මා හද තුළ ඔබ 30

දිවාකර පබ්ලිශර්ස් වනාහි දිවාකර පවුලේ හදවත බඳු වූ ව්‍යාපාරය වූයේ ය. අලුත් ම ගොඩනැගිල්ලෙහි ආයතනයේ කටයුතු පටන් ගත්තා ට පස්සේ නිතර එහි ආ ගිය හැටි තඹරු ට මතක ය. සති අන්තයේ නම් දිවාකර එහි ආවේ පවුල පිටින් ම ය. සති අන්තයේ වැඩ කළේ වැඩ නිම කළ යුතුව තිබූ පත්තර වල කර්තෘ මණ්ඩල හා බෙදා හැරීමේ අංශය ද මුද්‍රණාලය ද පමණි. සෙනසුරාදා ට රන්මුතු ව්‍යාපාරයේ සියල් අංශ විමසීමට ලක් කළා ය. ගිනුම් විමසා බැලුවා ය. පත්තර වල තත්වය ගැන ද පත්තර වල අලෙවිය ගැන ද සොයා බැලුවා ය. ඇතැම් විට පුවත්පත් කර්තෘවරයෙකු සමග එහි අන්තර්ගතය ගැන කතාබහ කළා ය. සිය අදහස් ඉදිරිපත් කළා ය. ඒ වෙලාවට තඹරු හා සඳැස් කරන්නේ ගොඩනැගිල්ල තුළ දුව පනිමින් සෙල්ලම් කරන එක ය.  මුද්‍රණාලයෙහි දී දැනුණ තීන්ත හා කඩදාසි එක් වූ සුවඳ ඇයට මේ දැනුත් දැනෙන්නා මෙනි. ඒ කාලේ දිවයිනෙහි අස්සක් මුල්ලක් නෑර අලෙවි වෙමින් ආදායම් වාර්තා තැබූ පුවත්පත් වල අයිතිකාරයා තාත්තා ය. ඔහු සේවකයන්ට හොඳට සැලකුවේ ය. සිංහල අවුරුද්දට ලාභය සේවකයන් අතරේ බෙදමින් බෝනස් ලබා දුන්නේ ය. එහෙම හිණි පෙත්තෙහි පැවති ව්‍යාපාරයක් උන් හිටි ගමන් කන්දක් නාය යනවා සේ පොළොවට සමතලා වීම හිතා ගත නො හැකි දෙයකි. උන් හිටි ගමන් පත්තර අලෙවි නොවී කඳු පිටින් නැවත පැමිණෙන්නට පටන් ගත්තේ ය. දිවාකර ඇතුළුව කලමණාකාරවරු සියලු දෙනා ද සේවක මණ්ඩලය ද කැළඹෙන්නට වූහ. විශ්මිත වූහ. ඉතා හොඳින් අලෙවි වෙමින් තිබූ පුවත්පත් සමූහයක් එසේ අලෙවිය නතර වන්නේ කෙසේ ද?

“අලුත් පත්තර සෙට් එකකුත් ඇවිත් තියනවනෙ සර්. ඉතිං තරඟෙ වැඩියි”

බොහෝ පුවත්පත් අලෙවි නියෝජිතවරුන්, දිවාකර දුරකතනයෙන් මේ ගැන විමසූ විට කීවේ එහෙම ය. අලෙවි නොවී නැවත ආයතනය වෙත පැමිණි පත්තර මිටි කඳු ලෙස බේස්මන්ට් එකෙහි ගොඩ ගැසුණයුරු තඹරු ට සිහිනයක් සේ මතක ය. ලොකු අවබෝධයක් නැත ද ඒ ගැන ඇගේ ළමා මනසෙහි වූ කම්පනය මේ දැනුත් දැනෙන්නා සේ තඹරු අතින් නළල පිරිමැදගෙන බෙදාහැරීමේ කළමනාකාරවරයා දෙස බැලුවා ය.

“කොහොමද මිස්ට සේරසිංහ එහෙම කළේ…”

ඒ ගැන දැනගන්නට තමන්ට ඕන ද නැත් ද කියා හෝ නො දැන තඹරු විමසා සිටියා ය. සේරසිංහ යළිත් හොර පූසෙකු සේ වටපිට බැලුවේ ය.

