”

“ඔව් මිස් ශයිනි …”

අකලංක හඬ වඩා බර කලේය.

“මං තියන්නම්….”

“ඔහොම ඉන්න කෙල්ල …. මට මේක තේරුම් ගන්න වෙලා දෙන්න…”

ශයිනි යහනේ පෙරලුණාය. විදුලි පංකාව සෑහෙන්නම වේගයෙන් කැරකෙමින් තිබුණි.

දෙදෙනා ඒ වේගයෙන්ම කැරකෙමින් උන්නෝය.

පැය කීයක් ගත වුනා දැයි වගක් නැත.

” අකලකං මචං… පොඩි සීන් දෙකකට ආයේ ගාලු යන්න වෙනවා. එඩිට් එකේදි අහු වෙලා තියෙන්නේ.. අනිද්දා උඹට පුලුවන්ද ?”

කෙටි පණිවිඩයක් වූයේ සහාය අධ්‍යක්ෂවරයාගෙනි.

අකලංක එයට එකඟ වූයේ ඉහවහා යන ප්‍රීතියෙනි.

අනිද්දා … එසේනම් අනිද්දා ඇය දකින්නට හැක.

| අපේක්ෂා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here