“ඇයි උඹ දැන් ආවෙ?”
මෙනුක ඇසුවේ නිවසේ දොරකඩ ඉදිරියේ සිටගෙන උන් රමිත් දෙස බලාගෙනය. තමා ඔස්ට්‍රේලියාව බලා ආ දවසේ හිඳ අදවන තුරු එනම් සතියක් ගෙවෙන තුරු තමා හමුවන්නට නොඑන්නට රමිත්ට තිබූ හේතුව සිත පෙලූ වරදක් කිරීමේ බය සහ සැකය විය හැකි බව මෙනුක දනී.
එහෙත් ඒ කුමක් කලද ඔහු සමග රණ්ඩු වෙන්නට, ගහමරාගෙන “උඹ මට මෙහෙම කලේ ඇයි යකෝ?” කියල අහන්නට හැටියක් තමන්ට නැත. ඒ ඇයි කියා තමන්ට සිතාගන්නටද නොහැක?
“මම ආවෙ උබට කොහොමද කියල බලන්න”
“හැමදේම විනාස කරල දැම්මට පස්සෙ ඇවිල්ල මොනව බලන්නද?”
මෙනුක උන්නේ තමන් සමග තරහකින් බව දන්නා නමුත් ඒ ගහමරාගන්නට තරම් තරහකින් නොවන බව රමිත් හැඳිනුවේය. සිතට ආ ආවේගයට එදා එහෙම දෙයක් කල බව ඇත්තකි. එහෙත් එය මෙනුකව මෙතරම්ම කඩා බිඳ දමනු පිණිස කල දෙයක් නොවේ.
“උඹට මාව දාලා යන්න ඕන උනේ ඇයි කියල කියපං”
අරුණලී ගැන මෙනුක රමිත්ට බොහෝ වර පවසා තිබුනද ඔස්ට්‍රේලියාවේද එකට ගෙවූ ජීවිතයෙන් පසුවත් විවාහය සඳහා මෙනුක අරුණලීව තෝරගනු ඇතැයි රමිත් කිසිම දිනක සිතා තිබුනේ නැත.
අරුණලී සමග විවහ වෙන්නට සිතා ගෙන ඉන්නා බවටත් දෙපාර්ශ්වයේම මව් දෙමව්පියන් කේන්දර නැකත් ආදිය බලන්නට කටයුතු කරගෙන හිඳින බවත් මෙනුක කියූ මොහොතේ තමන්ගේ සිත මොනතරම් නම් වේදනාවට පත් වුණාද්? එහෙත් මෙනුක උන්නෙ ඒ කිසිවක් ගැන හැඟීමක් නැතුව මෙනි. තමන්ගේ වේදනාව ගැන හැඟීමක් නැතුව මෙනි.
“මචං උඹයි මමදි දෙන්නම මුල ඉඳලම දැනගෙන හිටිය මම කවදහරි අරුණලීව කසාද බඳින බව. උඹට මම කවදාවත් ඒ ගැන හංගල තිබුනෙ නෑනෙ”
“මං හිතුවෙ උඹ මාත් එක්ක…” එදා ඒ වාක්‍යය සම්පූර්ණ කරන්නේ නැතුව මගින් නතර කලද රමිත් උන්නේ මොහොතකටවත් මෙනුකව අමතක කර නොවේ. ඔහු විසින් තමාව නොරැවටූ බව ඇත්තක් නමුත් මෙනුක මෙසේ තමන්ව අමතක කර ලංකාවේ සිටින කෙල්ලක විවාහ කරගන්නට යනු ඇතැයි රමිත් කිසිදිනක සිතා තිබුනේ නැත.
අරුණලි හා විවාහ වීම ගැන නැවත නැවත සිතා බලන්න යැයි බැගෑපත් වුවද මෙනුක උන්නේ ඒ අදහස එක මොහොතකට හෝ සිතෙන් මුදා නොහලමිනි. මෙනුක ලංකාවට ගිය පසු රමිත් කිහිප වරක්ම ඇමතුවද මෙනුක කිසිසේත්ම තම අදහස නොවෙනස් කරගන්න බව දැනගැනීම රමිත් තුල තරහවක් ඉපද්දුවේය. ඒ මෙනුක ගැන නොව අරුණලී ගැනය. ගෙවුණ වසර ගණනාව පුරාවටම ඔස්ට්‍රේලියාවේ මෙනුක සහ රමිත් ගෙවූ ජීවිතයට එහෙමකට කියා බාධාවක් නොවුණ අරුණලී ජීවිතයේ ඉදිරි කාලය පුරාවටම තමට බාධාවක් වන්නට හැකි බව රමිත් තේරුම් ගත්තේ ඒ මොහොතේය. තමා සහ මෙනුක මෙතැන් පටන් අයත්වන්නේ අතීතයට බව රමිත් තේරුම් ගත්තේ ඒ ගෙවුන දින කිහිපය පුරා ය.
ෆේක් අකවුන්ට් එකකින් අරුණලී වෙත කුතුහලය අවුස්සන මැසෙන්ජර් පණිවිඩ යවන්නට රමිත් සිතුවේ ඒ පණිවිඩ පිටුපස තමා හිඳින බව සැකකර හෝ මෙනුක ඒ විවාහය අතරමග නතර කර දමනු ඇතැයි සිතාය.
ඇතැම් විට මේ තමන්ගේ දෛවය විය හැක. අතට පත් මහාර්ඝ මැණිකක් බඳු අරුණලීව වසර ගණනාවක් තිස්සේ ජීවිතයේ තබා අවසානයේ නීතියෙන්ද අත්පත් කරගන්නට සිතාගත් පසුව තම එකම එක වරදක් නිසාවෙන් ඒ සියල්ල කැඩී බිඳී විනාස වී ගියේ තම අවාසනාව නිසා මිස වෙන කිසිවක් නිසා විය හැකි ද?
රමිත් සෙටියේ කෙලවරක අසුන්ගෙන මෙනුක් දෙසම බලාගෙන ඉද්දී මෙනුක උන්නේ සිතුවිලි වලින් අරුණලී හා යා වෙමිනි.
“මේ ලමය මෙහෙම ආතක් පාතක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවා. අනේ මං දන්නෙ නෑ මගෙ හිත වාවන්නෙ නෑ දෙයියනේ. මෙච්චර හොඳට උස් මහත් කරල, උගන්නල, හැමදේම කරල දුන්නයින් පස්සෙ කවුද මහත්තයො හිතන්නෙ මෙහෙම දේවල් වේවි කියල”
සුභා ආරියරත්න උන්නේ නිරත්තරයෙන්ම කඳුලු පුරවාගත් දෑසිනි. එද හඬා වැලපී සියල්ල පැවසුවායින් පසු අරුණලී ඉන් පසු කිසිම මොහොතක එක කඳුලු බිඳක් වැගිරුවේ නැති නමුදු එය සුභාට සිත සනසාගන්නට හේතුවක් වූයේම නැත. අරුණලී උන්නේ අවසිහියෙන් මෙනි. ඉතාම ප්‍රමාද වී රැයේ නින්දට යන ඇය රෑ දෙගොඩහරියක් වන තුරුම කල්පනා කරමින් හිඳින බව සුභා දන්නේ ඇයටද රැයේ නින්දම් නැතුව කල්පනා කරන්නට බොහෝ දේ ඇති නිසාවෙනි.
ඉතා දවල් වී අවදිවන අරුණලීට ඉන්පසුවත් ඇඳෙන් නැගිට මුහුණ කට සෝදා ගැනීමේ හෝ ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තරම් ය. ඇඳටම වී දෙනෙත් පියාගෙන කල්පනා කරමින් හිඳින්නිය.
“මෙහෙම ගියොත් මේ ලමයා පිස්සෙක් වෙයි කියල මට හරි බයයි. අපි එක්ක හරි කතා කරනවනම්, කොටින්ම අඬල දොඩල හරි ඉන්නව නම් ඔය දුක ටිකක් හරි අඩුවෙන්න තිබුන. ඒ උනාට එහෙමවත් නෑ. බලගත්ත අත බලාගෙන කල්පනා කරමින් ඉන්නව”
“අපි දරුවව කවුන්සලින්වත් එක්ක යන්ද?”
“මිනිස්සු ඊලඟට කතා හදාවි පිස්සු කියල. ඉස්සරහට කීයක් කතා අහගන්න වෙයි කියලද?” සුභා එය පැවසුවේ වඩා හෙමින් ය.
“මිනිස්සු කියන කතා නෙවෙයි අපි හිතන්න ඕන අපේ දරුව ගැන. අපිටත් මේ වෙච්ච දේවල් දරාගන්න බැරි කොට හැමදේම ඇහින් දැකල තනියෙන් විඳ දරාගන්න වෙච්චි කොට ඒ ලමයගෙ ඔලුවට මොන තරම් අමාරු ඇද්ද? ඒකයි මම කියන්නෙ දොස්තර කෙනෙක් ලඟට එක්ක යන් කියල”
“නෑ තව ටික දවසක් ගියාම හරි යාවි. අපි ඉන්නවනෙ ගෙදර. ප්‍රශ්නෙ ඒක නෙවෙයිනෙ දැන් මේ ප්‍රශ්නෙට මොකද කරන්නෙ? වෙන කෙල්ලෙක් එක්ක ඉඳල අහුවුනානම් කියන්න තිබුනා එක වතාවකට හරි සමාව දෙන්න කියල. කොල්ලෙක් එක්ක ඉඳියයින් පස්සෙ අපි කොහොමද දෙයියනේ එහෙම දෙයක් ගැන හිතන්නෙවත්?”
“ඔහේ මාර කතානෙ ඕයි කියන්නෙ? ගෑණියෙක් කියන කතාවක්ද ඔය කිව්වෙ? මේ රැවටිල ඉන්නෙ අපේ දරුවා. අරූ නිදාගත්තෙ කෙල්ලෙක් එක්ක උනත් කොල්ලෙක් එක්ක උනත් මේ ලමය කියනවනම් ආයෙ ඒ මනුස්සය එක්ක ඉන්න බෑ කියල එච්චරයි ඒ කතව එතනින් ඉවරයි. කසාද බඳින්න උන්නෙ උන් දෙන්න. එකට ඉන්න පුලුවන්ද බැරිද කියල තීරණය කරන්නෙ උන් දෙන්නා. නැතුව මේ අපේ ලමයි කියල අපිට එහෙම හිතිච්ච හිතිච්ච ඒව කරන්න බෑ”
“නෑයන්ට මොනවද කියන්නෙ? අහන මිනිස්සුන්ට මොනවද කියන්නෙ?”
“අහන උන්ට මුකුත් කියන්න ඕන නෑ. කසාද බඳින්න ගියාට එහෙම නොඋනේ අපෙ දරුවට මිසක්ක උන්ගෙ දරුවෙක්ට නෙවෙයිනෙ. එහෙම එකේ අහන උන්ට මුකුත් කියන්න උවමනාවක් නෑ”
ආරියරත්න මහතා හිඳගෙන උන් පුටුවෙන් නැගිට මිදුලට ඇවිද ගිය වේගයම ඔහු කෝපයෙන් හිඳින බව සුභාට නොකියා කීවාය. එහෙත් තමන් කොපමණ සාධාරණ වුවද නිවැරදි වුවද බැඳීමක් බිඳුණ තැන පලමුව ඇඟිල්ල එල්ල වෙන්නේ ගැහැණියකට නොවේද?සමාජයේ ප්‍රස්න ඉදිරියේ අසරණ වන්නේ ගැහැණිය නොවේද? පරීක්ශාවට ලක්වන්නේ ගැහැණිය නොවේද?
“අපේ දරුවගෙන් වෙන්න පුලුවන් ලොකුම වැරැද්දක් වෙලා තියෙන බව ඇත්ත.ඒ උනාට සුභා අපිට එහෙම කියල මේ ප්‍රශ්න වලින් ලේසියෙන්ම ගැලවිල යන්න පුලුවන් කමක් නෑ නේද?”
පීරිස් යුවල ආරියරත්න නිවස බලා එද්දී අරුණලී උන්නේ දහවල් ආහාරයෙන් පසු නැවත සුපුරුදු පැය ගණනක නින්දකට වැටීය. උඩුමහලේ නිදා හිඳින අරුණලීට මේ කතා බහ නොඇසෙන පරිද්දෙන් පීරිස් යුවලත් ආරියරත්න යුවලත් උන්නේ ගෙඋයනේ කෙලවරක පිහිටා තිබූ සමර් හට් එක යට අසුන්ගෙනය.
“අපිට ඇත්තටම ලැජ්ජයි මෙහෙම ඇවිල්ල කතා කරන්න තියා මූන බලන්නවත්. අපි කවදාවත් හිතුවෙ නෑ අපෙ දරුව අතින් මෙහෙම දෙයක් වෙයි කියල. මෙනුක අරුණලී ට සලකපු විදියට කොහොමද මෙහෙම දෙයක් හිතන්නෙ?”
“මෙනුක ඉස්කෝලෙ යන කාලෙවත් එයා මෙහෙමයි කියල අක්කලට තේරුනේ නැද්ද?”
“අනේ නෑ නංගි. මෙනුක අරුණලී එක්ක ඇරෙන්න වෙන කිසිම ගෑණු ලමේක් එක්කවත් යාලු වෙලා ඉඳියෙ නෑ.අපිටත් හිතාගන්න බැරුව ගියේ ඒකනේ”
“අවුරුදු ගාණක් යාලුවෙලා උන්නු දෙන්න හන්දා අපි කවුරුවත් එහෙම් හොයන්න කරන්න යන්නෙ නෑනෙ අක්කෙ. අපි හිතන්නෙ ඉතින් ඒ දෙන්නට දෙන්න තමන් ගැන දන්නව ඇතෙයි කියලනෙ”
“දැන් මෙනුක මොකද මේ ගැන කියන්නෙ?”
“එයා කියනව වැරැද්දක් උනා ඒක ඇත්ත. ඒඋනාට මෙච්චර කල් යාලුවෙලා ඉඳිය එක ගැන හිතලවත් අරුණලීට බැරිද අහනවා එයාට තව එකම එක චාන්ස් එකක්වත් දෙන්න?”
පීරිස් මහත්මිය ගේ වදන් වලට ආරියරත්න මහතා “හහ්” කියා සිනාසුනේ සමච්වලයට මෙනි. ඒ හිනාව පීරිස් පවුල පමණක් නොව සුබාව පවා තිගස්සන්නට සමත් විය.
“චාන්ස් එකක් නෙවෙයි දහයක් උනත් දෙන්න බැරිය. ඒ උනාට කැලේ වෙනස් කරා කියල කොටියගෙ පුල්ලි වෙනස් වෙනවද?”
පීරිස් යුවල තිගැස්මෙන් එකිනෙකාගේ මුහුණ බලාගන්නවා දකිද්දී සුභා කාටවත් නොපෙනෙන්නට සැමියාගේ කකුල මිරිකුවාය. ඒ “මොනවද මේ කියන්නෙ?”කියා වචනයෙන් අසන්නට බැරිකම නිසාවෙනි.
“අපිට තේරෙනව ඔයාලගෙ හිත් වේදනාව. මොන දේ උනත් මෙහෙම මගදි මගුලක් කැඩිල ගියාම ගෑණු ලමේක්ට ඒක මොන ලැජ්ජාවක්ද කියල අපිට නොතේරෙනව නෙවෙයි. ඒ උනාට ඊට වඩා ලැජ්ජාවක්නෙ නේද මිනිස්සු මේව ගැන දැනගත්තම?”
“අනේ මාත් මේ මෙයාට කිව්වෙ ඒක තමයි මිනිස්සු…” කියා සුබා පීරිස් යුවලගේ පැත්ත ගන්නට හිතුවද ආරියරත්න උන්නේ සටනට බට සටන්කාමියෙකු මෙන් සිත ඇතුලෙන් වියරු වැටීය.
මොනදේ උනත් මේ තම කුලුඳුලේ අතට ගත් දරුවාය. ඒ දරුවා රැවටීමට හසුව තිබියදි තාත්තෙකු ලෙස කිසිසේත්ම එය සාධාරණීකරණය කරන්නට හැකියාවක් තිබේද?
“ඊට වඩාලැජ්ජාවක් නෙවෙයිද ගෑණුන්ට අකමැති මිනිහෙක් එක්ක ඉන්න වෙනවය කියන එක”
ආරියරත්නගේ හඬින් පිට වූ ඒ වදන්වලට එරෙහිව කියන්නට කිසිම දෙයක් පීරිස් යුවලටවත් සුභාටවත් තිබුනේ නැත. ඒ වදන් වල තැවරී තිබුනේ ඇත්තයි..කිසිසේත්ම කිසිවෙකුට අමතක කරලන්නට නොහැකි ඇත්තයි.
තව අවස්තා කීයක් දුන්නද ආදරේ නාමයෙන් පමණක් බැඳීමක්, විශේෂයෙන්ම විවාහයක් පවත්වා ගන්නට නොහැකි බව කිසිවෙකුට රහසක් නොවේ. මෙනුක වනාහී කාන්තාවන් ප්‍රිය නොකරන්නෙකු නම් සමාජයෙ ගැරහුම් ලබන්නා වුවත් තමන්ගේ ගැහැණු දරුවාව එවන් තැනක තබා එන්නට කිසිසේත්ම අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකුට හැකියාවක් තිබේද්?
අම්මත් තාත්තාත් තම නැන්දණිය සහ මාමණ්ඩිය සමග කතා බහ කරන අතරවාරයේත් අරුණලී උන්නේ ගැඹුරු නින්දකය.එහෙත් ඒ නින්ද කිසිසේත්ම සුවදායී බවක් අරුණලීට දැනුනේ නැත. අපට සිහිනයෙන් පෙනෙන්නේ අප අවදියෙන් හිඳින අවස්තාවල හිතන පතන සහ යටි සිතේ තැන්පත් කරගෙන තිබෙන දේය. ගෙවුන දින කිහිපයේම අරුණලී ගතින් තම දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වුවද සිතෙන් සැරිසරමින් උන්නේ මෙනුක පිළිබඳව සියල්ල දැනගත් ඒ දෛවෝපගත මොහොතේය.
අරුණලී සිහිනයෙන් උන්නේ බිය වැදී ය. මෙනුක සහ රමිත් තමා පසුපස යක්ශයන් මෙන් නිරුවතින් දුවගෙන එද්දී තමා අන්ධකාරයෙන් පිරුණු නොදන්නා නිහඬ නගරයක දොරින් දොරට තට්ටු කරමින් යමින් උන්නාය.
අරුණලී තිගැස්සී අවදි වූයේ දහදිය වගුරුවාගෙනය. ශරීරය රස්නෙන් පිරී ගොස් තිබෙන්නාක් මෙන් දැනෙද්දී අරුණලී ඇඳෙන් බිමට බැස්සේ මුලුතැන්ගෙයට ගොසින් සීතල වතුර වීදුරුවක් බොන්නටය. පහලට එද්දි පඩිපෙල බසිද්දී ඇසුණ කටහඬ අරුණලී හඳුනාගත්තාය.
මෙනුකගේ අම්මාත් තාත්තා මෙහි ඇවිත් හිඳින්නේ තමාව මෙනුක ලඟට යවන්න යැයි අම්මාට සහ තාත්තාට කියන්නට විය යුතුය. අරුණලී පඩිපෙල උඩ වාඩි උනේත් හිස් තේ කෝප්ප පිරුණ බන්දේසිය රැගත් සුබා ගෙට ආවෙත් එකටම මෙනි.
පඩිපෙල මත වාඩි වී හිස කකුල් දෙක අස්සේ ඔබාගෙන හිඳින දියණිය දුටු සුභා කලබල වූවාය. තේ කෝප්ප බන්දේසිය අසල වූ වට්නොටය මතතබා ඇය දෙපා වලට දිරි දුන්නාය.
“ඇයි පුතේ?”
අරුණලී උන්නේ කඳුලු බිඳක්වත් නැති එහෙත් බියපත් දෑසින් අම්මා දෙස බලාගෙනය. හිත හඩා වැටුණද මුහුණ තිබුනේ කාන්තාරයක් මෙන් වියලී පරඬැල්ව ගොසිනි.
“අනේ මාව යවන්න එපා අම්මෙ මෙනුක ගාවට. මට යන්න බෑ අම්මෙ. මාව යවන්න එපා. අනේ මාව යවන්න එපා අම්මෙ”
සුභා දියණියව වඩා තදින් තුරුලු කරගත්තේ “අනේ ආරි” කියා මහ හඬින් සැමියාට අඬගසමිනි.