ඩිලන් රණසිංහ සිටියේ මඳ උමතු බවකින් යුතුව ය. උමතුවක් කියන්නේ ම ඔහු පිස්සු වට්ටන්නා වූ යමකි. උමතුව වූ කලී කෙතරම් භයානක හා සානුකම්පිත තත්වයක් දැයි ඔහු තරම් දන්නා කෙනෙකු නැත. ඒ උමතුව තමන් වෙතට සම්ප්‍රේෂණය වෙතැයි සිහිනෙනුදු ඔහු සිතා තිබුණා ද නොවේ. නමුත් දැන් මේ සිදු වෙන්නට යන්නේ කුමක් ද? වීදුරුවෙහි ඉතිරි ව තිබූ රන්වන් විස්කි විඩ ඔහු උගුරට හලා ගත්තේ ය.
මේ ඔහු ට නින්දක් නැතිව ගෙවෙනා දෙවන රාත්‍රියයි. බැල්කනියේ කෙටි බැම්ම මතින් වීදුරුව තබා අතින් කට පිසදමා ගත් ඩිලන් යන්තම් හිස හරවා ප්‍රෙන්ච් වින්ඩෝවෙන් ඇතුළත යහන මත ගොරවනා ගයාත්‍රි දෙස බැලුවේ ය. ඔහු ට ඇයත් එක්කත් තරහ ය. මේ තරම් දේවල් සිදු වී තිබියදීත් ඇයට ගොරවමින් නිදත හැක. අසහනකාරී නො සන්සුන් බවකින් බැල්කනියේ කෙටි පියවර තබමින් ඒ මේ අත ඇවිද්ද ඔහු, සැතපුම් ගණනාවක් දුර පයින් ඇවිද්දා සේ හතියකින් යුතුව වේවැල් පුටුවක් මතට වැටුණේ ය. ඔහු නො දන්නා මල් සුවඳක් ගෙමිදුල පිස විත් සඳැල්ලට ගොඩ වූයේ ය. මිදුලේ තවමත් පිපෙනවා නම් ඒ ඉස්සර උදාරි සිටවූ ගසක මලකි. ගයාත්‍රි මල් වවන්නට හෝ විවිධ රස බොජුන් පිසින්නට හෝ ලස්සනට ගෙදර නඩත්තු කරන්නට හෝ උනන්දුවක් ඇති තැනැත්තියක නොවේ. ඒ සියලු කටයුතු සිදු වූයේ සේවකයන් අතිනි. ඩිලන් ට එහි කිසිදු ගැටළුවක් ද නැත. එක එක ගැහැනුන් එක එක විදිහ ය. යහනේ දී ඔවුන් හැසිරෙන විදිහ ද, ඔවුන් හුස්ම ඉහළ පහළ දමනා පිළිවෙළ ද, ඔවුන් ගේ සියුම් කෙඳිරිලි ද විවිධ ය. ඉතින් කිසිම අයුරකින් එක ගැහැනියක යනු තව කෙනෙකු නොවේ. උදාරි යනු ගයාත්‍රි නොවේ. ගයාත්‍රි යනු උදාරි ද නොවේ. නමුත් මේ මොහොතේ ඔහු ගින්දරක දැවෙත්දී නිදනා ගයාත්‍රි ගේ ගෙරවිලි හඬ ඩිලන් ගේ සවනට වැටුණේ මහත් පිළිකුලක්, නොරිස්සුමක් දනවමිනි.
මෙතුවක් ඔහු සියල්ල මැනවින් පාලනය කළේ ය. නමුත් සමනල් ගෙදරින් එළියට බැස්සා කියන්නේ සියල්ලෙහි පාලනය ඔහු අතින් ගිලිහී ගියා කියනා එක යි. ඔහු ගයාත්‍රි වෙතින් බලාපොරොත්තු වූයේ එක ම එක දෙයකි. ඒ දිනෙක විවාහයක් කොට සමනල් ගෙදරින් පිටත් කොට හරිනා තෙක් ඔහු රැකගනු ඇත කියනා එක යි. නමුත් අවසාන මොහොතේ ඒ බලාපොරොත්තුව ගැස්සී ගියේ ය.
