අවන්හලේ ශයිනිගේ කැබිනය තුළ වූ තම සේයාරුව දෙස අකලංක සෑහෙන්නම වෙලා බලා උන්නේය.
” ඔයා තවම හිතනවද මාව ගැලපෙනවා කියලා …”
“ඒක ඔයා දන්නවා අකලංක ….”
ශයිනිද නැමුණේ නැත. තමා නොගියා නම් ඔහු මෙවරද යන්නේය. මඟ හරින්නේය. එහෙව් ඔහුම මෙලෙස විමසීම;
“ඔයාට කැමැත්තෙන් ඉන්නවා ජේ ඇන්ඩ් ජේ එකේ එම් ඩී … ඔයා ඒක දන්නවද ? .”
ප්‍රබාත් ඒ බව පැවසූ දිනයේ හදවත පිළිස්සුණ තරම දන්නේ තමාය. ප්‍රබාත් ට කිසිඳු වෙනසක් පෙන්වා සිටීම අපහසු වූ තරම දන්නේ තමාය.
“තව ?”
ශයිනි ඉතා උනන්දුවෙන් සවන් දෙන්නට සූදානම් වූවාය. සැබැවින්ම තමා ඉක්මවා යමින් තමාට ආදරය කරන මිනිසෙකුගේ ඇස් මෙතරම් දිලිසෙන්නේද ? ඇයට සිතුනේ එවෙලෙහිය.
මැජික්මය ඇස් දෙක, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුන , ඉතා ඝණ ඇහි බැම යුග්මය තවම වෙනස් නැත. මේවා අතීතයේ ඇලවී යළි යටපත් වූ තැන් ය. ඒත් ඒ යටපත් වූ තැන් දැන් ඉලිප්පෙන්නේ තමාටද යටපත් කරගන්නට නොහැකි ලෙසිනි.
අකලංක ගේ ටෙලිය පිළිබඳව කියාගෙණ නැන්දා කාමරය ට ආ දින සිහි විය. මාස ගණනකට පසු, අකලංක ඒ වනවිටත් හදවතේ ඇලවී උන් වග දැනගත් දිනය එදාය.
“මං සීරියස් අහන්නේ ..”
අකලංක ශයිනි ගේ හැසිරීමෙන් කෝප ගත්තේය. ඔහුට දැන් දැනෙන්නේ හදිසියකි. පැය විසි හතරකටත් වඩා ගෙවී ඇත .ඇය පෙන්වන්නේ එකිනෙකට වෙනස් හැඟීම් ය. කියවා ගැනීමට ඉඩ නොදෙන්නේය.
“ඔව් මං දන්නවා… පේනවා ඒක ඔයාගේ ඇස් වලින්…”
“ශයිනි… අර්ජුන් කියන්නේ ඔයාගේ ජීවිතේ කණපිට ගහන්න පුලුවන් මිනිහෙක්…”
අකලංක එලෙස පවසන්නේ ඇයිදැයි ඔහුම දැන උන්නේ නැත. සැබැවින්ම ඔහු එලෙස පැවසිය යුතුද ?. ඇයට එලෙස යා දිය හැකිද ? මේ කලබලය නිවා ගන්නට නොහැකිද ?
ශයිනි හිනැහුණාය. වසරකුත් මාස දහයකට පසු හමුවී, දෙවන දිනයේ සවස කතා කරන්නට ඇත්තේ මේවාද? ඔහුට ඇති කලබලය කුමක්ද ?
“කණපිට ගැහුණ ජීවිතයක් එක්ක මට ජීවත් වෙන්න පුලුවන් ද ?”
අකලංක හිස පසෙකට ඇල කරේය. තොල් නොපිටට පෙරලුවේය. ඇය තමා ඉක්මවා යන තර්ක නඟයි. කොහොමටත් ඇය එහෙමය එහෙත් තවම අවැසි වූ යම දැනගන්නට ඉඩක් නැත.
“ශයිනි අහන්න… මං ඔයාව රවට්ටන්න හිතුවේ නැහැ.. එවෙලේ , ඒ ප්‍රශ්නේ ඇතුලෙ මට වෙන කරගන්න දෙයක් තිබුනේ නැහැ… අමයුරු ව මරලා දැම්මා නම්, ඔයා මිස් වෙනවා.. අකලංක විදියට ඇප්‍රෝච් වුනා නම්, ඒත් මට ඔයාව මිස් වෙනවා…. මට …..”