“අපේ ලොක්කගෙ මොළේ තමා. මේව කාලෙත් එක්ක යට ගිය බරපතල රහස්. අපේ ලොක්කට බිස්නස් මැනේජ්ම්න්ට් ගැන කපටි මොළයක් තියෙන්නෙ. ඒ දවස්වල අපි පත්තර සෙට් එකක්ම දැම්මට ලොකුවට සේල්ස් හැදිල තිබුණෙ නෑ. ඔය දිවාකර පබ්ලිශර්ස් එකේ පත්තර වලට තමයි වැඩි ඩිමාන්ඩ් එකක් තිබුණෙ. මොකද ඒක ටික කාලයක් තිස්සෙ ස්ටැබ්ලිශ් වෙලා තිබුණ බිස්නස් එකක්නෙ”

“ඉතිං ඉතිං මොකද වුණේ කියන්නකො”

“අපේ බොස් පත්තර ඒජන්සි ඔක්කෝටම කතා කළා. දවසක් හෝටලේක ඒජන්ට්ස්ලට ලොකු පාටියක් දුන්න. ඒක සෑහෙන්න වියදං කරල කරපු වැඩක්. මං තමයි ඒජන්සිකාරයන්ට දෙන තෑගි පාර්සලේ භාරව හිටියෙ. ඒ පාර්සලේට දාපු දේවල් හිටං මට මතකයි. අපේ ලෝගො එක ප්‍රින්ට් කරපු කුඩයක්…මග් එකක්..ටී ශර්ට් එකක්…කැප් එකක්…තව මොනාද පොඩි පොඩි දේවල් තිබුණ. ඒජන්ට්ස්ලට කන්න බොන්න දීල තෑගි දීල පිටත් කළේ නිකං නෙවෙයි. ඒක රහස් මන්ත්‍රණයක්. ඒ තමයි දිවාකර පත්තර විකුණන්නැතුව පත්තර තට්ටු වල යට ගහන්නයි කියපු එක”

“ඉතින් ඒජන්සි වලින් එහෙම කරයිද…කාගෙ පත්තර විකුණුවත් ඒගොල්ලොන්ට කමිශන් එකක් එනවනෙ”

තඹරු ප්‍රශ්න කළේ අතිශය සාමාන්‍ය දැනීමක් තුළ පිහිටා ය. සේරසිංහ කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ඒක තමයි මොළේ කියන්නෙ. කවුරු වුණත් හිතන්නෙ ඔය විදිහටනෙ. ඒවට අපේ බොස් ළඟ තිබුණ මාස්ටර් ප්ලෑන් එකක්”

“ඒ මොකද්ද”

“අපේ පත්තර වලට ඒජන්සි වලට දීපු කමිශන් එක අනිත් පත්තර වලින් දෙන කමිශන් එක වගේ තුන්ගුණයක්. ඉතින් ඒජන්සිකාරයන්ට කිසි පාඩුවක් නෑ දිවාකරගෙ පත්තර විකිණුවෙ නෑ කියල. දිවාකර පබ්ලිශර්ස් එකේ පත්තර ආවෙ නෑ හරි ඉවරයි හරි කියල ඒජන්සිකාරයන්ට තිබුණෙ අපේ පත්තර අතට දෙන එක. ඒ පත්තර වලට වැඩිය මේ අලුතෙන් ආපු පත්තර හොඳයි…දැන් ගොඩක් අය ඉල්ලන්නෙ මේ පත්තර…ඔක්කොම හොඳ ලේඛකයො ඉන්නෙ මේවගෙ…හෙට අනිද්දම දිවාකර පබ්ලිශර්ස් වහන්නයි හදන්නෙ…එතකොට ඔය පත්තර එන්නෙම නැතිවෙයි කියල අපේ පත්තර මිනින්සුන්ගෙ අතට දෙන්නයි තිබුණෙ. වැඩේ සෑහෙන දුරට සාර්ථක වුණා. දිවාකර පබ්ලිශර්ස් වැටුණ වේගෙන්ම සිකුරු ප්‍රකාශන මිනිස්සු අතරට ගියා”

“අනේහ්..”