ඩිලන් උමතු වීමට එයි!
මෙතුවක් ඔහු ලැබුවේ ම ජයග්‍රහණයන් ය. ඔහුට ඕනේ කියා හිතුණු හැම දෙයක් ම ඔහු දිනුවේ ය. පත්තර ලෝකය රජ කළ දිවාකර ගෙන් දෙආකාරයකට පළි දැරුවේ ය. සිය පියාගේ මුද්‍රණාලයෙන් මුද්‍රණ කටයුතු කරගෙන පත්තර ව්‍යාපාරය කරගෙන ගියානම් ඔහු ට දිවාකර එක්ක තරඟයක් ඇති නොවනු ඇත. වෛරයක් ද හට නො ගනු ඇත. ඔවුන්ට සිදු වූ පාඩුව නිසා වෛරය හට ගත්තේ ය. තරඟයකට වැද ඔහු පරදන්නට ඩිලන් තීරණය කරනුයේ ඉන් පසුව ය. දිවාකර ගේ පත්තර ව්‍යාපාරය ඇස් පනාපිට කඩාගෙන වැටෙන්නට යෙදූ උපක්‍රමය සාර්ථක වූ අයුරු සිහි වෙත්දී දැනුත් ඔහු ගේ කට කොනකට සිනහවක් එයි. අදට ද කිසිවෙකු ඒ බවක් දන්නේ නැත. නඩුත් නැත. සාක්ෂිත් නැත. ජයග්‍රහණයක් පමණක් ඇත. ඊට පස්සේ දිවාකර සමගින් පිරිමහගන්නට තිබුණේ පෞද්ගලික ගනුදෙනුවකි. ඒ උදාරි ට තිබූ ලොකු ම හයිය දිවාකර වීම ය. ඇය අතුරුදන් වීම හා සොයා ගන්නට පොලීසිය ද ඇතුළුව කිසිදු ආරක්ෂක අංශයක් සමත් නොවීම යන කාරණා වලින් පසු දිවාකර ඔහු ඉදිරියට ආ මොහොත චිත්‍රපටයක රූපරාමු සේ ඩිලන් ගේ දෙනෙත් ඉදිරියේ මැවේ.
“උදාරි කොහෙද ඉන්නෙ කියල විතරක් මට කියපං ඩිලන්. ප්ලීස්…”
ඒ වචන ටික මේ මොහොතේත් ඩිලන් ගේ සවන් තුළ නින්නාද වෙයි. දිවාකර ගේ මෝටර් රථයෙහි සේවා කටයුතු කරනා ස්ථානයේ සේවකයෙකු සමග රහසේ සිදු වූ කුමන්ත්‍රණයකින් පසු රථයේ සියුම් යාන්ත්‍රික දෝෂයක් කෘතිම ලෙස නිර්මාණය කෙරිණ. ආයතනයෙහි සේවකයෙකු ගේ මව් ගේ මළගමට සහභාගී වීමට යත්දී දිවාකර මාරක රිය අනතුරකට ලක් විය. ඩිලන් ට ඕන වුණේ දිවාකර ගේ අවසන් කටයුතු සිදු කරන්නට ය. එතකොට යළිත් ඔහු උදාරි ගැන අසාගෙන එන්නේ නැත. නමුත් කුඩු පට්ටම් වීත් ජීවිත ඉතිරි වන අවස්ථා සොබා දහම විසින් නිර්මාණය කරයි. උදාරි ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඩිලන් ප්‍රශ්න කිරීමට සිටිනුයේ පුද්ගලයින් දෙදෙනෙකි. දිවාකර නිහඬ කළ විට ඉතිරි වන්නේ සිය ලෙයින් ජාතක වූ සමනල් ය. එතකොට සමනල් ගැටවරයෙකි. ඔහු වැඩෙනුයේ අම්මා ගැන මතක මරාගෙන යයි ඩිලන් බලාපොරොත්තු වූයේ ය. නමුත් එය එසේ නොවන බව වසර දහයක් ඉක්ම ගියාට ද පස්සේ අද පසක් වෙමින් තිබේ.
ඩිලන් අලුත් විස්කි වීදුරුවක් පුරවා ඊට අයිස් කැටයක් එක් කර ගත්තේ ය. මතකය අමතක වනතුරු ම මී විතෙන් මත් වන්නට ඔහු ට උවමනා කොට තිබේ! ඩිලන් ගේ මීදුමක් බැඳුනා වන් දෑස් ඉදිරියේ තඹරු ගේ මතක සේයාවක් ඇඳිණි. ඇය ව ආයතනයේ සේවයට බඳවා ගත්තේ සමනල් ය. ඇය වැඩට දක්ෂ කෙල්ලකි. ඉක්මනින් ම වැඩ ටික මැනවින් ග්‍රහණය කරගත් බව ඔහු දනී. ඩිලන් ගේ අවධානය වැඩිපුර ඇය වෙත යොමු වූයේ සමනල් ගේ ඇස් ඈ ලුහුබඳිනා බව කාර්යාලයේදී දැනී ඇති නිසා ය. ඒ කෙල්ලට ඔහු කැමති නම් හද්දා මගුල් කා ඇය ලේලිය කරගන්නට ඔහු සිතා සිටියේ ය. සමනල් ගෙදරින් ගොස් නැවතී සිටිනුයේ කොහේ දැයි සොයා ගත නො හැකි තැන ඔහු කාර්යාලයේ දුරකතන ක්‍රියාකරවන්නිය ලවා තඹරු ට ඇමතුමක් ගත්තේ ඇය යමක් දන්නවා ඇත යන විශ්වාසයෙනි.
“සමහර විට අපේ එකා කියල ඇති…මුකුත් කියන්න එපා කියල…”
මත් බවින් නෙතු පියවෙත්දී ඔහු තමන්ට ම මුමුණා ගත්තේ ය.
ඩිලන් ගේ ඒ ඇමතුම ගැන, සමනල් ට පෙන්වූවාට වඩා තඹරු සිතුවා ය. දින ගණනාවක ලෙඩ නිවාඩු වලින් පසු ඇය උදයෙන් ම සඳැස් යන වෙලාවට ගෙදරින් පිටත් වී කාර්යාලයට ගියා ය. සල්මල් සුවඳින් කුටිය සුවඳවත් විය. එක එක්කෙනා ඇවිත් ඇගේ අසනීපය ගැන විමසූහ. තඹරු සුහද කෙටි උත්තර දුන්නා ය. සමනල් එනවා දකිත්දී තඹරු සිටියේ බොක්ස් ෆයිල් එකක් රාක්කයෙන් පිටතට ගන්නා සූදානමේ ය. වීදුරු බිත්තියෙන් ඒ රුව දුටු ඇයගේ දෑත් එහෙම ම නතර විය.
“කැශුවල්…”
ඇගේ සිත මිමිණී ය. ඩෙනිම් කලිසමකට කොටු කමිසයක් උඩින් දමා වැලමිට තෙක් ඕනෑවට එපාවට කමිස අත් නවා තිබේ. කමිසයේ ඉහල බොත්තම් දෙක නො පියවා ඇත. ඇගේ හද ගැස්ම උත්සන්න විය. ගැලැක්සි ගෘෘප් ඔෆ් කම්පනීස් හි ප්‍රධාන විධායක නිලධාරියා එහි එමින් සිටියේ කිසිදු වෘත්තීමය පෙනුමකින් යුතුව නොව ඕනෑවට එපාවට ය. ඔහු ගේ රැවුල දින කිහිපයක් තිස්සේ නො කැපූ අක්‍රමවත් බව වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ආයතනය තුළදී ය. දෑත් දෙපසට විහිදමින්, නො සැලකිලිමත් හා අවිචාරශීලී බවකින් කොරිඩෝරය දිග එමින් සිටි කඩවසම් තරුණයා සීඊඕ කෙනෙකු නොව නිරූපණ ශිල්පියෙකි. මේ මොහොතට ගෑනු ඇස් කීයක් ඔහු වෙත ඇලී තිබෙන්නට ඇත්දැයි තඹරු ගැස්මෙන් සිතුවා ය. මීට පෙර ඇයට ඔහු මේ විදිහට පෙනුණේ නැත්තේ ඇයි කියා ද ඒ අතරේ ඇයට නො සිතුණා නොවේ.
“තඹරු මිස්”
පාලිත කතා කරන විටත් ඇය සිටියේ බොක්ස් ෆයිල් එක රාක්කයෙන් ගන්නා ඉරියව්වේ ය. ලැජ්ජාව ද කලබලය ද මුසු බැල්මකින් ඇය ෆයිල් එක ද ගෙන හැරුණා ය.
කොරිඩෝරය දිග එත්දී නො බැලුවත් සමනල් ගේ ඇස් යොමුව තිබුණේ ඒ කියුබිකල් එක දෙසට ය. ෆයිල් කබඩ් එක ළඟ පැත්තට හැරී සිටි තඹරු ගේ නෙළුම් පෙති ඇස් ඔහු වෙත දැල්වී තිබෙනයුරු ඔහු නොදුටුවා නොවේ. නමුත් ඔහු නො බැලුවේ ය. සීඊඕ කෙනෙකු නොව රස්තියාදු කොල්ලෙකු සේ විධායක කුටියට ගොඩ වෙන ගමන් ම ඔහු පාලිත ට විධානය දුන්නේ ය.
“තඹරු මිස්ට එන්න කියන්න”
දෙතොල් පෙති වල වෙනදා නො දැනුණ බරක් ඇයට දැනිණ. තඹරු ඉක්මන් කෙටි හුස්ම ගත්තා ය. ඇය විටින් විට ඔහු දෙස ද, උකුල මත වන සිය අතැඟිලි දෙස ද බැලුවා ය. හදවතේ වන ගැස්මෙහි රිද්මයට ඉක්මන් ඇස් පිය සැළුවා ය. සමනල් ගේ බටිති දෙතොල් අතරේ දඟකාර සිනහවක් ඇඳිණි. ඔහු දෑත් මේසයේ වීදුරු තලාව මත දිගහැර සැහැල්ලු ලෙස ඇය වෙත නැඹුරු වූයේ ය. ඒ දිග ඇඟිලි වඩාත් පිරිසිඳු පාටයි කියා, ඈ තුළ ඉන්නා පිරිමින්ගේ ඇද කුද ම දකිනා කෙල්ල කෙඳිරුවා ය.
“මං මත්තෙගොඩට එයි කියල පාන්දරම ආව නේද…”
“ඔය ශර්ට් එකේ උඩ බට්න්ස් දාගන්නකො”
ඇය මිමිණුවා ය. ඒ හඬ ඇයට ද නෑසුණ තරම් වූ එකේ ඔහු ට ඇසුණා දැයි සැක නො හිතුණා නොවේ.
සමනල් මොහොතකට නතර ව ඇදෙස බලාගෙන සිටියේ ය. ඔහු ගේ මුව ද මඳක් විවර ව තිබිණ. ඇගේ දෑස් තිගැස්මක පා වෙමින් තිබුණේ ය. ඔහු සැහැල්ලු සිනහවක් නගා ගෙන අසුනේ පසුපසට බර වූයේ ය. හිස අසුනෙහි ඇන්දේ ස්පර්ශ වත්දී සමනල් ගේ නෙතු යන්තම් පියවී යන හැටි පවා තඹරු දුටුවා ය. ඊළඟ නිමේශයේ ඔහු නැවත මුල් ඉරියව්වට එළඹ ඇගේ නෙත් විල් හි කිමිදිණ.
“ජෙලස් නේ…”
“කෙල්ලො අවුස්සන්නනෙ…ඔව් ජෙලස් ඉතිං… මං යනෝ සීට් එකට”
“ටිකක් ඉඳල යන්න”
“කට්ටිය බලයි. තේ බිව්වද..බ්‍රෙක්ෆස්ට් ගත්තද…”
“හ්ම්”
“මං යන්නද…”
“මෙහෙම ළඟින් තියං ඉන්නයි ඕනෙ”
“මං යන්නං”
වෙනදා නො දැනුණ මේ අපහසුව කුමක්දැයි ඇය නොදත්තා ය. කන් පෙති හිරිවැටෙනා මේ ලැජ්ජාව කොහෙන් පැමිණියක්දැයි ඕ නොදත්තා ය. ඩිලන් රණසිංහ ඇගේ හිත ඉදිරියේ පතාක යෝධයෙකු සේ ඇඳෙමින් මැකෙමින් සිටියේ ය. ඉක්මන් විය යුතු බව ඇගේ හිත කියයි. නැත්නම් ඩිලන් ඊට වඩා ඉක්මන් විය හැක. ඔහු දැනටමත් ඇය ගැන යමක් සිතයි. ඈ ගැන තොරතුරු ඔහු සොයා ගත යුතු නැත. ඇගේ මව් පියන් කවුරුන්දැයි දැන් ම ඔහු දත යුතු නැත.
තඹරු ගැඹුරින් සිතා පත්තර අංශයේ බෙදාහැරීම් කලමණාකාරවරයාට ඇමතුමක් ගත්තා ය.
“මිස්ට සේරසිංහ ඉතිං මොකද වෙන්නෙ…”
“අනේ තඹරු මං කීප දවසක් බැලුව. ඔයා ලීව් ගිහින්නෙ…අසනීපයි කියලත් ආරංචි වුණා”
“ඔව් මිස්ට සේරසිංහ. අද තමයි දවස් ගාණකට පස්සෙ ඔෆිස් ආවෙ. ඉතිං…අපිට අද මීටින් එකක් දාගන්න පුළුවන්ද…”
“පුළුවන් පුළුවන්. මං එන්නං ඔය පැත්තට”
ඔහු කතා කළේ උණුහුම් උද්‍යෝගයකිනි. තඹරු ට විශාල ජයග්‍රාහී හැඟීමක් දැනිණ. ඇය ඉක්මන් කොට සමනල් වෙත දිව ගොස් ආරංචිය කීවා ය. යමක අග්ගිස්සක් හෝ සොයා දැනගන්නට ඔවුන්ට හැකි වනු ඇතැයි ඔහු ට බලාපොරොත්තුවක් ද දුන්නා ය. ඇය ඔහු ගේ කුටියෙන් පිට වන්නට හදත්දී ඩිලන් රණසිංහ ඇතුළු වීමට ආවේ ය. වෙනදා වාගේ ඇය ගෞරවනීය පිළිගැනීමකින් ඔහු දෙස බැලුවේ නැත. හදවතෙහි නැති දෙයක් පෙන්වන එක කොහොමටත් ඇයට අපහසුවකි. ඩිලන් වූ කලී හොඳ මිනිසෙකු නොවන බව දැන් ඉඳුරා පැහැදිලි ය. තඹරු ට තිබෙන්නේ එහෙම මිනිසුන් ඉදිරියේ නැවෙනා කොන්දක් නොවේ.
ඇය ආචාරශීලී නොවීම ඩිලන් ගේ පපුවෙහි දඩං ගා හැපුණේ ය. වෙනදාට ඇය එසේ නොවනා හුරුබුහුටි කෙල්ලකි. තඹරු පියගැට තුන බැස සිය කියුබිකල් එකට යනයුරු ඩිලන් මඳක් හිස හරවා බලා සිටියේ ය.