අකලංක ට යළි පැහැදිලි කරන්නට අවැසිය.එදින , ඔහු හැර දමා එන්නට තීරණක කල දිනයේ වූ ස්වරයම තවම ඇති වග ශයිනි හැඳින්නාය. ඔහු මෙලෙසින් පැහැදිලි කරන්නට උත්සාහ කර වසරකුත් මාස දහයක් ගෙවි ගොසිනි. එහෙත්, ඔහු නොවෙනස්වම සිටින්නේද ?
“ඔව් ඉතින් හිටියානේ කරේ බන්ධනා… කොහොමද ආයේ ඇප්‍රෝච් කරන්නේ…?”
ශයිනි අකලංක ගේ බාහුවක් කෙනිත්තුවාය. අවැසි ඔහුට ලං වන්නටය. ඇය එතරම් සැහැල්ලුවක් විඳිමින් උන්නාය. පලමු දිනයේ දැනුණ නොසන්සුන් බව දැන් නැත. අකලංක එහා කාමරයේ තබාගෙන ගෙවාදැමූ රැයට පසු ජීවිතය අරුමැසියක්ව දැනෙන උදය එලැඹුන වග දැනෙයි.
ඇස් උස්සා අමනාපයද පෙන්වූවාය.
ඉරිසියාවෙන් පැලෙන ගැහැණු නම් ඉතා විශාල කරදරයක් බව අකලංක ද සිතා තිබුණි. එහෙත්, අද දැනෙන්නේ සැහැල්ලුවකි. අකලංක සිනාසුනේය. ශයිනි දෙස බැලුවේය.
” මං දැක්කනේ නටපු නාඩගම්…”
“ඒ කෙල්ලට පිස්සු .. මං නෙවෙයි නෙහ්… ඒකි නේ කරේ ආවේ “
“එපා කිව්වේත් නෑනේ ..!!!”
“ඒකි චරිත්ගේ ගැටේට අහු වෙලා විනාශ වුනා… පව්…”
චරිත් සමඟ සම්බන්ධතාවය නිසා බන්ධනා ගැබ් ගෙන ඇති බවත්, ඇය ගබ්සාවක් සිදු කිරීමට ගොස් අසාධ්‍යව රෝහල් ගතව සිට ඇති බවත්, ඒ සම්බන්ධව නඩු පැවරීමක්ද සිදුවන්නට යන බවත් තිළිණි කීවා ශයිනිට මතකය. ඉන් නොනැවතී චරිත් බන්ධනා සමඟ සම්බන්ධය නවතා දමා ඇති වගද ආරංචි වූයේය.
එහෙත් ඒවා දැන් කමක් නැත.
“ඉතින් ඔච්චර දුක නම් මොකටද මෙහෙ ආවේ ?”
ශයිනි කඩා පැන්නාය.
“ශයිනි . . ඒක නෙවෙයි කතාව.. අපි මේක ඉවර කරගන්න ඕනි…… “
“ඉවර කරන්න අපි මුකුත් පටන් අරගෙනද ?”
ශයිනි අකලංක ගේ කෝප නහර අවුස්සමින් උන්නාය.
” ඔයා මොකක්ද කරන්නේ ළමයෝ .. ..? මං දන්නවා, ජීවිතේ ඔයාට කිසිම අඩුවක් නෑ.. ඒත්… මගේ ජීවිතේ ඇත්තටම හිස්….. සෑහෙන්නම් හිස්..සෑහෙන්නම…….”
අකලංක යලි පෙර කලබලයේම උන්නේය.
“මගේ ජීවිතේ අඩුවක් නෑ කියලද ඔයා කියන්නේ ?”
ශයිනි එවර ද කඩා පැන්නාය.
“ඔව් … ඔයා සාර්ථක ගෑනියෙක් … “
“ඔයා එහෙම කියන්නේ , මගේ බිස්නස් , රෙපියුටේශන්, කන්ටෑක් නිසා ?
ශයිනි පිළිතුරු බලාපොරොත්තුවෙන් නැවතුණාය.
“දරුවෝ.. අපි දැන් වයසට ගිහින් …”
අකලංක කීවේ සෙමිනි. ඔහුට අවැසි ඉඩ ඇය තනන්නේ නැතිද ?
“ඔව්… මං දන්න්න්වා… ඒජ් මැටර්ස් ටු යූ…”
අකලංක වැඩි පැහැදිලි කිරිමක් වෙනුවෙන් බලා උන්නේය.
“ඔයාට පුලුවන් ලස්සන , පොඩි, කෙල්ලෙක්ට කැමති වෙලා බැඳගන්න… ගමේ විදියට ඉන්න චූටි, මාතලේ නවතින්න කැමති…..”