තඹරු ට එහෙම කියැවී තිබිණ. ව්‍යාපාරය ඇස් ඉදිරිපිට ම කඩාවැටෙමින් පැවති ඒ යුගයේ තාත්තා උන්මත්තකයෙකු සේ හැසිරුණ හැටි අතීත සුන් බුන් අතරින් ඇයට සිහි විය. ඔහු ට බැංකු ණය ගෙවා ගත නො හැකි වූයේ ය. සේවක වැටුප් ගෙවා ගත නො හැකි වූයේ ය. ගිලෙන නැවක් වූ දිවාකර ප්‍රකාශන ආයතනයෙන් පිටතට, වෙනත් මාධ්‍ය ආයතන වලට බොහෝ සේවක පිරිස් පැනගත්දී තාත්තා බලා උන්නේ හද පැලෙනා සන්තාපයකින් බව තඹරු ට මතක තිබේ. වෙනදාට වඩා ඔහු ගේ ඇස් රතු වී තිබිණ. ඇතැම් විට ඔහු මුළු ලෝකයට ම හොරෙන් හඬන්නට ඇත. ඒ කාලේ දිවාකර නිදාගත්තේ ඔවුන් තිදෙනා ගෙන් වෙන් වී තනිව ය. අන්තිම මොහොත දක්වාත් සටන් කරමින් ද නමුත් ඒ අගාධයේ ගිලෙමින් ද සිටි තාත්තා හදිසියේ ම රිය අනතුරකට ලක් වූයේ ව්‍යාපාර ගැන කම්පා වන්නට ඔවුන්ට තව දුරටත් අවස්ථාවක් නො තබා ය.

කිසිවෙකු කතා කළෙන් සේරසිංහ තඹරු අභියසින් නැගිට ගියේ ය. යුවතිය තව දුරටත් කළු කුහරයෙහි ගිලෙමින් සිටියා ය. ඇයට දාහයක් දැනිණ. කන් අඩි පුපුරන්නට එන්නා සේ රිදුම් දෙන්නට ගති. පරක් තෙරක් නැති අගාධයක අඳුරේ ම ගිලී යනු මිස ඉන් ගොඩ ඒමට කුමක් කළ යුතු ද කියා නිනව්වක් වූයේ නැත. තාත්තා ගේ තැතිගත් මූණ ද රතු වූ දෑස ද ඇයට පෙනි පෙනී නො පෙනී ගියේ ය.

“තඹරු”

සමනල් දිවයුරු රණසිංහ ඈ ඉදිරියේ පතාක යෝධයෙකු සේ සිටගෙන සිටින අයුරු තඹරු යන්තමින් දුටුවා ය. සැබවින් ඈ ඉදිරියෙහි දර්ශන බොඳ වී තිබිණ. තඹරු ඇස් පිරිමැද බැලුවා ය. හදිසියේ ම ඇගේ ඇස් පෙනීම දුර්වල ව ගියේ කෙසේ ද?

“තඹරු”

සමනල් තරමක් බිය වූයේ ය. තඹරු ගේ විලාශයෙහි වෙනසක් ඔහු ට පෙනේ. ඇය දහදිය දමාගෙන අසුනට හිස බර කරගෙන සිටියා ය.

“තඹරු ඇයි…ඔයාට මුකුත්…අසනීපයක්ද…”

ඉක්මන් කොට ඇගේ මේසය මත තිබූ වතුර වීදුරුවෙන් බිඳක් අතැඟිලි වලට ගත් හෙතෙම, යුවතිය ගේ මූණට දිය පොදක් ඉස්සේ ය. තඹරු ඇස් පිය සැළුවා ය.

“චුට්ටක්…කැරකිල්ලක් වගේ ආව”

“ඇයි ඒ හදිස්නියෙම…ඔයා හොඳට හිටියනෙ…අද ටිකක් බිසී වුණ නිසාද…අමාරුවක් වගේ දැනුණනං රෙස්ට් කරන්න තිබුණනෙ…අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමුද…”

කිසිත් නිරවුල් ව සිතා ගත නො හැකි ව සමනල් ප්‍රශ්න පෝලිමක් අසා ගෙන ගියේ ය.

“ඕන නෑ. මං ගෙදර යන්නද…”

“යං එහෙනං මං එක්කං යන්නං”

“නෑ නෑ එපා. මට පුළුවන්. මට තනියම යන්නයි ඕනෙ”

“අසනීපයක් දැනෙනවනං තනියම ගිහිං කොහොමද තඹරු..”

එවර සමනල් තරමක් නො රිස්සුම් වූයේ ය. ඔවුන් වෙත පැමිණ සිටි පාලිත අඩ සිනහවක් පෑවේ ය.

