මා හද තුළ ඔබ 35

රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වී තිබුණෙන් එදා සන්ධ්‍යාවේ තඹරු ව රෝහලෙන් නිදහස් කෙරිණ. රන්මුතු රෝහල් බිල්පත ගෙවන්නට හදත්දී සමනල් එය ගෙවා අවසන් කොට තිබිණ. පාසල නිම වී සඳැස් කෙළින් ම රෝහලට පැමිණ තිබුණෙන්, ඔවුන් සියලු දෙනා ම ගෙදර ගියේ සමනල් ගේ රියෙහි එකට ය.

“හිතේ තියන දෙයක් අපිට කියන්න බබූ…හිතේ තියාගෙන ලෙඩ වෙන්නෙ නැතුව. අනික ඔයාට ඉන්නෙ දෙයක් කතා බහ කරන්න බැරි අම්ම කෙනෙක් නෙවේනෙ. අම්මට බැරිනං මල්ලිට හරි හිතේ තියන කරදරයක් කිව්වනං හරිනෙ”

එන ගමනේ දී රන්මුතු සිය විස්සෝපය පල කළා ය. සමනල් රියෙහි ඉදිරි කැඩපතින් තඹරු දෙස බලා අඩ සිනහවක් පෑවේ ය.

“අපෝ…කාටවත් කියන්නෙ මොකටද…එයා හිතන් ඉන්නෙ එයා සර්වඥ සර්ව බලධාරී කියලනෙ. එයාට තනියම බැරි දෙයක් නෑ”

“අර චොක්ලට් කිලෝ පහ හයක් එවපු ගස් ගෝනයි මේ බ්ලඩ් ප්‍රෙශර් එකයි අතරෙ සම්බන්ධයක් තියනව කියල හිතෙන්නෙ මට විතරද…”

සඳැස් එහෙම කියමින් ඉදිරි අසුනේ පැති වීදුරුවෙන් පිටත බැලුවේ ය. තඹරු අත දිගහැර ඔහු ගේ කනක් රිදෙන්නට මිරිකුවා ය.

“පිස්සුද මේ ගොං අලියට…දන්න එකටයි නැති එකටයි ඔක්කොටම දන්නව වගේ හොට දානව”

“ඌයි ඌයි කන…රිදෙනව…”

සඳැස් අක්කාගේ ග්‍රහණයෙන් කන නිදහස් කර ගන්නට දැඟළුවේ ය. රන්මුතු සැර වූවා ය.

දැඟලිල්ල නවත්තනවද දෙන්නම…අර ළමයට ඩ්‍රයිව් කරන්නත් අමාරුයි. පොඩි ළමයි කියල හිතං ඉන්නෙ මේගොල්ලො තාම. ඔයිට වැඩිය වගකීමක් ඇතුව වැඩ කරන්න”

ඒ මේ දැඟලීමට පමණක් අදාල අනතුරු ඇඟවීමක් නොවන බව තඹරු ට ප්‍රත්‍යක්ෂ ය. අම්මා යන්තම් සන්තුෂ්ටිය කියන දේ ස්පර්ශ කරන්නට ගත්දීම මේ සිදු වූ දේ ඈ කළඹා තිබේ. සතුට කියන්නේ ඇයට අත පෙවිය නො හැකි දෙයකැයි සිතෙන්නට වුව බැරි නැත. ඒ හින්දා ඉදිරියේ දී කුමක් සිදු වන්නට හෝ කරන්නට නියමිත වී ද ගෙදර අයගේ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වන්නට තඹරු සිතාගත්තා ය.

රෑ කෑමට හිඳ යන්නයි රන්මුතු  සමනල් ට පෙරැත්ත කළා ය. සැබවින් දැන් තමන්ට යන්නට තැනක් නෑ නොවේදැයි සමනල් එදා දවසේ ම හිතමින් සිටියේ ය. ඇඳුම් මාරු කර ගන්නටවත් ගෙදර නො ගිය ඔහු සාප්පුවකින් අලුත් ඇඳුම් කට්ටලයක් මිල දී ගෙන රෝහලේදී එය මාරු කොටගෙන සිටියේ ය. රාත්‍රියේ ගෙදර නො පැමිණීම ගැන විමසන්නට ඩිලන් කිහිප විටක් දුරකතන ඇමතුම් දුන්න ද පිළිතුරු නො දුන් ඔහු, අවසන පසුව ඇමතුමක් දෙන බවට පණිවිඩයක් තැබුවේ ය. පෙර දා රාත්‍රියේ ගෙදර නො පැමිණියා සේ ම පුත්‍රයා දුරකතනයට පිළිතුරු ද නොදී සිටියදී මඳක් කලබල වූ ඩිලන් ට සෑහීමට පත් වන්නට ඒ පණිවිඩය ප්‍රමාණවත් විය.