ශයිනිගේ හඬ බිඳුණි.
ශයිනි එලෙස පවසා නිමවන්නටත් පෙරම, අකලංක කෝපයෙන් කෑ ගැසුවේය. ඔහුට කියාගන්නට අවැසි එවැන්නක් නොවේය. ඇය පවසන්නේ කුමක්දැයි අකලංක ට වැටහෙන්නේය. මේ අම්මාගෙ සිතැඟිය. ඇය ඒවා දන්නේ නැන්දා නිසා වගට සැක නැත.
” ඇයි තරහ යන්නේ ?”
” ඔව්…පුලුවන් .. පුලුවන් තමා… ඒත් ඇයි ඔය වටිනා මොළේට නොතේරෙන්නේ , . මට ඕනි උනා නම් මං මෙලහකට බැඳගෙන .. මොකටද මම ඉන්නේ බලාගෙන….?”
අකලංක එතැනින් නැගිට ජනේල කවුලුව අසලට ගියේය. හැඳ උන් දිග කලිසමේ සාක්කු දැත්ලෙන් පුරවා දැම්මේය. දෙදෙනාම උන්නේ නිහඬවය. අකලංක ආපසු හැරුණේ නැත. ශයිනි නැගිට්ටේද නැත.
විනාඩි දහයක් පමණ ගෙවෙන්නට ඇත.
ශයිනි නැගිට විත් අකලංක අසලින් සිට ගත්තේය.
“අර්ජුන් බැඳගන්න ඕනි වුනානම්, මාත් ඒක කරලා… අර්ජුන් මා එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න පටන් අරගෙනත් දැන් අවුරුදු දෙක තුනක්… ඒ කාලේ පුරාම සැරෙන් සැරේ මතක් උනාම පණිවිඩ එවනවා..තෑගි එවනවා… ඒවා ජස්ට් හැපන්ඩ් අකලංක … ඒක මට වළක්වන්න පුලුවන් කමක් නෑ. මට කරන්න පුලුවන් දේ., ඒවා මට අදාල කර නොගෙන. ඒ දේවල් ආයෙම වෙන කෙනෙක්ට දෙන එක…. ඒක අර්ජුන් පවා දන්නවා… “
ඇය කීවේ අහස දෙස බලාගෙන වුවද, කතාවේ මැද පටන් අකලංක ගේ දෑස් වූයේ ඇගේ උවන මතය.
“මට ඔයා නැතුව ජීවත් වෙන එක ගැන ප්‍රශ්නයක් නෑ අකලංක … මට පුලුවන් සර්වයිව් වෙන්න…”
අකලංක ඉන් තිගැස්සුණේය. එහි වරදක් නැත. ඇය අතිශය දරුණු ලෙස අහිමි වූවාට පසුව තමාද මියැදුණේ නැත. පැවතුණේය. එහෙත්, මියැදී ගිය කොටස් වූ බව අමතක කරන්නට නොහැක.
“ඒත්……., මට ඔයා එක්ක ජීවත් නොවී මැරෙන්න ඕනි වුණේ නෑ. මම බලාගෙන හිටියේ ඔයා එනකල්.. කවදම හරි … ඒත්, ඔයා සෑහෙන්නම කල් ගත්තා ..
මං …හිතුවා ඔයා මං මෙහෙ ඇවිල්ලා, මාසෙකින් දෙකකින් තුනකින් ඒවි කියලා .. මාස තුනක් යනකල් මම අමාරුවෙන් ඔයා මතක නෑ වගේ හිටියා.. ඒත්.. ඊට පස්සේ හැම දවසකම මට හරියට රිදුණා…… “
ශයිනි ගේ කොපුල් තෙමී යන්නට පටන් ගෙන තිබුණි. හැර දමා එන තීරණය තමා ගත්තා සේම සොයා එන තීරණය ඔහු ගනීවි යැයි ශයිනි සිතුවාය.ගෙවුණ කාලය පුරාම හැම දිනයකම ඇරඹුමේ අද ඔහු ඒවියැයි බලාපොරොත්තුව වූවා නොවේදැයි ශයිනි සිතුවාය.
අකලංක ඇය පවසන්නේ කුමක්දැයි අසා උන්නේ දෑස් විසල් කරගෙනය.