“සර් මොනාද සර් දන්නෙ ගෑනු අසනීප ගැන…ඔය හුඟක් ගෑනු අසනීප වලට බෙහෙත් ගන්න ඕන නෑ. තඹරු මිස්ට ගෙදර යන්න ඕනනං යවන එකයි හොඳ”

හිතට දැනෙමින් තිබූ අසහනකාරී බව නිසා පාලිත ට රවන්නට හෝ තඹරු ට කල්පනාවක් වූයේ නැත. එවර සමනල් ආයතනයට අයත් වාහනයක තඹරු ව ගෙදර යැවීමට  සූදානම් වූයේ ය. නමුත් ඇය තරයේ ම එය ප්‍රතික්ශේප කොට කැබ් රියක් ඇනවුම් කළා ය. සමනල් ට අසරණ හැඟීමක් දැනිණ. කුමක් සිදු වී ද කියා හරියට ම ඇය ඔහු ට නොකීම ඔහු වඩාත් අවුල් කොට තිබිණ.

“ඔයාව මෙහෙම යවන්න මට මහ මොකද්ද වගේ”

සමනල් පසුතැවුණේ ය. තඹරු කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා ගොස් රියෙහි නැගුණා ය. ඇය මලානික ව ගොස් තිබේ. ජීවිතය ලස්සනට පහන් වීගෙන එත්දී අතරමගක දී මෙහෙව් බෝම්බයක් පුපුරා යනු ඇතැයි ඇය සිතා තිබුණේ ම නැත. තව දුරටත් ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි රැඳී නොසිට එතැනින් පිටත් වන්නට ම ය ඇයට උවමනා වූයේ. මෙතුවක් ඇය වෙහෙස වී සිය උපරිමය ආයතනය වෙනුවෙන් ලබා දුන්නා ය. ඒ ඇගේ ප්‍රථම රැකියා පත්වීමයි. සීමාවාසික පුහුණුවෙන් පසු එම ආයතනයට ම සේවය කරන්නට ඇය කැමති වූයේ හදවතින් ම ආයතනය ගැන වූ ආදර ගෞරවය නිසා ය. රාජකාරී කාලයේ හැම තත්පරයක් ම ඒ වෙනුවෙන් කැප වූ ඕ ඇතැම් විට අත්‍යාවශ්‍ය හේතු මත රාජකාරී වේලාවෙන් පසුව ද වැඩ කළා ය. ඒ අනුන්ට අයිති තැනක් කියා හෝ සිය වැටුපේ තරමට පමණක් වැඩ කළ යුතුයි කියා ඇය එක මොහොතකටවත් සිතා නැත. මිනිසෙකු ලබනා වැටුපට වැඩියෙන් තමන්ගේ ආයතනය වෙනුවෙන් සේවය ලබා දිය යුතු ය යන්න ඇය ඇදහූ දහමයි. නමුත් ඒ තරම් කැපවීමෙන් සේවය කොට තිබෙන්නේ කවරෙකු වෙතට ද? සිය පියා ගේ ව්‍යාපාරය ඉතාමත් කෲර ලෙස හා අසාධාරණ ලෙස බිඳ වැට්ටූ ඩිලන් රණසිංහට යයි දැන ගන්නට ලැබී තිබේ. ඔහු ජය ගත්තේ තරගයකින් වී නම් ඒ ගැන කිසිදු විවාදයක් ඇත්තේ නැත..නමුත් ඔහු සිය ප්‍රතිමල්ලවයා පරාජය කොට ඇත්තේ ව්‍යාජ උපක්‍රමයකිනි. එය කෙතරම් අශ්ලීල ද? නිර්ලජ්ජිත ද? එවන් මිනිසෙකුට තව දුරටත් සිය සේවය නොපිරිහෙලා ලබා දිය යුතු ද?

“බබූ…ඇයි මේ වේලාසන…”

තඹරු කැබ් රියෙන් බසිනකොට ම ඉදිරියට ආ රන්මුතු විචාලා ය. අම්මා දියණිය ගේ මුහුණ විනිවිද බැලුවා ය.

“සනීප නැද්ද ඔයාට…”

“ටිකක් ඔළුව රිදෙනව”

එපමණක් කියා තඹරු මතු මහලට නැගුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles