මෙනුක ආපසු ඔස්ට්‍රේලියාව බලා ආවේය.
ඒ අරුණලීට ආපහු තමා කරා එන්නට හෝ තමා සමග කතා කරන්නට හෝ අදහසක් නැති බව දැනගෙනය. එහෙත් මෙනුක උන්නේ අරුණලීව අමතක කරන අදහසකින් නොවේ. කෙසේ හෝ අරුණලීව හිමි කර ගත යුතු යැයි අදහසකිනි.
ලංකාවේ සිට මෙල්බර්න් බලා ගුවන් යානය ගුවන් ගත කල මොහොතේ පටන් මෙල්බර්න් ගුවන් තොටුපලින් ගොඩ බසින තුරුම මෙනුක උන්නේ දෙනෙත් පියාගෙන නොනවතින කල්පනාවක කිමිදීය. ඒ කල්පනාව ඇරඹුනේත් පැවතුනේත් අවසන් වුනේත් අරුණලීව කේන්ද්‍ර කරගෙනය.
“උබ මෙහෙම හරි මාත් එක්ක ආව එක හොඳයි”
කුමිල කතාව ආරම්භ කලේ ගුවන් තොටුපලේ සිට නිවස බලා එන අතරතුරේය. මෙනුක ලංකාවට ගොසින් ආපසු එන්නේ විවාහ වී බිරිඳ ද කැටුව නිසාවෙන් මෙතෙක් කලක් මෙනුක සමග එකට ජීවත් වූ නිවස අත හැර කුමිලත්, රමිත් සහ භානුකත් වෙන වෙනම අපාට්මන්ට්ස් වලට වෙන්ව ගොස් සිටියහ. එබැවින් අද පටන් මේ නිවසේ මෙනුකට ජීවත් වෙන්නෙ තනිව බව ඇත්තකි.
එහෙත් එයම මෙනුකට හිත හදාගන්නට හේතුවක් වනු ඇති බව කුමිල සිතුවේය. ඇතැම් විටක තනිකම යනු වේදනාවට දිය හැකි හොඳම හොඳ පිලිතුර නොවේද?
“මම ආවෙ මට කරගන්න දෙයක් නැති හන්ද. උඹ දන්නවනෙ වෙච්ච දේවල් එක්ක උඹවත් නොහිටියනම් පහුගිය ටිකේ මට පිස්සු හැදිල නතරවෙන්නෙ”
“උබ දැන් කරන්න ඕන සිහි කල්පනාවෙන් ඉන්න එක. මං කියන්නෙ නෑ මචං මේ උබට උනේ ලෝකෙ තව උන්ට නොවෙන දෙයක් කියල. ඕන තරම් ඔහොම දේවල් වෙච්ච මිනිස්සු ඇති. ඒ උනාට තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන මිනිහනෙ. හැබැයි එහෙමයි කියල ඔලුව පිස්සු වට්ටගන්න එපා. හොඳට කල්පනා කරපං, අරුණලී ආපහු සෙට්ල් වෙන්න කැමතිද අකමැතිද කියන කෙසේ වෙතත් ඒකි මොන ඩිසිශන් එක ගත්තත් මොනදේ උනත් ඒ උබ කාලයක් ආදරේ කල කෙල්ල බව අමතක කරන්න එපා. අනික ඒකි උඹෙන් ඈත්වෙන්න හිතපු එක වරදක් කියල හිතන්නත් එපා.
උඹ ඇත්තටම මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඕන අරුණලී එක්ක නෙවෙයි මචං රමිත් එක්ක. උඹ ඌ එක්ක මේ ගැන කතා නොකරන තාක්කල් මේ ප්‍රශ්නෙ කවදාවත් විසඳෙන්නෙ නෑ කියන එක අමතක කරන්න එපා.”
කියමින් කුමිල හිඳගෙන උන් අසුනින් නැගිට මෙනුකගේ නිවසින් එලියට බැස්සේ යන බව නොකියා කියන්නට මෙනි.
කුමිල නිවසින් පිටතට යන තුරු පසුගමන් ගිය මෙනුක නිවස තුලට ආවේ මින් පෙර කිසිම දිනක නොවූ අන්දමේ අන්ධකාරයකින් නිවස පිරී ඉතිරි ගොසින් තිබිය දීය.ඒ අඳුර මකාලන්නට අරුණලී ආ පසු ජීවිතයට ආ යුතුම බව මෙනුක සිතුවේ ඒ අන්ධකාරය මැදින් ඇවිද ගොස් සාලයේ සෙටිය මතට ඇද වැටෙද්දීය.
ජීවිතය වෙනස් වෙන්නට නම් ඇය ආ යුතුම නොවේද?
“අක්කා කැමතිම නෑ අයියෙ ඔයා එක්ක කතා කරන්නවත්. ඒ විදියට කතා නොකර ඉඳල ප්‍රශ්න විසඳගන්න බැරි බව ඇත්ත උනාට එයාගෙ පැත්තෙන් නම් ඒක ඉතින් සාධාරණයි නේද?”
මෙනුක සඳලිනීව ඇමතුවේ අරුණලී කිසි ලෙසකින් තමන්ගේ කෙටි පණිවිඩයකටවත් උත්තර දෙන්නෙ නැති තැනය. ඒ පැත්තෙන් අරුණලී සාධාරන බව කොතෙක් අය කීවද තමාගේ පැත්තෙන් තමා කෙතරම් නම් අසරණ බව කිසිවෙකුත් නොපිපිගන්නේ ඇයිද?
ඒ ප්‍රශ්නයට ඉතින් උත්තර සොයාගත යුත්තේ තමන්මය.
සඳලිනී උන්නේ ආපසු විශ්ව විද්‍යාලය බලා ගොසිනි. නොඑසේනම් මෙසේ නිදහසේ මෙනුක අයියා සමග කතා කරන්න අක්කාගෙන් තබා අම්මා හෝ තාත්තාගෙන් හෝ අවසරයක් නොලැබෙන බව ඇත්තකි. එහෙත් කතා නොකර ප්‍රශ්න විසඳගන්නට හැකිද?
“අරුණලී පව් නැ කියල මම කියන්නෙ නෑ නංගි. මං එයාට වරදක් කලා. ඒත් එයාට ඇයි නංගි බැරි මට එකම එක චාන්ස් එකක්වත් දෙන්න? අඩුම ගානෙ එකවතාවක් මං කියන දේ අහන්නවත් එයා ලෑස්ති නෑනෙ”
“චාන්ස් එකක් දුන්න කියල අයියෙ අයියට අයියව වෙනස් කරන්න බෑනෙ. අක්ක කියන්නෙ ඒකෙ. අනික අයිය ඔන්න වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියනම් අක්ක සමහරවිට සමාව දෙන්න හිතන්නවත් තිබුනා. ඒත් මේක එහෙම එකක් නෙවෙයිනෙ අයියෙ. සමාව දෙන්න පුලුවන්ද කියල අක්ක හිතන්නෙවත් නැති එක අක්කගෙ පැත්තෙන් මාර සාධාරණයිනෙ”
සඳලිනී කොහොමත් අරුණලීට වඩා වෙනස්, කටකාර ඇත්තියක බව මෙනුක දනී. එහෙත් හැමදාම සම්ප්‍රදායට එරෙහිව සිතූ සඳලිනී පවා මෙවන් මොහොතක ගන්නේ අක්කාගේ පැත්තය.
“මං හිතුවෙ ඔයා කොහොමත් වෙනස් විදියට හිතන මනුස්සයෙක් හන්දා මං ගැන සාධාරණ ඇහැකින් බලාවි කියල නංගි”
මෙනුක අයියාගේ කට හඬ හොඳටම බිඳී ගොසින් ඇති බව සඳලිනි හැඳිනුවාය. එහෙත් ඔහු කියන පරිද්දෙන් ඔහු කල ඇත්තේ පහසුවෙන් සමාව දී හිත හදාගන්නට හැකි අන්දමේ වරදක්ද? රැවටීමක්ද?
“අයියා කල දේ වරදක් නොවෙන්න තිබුන අයියෙ අයියා ඒක හොරෙන් නොකලනම්, අයියා හැමෝවම මෙච්චර කල් රවට්ටපු එකයි අපි හැමෝටම දරාගන්න අමාරු. විශේෂයෙන්ම අක්කට. අයිය හිතන්න අයිය කල දේ වගේ දෙයක් අපෙ අක්ක කරල අහු උනානම් අයිය ඔය කියන හිතන තරම් ලේසියෙන් සමාව දෙන්න පුලුවන්ද කියල.
මම කොච්චර වෙනස් විදියට හිතන මනුස්සයෙක් උනත් රැවටීම ගැන හිතන්න පුලුවන් විදි තියෙන්නෙ ඉතින් එකයි කියල අයිය දන්නවනෙ. මං හිතන්නෙ අයියට දැන් කරන්න තියෙන්නෙ හිත හදාගන්න එක. අක්කට කතා කරන්න එපා අයියෙ. එයා ටික ටික හිත හදාගන්න හදන එකේ අයිය ආයෙම එයාව බිමට ඇදල දාන්න හිතාගෙන කතා කරන්න එපා”
සඳලිනි සමු නොගෙනම දුරකතනය තිබූ පසුත් එහා පසින් ඇසෙන බීප් නාදය වෙත සවන් යොමාගෙනම උන් මෙනුක නාන කාමරයට ගියේ මුහුන තෙතමාත්තු කරගන්නටය. කණ්ණාඩියෙන් පෙනෙන්නෙ මෙයට සති කිහිපයකට පෙර මේ කණ්ණාඩියෙන් දුටු ජීවී බවින් පිරිපුන් තරුනයා නොවේ.
ඒ කෙස් අවුල් වූ, විඩාපත් දෙනෙතකින්ද මුහුණකින්ද පිරුණ මෙනුක කෙනෙකි. ඔහුගේ දෙනෙත් ඇත්තේ හේබා ගොසින්. ඒ පසුගිය දිනයේ ඔහු කණස්සල්ලෙන් උන් බව නොකියා කියවන දර්ශනයක් වැනි ය.
එහෙත් ඒ සියල්ලටම හේතුව තමන්ගේම ක්‍රියා කලාපය නොවේද?
“මගෙ අතින් වරදක් උනා ඇත්ත. ඒ උනාට එයාට බැරිද මට එකම එකවතාවක්වත් සමාව දෙන්න?”
මෙනුක අයියා කොපමණ හඬා වැටුනද අක්කා ඉන්නේ මෙනුක අයියාට කිස්සේත්ම සමාව දෙන අදහසක නොවේ. ආදරේ නාමයෙන් හෝ සමාව දෙන්නට තිබුනා මෙනුක අයියා ස්ත්‍රියක සමග ප්‍රේමයේ බැඳී හිඳියානම් කියා අක්කා ඊයේ රැයේ පැවසූ අයුරු සඳලිනිට මතකය. උදෑසන තමා විශ්ව විද්‍යාලය කරා එද්දීත් අක්කා උන්නේ තද නින්දකය. ඒ බොහෝ විට ඇය රාත්‍රිය පුරාම ඇහැරී උන් නිසාවෙන් විය හැක.
“මට මෙනුකට සමාව දෙන්න කොහෙත්ම හිත හදාගන්න විදියක් නෑ නංගි. එයා වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියනම් මම අඬල රණ්ඩු වෙලා හරි සමාව දෙන්න ඉඩ තිබුනා. ඒ උනාට මෙහෙමදෙයක් දැනගත්තයින් පස්සෙ මම කොහොමද එයා එක්ක ආයෙ හොඳින් ඉන්නෙ? අනික මොකද්ද ඒ රිලේශන්ශිප් එකේතියෙන තේරුම?
ආදරේ කියල මම කොහොමද මිනිස්සුන්ට ටොපික් එකක් වෙන්නෙ? මොකද්ද අපේ රිලේශන්ශිප් එකේෆියුචර් එක?
මම කොහොමද විශ්වාස කරන්නෙ එයා මට හොරෙන් ආයෙ මෙහෙම දෙයක් කරන එකක් නෑ කියල?”
මේ සබඳතාවයත් විවාහයත් ඉරිතැලිය හැකිඋපරිම අයුරින් ඉරි තැලී ගොසින් අහවරය. ඉතින් තවදුරටත් එවන් ඉරිතැලුනු බන්ධනයක සිර වී හිඳීමෙන් පලක් තිබේද?
“ඒත් අක්කෙ අක්කට කතා නොකර ඉඳිය කියල මම හිතන්නෙ නෑ මේ ප්‍රශ්නෙ ඉවරයක් වෙයි කියල. අක්ක මෙනුක අයියට තරහ ගන්නෙ නැතුව තේරුම් කරල දෙන්න ඇයි මේ සම්බන්ධෙන් පලක් නැත්තෙ කියල. එහෙම කියලත් එයා තේරුම් ගත්තෙ නැත්තම් අපි අතෑරලම දාමු. එහෙම නැතුව අක්කා දිගටම අඬ අඬ කල්පනා කර කර හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනෙ. අපරාදෙ අක්කගෙ ජිවිතේ විනාස වෙන එක විතරයි වෙන්නෙ”
අරුණලී මෙනුකට කතා කරන්න සිතුවේ නංගී සඳලිනීගෙ ඒ වචන මත රැඳීය. ඉස්සර පටන් ම තමන්ට වඩා වසර ගනනක් බාල උවත් නංගී ගත්තේ ඉතාම හොඳ, නුවණැති තීරණ බව පවුලේ හැමෝම ඒකමතිකව පිලිගන්නා දෙයකි.
අරුණලී තමාට කතා කරන බව සඳලිනී ඔස්සේ දැනගත්තද, නිමේශයක සතුටක් සිත මත පිපිරී ගියද ඒ හැඟීම තාවකාලික බව මෙනුක තේරුම් ගත්තේ දුරකතනයේ එහා ඉම සිට ඇදෙන අරුණලීගේ ආදරයක, අනුකම්පාවක ජායා මාත්‍රයක්වත් නොමැති කටහඬ ඇසෙද්දීය. ඇයගේ සීතල කටහඬ යට සැඟවී ඇත්තේ හිත රිදවන කතාවක් බව යටි හිත කොඳුරමින් කියද්දී වුව මෙනුක අපහසුවෙන් මුව මත සිනාවක් හැඳ ගත්තේය. අරුණලී ෆ්‍රන්ට් කැමරාව විවර නොකලද මෙනුක සිතා මතාම තමන්ගේ පසින් කැමරාව සකසාගත්තේය. ඒ අරුණලීට තමා දුක් විඳින බව නොකියා කියන්නට මෙනි. ඒ ඔස්සේ හෝ ඇයගේ සිතට වෙනස් වෙන්නට ඉඩක් දෙන බලාපොරොත්තුවෙනි.
අපිලිවෙල වූ කෙස් ද, තැනින් තැන ඇදුණු රැවුල් කොටද වෙනස්ම ආකාරයක පිරිමියෙකු එතන මවද්දී දුක් විඳ ඇත්තේ තමා පමණක් නොවන වග මෙනුකගේ ඉදිමුණු දෙනෙත දුටු විගස අරුණලී තේරුම් ගත්තාය. එහෙත් තවදුරටත් තමාට පෙනුමෙන්, බැල්මෙන්, ඉරියව්වෙන් මෙනුකගේ අභ්‍යන්තරය තීරණය කරන්නට නොහැකි නොවේද? ඔහුගේ පිලිවෙලට කැපූ රැවුල්, සුන්දර සිනහවද, කාරුණික දෙනෙත යටද මෙතෙක් කාලයක් පුරාවට සැඟවී තිබුනේ ආදරයේ නාමයෙන් කල මහා රැවටීමක කතාවක් නොවේද?
“තැන්ක්‍යු කතා කරමු කිව්වාට” කියා මෙනුක කතාව් ඇරඹුවද ඉන්පසුව කිව යුත්තේ කුමක්ද කියා සිතාගන්නට නොහැක. වසර ගණනක් ප්‍රේමයෙන් බැඳුණ යුවලක් වචන නොමැතිව මෙසේ හිර වී සිටීම කෙතරම් නම් ඛේදවාචකයක්ද?
“මම කතා කලේ කියන්න ආයෙ මටවත් අපේ පවුලෙ අයටවත් කතා කරන්න එපා මෙනුක. මම හිත හදාගන්නව. හැබැයි ඒකෙ අදහස ආයෙ ඔයාට මගෙ ජීවිතේට එන්න පුලුවන් කියන එක නෙවෙයි. ඔයා මාව රැවැට්ටුවෙ ආයෙ සමාව දෙන්න පුලුවන් විදියකට නෙවෙයි.
මම ඉන්නෙ දැන් ඔයා කියල කෙනෙක් මගෙ ජීවිතේ හිටියෙ නෑ කියල හිතාගෙන. ඔයත් දුක් විඳවනව ඇති. ඒත් ඔයා විඳවන්නෙ ඔයා කල වරදකට. මම දුක් විඳින්නෙ මම නොකල වරදකට. ඒ නිසා ප්ලීස් එකම එක මොහොතකවටත් මට ඇත්තටම ආදරය කලා නම් මට ආයෙ කතා කරන්න එපා මෙනුක. අඩුමගානෙ මගෙ ජීවිතේ විනාස කල එකට සමාව ගන්න හරි මං වෙනුවෙන් ඒ දේ කරන්න
මේක කතා කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.අනික අපි කොච්චර කතා කරත් මට ඔයා මොන වගේ මනුස්සයෙක්ද කියන එක වෙනස් කරන්න බෑනෙ නේද්? මුලු ජීවිත කාලෙම මට ඔයා දිහා සැකෙන් බලන්න වෙන්නෙ. ඔයා යාලුවෙක්ව ආස්‍රය කරත් මට ඒ දිහා තවදුරටත් හොඳින් බලන්න බෑනෙ.
මට කවදාවත් එහෙම ලයිෆ් එකක් ඕන උනේනෑ. එහෙම ජීව්තයක් මට ඕනෙත් නෑ. මාත් එක්ක තරහ වෙන්න එපා.ඔයාට ඔයාගෙ ලයිෆ් එක, ඒ ෆ්‍රීඩම් එක නැති කරන්න වගේම මට අකමැත්තෙන් මේ රිලේශන්ශිප් එකේ හිරවෙලා ඉන්න උවමනාවක් නෑ මෙනුක.
මම ජීවිතේ ගැන ආදරේ ගැන අන්තෙටම කලකිරුනා. මම හැමදාම හිතුවෙ මගෙ යාලුවො එයාලගෙ බෝයිස්ල එක්ක පොඩි දේටත් රණ්ඩු වෙද්දි අපෝ ආදරේ කියන්නෙ ඕකද කියල. ඔයයි මමයි එහෙම රණ්ඩු වෙන්නෙම නෑනෙ ඔයා මට ඒ තරම් ආදරෙයිනෙ කියල.
ඒ උනාට අන්තිමේ බලද්දි ඔයාගෙ හිතේ මං ගැන රන්ඩු වෙන්න තරම්වත් ආදරයක් තිබිල නෑනෙ මෙනුක. නේද? ඔයා අවුරුදු ගාණක්ම මාව රවට්ටල. ඔයා යාලුවෙලා ඉඳල මාව අතෑරියා නම් එකක් මෙනුක, මේ හැමදේම හොරෙන් කරන ගමන් මාව මැරි කරන්න ප්ලෑන් කරපු එක? හදිසියේ හරි අපි මැරි කරල කාලයක් ගියාට පස්සෙ මේව අහු උනානම් මං මොකද කරන්නෙ? ඔයා මොකද්ද එහෙනං එදාට කරන්නෙ? අඩුමගානෙ මට දැන් ආපහු හැරෙන්න පුලුවන් ඒත් මැරි කරල හිටියනං? මාව මෙහෙම රවට්ටපු එකට මට කවමදාකවත් ඔයාට සමාවක් දෙන්න විදියක් නෑ මෙනුක. අයෑම් සොරි”
ඒ වදන් විත් වැදුනේ පපුවේ දැනටමත් රිදුම් දෙන තුවාලයක් මත්තේ එය තව තවත් පාරමිනි.
මේ කතාව මෙලෙසම අහන්නට ලැබේ යැයි හිතේ සැකයක් තිබුනද සැබෑ ලෝකයේදී එය ඇසෙද්දී එය දරාගන්න මෙතරම්ම අපහසු වෙන බවක් මෙනුක සිතා තිබුනේ නැත.
ඒ වදන් එසේ කියාගන්නට තරම් හයියක් තමාට ඒ මොහොතේ කොහෙන් ආවාද කියා අරුණලී කල්පනා කලේ සැඳෑවේ කාමරයේ ඇඳ මත හාන්සි වී ඉද්දීය. ආහාර රුචිය පලාගොසිනි. ඇඳෙන් නැගිටින්නට, මුහුණ කට සෝදාගන්නටවත් උවමනාවක් නැත. ඒ කිසිවක් කරන්නට නොහැකි පරිද්දෙන් පුදුමකාර කම්මැලිකමක් සිතට පිවිස ඇත.
රාත්‍රියේ නින්ද බිඳක්වත් තමා සොයා එන්නේ නැති නමුත් දහවලේ ඕනෑ තරම් නිදාගන්නට හැක.
සිත ඇත්තේ මහා දුකකින් පිරීය. ඒ හැමදේටම වඩා දරාගන්නට අපහසු ඒ දුක නිසාවෙන්ම සිතට පිවිසි තිබෙන කම්මැලිකම ය.
අනේ මේ වේදනාවෙන් මිදෙන්නට හැකි නම්?