රන්මුතු කෑම පිළියෙල කරන්නට ගත්තේ හේතුවක් නො දන්නා සතුටකිනි. තඹරු ඉක්මනින් යථා තත්වයට පත් වීම ඒ සතුටේ ආසන්න ම හේතුව වන්නට ඇත. නමුත් සමරන්නට තවත් හේතු නැතිවා ම නොවේ. දිවාකර සමගින් සමගි සමාදානයකට එළඹීම නිමිති කොටගෙන පවුලේ අය වෙනුවෙන් හොඳ කෑම වේලක් පිළියෙල කරන්නට ඇය සිතාගෙන ම සිටියා ය. නමුත් පසුගිය දිනවල තඹරු ගෙන විද්‍යමාන වූ වෙනසත්, සඳැස් ගෙන් නො ලැබුණ අනුබලයත් නිසා ඕ තොමෝ ඊට පසුබෑවා ය.

“හැබැයි ලොකුවට මහන්සි වෙලා උයන්න එපා ආන්ටි. ආන්ටිට කොහොමත් ටයර්ඩ් ඇති අද එහෙට මෙහෙට ගිහින්. සිම්පල් දෙයක් හදල ගමු”

සමනල් ගේ ඒ වචන ටික රන්මුතු ට වෙහෙස කියන වචනයේ අරුතත් අමතක කරවූයේ ය. ඇය යොවුන් තරුණියක ගේ ජවයෙන් ද ප්‍රෟතිමත් බවින් ද යුතුව මුළුතැන්ගෙට ගියා ය. තඹරු අත් උදව්වක් වෙනුවෙන් එහි ගිය ද රන්මුතු ඊට ඉඩ දුන්නා නොවේ.

“යන්න යන්න ඔයා ගිහින් කතා කර කර ඉන්න. මේ හොස්පිට්ල් එකේ ඉඳල ආපු ගමං මහන්සි වෙන්න ඕන නෑ. මට මේ දෙකක් හදල ගන්න පුළුවන්”

තඹරු ආයේ ම ආලින්දයට ගියේ එබැවිනි. දිවාකර ගේ මුහුණේ කාලයකින් දැකිය නොහැකි වූ  සිනහවක් රැළි නැගුවේ ය. වෙනදාට තාත්තා ඉන්නා තැනෙක නො රැඳෙන සඳැස් ද ආලින්දයේ සුහද වටමේස සාකච්ඡාව තුළ රැඳී සිටියේ ය. පවුලක් වශයෙන් එකට එකමුතු වී සිටීම තරම් දෙයක් තවත් නැති බව රන්මුතු ඉඳුරා දනී. රන් රස මෙන් පෑහී තිබූ සිය පවුලේ කාලයකට පෙර බිඳී විසිරී ගිය සතුට යළි හෙමි හෙමිහිට කාන්දු වෙමින් තිබෙනු දැකීම, අම්මා වශයෙන් රන්මුතු ට ඉමහත් සතුටක් දැනවී ය. ඔවුන් ගේ කතා බහ අසමින් ඇය කෑම පිසුවේ අපමණ සැනසීමෙනි.

“දිවාකර පබ්ලිශර්ස් ගැන පුතා දන්නෑ. ඒ කාලෙ ලංකාවෙ පත්තර ලෝකෙ හොල්ලගෙන හිටිය ආයතනයක් තමයි දිවාකර පබ්ලිශර්ස්”

සතුටෙහි කිමිදී සිටියදී දිවාකර ට ඔවුන්ගේ ප්‍රභාමත් වූ අතීතය ගැන සමනල් සමගින් උදම් අනන්නට සිත් වූයේ ය.

“පුතාලගෙ කම්පනි එකෙනුත් පත්තර වගයක් රිලීස් කරනව කියල බබූ මට කියල තියනව”

සමනල් ට තඹරු දෙස බැලිණ. දිවාකර තවමත් ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි අල ගිය මුල ගිය තැන් ගැන දන්නේ නැත. ඒ නම, ඔවුන්ගේ ව්‍යාපාරය වඩාත් පුළුල් වීමෙන් පස්සේ අලුතෙන් යොදාගන්නා ලද ව්‍යාපාර සන්නාමයකි.

“ඔව් අංකල්”

සමනල් තරමක් කැළඹී සිටියේ ය. ඔවුන් ගේ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථා ගැන දිවාකර සමගින් පවසන්නට වේ යයි දෙගිඩියාවට පත්ව සිටියේ ය.

“මොනාද කරන පත්තර…අලුතෙන් ෆීල්ඩ් එකට ආපු කිසි දෙයක් දැන් මං දන්නෑ පුතා. ඇත්තටම මං හිටියෙ බලෙන් හරි ඒ අතීතය අමතක කරල දාන්න ඕන කියන අදහසේ. ඒක නිසා අලුත් ලෝකෙ ගැන අප්ඩේට් වුණේම නෑ”

තඹරු ගේ ඇස් වල ද වූයේ ප්‍රශ්නාර්ථයකි. ඒ ප්‍රශ්නය එල්ල වූයේ ත් සහනයක් බලාපොරොත්තු වූයේත් සමනල් වෙතිනි. කවදා කොයි ලෙස හෝ මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතු වග ඔවුහු දැන සිටියහ. ඒ නිසා දිවාකර ට බොරු කියනු වෙනුවට ඇත්ත කියා ඇත්තට මූණ දෙන්නට ඔහු සිය හිත සවිමත් කර ගත්තේ ය. ඇතැම් විට මේ ඔවුන්ට මේ විදිහට සුහදව දොඩමළු වන්නට අවස්ථාව ලැබෙනා අවසාන වතාව විය හැක.  සමනල් දිවයුරු රණසිංහ යනු ඩිලන් රණසිංහ ගේ පුත්‍රයා බව දැනගත් විට දිවාකර සිය දියණියට මින්මතු ඔහු ඇසුරු කරන්නට තබා ඒ ආයතනයෙහි සේවයට යන්නට වුව අවසර නොදී ඉන්නට පිළිවන. නමුත් ව්‍යාජය මත කිසිදු සබඳකමක් ගොඩනැගිය නො හැකි බව ඔහු දනී. ව්‍යාජය කිසි දා ශක්තිමත් පදනමක් වන්නේ නැත.

“අපේ තාත්ත මුලින්ම පත්තර පටන් අරං තියෙන්නෙ සූර්ය ප්‍රකාශන කියන නමින් අංකල්”

දිවාකර ගේ දෑස් ඉදිරියේ බෝම්බයක් පුපුරා ගියා වන් කම්පනයක් මුලින් ම ඔහු ට දැනිණ. සමනල් සේ ම තඹරු ද සිය ඇස් විදා, අංශු මාත්‍රයක් හෝ ඔවුන්ගෙන් නො ගිලිහෙනු වස් ඉතා සියුම් ලෙස දිවාකර දෙස බලා සිටින්නට වූහ. ඔහු ගේ කට කොනක් ගැස්සී ගියේ ය. කම්මුලක මස් පිඬක් නැටුවේ ය. අතීත වේදනාවක් දිය යට ඔබාගෙන උන් රබර් බෝලයක් සේ හිත මතුපිටට ආවේ ය. දිවාකර ඉතා ඉක්මනින් ඒ කුණාටුව තරණය කරන්නට සමත් ව බලාපොරොත්තු සහගත බැල්මකින් සමනල් දෙස බැලුවේ ය.

“ඒ කියන්නෙ…මේ ඩිලන් රණසිංහගෙ පුතා…”

“ඔව් අංකල්”

තඹරු සිටියේ හුස්ම ගැනීම ඉබේ සිදු නොවිණි නම් එසේ කරන්නට ද අමතක වන තත්වයක ය. ඇගේ රුධිර පීඩනය ගැන සමනල් ගේ හිත යටින් බියක් කාන්දු විය. ඔහු ඇදෙස බලා සන්සුන් වන ලෙස ඇස් වලින් ඉඟි කළේ ය.

දිවාකර මඳක් හිතෙන් ඒ මේ අත කරක් ගැසුවේ ය. ඊළඟට ඔහු අදාල ම තැනින් අල්වා ගත්තේ ය.

“උදාරි….පුතාගෙ අම්ම…ඒ කාලෙ මගෙ හොඳ යාළුවෙක්. හිටපු ගමන් අම්ම ගැන තොරතුරක් නැතුව ගියා. එයා දැන්….”