” ආයේ කවදාවත් මට පේන්න මගේ ඉස්සරහට එන්න එපා.. එච්චරට අප්පිරියයි මට…බොරුකාරයා… වංචා කරන මිනිස්සු තරම් මට ජීවිතේ අප්පිරියය නෑ කිසිම දෙයක්…”
ඇය සොයා යන්නට සිතෙන, ඇමතුමක් ගන්නට සිතෙන හැම මොහොතකම සිහි කර ගත්තේ එයය. ඇයගේ මානසික සතුට තමා නිසා ක්ශය නොවිය යුතු බවය. ප්‍රබාත් සහ තිලිණිට ඇය හා සම්බන්ධතා ඇති බව දැන දැනම තමා පිළිබඳව කිසිත් පවසන්නටයැයි නොකීවේ ඒ නිසාය. ප්‍රබාත් ඉඳ හිට යමක් පවසද්ද පමණක් අසා දැන ගත්තේ ඒ නිසාය. ඒ වෙනුවට කලේ මිතුරෙකු ලවා ඇය පිළිබඳව ඇයට සොරා සොයා බැලීම පමනි.
අකලංක ඇය වැලඳගත්තේය. එවෙලෙහි ඒ වැලඳගැනීම හැරෙන්නට අන් යමක් කල හැකි නොවේය. අන් යමක් ගැලපෙන්නේද නැත. අකලංක ඉන් පසුව ඇය ඔසවා ගත්තේය. ශයිනි සාවියක සේ උන්නා පමණි.
” එප…පා…”
අකලංක ප්‍රබාත්ගෙන් පැමිණි ඇමතුම ට පිළිතුරු දෙන්නට උත්සාහ කරද්දී ශයිනි වැලකුවාය. ජංගම දුරකතනය ගෙන පසෙකින් තැබුවාය.
“ඔයා ඉන්නේ මා එක්ක කියලා එහෙ කවුරුත් දැනගන්න ඕනි නෑ…”
ශයිනි එය කීවේ හිස පසෙකට ඇල කර වඩා රෝමාන්තික ලෙසිනි. ඇගේ තෙත් නෙත් දිලිසෙන්නේය. අකලංක සිනාසුණේය
“ඇයි ?”
ඔහු ඇහි බැම උස් කර ඇසුවේය.
“මං තව ටිකකින්, අකලංක .. ව මරනවා… මගේ ලඟම තියාගන්නවා……”
අකලංක ගේ මුහුණටම එබී, ඇස් වල ඉතා තදින් එල්ලෙමින් ශයිනි කීවාය. ඒ සමඟම ඔහුගේ ඉණ දෙපසින් දෙපා දමා හිඳ ගත්තාය.
අකලංක ඇය නොවැටෙන්නට ඉණ වටා දෑත් යැව්වාය.
“අකලංක ව .. මම .. මරනවා.. මරලා… හංගගන්නවා…”
ඕ එවර ඔහුගේ ගෙල වටේ දැත් යවා සවනට කොඳුළාය. දෙතොල් සවන් අග්ගිස්සේ වැදෙන්නට හැරියාය. අකලංකගේ දෙතොල් මත වූ සිනහව ක්ශයව තිබුනේ නැත. ඇගේ ගැහැණුකම් හුරතලේටය.
“ම්ම්ම්… පුලුවන් වෙයිද හැප්පෙන්න?”
අකලංක ඇය වඩා තමා වෙතට ඇද ගුලි කරගත්තේ ය. පණ්ඩිතකම් කියවූ තිහේ මැද දශකය පසු කරමින් සිටින යුවතියගේ හද ගැස්ම වැඩිය. අකලංක ගෙල පාමුල පටන් කම්මුල් තෙක් කඳු නැග්ගේය.
“ම්හ්…”
“ඉතින් මරන්න.. ඇයි මේ ගැහෙන්නේ?”
අකලංක එවර ඇගේ සවන් අග්ගිස්සක දෙතොල් වැදෙන්නට හැරියේය. ශයිනි ගේ දෑත් තමා වටා ඉතා තදින් වෙලෙනු අකලංක ට දැනෙන්නේය. ඔහු තමා මතින් ඇය මතට වූ තද බැඳුම අඩු කලේය. පිට පුරා නිදහස් ව වැටී තිබුණු හිස කේ පිරිමැදෙන තාලයකට මාරුවූයේය. කොපුල කොපුලේ ගෑවෙන්නට හැරියේය. තමා අතිශය රළු මිනිසෙක්ව ගෙවූ කාලය හමාර වග අකලංකට දැනෙන්නේ ය.
ජීවිතය මල් යායක ඉඳි කඬුලු අසල වග විශ්වාසය.
| අපේක්ෂා ගුණරත්න |