“එයා ආයෙ ආවෙ නෑ අංකල්. අඩු ගානෙ ඒ ආරංචියක් නැතුව ගියාට පස්සෙ එයා ආයෙ කවදාවත් එයාගෙ පුතාටවත් කතා කරල නෑ අංකල්. අම්ම තාත්තව දාල ගිය එක ගැන මට අවුලක් නෑ අංකල්. අම්මගෙ හිත වෙන කෙනෙකුට බැඳුනනං ඒ කෙනා එක්ක ගියා කියන එක ගැනත් මං තරහෙන් හිතන්නෑ. ඒත් අම්මට එයාගෙම පුතාවත් අමතක කරන්න පුළුවන් වුණා කියන එක හරි වේදනාවක් අංකල්. ඒක හරියට…කවදාවත් සනීප නොවෙන තුවාලයක් වගේ හැමදාමත් මගෙ හිතේ තියනව. මං මේ ජීවිතේ අත්ඇරල යන දවසක් වෙනකලුත් තියෙයි. අංකල් අම්මගෙ යාළුවෙක් කියපු නිසයි මං ඒ ඇත්ත හැඟීම කිව්වෙ. අම්ම මට කවදාවත් ආදරේ කළේවත් නැද්ද අංකල්…අංකල් අම්මගෙ යාළුවෙක්නං…ටිකක්හරි එයා ගැන දන්නව ඇතිනෙ”

දොඩමළු ව සිටියේ සමනල් වී ද හිත රිදෙමින් තිබුණේ තඹරු ගේ ය. ඒ ආරංචිය සවන් මත වැකීමත් එක්ක ම රන්මුතු ද මුළුතැන්ගෙයි වැඩ පසෙක තබා ආලින්දයට විත් විශ්මිත ව සමනල් දෙස බලා සිටින්නට වූවා ය.

“ටිකක් නෙවෙයි පුතා. මං උදාරි ගැන හොඳටම දන්නව. එයාට යන්න ඕනවෙලා තිබුණෙ වෙන මනුස්සයෙක් හිටිය නිසා නෙවෙයි. ඉන්න මනුස්සයගෙ වෙනස්කං දරාගන්න බැරුව. හැබැයි ඒ හැම දේම දරාගෙන එයා ඒ ගෙදරින් එළියට අඩියක් නොතියා හිටියෙ පුතා නිසා. ජීවිතේ බේරගෙන වෙන රටකට යන්න කියල මං කියද්දිත් එහෙම නොයා හිටියෙ පුතාව අරං යන්න ඩිලන්ගෙ පර්මිශන් නැතුව බැරි නිසා. එහෙම ගෑනියෙක් පුතාව දාල ගිහින් මෙච්චර කාලයක් කතා කරන්නෙවත් නැතුව හිටියයි කියන එක…මටනං විශ්වාස කරගන්න අමාරු දෙයක්…”

සමනල් වහා අසුනෙන් නැගිට දිවාකර වෙතට ආවේ ය. රෝද පුටුව ළඟ පහත් වී හිඳ ගෙන සරණ යදිනා දෑසකින් ඔහු දෙස බැලුවේ ය.

“අංකල් ඔය කියන්නෙ ඇත්තම නේද…ඒ කියන්නෙ මගෙ අම්ම ගියා නෙවෙයිද…එයාට යන්න සිද්ද වුණාද…නැත්තං යැව්වද…ඒකට හේතුව…”

සමනල් කතාව නවතා තමන්ගේ ම හිත විමසී ය.

“තාත්ත ගයාත්‍රි ආන්ටිව මැරි කළේ අම්ම ගිහිං ටිකක් කල් ගියාට පස්සෙ”

“ඒත් ඒ සම්බන්දෙ පුතාගෙ අම්ම ගෙදර ඉන්න කාලෙ ඉඳන් තිබුණ”

සමනල් හීගසක් සේ නැගී සිටියේ ය. එකෙනෙහි රන්මුතු ඔහු වෙත ආවා ය.

“පුතා…කලබල වෙලා තීරණ ගන්න හදන්නෙපා. වෙන්න ඕන නැති දෙයක් වෙලා තියනවද කියල කවදාවත් ඔයාට දැනගන්න වෙන්නෑ කලබල වුණොත්. ඒක නිසා ඉවසන්න පුතා. ඉවසීමෙන් හෙමිහිට කල්පනා කරල ඊළඟට හොයල බලන්න මොකද වුණේ කියල..ඔයා දැං නැගිට්ටෙ ගෙදර දුවල තාත්තගෙන් මේක අහල යකා නටන්නනං…ඉඳගන්න පුතා. කෑම කාල එහෙම නිවීසැනසිල්ලෙ ගෙදර යන්න පුළුවන්”

සමනල් යළි අසුන්ගත වූයේ රන්මුතු ගේ වචනය ඉවත හෙළන්නට බැරි කමට ය. නැත්නම් ඔහු ට උවමනා වූයේ ඇය කී දේ කරන්නට ම ය. තාත්තා සොයා ගොස් අඩි පොළොවේ හප්පා අම්මාට කළේ කුමක්දැයි විමසන්නට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles